කෝලිකුට්ටු සහ කෝච්චි – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

රටත් රටේ ආර්ථිකයත් රටේ අනාගතයත් ගැන උනන්දුවෙන් කටයුතු කරන්නන් ගේ සිරුරේ රෝමොද්ගමනය කෙරෙන ප්‍රවෘත්ති දෙකක් පසුගිය දිනවල පුවත්පත් දෙකක පළවී තිබුණා. ඉන් එකක පළවී තිබුණේ 2018 සැප්තැම්බර් 15 ඉංග්‍රීසි පුවත් පතක. අනෙක 2018 සැප්තැම්බර් මස 26 සිංහල පුවත්පතක.

මුල් පුවතින් එනම්, 2018 සැප්. 15 ඉංග්‍රිසි පුවත්පතේ කරුණුවලින් දක්වා තිබුණේ, 2016 වසරේ ශ්‍රී ලංකාව සහ චීනය අර ඇතිකරගත් ගිවිසුමක් අනුව එරටට මෙරටින් කෙසෙල් ටොන් 10,000ක් යැවිය හැකිව තිබුණත් මෙතෙක් එනම් අවුරුදු දෙකක් තිස්සේ එක කිලෝවකවත් චීනයට අපනයනය කර ‍නොමැති බවයි. චීනය සමඟ ඉහත ගිවිසුමට බැඳී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. තොරතුරු හෙළිකර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේඛම් ආචාර්ය සුබා හීන්දෙන්ද.

ගිවිසුම අනුව කෙසෙල් ගොවීන් 150 දෙනෙක් චීනයට යවන්නට තිබුණත් මෙතෙක් එම ගොවීන්ගේ නාම ලේඛනයක්වත් පිළියෙළ වී නැහැ. ගිවිසුමට අනුව චීනයට යැවිය හැකි ව තිබෙන කෙසෙල් වර්ග නැතහොත් චීනය ඉල්ලුම් කර ඇති කෙසෙල් වර්ග වන්නේ ඇම්බුන් ඇඹුල් සහ කොලිකුට්ටු වර්ගයි.

ඉහත තත්ත්තවය ඇති වීමට හේතු විමසූ විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න ප්‍රකාශ කර තිබුණේ චීනය ඉල්ලුම් කරන කෙසෙල් වර්ග සැපයිය නොහැකි බව සහ තාම ඒ පිළිබ ව කරුණු අධ්‍යයනය කරනවාය කියායි.

පසුගිය සිංහල අලුත් අවුරුදු සමය ආසන්නයේ සූරියවැව ප්‍රදේශයේ ගොවීන් තම කෙසෙල් අස්වැන්න විකුණාගත නෙහැකිව උද්ඝෝෂණයක පවා යෙදුණු බව රටටම මතක ඇති. ඔවුන් කීවේ කෙසෙල් මිල පහළ යෑමට සහ කෙසෙල් සඳහා ඉල්ලුමක් නැතිවීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවට පත්ව ඇති බවයි.

චීනයට කෙසෙල් ටොන් 10,000ක් යැවිය හැකිව තිබිය දී මෙරට කෙසෙල් ගොවීන් පිරිසක් තම අස්වනු විකුණා ගැනීමට හැකියාවක් නැතැයි කියමින් ආණ්ඩුවට විරෝධය පා කෙසෙල් කැන් පොළොවේ ගසා විරෝධය පෑම තේරුම් ගත යුත්තේ කෙසේද? ඇඹිලිපිටිය සූරියවැව ප්‍රදේශවල බෙහෙවින් වගා කෙරෙන්නේ අඹුල් කෙසෙල්, කෝලිකුට්ටු සහ කෝලිකුට්ටු ප්‍රභේදයක් වන සුවඳැල් ආදියයි. එනම් ඔවුන් තමන්ගේ අස්වනු විකුණාගත නොහකිව විරෝධයපාන සමය වන විටත් ඔවුන් වගාකළ කෙසෙල් වර්ගවලට චීනයේ වෙළෙඳපළක් ඇති වී තිබුණා. නමුත් එම වෙළෙඳ වාසිය මෙරට කෙසෙල් ගොවියාට ලබා දීමට රජයේ නිලධාරින්ගේ ආකාරයක්ෂමතාව නිසා නොහැකිවෙලා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න මහතා කියන්නේ චීනය ඉල්ලුම් කරන කෙසෙල් වර්ග සැපයිය නොහැකි බවයි. ගොවීන් කියන්නේ එම වර්ග විකුණාගත නොහැකි බවයි. අනෙක් අතට කරුණු අද්‍යයනයට අවුරුදු දෙකක් වැය වන්නට හේතුව කුමක්ද? එම හේතු මගහරවා ගන්නට කෘෂිකර්ම අමාත්‍යෘංශ්‍ය මෙතෙක් ගෙන ඇති පියවර මොනවාද? තවත් අතකින් ගත් කල සැපයිය නොහැකි කෙසෙල් වර්ග සපයන්නට චීනට සමඟ ගිවිසුමක් අත්සන් ‍කළේ කුමකටද? ගිවිසුමට එළඹෙන්නට පෙර ඒ පිළිබඳ අධ්‍යයනයක් කළේ නැද්ද? අනාගතයේදී හෝ එම ඉල්ලුම සපුරාලන්නට අවශ්‍ය වැඩ කටයුතු වසර දෙකක් තිස්සේ නොකළේ ඇයි? වැනි ප්‍රශ්න රැසක් එකී සිදුවීම පසුපස තිබේ.

ඊළඟ ප්‍රවෘත්තිය සම්බන්ධ වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවටයි. දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා‍ 2018 සැප්. 25 වනදා සිට ගල්කිස්ස සහ රඹුක්කන අතර විශේෂ දුම්රියක් ධාවනය කළාලු. එම දුම්රියේ ගමන්වාරයක ගාස්තුව රුපියල් තුන්දාහක් ලු. දුම්රිය ධාවනය නිසි පරිදි කෙ‍රුණු නමුත් රියැදුරු දුම්රිය නියාමක හැර වෙනත් කිසිම මගියෙක් එදින දුම්රියේ ගමන් කළේ නැතිලු. හිස් දුම්රියක් දිනකට දෙවතාවක් ගල්කිස්සත් රඹුක්කනත් අතර ගමන් කළාලු.

දුම්රිය ධාවනයෙන් සිදු වූ පාඩුව මෙතෙක් සඳහන් වී නැහැ. කෙසේ වුවත් පාඩුව සුළුපටු එකක් නොවන බව අනුමාන කළ හැකියි. හේතුව දුම්රියක් ධාවනය කරවීම සඳහා ඉන්ධන සේවක පඩිනඩි ඇතුළුව විශාල පිරිවැයක් දරන්නට සිදුවන නිසායි. ඉහත දුම්රිය ගමනින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වීමට හේතුව, ගාස්තුව අධික වීම සහ නිසි ප්‍රචාරයකින් තොරව දුම්රිය සේවය ආරම්භ කිරීම බවයි කියන්නේ.

දුම්රිය සේවය යනු දැනටමත් අලාභ ලබන ආයතනයක්. දුම්රිය ගාස්තුව 15% කින් පමණ ඉහළ නැංවීමට හේතු වී ඇත්තේ එකී පාඩුව මගහරවා ගැනීමේ අරමුණෙන් බව අනුමාන කරන්නට පුළුවනි. කෙසේ වෙතත් සිදුවන දේ අනුව පැහැදිලි වන්නේ ගාස්තු වැඩි කිරීම හැර දුම්රියේ අලාභ්‍ය පියවාගත හැකි වෙනත් විකල්ප මාර්ග පිළිබඳ දුම්රිය බලධාරින් අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැති බවයි.

දැනටත් වායු සමනය කළ නගරාන්තර දුම්රිය සේවා කිහිපයක් ධාවනය කෙරෙනවා. නමුත් ඒ පිළිබඳ ජනතාව කොතරම් දැනුවත්ද යන්න ගැටලුවක්. අනෙක එම දුම්රිය ධාවනය වන්නේත් තෝරාගත් දිනවලදී සීමිත ගමන්වාර සංඛ්‍යාවක් වීමත් ජනතා ආකර්ශනය අඩුවීමට හේතුවක් බව පේනවා. අනෙක් කරුණ වන්නේ එම විශේෂ දුම්රියවල ඵලදායිතාව පිළිබඳ අධ්‍යයනයක් හෝ අවබෝධයක් දුම්රිය බලධාරින්ට තිබේද යන්නයි. ඇතැම් දිනවල එම දුම්රියවලට සැලකියයුතු හෝ උපරිම මගී සංඛ්‍යාවක් ඇති බව පෙනුණත් සමහර දිනවල එම දුම්රිය මගීන් එතරම් ප්‍රමාණයකින් තොරව ධාවනය කරන බවත් පේනෙනවා.

අවසාන වශයෙන් නිගමනය කළ හැක්කේ චීන කෙසෙල් ප්‍රශ්නය සේම මගීන් නොමැති දුම්රිය ධාවනයත් රටේ ජාතික ධනයට අහිතකර බවයි. එසේම එම කරුණු දෙකම එසේ වන්නට හේතුව නිළධාරින්ගේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිල්ල බවයි.

අනෙක කවර තත්ත්වයක් යටතේ කුමන වැරදි හෙළිදරව් වුවද රාජ්‍ය යාන්ත්‍රණය පාර්ශවයෙන් අදාළ නිලධාරින්ට විරුද්ධව කිසිම පියවරක් ගැනෙන්නේ ද නැත. ආණ්ඩුව රටේ යහපත සඳහා ගන්නා ප්‍රතිපත්තිමය තීරන නිලධාරින් විසින් කඩාකප්පල් කළත් ආණ්ඩුව නිහඬයි. ඒ නිහඬතාවයේ ප්‍රතිඵල පැටවෙන්නේ ජනතාව මතයි.

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *