|

ඒකාබද්ධයේ අර්බුදයට මුහුණ දෙන්න මහින්ද හදිසියේ බැසිල් ගෙන්වයි

“සාරවත් දේශයක වාපි සංග්‍රාමය” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයෙන් හා මෙහෙයවීම යටතේ ක්‍රියාවට නැගෙන්නක්. රජරට එල්ලංගාවැව පද්ධතිය නවීකරණය කිරීම ඒ යටතේ සිදුවෙනවා. එහි ආරම්භක උත්සවය පැවතුණේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුනුමඩලාව, නබඩගස්දිගිලිය වැව්පිටියේයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන් මහත්ම මහත්මීන් මෙන්ම නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතාද සහභාගි වී සිටියා.

එහි දී කතා කළ ජනාධිපතිතුමා පෙර දින ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල දී වූ සිදුවීමක් විස්තර කළා. එහි දී ප්‍රතිසංස්කරණය කළ වැවක් ජනතා අයිතියට පැවරීමෙන් පසු ගොවිජන සේවා ප්‍රධාන නිලධාරියාගෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තිබෙන වැව් සංඛ්‍යාව ගැන විමසූ බවත් වැව් 422 ක් ඇති බව දැනගන්න ලැබුණු බවත් කීවා. වැව්වල වැඩබලන ඉංජිනේරු මහත්වරු කීදෙනෙක් ඉන්නවාද ඇහුවාම එක්කෙනෙක්වත් නැති බව දැනගන්න ලැබුණු බවත් ජනාධිපතිතුමා කීවා. මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා උදවිය රට හැර යාමෙන් ඇති වී තිබෙන තත්ත්වය එතුමා විස්තර කළා.

මුරුංගා කොළ කා ජීවත්වන යුවළක් ගැන පුවත්පතක තිබූ වාර්තාව ගැනද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවුණා. එහෙම කන්න නැති තත්ත්වයක් රටේ නැති බව කී ජනාධිපතිතුමා ඒ ගැන සොයා බලන ලෙස චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිවරියට හා දුමින්ද දිසානායක ඇමැතිවරයාට කීවා.

චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිවරිය එම නිවසට ගොස් පරීක්ෂා කර කීවේ එම පිරිසට සමෘද්ධිය මෙන්ම රජයේ සහනාධාරද ලැබෙන බවයි. දුමින්ද දිසානායක මහතා තවත් තොරතුරු සොයා ගත්තා. 1500 ක් සමෘද්ධියෙන් ලැබෙන මෙම පවු‍ෙල් පිරිමියා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා රු.5000 ක ආධාරයක්ද ලැබෙනවා. ගමේ ඉඩම් අක්කර 2 ½ ක් හා ගමෙන් පිට අක්කර තුනක් ඔවුන්ට අයිතියි. එම යුවළට විවාහ වූ දරුවන් හතරදෙනකු සිටිනවා. එදා ඔවුන් කා තිබෙන්නේ මුරුංගා කොළ සම්බෝලයක් සමඟ බතක්. මුරුංගා කොළ දැන් ජපානයට යවන නිසා මිල අධිකයි. මුරුංගා කොළ කා ජීවත් වූ පවුලක් ගැන පුවත්පත් වාර්තාවේ ඇත්ත තත්ත්වය දුමින්ද දිසානායක ඇමැතිවරයා හෙළිදරව් කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය ඇමැතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්තයේ අමෙරිකාව බලා ගියා. එහි දී එතුමන්ට පළමුවෙන් යෙදී තිබුණේ නෙල්සන් මැන්ඩෙලා අනුස්මරණ සමුළුවේ සාම දේශනය පැවැත්වීමයි. සඳුදා ජනාධිපතිතුමා එම සාම දේශනය පවත්වමින් කීවේ ලෝක නායකයන්ට නෙල්සන් මැන්ඩලාගෙන් ගත හැකි ආදර්ශ බොහොමයක් තිබෙන බවයි. සාමය, සංහිඳියාව හා මානව වාදය සඳහා කැපවී සිටි නෙල්සන් මැන්ඩෙලා බලය සීමාකර ගැනීම හා බලය අතහැරීම පිළිබඳ ආදර්ශයක් වූ බව ද ජනාධිපතිතුමා කීවා. මැන්ඩෙලා ගිය මග යාමට ලෝකයේ සියලු නායකයන්ට තමා ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා පැවසුවා.

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා කතා කළේ පසුගිය අඟහරුවාදයි. ශ්‍රී ලංකාව දෙස වෙනස් කෝණයකින් බලන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා අපගේ ප්‍රශ්න අපගේම ක්‍රමයකට විසඳා ගැනීමට අපට ඉඩදෙන්න යැයි ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

එක්සත් ජනපද රජයට අයත් සහස්‍ර සහයෝගිතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රොක් බිර්මන් මහතා හා ජනාධිපතිවරයා අතර හමුවක්ද නිව්යෝර්ක් නුවරදි සිදුවුණා. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8000 ක සංවර්ධන ආධාරයක් ලබාදෙන බව‍ බ්‍රොක් බිර්මන් මහතා එහි දී ජනාධිපතිතුමාට දැනුම් දුන්නා.

සතිය ආරම්භයේදීම අගමැතිවරයා ඇමැති සජිත්ගේ ආරාධනයෙන් 127 වැනි උදාගම ලෙස ඩි.ඇස්. සේනානායක ගම විවෘත කළේ හම්බන්තොට දී . දුගී ජනතාව වෙනුවෙන් සජිත් කරගෙන යන වැඩපිළිවෙළ රාජපක්ෂලාට කළ නොහැකි වූ බව පෙන්වා දුන් අගමැතිවරයා එහි දී ලෝක හා රටේ ආර්ථිකය ගැනද කතා කළා.

“රුසියාවට හා ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම හා අමෙරිකාව විසින් ඩොලර් පොලී අනුපාතය ඉහල දැමීම නිසා ලොව සියලු රටවල මුදල් ඒකක අවප්‍රමාණ වුණා. ලංකාව ඇතුළු මුලු ලෝකයම දැන් ඒකට පිළියම් හොයනවා. රුපියල බාල්දු වෙලා යයි කෑගහන රාජපක්ෂලා අද බලයේ හිටියා නම් රුපියල ශක්තිමත් කරන ඒ අරුම පුදුම ක්‍රමය රටට එළිකරන්නැයි මම අභියෝග කරනවා.” අගමැතිවරයා කීවේ දැඩි ඔල්වරසන් හඬ මධ්‍යයේයි.

බ්‍රහස්පතින්දා උදේ නිවෙසින් උදේ ආහාර නොගෙනම අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ වසර 03 ක සේවා කාලය සම්පූර්ණ කළ ප්‍රංශ හා ජපන් තානාපතිවරුන්ට සමුදීමට සුදානම් කොට තිබු උදෑසන ආහාරය සඳහා එක්වීමටයි. සමරු තිළිණ හුවමාරුව එහිදි සිදුවුණා. එම තානාපතිවරු හරහා රටවල් අතර හොඳ හිත හා ආර්ථික සබඳතා තවත් තර වු බව එහි දී අගමැතිවරයා පෙන්වා දුන්නේ ඔවුන්ට සුබ පතමින්. කබීර් හෂීම් හා සාගල රත්නායක ඇමතිවරුද ඊට එක්වි සිටියා.

අනතුරුව අගමැතිවරයා සිය කාර්යාලයට එනවිට මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටියා.

“ මේ රටේ නීති ක්ෂේත්‍රය ගැන ලොව පුරා පිළිගැනීමක් තිබෙනවා. ඒත් ළඟ දී නඩුවක විත්ති පාර්ශ්වයක් නියෝජනය කරන නීතිඥයෙක් නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවලා එහි ප්‍රධානියෙක් හා තවත් නිලධාරින් හතර දෙනෙක් ඔහුට තර්ජනය කරලා කළු කෝට් ගලවනවා, හිරේ යන්න වේවි ආදිය කියලා බිය කරලා ඒ නඩුවට අදාළ තොරතුරු හා ලියකියවිලි ඉල්ලා තිබෙනවා. කෝලිත ධර්මවර්ධන කියන නීතිඥ කණ්ඩායමේ චන්දන පෙරේරා කියන නීතිඥයාටයි එහෙම බලපෑම් ඇවිත් තියෙන්නේ. මේක මාර වැඩක්” රවී කරුණානායක කීවේ අගමැතිටයි.

“මටත් ආරංචියි. එහෙම කළා නම් ඒක ඉතා වැරදි වැඩක් හා නරක පූර්වාදර්ශයක්. නඩුවක දී සේවාදායකයාගේ විස්තර හා ලියකියවිලි තර්ජන කරලා ඉල්ලන්න වෙනත් කිසිම පාර්ශ්වයකට අයිතියක් නෑ. ඒක නීති විරෝධී සදාචාර විරෝධී වගේම නීති ආචාර ධර්මවලටත් පටහැනි පහත් වැඩක්” අගමැතිවරයා කීවා.

“ඒ චන්දන පෙරේරා කියන නීතිඥයා මේ ගැන පොලිස්පතිට, නීතිපතිට, අග්‍රවිනිශ්චකාරයට නීතිඥ සංගම්වලට වගේම නීතිය හා සාමය ඇමතිට හා අධිකරණ ඇමතිනියටත් පැමිණිලි කරලාලු. නීතිඥයන්ට විතරක් නෙවෙයි. සාක්කිකාරයන්ටත් තර්ජන දාලා නඩු අහන ක්‍රමයට මේ රට ගෙනියන්න නීතිපති එකේ නිලධාරින් ක්‍රියා කළොත් ඒක මහා ඛේදවාචකයක් වේවි” රවී කරුණානායක කීවා. නීතිඥයකු වන ලක්ෂ්මන් කිරිඇල්ලද එය එකහෙලා සහතික කළා.

“ඒ නීතිඥයාගේ පැමිණිලි ගැන අදාළ සියලු අංශවල අය දැඩි පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මීට කලින් මහ බැංකු නිලධාරියෙක් කැඳවල තර්ජන කළාම ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිපති එකේ ඉහළ නිලධාරියකුට එරෙහිව ගොනු කළා. ඒ කළ නිලධාරියාම දැන් නීතිඥයන්ටත් තර්ජන දැමීම ගැන වහාම පරීක්ෂණ කළ යුතුයි” අගමැතිවරයා දැඩි ස්ථාවරයක හිඳිමින් කීවා.

“නීතිඥ චන්දන පෙරේරා කළ පැමිණිලිවලින් පස්සෙ අර නීතිපති නිලධාරියා එක එක අය අත පණිවිඩ එවමින් හමුවීමට හා සමතයකට කතා කරනවා කියලත් ආරංචියි. ඒත් ඒ චන්දන නීතිඥයා ඒකට යට නොවන බව කියලලු” රවී වැඩිදුරටත් කීවා.

“පසුගිය කාලෙ වගේ මේ රජය නීතියට අතගහන්නෙ නෑ. ඒත් ඒක කරන්න නීතිපති එකේ නිලධාරින්ට ඉඩ දෙන්නත් බෑ. නීතිපති එක තියෙන්නේ පොලිසිය සාක්කි විමසලා එයාලට ලබාදෙන කරුණු මත පදනම්ව නඩු පැවරීම වගේ කටයුතුවලටයි. තර්ජන දාන්නයි නඩු විභාග කරන්නයි නීතිපති එකේ නිලධාරීන්ට බෑ. එහෙම නම් උසාවි මොකටද? කොටින්ම ඔය චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවලා තර්ජන කරන්න තියා ප්‍රශ්න කරන්නත් නීත්පති නිලධාරීන්ට කිසිම අයිතියක් නෑ. මේ ගැන ආණ්ඩුව දැඩි ස්ථාවරයක හිඳිමින් කටයුතු කරන්නේ නීතියේ උත්තරීතරබව රැකගැනීමටයි” අගමැතිවරයා කීවේ නළල රැලිගන්වමින්.

“මේ වගේ නිලධාරින් දෙතුන් දෙනෙක් නිසා නීති ක්ෂේත්‍රය කිළිටි වෙන දේ වුණාට මේ රටේ අධිකරණය ගැන අපි තාමත් ඉහළින් විශ්වාස කරනවා. මේ වගේ අඩුපාඩු වහාම හදාගැනීම කළයුතුයි” නීතිඥ නවීන් දිසානායකගේ අදහස එය වුණා.

“නවීන් හරි. නීති ක්ෂේත්‍රයේ අඩුපාඩු හදාගන්න ඕනෑ. දැන් සයිටම් නඩු තීන්දුව බලන්න. සයිටම් වෛද්‍ය උපාධිය සමත්වූ සිසුන්ගේ උපාධිය වෛද්‍ය සභාව පිළිගත්තෙ නැති නිසා ඔවුන් ඇපැල් අධිකරණයට ගියා. ඒ උපාධිය පිළිගන්න කියල ඒ අධිකරණය නියෝග කළාම වෛද්‍ය සභාව ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම එතනිනුත් එම තීන්දුව ආවා. ඒක ඉතා සාධාරණ හා යුක්තිගරුක තීන්දුවක්. සයිටම් වහන්න ක්‍රියාකළ අය සිසු පරපුරට මහා වරදක් කළේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“එදා කිරිඇල්ල රාජිත ඇමතිතුමන්ලා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් සයිටම් ගැන කතාකරන කොට සල්ලිවලට කහිනවා කියල විපක්ෂය හා ශ්‍රීලනිප ඇතැමුන් මඩ ගැහුවා. ඔබතුමන්ලා දෙපළ සිසුන් වෙනුවෙන් කළේ යුක්තිගරුක සටනක් බව ශ්‍රේෂ්ඨාධිකරණයත් දැන් තහවුරු කරල තියෙනවා” චමින්ද විජේසිරි කී විට සියලු දෙනා එය අනුමත කළා.

“ඩොලරය ශක්තිමත් වීම දිගටම සිදුවෙනවා. අපි මේකට කෙටි කාලීන විසඳුමක් හොයන්න වෙනවා” රංජිත් අලුවිහාරේ කතාව වෙන පැත්තකට යොමු කළා.

“මෙවර ණය කන්දක් අපට ගෙවන්න නොතිබුණානම් මේ ගැටලු නෑ. අනුන්ගෙ පව් අපි ගෙවන්නෙ. මේ වසරේ ඩොලර් බිලි: 03ක් හා ලබන වසරේ බිලි: 04ක මහා ණය කන්දක් ගෙවන්න තියෙනවා. ඩොලරය ශක්තිමත් වීම කොතනින් ඉවරවෙයිද දන්නෙත් නෑ. මේක ලෙවෙල් වෙන තැනක් එනවා. විසඳුම් දෙන්න ඕනෑ එතනදීයි. තෙල් බැරලයක් ඩොලර් 80-90 ට යාවි. අපනයන වැඩි කරලා ආනයන වියදමට යම් පාලනයක් කරලා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ආයෝජන වැඩිකරන්න වෙනවා. අපේ විදේශ සංචිත දිය කරලම බෑ. ඉන්දියාව ඒක කරලා අසාර්ථක වුණා. ඉරාන තෙල් නැවතුණාම තෙල් අර්බුදයකුත් ඒවි. මොන අභියෝග ආවත් අපි ඒවා බාරගන්නවා. මහින්ද වගේ දාලා දුවන්නේ නෑ” අගමැති කීවේ කාගෙත් සිනා මැදයි.

“ලංකාවේ විදුලි දුම්රිය හදන ව්‍යාපෘතියකින් යුරෝ මිලියන 25 ක් ආණ්ඩුවේ අය පගා ඉල්ලුවා කියන කතාව මොකද්ද” චමින්ද විජේසිරි සෘජුවම ප්‍රශ්න කළේ අගමැතිගෙන්.

“ ඒක ගැනත් කරුණු සොයනවා. වසරකට ඩොලර් බිලියන 05 ක විදුලි කෝච්චි හදල මේ ලෝකේ දුවන්න තැන් නෑ. ලංකාවේ විදේශ අපනයන ආදායමත් අවුරුද්දකට ඩොලර් බිලියන 12 යි. මේ චෝදනාව මඩක් ද ඇත්තක් ද කියලා පරීක්ෂණවලින් එලිවේවි ” අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළා.

ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලකට පසුගිය සතිය ඉතා කාර්යබහුල වූයේ කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සව රැසක් යෙදී තිබූ නිසායි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හා ගල්ගමුව ආසනවල පැවැති ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවවලට 2500 කට වැඩි පිරිසක් සහභාගි වී සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වුණා.

ඩී. එස්. සේනානායක ගම්මානය නමින් ආදර්ශ ගම්මානයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවෘත කෙරුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සජිතුත්, ගයන්තත් ඊට සහභාගි වුණා. අගමැතිවරයා මෙහි දී නිවාස ඇමතිගේ වැඩ ගැනත්, ඉඩම් ඇමතිගේ වැඩ ගැනත් හොඳ ඇගයීමක් කළා. ගයන්තට පවරන හැම වැඩක්ම හරියට කරනවා. ඒ නිසයි මම ගයන්තට ඉඩම් ඇමතිකම දුන්නේ. පාර්ලිමේන්තුවේ වැඩ කොටස හොඳින් කරන ගමන්ම ඉඩම් අමාත්‍යාංශයේ වැඩ කොටසත් හොඳින් කිරීම ගැන මම සතුටු වෙනවා. අගමැතිවරයා මෙහි දී පැවසුවා.

බ්‍රහස්පතින්දා උදෑසනම ඇමැති වජිර අබේවර්ධන ගාලු ගියේ ගාල්ල උණවටුනේ ලංකා බැංකු නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි. මේ අවස්ථාවට ඇමැති ගයන්ත කරුණාතිලක සහ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පැමිණ සිටියා.

සංචාරක කේන්ද්‍රයක් වූ උණවටුනේ නව බැංකු ශාඛාව සංචාරකයන්ට පමණක් නොව සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලාංකිකයන්ටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතිය යටතේ තම ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම මහඟු අවස්ථාවක් වනු ඇතැයි ඇමතිවරයා පැවසුවා.

එතැනින් නික්ම ගිය ඇමැති වජිර ශත සංවත්සරික උත්සවය පවත්වන මල්හාරුස් සුල්හියා ජාතික පාසලේ එම උත්සව මාලාව විවෘත කිරීමට එක්වුණා. පාසලේ උසස් පෙළ සිසුවකු විසින් රුපියල් 12, 500ක් වැයකර සාදා තිබූ මෝටර් රථයක් වෙත අවධානය යොමු කළ ඇමතිවරයා එහි නැ‍ඟී එය පදවා බැලුවේ සිසුන් සමඟ මොහොතක් සතුටු සාමීචියේ යෙදෙමින්.

සිකුරාදා සවස ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්තුමා අබේවර්ධන හමුවීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණියා. කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා පිළිබඳ මේ අවස්ථාවේ දී ඔහු අමාත්‍යවරයා සමඟ දීර්ඝව සාකාච්ඡා කළා.

සඳුදා පසළොස්වක පොහොය දිනය යෙදී තිබුණත් දවස පුරාම අමාත්‍යාංශයේ සිය කාර්යාලයට වී ලිපිගොනුවල කටයුතු රැසක නිරතවූ ඇමැති වජිර අඟහරුවාදා උදෑසන ගාල්ලට ගියේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ද සමගින්. ඒ ගාල්ල නගරයේ දුම්රිය ස්ථානය අසල ඇති පාලමේ පුළුල් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදීම සඳහායි.

ගාල්ලේ පාර පුළුල් කිරීමේ දී මේ පාලමේ පැත්තකින් මංතීරුවක් එකතු කරන්නට ගන්නා උත්සාහයේ දී 1768 වර්ෂය සඳහන් පැරණි ගල් පුවරුවක් මතුව තිබුණා. ඒ නිසා පාලම ඕලන්ද කාලයේ ඉදිකරන ලද්දක් යැයි ඇතිවූ සැකය හේතුවෙන් ඉදිකිරීම් තාවකාලිකව නවතා දැමීමට සිදුවුණා. පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයා වූ විජේදාස රාජපක්ෂ මහතා සමඟ ඇමැති වජිර අබේවර්ධන එම ස්ථානයට ගොස් පාලම නිරීක්ෂණය කර අනතුරුව පුරාවිද්‍යා නිලධාරීන්ද සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා කර තීරණය කළේ පාලමේ ඉදිකිරීම් කටයුතු දිගටම කරගෙන යා යුතු බවයි. දැනට ඇති පාලම ඉංග්‍රීසි පාලන කාලයේ දී ඉදිකරන ලද්දක් බවත් ඊට පෙර ඕලන්ද පාලමක් එතැන තිබී ඇති බවටත් කරුණු අනාවරණය වුණා. ඒ නිසා පාලමේ ඓතිහාසිකත්වයට ද හානියක් නොකර පාර පුළුල් කර පාලමේ පැරණි දත්ත ඇතුළත් පුවරුවක් එතැන සවිකිරීමටත් තීරණය කෙරුණා.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගාල්ලට පැමිණීමත් සමඟ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙනුයි. එහි දී අමාත්‍ය රාජපක්ෂ මහතා කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් තියාගෙන ලෝක උරුම තත්ත්වයෙන් අප ඉවත්වෙනවා ද නැතිනම් අනවසර ඉදිකිරීම් ඉවත්කර ගාල්ල උරුමය ආරක්ෂා කරනවා ද කියා තීරණය කළ යුතු බවයි.

27 බ්‍රහස්පතින්දා උදෑසනම අමාත්‍ය වජිර අබේවර්ධන යක්කලමුල්ල ප්‍රදේශයේ නිල සෙවණ කාර්යාල දෙකක් විවෘත කිරීමේ උත්සවලට සහාභාගී වී රාත්‍රියේ යාපනය බලා පිටත්ව ගියේ සිකුරාදා සිට සඳුදා දක්වා යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි, චංකානයි, කයිට්ස් සහ කරෙයිනගර්වල පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන් සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙන්.

මේ දිනවල දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ රුපියල කඩාවැටීම පිළිබඳවයි. ජවිපෙ නායක අනුර දිසානායක මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත්, මුදල් අමාත්‍ය මංගල සමරවීරත් කරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදුන්නේ මේ දිනවල ජාතික විද්වත් සංවිධානය මගින් රටපුරා පවත්වමින් යන දිස්ත්‍රික් සමුළු මාලාවට ආරාධිත දේශකයකු ලෙස සහභාගි වෙමින්. කළුතර දිස්ත්‍රික්කයේ පැවැති සමුළුවේ දී අනුර දිසානායක මන්ත්‍රීවරයා රුපියල කඩාවැටීම පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් කළා. ”අපේ රටේ ආනයන අපනයන පරතරය 100%ක්. අපේ රටට සියල්ල ආනයනය කරන්න සිදුවෙලා.. ඒ විතරක් නෙවෙයි අපි ලෝක වෙළෙඳ පොළේ අත්කරගෙන තිබෙන පංගුව මේ වනවිට 0.0045% දක්වා අඩුවෙලා. රට පාලනය කරපු පාලකයින් ලෝක වෙළෙඳ පොළේ සැලකිය යුතු පංගුවක් අත්කරගන්න කටයුතු කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඩොලර් උල්පත් පිට රට සමාගම්වලට විකුණලා දැම්මා. කොළඹ වරායේ ජැටිය, තෙල් ටැංකි, හම්බන්තොට ඉඩම් පිටරට සමාගම්වලට දීලා අපේ රටේ ඩොලර් උල්පත් අහිමි කරපු මහින්ද දැන් කියනවා ආපහු රට දෙන්නලූ. ඒ වුණාට රුපියල ගැන ඇහුව්වාම වටපිට බලනවා. කබ්රාල් කියන එක තමයි මුමුණන්නේ මොන නායකයොද මේ. ඒ විතරක් නෙවෙයි රුපියල කඩාවැටීමට බලපෑවේ මහින්ද ගත්ත ණය කියලා කියන ගමන් රනිල් තව තවත් ණය ගන්නවා. වෙන උත්තරයක් මේ පාලකයින්ට නෑ. මංගල කියනවා රුපියල කඩාවැටුණට ආර්ථිකය කඩාවැටිලා නෑ කියලා. නොදන්න ආර්ථික විද්‍යාව ගැන කතා නොකර ඉන්න කියලා මංගලට කියනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මේ වනවිට කොමියුනිස්ට් පක්ෂය සමඟ 20වැනි සංශෝධනය සම්බන්යෙන් පැවැති සාකච්ඡා සාර්ථකයි. පසුගිය සතියේ ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකයින් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා. ”සෝභිත නායක හාමුදුරුවන්ගේ ප්‍රධාන සටන්පාඨයක් වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. උන්වහන්සේ වසර ගණනක් තිස්සේ ඒ වෙනුවෙන් සටන් කළා. මේ සංවිධානය හැදුවෙත් ඒ සඳහා. අපි කරන්න ඕන දෙයක් ඔබතුමාලා මේ කරන්නේ. ඒ ගැන ඔබතුමාලට ස්තූතිවන්ත වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එන යෝජනාවකට අපි සහාය දෙනවා. මේ සම්බන්ධයෙන් අපි ජනතාව දැනුවත් කරන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න කැමතියි.” සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකයෝ ජවිපෙ නායකයින්ට දැනුම් දුන්නා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඉන්දියාවේ වෙසෙනෙ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරාධනයකට අනුව එහි පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගි වීමට ඉන්දියාවට යෑමට නියමිතයි. සැප්.30 පස්වරුවේ දිල්ලියේ දී පැවැත්වෙන එම සම්මන්ත්‍රණය විද්වතුන් සහ වෘත්තිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිලෙනවා. මෙම සංචාරය අතරතුර දී ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් සහා ඕල් ඉන්ඩියා ෆෝවර්ඞ් බ්ලොක්හි නායකයින් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද ජවිපෙ නායකයා බලාපොරොත්තු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මාලදිවයිනේ පැවැත්වෙන දින තුනක වැඩසටහනක් සඳහා සහභාගි වීමට පසුගිය 27වෙනිදා දිවයිනෙන් පිටත්ව ගියා. මාලදිවයිනේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ විශේෂ ආරාධනයකට අනුව එතෙර අපි සංවිධානයේ ශාඛාවක් ගොඩනැගීම සඳහා මෙසේ මන්ත්‍රීවරයා මාලදිවයිනට ගොස් තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී කළ කතා නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ ඇති වූ මතගැටුම් තවමත් අවසන් නැහැ. එහි දී එළිපිටම විවේචනයක යෙදෙන කුමාර වෙල්ගම මහතා පසුගියදා යළිත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියකු බවත් ඒ නිසා ඔහුට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි බවත්ය. මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමැති නමුත් පවුල්වාදයට කැමැති නැති බව ද වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ද සිදුවෙලා. එයින් එකක් නම් ශ්‍රීලනිපයෙන් පැමිණි පහළොවේ කණ්ඩායම සම්බන්ධ ප්‍රශ්නයයි. විපක්ෂය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළ ඔවුන් අතර ප්‍රබලයන් කිහිපදෙනකුගේ ආසන සංවිධායක ධුර පසුගියදා ඉවත් කරනු ලැබුණා. ඒ ආසනවලට ශ්‍රීලනිපයෙන් අලුත් සංවිධායකයන් පත් කළා. දැන් ඒ අතරින් පිරිසක් පොහොට්ටුවේ සංවිධායකයන් වෙන්න ඉල්ලීම් කරලා. ඩබ්ලිව්. ජේ. එම්. සෙනෙවිරත්න මහතා ඒ අතරින් ඉදිරියෙන්ම සිටිනවා. කෙසේ වෙතත් එස්. බී. දිසානායක ඉන්නේ වෙනත් මතයක. ඔහු කියන්නේ සියලු දෙනා තවදුරටත් ශ්‍රී ලනිපයේ සිටිය යුතු බවයි.

අනෙක් අතට ආණ්ඩුවට ගිය අය නැවත පැමිණ තනතුරු ලබනවාට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය ප්‍රබලයන්ගේ කැමැත්තක් නැහැ. එයද මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශ්නයක් වෙලා. මේ නිසා ඔහු පසුගිය සතියේ අමෙරිකාවේ සිටි බැසිල් රාජපක්ෂ මහතාට කතා කළා. වෙන විශේෂ වැඩක් නැත්නම් ආපසු එන්නැයි මහින්ද බැසිල්ගෙන් ඉල්ලීමක් කළේ පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදය බරපතළ නිසායි. මහින්දගේ ඉල්ලීම පිළිගත් බැසිල් මාස තුනකට ගිය ගමන මාස දෙකකින් අවසන් කර පසුගිය අඟහරුවාදා දිවයිනට පැමිණියා.

ඉන්දියානු ගමනෙන් පසුව ඇතිවූ කතාබහ වෙනතකට හැරවීමට මහින්ද රාජපක්ෂ මහතා වෙනත් උපායමාර්ගයක් ද ක්‍රියාත්මක කළා. එනම් රුපියල අවප්‍රමාණ වීම පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතුකොට ආන්දෝලයක් ඇතිකිරීමයි. ඒ සඳහා මහින්ද පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මහත්වරුන් ද සමඟයි. එහි දී ඔවුන් කීවේ මෙය මහා ආර්ථික කඩාවැටීමක් බවයි. එසේ වුවද රුපියල රැකගැනීමේ තමන්ගේ ක්‍රමවේදය ගැන කළ ප්‍රශ්නයට මහින්ද උත්තර දුන්නේ නැහැ. අපි ආපුවාම කරන්නම් කියා මඟහැරියා. එමෙන්ම කීත් නොයාර් පැහැරගැනීම අමතක වීම ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට ද රාජපක්ෂ මහතා නිරුත්තර වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *