|

ඩොලරයට උඩ පැනීම – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කීවේ ආණ්ඩුවට ඩොලරය ඉහළ යෑම නවත්තාගත නොහැකිනම් ඉල්ලා අස්වී තමන්ට රට භාරදිය යුතු බවය. ඔහු කීවේ රුපියල ඩොලරය ඉදිරියේ අවප්‍රමාණ වී ඇත්තේ ආණ්ඩුවේ වරදින් බවයි. මෙය විශාල විනාශයක් බව කීවද රුපියල රැක ගැනීමේ තම විසඳුම මහින්ද කීවේ නැත. කීවේ බලයට ආවාම කරලා පෙන්වන බවය. එසේ කියන්නේ ඔහු වසර දහයක් තිස්සේ කරලා පෙන්වපු හරිය ජනතාවට අමතක යැයි සිතා විය යුතුය.

විමල් වීරවංශ ද ලොකු කතාවක් කීවේය. රුපියල ඉතියෝපියාවේ මුදලටත් වඩා බාල්දුවී ඇති බවයි. ඉතියෝපියානු නායකයන්ට රට භාර දුන්නානම් රුපියල රැකෙන බවය. හිතා මතා කළ කතාවක් විය යුතුය. ඉතියෝපියානු නායකයන්ද මහින්ද රාජපක්ෂ වර්ගයේ භීෂණ පාලනයක් ගෙන යන කණ්ඩායමකි. 1995 සිට බලයේ සිටින්නේ එකම පක්ෂයයි. විපක්ෂවලට එරෙහිව රාජ්‍ය බලයත් මර්දනයත් යොදාගෙනය. ආර්ථිකයේ පාලනය විධිමත් නැත. උද්ධමනය වරෙක සියයට හතළිහ ඉක්මවා ගියේය. මේ වනවිටත් සියයට විස්ස ඉක්මවු උද්ධමනයකි.

මහින්දලා මෙන්ම ඉතියෝපියාවේ පාලකයන්ද එරට ජනතා උද්ඝෝෂණවලට සලකන්නේ වෙඩි උණ්ඩවලිනි. 2016 දී ඇති වූ ජනතා උද්ඝෝෂණයකට වෙඩි තබා සියයකට වැඩි පිරිසක් මරා දැමුවෝය. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රශ්න කරන්නේ මානව හිමිකම් කඩවීමක් වශයෙනි. එම කරුණු අතින් ඉතියෝපියාවේ පාලකයන් මහින්දලා වගේමය. විමල් වීරවංශ ශ්‍රී ලංකාව භාරදෙන්න කියන්නේ එහෙම පාලනයකටය.

නොදැන කරන පණ්ඩිත කතා

ඉතියෝපියාව තම මුදල් ඒකකයට නිදහසේ පාවෙන්නට දී නැත. අනෙක් අතට එරටට රත්රන් නිධි තිබේ. කෝපි හැරුණුවිට වැදගත්ම අපනයන භාණ්ඩය වන්නේ රත්රන්ය. මේවා දන්නේ නැතිව ශ්‍රී ලංකාව ඉතියෝපියාවක් කරන්න හදන්නේ මහා පණ්ඩිතයන් ලෙස පෙනී සිටිමිනි.

සුඩානය හා සෝමාලියාව ගැනද මේ අය කතා කර තිබුණි. එම රටවලද ආර්ථික කළමනාකරණය හොඳින් සිදු නොවෙයි. උද්ධමනය සියයට විස්ස ඉක්මවා ඇත. සුඩානයට තෙල් සම්පත් ඇත.

සෝමාලියාව ගැන කතා කරන්නේ නොදන්නාකම පෙන්නුම් කරමිනි. එරටේ රජයේ මුදල් ඒකකයට රට තුළම හොඳ පිළිගැනීමක් නැත. ඒ නිසා පෞද්ගලික බැංකු ආදියෙන් නිකුත් කළ මුදල් ඒකකද ඇති බව අන්තර්ජාලයේ සඳහන්ය. එමෙන්ම ප්‍රධාන ගනුදෙනු සඳහා යොදාගන්නේ ඇමෙරිකානු ඩොලර්ය. විමල් වීරවංශලාගේ ආදර්ශමත් රටවල තත්ත්වය ඒකය.

රුපියල අවප්‍රමාණය වීමක් ලෙස හැඳින්විය හැක්කේ ඩොලරය මෙන්ම අනෙක් මුදල් ඒකක ඉදිරියේ අගය අඩුවීමකි. නමුත් දැන් සිදුව තිබෙන්නේ එවැන්නක් නොවේ. ලෝකයේ සියලු මුදල් ඒකක ඉදිරියේ ඩොලරය ශක්තිමත් වීමකි. විශේෂයෙන්ම ආසියානු කලාපයේ මුදල්වලට මෙම කරුණ බලපා තිබේ.

මේ වනවිට ලෝකයේ වේගයෙන්ම වැඩෙන බලවත් ආර්ථිකය බවට පත්ව ඇත්තේ චීනය හා ඉන්දියාවයි. එම රටවල තවම කිසිදු ආර්ථික අර්බුදයක් නැත. එසේ වුවද චීනයේ යුආනය සියයට 11කින්ද ඉන්දියානු රුපියල සියයට 13කින්ද අවප්‍රමාණ වී ඇත. ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණවීම සියයට හතකි.

මහින්ද රුපියල රැක්ක හැටි අමුතුවෙන් කියන්නට වුවමනාවක් නැත. ඔහුගේ කාලයේ ඇත්තටම රුපියල වැටුණේය. ඒ අපනයන ආදායම අඩුවීම නිසාය. යුරෝපයේ ජී. එස්. පී. ප්ලස් අහිමි කර ගැනීමෙන් ඇඟලුම් කර්මාන්තයේ වැටීමට තත්ත්වය හැදුවේය. මාළු අපනයනද අහිමිකර ගත්තේ තහනම් පන්න ක්‍රම හා ධීවර කර්මාන්තය අධීක්ෂණය නොකිරීම නිසාය. ආර්ථිකය කෙළවෙන තවත් බොහෝ දේ කළේය. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි අටක තිබූ අපනයන ආදායම සියයට දොළහට බස්සා ගත්තේ එහෙමය.

එවිට රුපියල කඩා ව‍ැටෙන්නට විය. මහින්ද – කබ්රාල් යුගය එය පාලනය කළ හැටි අපි දුටුවෙමු. ඒ මහ බැංකුව සතු මුදල් සංචිතවලින් වෙළෙඳ පොළට ඩොලර් නිකුත් කිරීම මඟිනි. එසේ කළේ ණයට ගත් මුදලිනි. 2011/12 කාලයේ එලෙස රුපියල රැකගන්නට යෙදු ඩොලර් ප්‍රමාණය බිලියන 4.5කි. ඒත් රුපියල කඩාවැටීම නැවතුණේ වෙළෙඳපොළට ඩොලර් දානකම් පමණකි. එය නැවතූ වහාම රුපියල් සියයට 13කින් බාල්දු විය. සියයට 7කින් රුපියල ‍ඩොලරයට සාපේක්ෂව පමණක් බාල්දුවී ඇතැයි ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට කියන මහින්ද ඉල්ලා අස්වෙන්නට තිබුණේ එදාය. එදා එසේ නොකළ මහින්ද දැන් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට කීම විහිළුවකි.

රුපියල බේරාගැනීමේ මහින්ද – කබ්රාල් ක්‍රමය ගැන හෙළිදරව්වක් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබලිව්. ඒ. විජේවර්ධන මහතා කර තිබුණි. ඒ තායිලන්තයේ උදාහරණයකි. එරට මුදල් ඒකකය ස්ථාවරව තබා ගැනීමට මහ බැංකුවට අවශ්‍ය විය. ඉලක්කය වූයේ ‍ඩොලර් එකක් බාත් 25ක තියාගන්නටය. ඒ සඳහා ඩොලර් වෙළෙඳපොළට නිකුත් කළේ මහින්ද – කබ්රාල් ක්‍රමයටය. ඩොලර් බිලියන විසි පහක්ම යෙදවීය. ඉන්පසු එය අතහරින්නට සිදුවුයේ සංචිත නැති නිසාය. සිදුවූයේ ඩොලරයක් බාත් 50 දක්වා පහත වැටීමයි. ඒ මහ බැංකු අධිපතිට ගෙදර යන්න සිදුවුණා පමණක් නොව ඩොලර් බිලියන 4.6ක විශාල දඩයක් ගෙවන්නටද සිදුවිය. මහින්ද කබ්රාල් යුගය මේ රටේ කරන්නට ගිහින් ඇනගත්තේද ඒ ක්‍රමයයි. ඒ තායිලන්තයේ එම සිදුවීමෙන් දසකයකට වැඩි කලක් ගතවී තිබියදීය.

මේ කට්ටිය තවත් කතාවක් කීවේය. එය නම් ලෝකයේ වැඩිවනවිට වැඩි කරන්නත් අඩු කරන විට අඩු කරන්නත් ආණ්ඩු ඕනෑ නැති බවය. ඒක නම් මේ රටේ ජනයා අත්දැකීමෙන්ම දනිති. මහින්දට ආණ්ඩු ඕනෑ වැඩිවන විට වැඩි කරන්නටත් අඩු වනවිට අඩු නොකර සිටින්නටත්ය.

ආණ්ඩු කළ හැටි

ඒ කාලේ ආණ්ඩු කළේ එහෙමය. ලෝකයේ තෙල්මිල වැඩි වනවිට රටේ මිල වැඩි කළද අඩු වූ විට අඩු කළේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළද එය නොකළේය. 2015 ඡන්දය කිට්ටු වන විට තෙල් බැරලය ඩොලර් 50ට බැස තිබුණද මහින්ද මිල අඩු කළේ රුපියල් පහකිනි. විමල් කියන හා මහින්ද කරන ආණ්ඩු කෙරිල්ල එහෙමය.

ණය ගැනීම ගැනද බොරු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමට මේ කණ්ඩායම මැලි වුයේ නැත. ඒ ගැන වැඩිය කතාකරන්න අවශ්‍ය නොවන්නේ ගත් ණය හා කළ වැඩ මෙන්ම වැඩවල ප්‍රතිවිපාකද මෙරට ජනයා දන්න නිසාය. එසේ වුවද එකක් කිව යුතුය. එනම් රජයේ විවිධ ආයතන මගින් හොරාට ණය ගෙන තිබූ බවයි. එම ණය කන්දරාව සොයා ගැනීමට වෝහාරික විගණයක් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ෙල් සහය ලබාගෙනයි. සොයාගත් ණය කන්දරාව ඩොලර් බිලියන 8,700කි. ණය ගැනීම ගැන කෙරුවාව ඒකය. දැන් කතා කරන්නේ මේ සියල්ල ජනතාව නොදන්වා කියා සිතාගෙනය.

රුපියලේ අගය රැකගැනීමේ සාර්ථක ක්‍රමය වන්නේ රටේ අපනයන ආදායම ඉහළ දමා ගැනීමයි. එමෙන්ම විදෙස් ආයෝජන හා වෙනත් මාර්ගවලින් ලබන ආදායම වැඩිකර ගැනීමයි. ආණ්ඩුව කරමින් ඉන්නේ ඒකය. මේ වනවිටත් එම ක්‍රියාමාර්ග සාර්ථක වෙමින් පවතියි.

ශ්‍රී ලංකාව අපනයනයෙන් ලැබුණු වැඩිම ආදායම පසුගිය වසරේ වාර්තා කළේය. ඒ ඩොලර් බිලියන 11.3කි. මේ වසරේ හදන්නේ වාර්තාව අලුත් කරන්නය. ඉලක්කය බිලියන 17.2කි. සංඛ්‍යාලේඛන පෙන්වන්නේ එම ඉලක්කය කරා යන බවයි.

විදෙස් ආයෝජනද වාර්තාගත ඉහළම අගය පසුගිය වසරේ වාර්තා කළේය. බිලියන 15කි. එයද දිගටම වැඩි කර ගැනීමට ඉලක්ක කොට ඇත. ඩොලරයේ ඉහළ යෑමෙන් මෙම අංශයේ තරමක පසුබෑමක් ඇතිවිය හැකිය. ඇමෙරිකානු වෙළෙද පොළට ආයෝජන ආකර්ෂණය වන නිසා ආසියාවට බලපෑමක් ඇතිවිය හැකිය. එසේ වුවද ආයෝජන ලැබීම සැලකිය යුතු මට්ටමක තවමත් පැවැතීම වැදගත් සාධකයකි.

සංචාරක ව්‍යාපාරයේද දකින්නට ඇත්තේ පිබිදීමකි. එමෙන්ම විදේශ වත්කම් උපයාගත හැකිය. මේ සියල්ල ආණ්ඩුව දැනටමත් කරගෙන යන වැඩයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් අපනයන කර්මාන්ත හා කෘෂිකර්මයට විශාල පිටිවහලක් ලබාදී තිබේ. ඒ මගින්ද කෙරෙන්නේ රටේ ආර්ථිකයත් විදේශීය ඉපයීමත් ඉහළ නැංවීමයි.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හා ඉදිරියට ඇති එට්කා හා චීන ගිවිසුම් මෙන්ම අන් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමටද ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එමගින්ද කෙරෙන්නේ ආයෝජන ලබා ගැනීමට හා වෙළෙඳ පොළවල් විවෘත කර ගැනීමට ක්‍රියා කිරීමයි.

මෙම කටයුතු සාර්ථක කර ගැනීමට ආණ්ඩුවට තව ටික කලක් ගතවනු ඇත. කෙසේ වෙතත් අපට දැනටමත් පෙනෙන්නට තිබෙන්නේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවෙ පොලී අනුපාත ඉහළ දැමීමෙන් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වන්නේ එලෙස ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිද්දීය.

අනෙක් අතට ඩොලරය ශක්තිමත්වීම ශ්‍රී ලංකාවට විනාශයක් වන්නේද නැත. මෙයින් සිදුවන්නේ අපගේ අපනයනවලට වැඩි රුපියල් ආදායමක් ලැබීමයි. එසේ නැතිනම් අපනයනවල තරගකාරීත්වය ඉහළ යාමයි. එය අපනයන තවත් ඉහළ දමා ගැනීමට අවස්ථාවකි.

විදේශවල සිටින ශ්‍රමිකයන්ටද මෙය වාසිදායක තත්ත්වයකි. ඔවුන් ඩොලර්වලින් එවන මුදලින් මෙරට සිටින පවුලේ අයට දැන් වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබේ. ඔවුන්ටද මෙය වාසිදායකය. සංචාරක කර්මාන්තය වැනි අංශවලටද එම වාසිය හිමිවනු ඇත.

ඇත්තටම වෙනදේ

සාමාන්‍යයෙන් මුදල අවප්‍රමාණවීමේ අවාසිය වන්නේ ආනයන මිල ඉහළ යෑම නිසාය. එයින් උද්ධමනය ඉහළයෑමය. එසේ වුවද මෙවර සිදුවී ඇත්තේ අපි භාණ්ඩ අපනයනය කරන ඇමෙරිකාවට, යුරෝපයට බලපාන ඩොලරයේ අගය ඉහළ යන අතර, අපි වැඩි වශයෙන් භාණ්ඩ ආනයනය කරන ඉන්දියාව හා චීනය වැනි රටවල මුදල් ඒකක රුපියල ඉදිරියේ අවප්‍රමාණය වී තිබීමයි. එහි ප්‍රතිඵලය විය හැක්කේ එම රටවලින් ආනයන කරන භාණ්ඩවල මිල පහත වැටීම හෝ එම මට්ටමේම පැවතීමයි. ඒ අනුව බලනවිට පෙනෙන්නේ ඩොලරය ඉහළ ගොස් ඇත්තේ අපට වාසිදායක ලෙස බවයි. මෙරට වැඩි වශයෙන් භාණ්ඩ ගෙන්වන රටවල මුදල් ඒකක රුපියලට වඩා අවප්‍රමාණය කරන බවයි. එමනිසා ඩොලරයේ මෙම ඉහළ නැගීම ගැන අනවශ්‍ය තරම් කරදරවීම නොකළ යුතුය.

අප කලබල විය යුත්තේ රුපියල අවප්‍රමාණ වීම සමග උද්ධමනය වැඩි වන්නේ නම්සංස්කරණයය. බඩු මිල ඉහළ යන්නේ නම්ය. එසේ වුවද එවැනි තත්ත්වයක් තවම පෙන්නුම්කොට නැත. ඩොලරය වේගයෙන් ශක්තිමත් වූයේ සැප්තැම්බරයේ වුවද ඊට පෙරද එය ශක්තිමත් වෙමින් තිබිණි. කෙසේ වෙතත් අගෝස්තුවේ උද්ධමනය අගය වාර්තා වූයේ සියයට 2.5ක් වශයෙනි. මහබැංකුවේ ඉලක්කය වූ 4 -6 සීමාවටත් පහළිනි. එය ඉතාම සැනසිලිදායක තත්ත්වයකි.

එබැවින් මහින්ද කල්ලියේ සාමාජිකයන්ට අපට කියන්න තියෙන්නේ ඩොලරය අල්ලගෙන උඩ පනින්නට එපා කියාය. උඩ පැන්නොත් වෙන්නේ තවත් වැටෙන එක පමණකි. රටට හෝ ආණ්ඩුවට කිසි දෙයක් වෙන්නේ නැත.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *