නිර්පාක්ෂික ජනාධිපති – එම් ඕ ඒ ද සොයිසා

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වර්ෂයේ ජනවාරි මාසයේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.3 වන වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය. මෙම වගන්තියෙන් අදහස් වන පරිදි ජනාධිපතිවරයාට අවශ්‍ය නම් 2019 නොවැම්බර් මස 10 දිනට පසුව ඉදිරියට එන මාස දෙක තුළ ඕනෑම දිනක ජනාධිපතිවරණය පැවැත්විය හැක.

මෙම විධිවිධානයට පටහැනිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.3(අ) වගන්තියට අනුව ධුරය දරන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තම ධුර කාලයේ වසර හතරක් ඉක්මවූ පසු ඉදිරියට ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනා කිරීමේ බලය හිමිවෙන අතර ඒ අනුව එවැනි අභිලාෂයක් තමන් තුළ පවතින බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළහොත් එහි දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත යුත්තේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනෙක ප්‍රකාශ කළේ නියමිත දිනට ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමන් තුළ අදහසක් නොමැති බවය. එබැවින් ජනාධිපතිවරණයක් නියත ලෙසම පවත්වනු ලබන්නේ 2019 දෙසැම්බර් 10 දායින් පසුව එළඹෙන මාසය තුළ බව උපකල්පනය කළ හැක.

ජනාධිපතිවරණය ගැන කතා කිරීමේ දී මතුවන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ඉදිරිපත්වන අපේක්‍ෂකයින් කවුරුන්ද යන්නය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ පෙළේ නායකයින් ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපතිවරණය සඳහා එම පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ දැනට එම ධුරය දරන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය. එක්සත් ජාතික පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව එම පක්‍ෂයේ ජනාධිපතිධුර අපේක්‍ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය. පොහොට්ටු පක්‍ෂය ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු තෝරා පත් කර ගැනීම සමබන්ධයෙන් බරපතළ අර්බුදයක පැටලී සිටින තත්ත්වයකුයි මේ වනවිට දැකිය හැකි වන්නේ.

හේතුව එම කණ්ඩායමේ නායකත්වය දරන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොහැකි වීමත් ඒ වෙනුවට විකල්ප අපේක්‍ෂකයකු තෝරා පත් කර ගැනීමට පොහොට්ටු පක්‍ෂය ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමට මේ දක්වාම නොහැකි වීමත්ය. ජනතා විමුක්ති පෙරමුණද මේ දක්වාම ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කොට නොමැත. ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්‍ෂද ජනාධිපතිවරණය පිළිබඳව මේ දක්වාම තමන්ගේ අදහස ස්තීරව ඉදිරිපත් කර නොමැත.

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දරන අදහස මෙයාකාර වූවද මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය නම් වූ සිවිල් සමාජ ව්‍යාපාරය මගින් ප්‍රකාශ කරන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා නිර්පාක්‍ෂිකයකු ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරය අදහස් කරන බවය. 2015 ජනවාරි මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහාය දැක්වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටය. නමුත් අද වනවිට දැකිය හැක්කේ එම ව්‍යාපාරය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා

සමඟ විරසක වී සිටින බවය. හේතුව නිර්පාක්‍ෂික පදනමක් මත බලයට පත් වී නොබෝ දිනක් ගතවීමට ප්‍රථමයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාක්‍ෂිකයකු වී ජනතාවට දුන් පොරෙන්දු උල්ලංඝනය කිරීමය. මේ නිසයි සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය යළිත් වරක් නිර්පාක්‍ෂිකයකු ජනාධිපති තනතුරට පත්කළ යුතුය යන අදහස ඉදිරිපත් කරන්නේ.

මෙහි දී මතුවන ප්‍රශ්නය වන්නේ නිර්පාක්‍ෂික ජනාධිපති අපේක්‍ෂකයකු පිළිබඳ අදහස දේශපාලන යථාර්ථවාදය සමඟ කොතරම් දුරට ගැලපෙනවාද යන්නය. දේශපාලනයේ ස්වභාවය සහ දේශපාලනය සහ මනුෂ්‍යයන් අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය මැනවින් දන්නා අයකුට නිර්පාක්‍ෂික ජනාධිපතිවරයකු පිළිබඳ අදහස පෙනෙන්නේ ඉතාම ඉහළ මට්ටමේ මනෝරාජික අදහසක් ලෙසය. හේතුව එක් අතකින් ජනාධිපති තනතුර රටේ දේශපාලන ආයතන පද්ධතියේ ඉහළින්ම තිබෙන මුළුමනින්ම දේශපාලනීකරණය වූ තනතුර වීමත් නිර්පාක්‍ෂික පදනමක් මත එම තනතුරට පැවරී ඇති වැඩ රාජකාරි කළ නොහැකි වීමත්ය. අනෙක් අතින් දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක් තුළ දේශපාලනීකරණය නොවූ සහ පාක්‍ෂික ළැදියාවන්ගෙන් මුළුමනින්ම වියුක්ත වූ පුද්ගලයකු එම තනතුරට පත්කිරීම සඳහා සොයා ගැනීම කිසිසේත්ම කළහැකි දෙයක් නොවීමය. මෙම තත්ත්වය තේරුම් ගැනීමට නම් ප්‍රථමයෙන්ම දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුය. දෙවනුව මිනිසුන් සහ දේශපාලනය අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය තේරුම් ගත යුතුය.

දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ රාජ්‍යයේ බලය අල්ලා ගැනීම පිණිස පුද්ගලයින් අතර හෝ පුද්ගල කණ්ඩායම් අතර හෝ පවතින බල අරගලය වේ. බල අරගලය එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය හරහා කළහැක. නැතිනම් විප්ලවකාරී ලෙස උණ්ඩය හරහා කළහැක. මේ කුමණ ආකාරයකට දේශපාලනය කළද මිනිස් සමාජයක් තුළ දේශපාලනය පැන නගින්නේ මූලික කරුණු දෙකක් පදනම් කරගෙනය.

එයින් ප්‍රථම කරුණ දේශපාලන සමාජයක් මුහුණ දෙන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳීම සඳහා පොදු අභිමතය මත පිළිගත් එක් ප්‍රතිපත්තියක් හෝ වැඩ පිළිවෙළක් නොමැති වීමය. වෙනත් ආකාරයකට කියනවා නම් දේශපාලන සමාජයක් මුහුණ දෙන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳීම සඳහා අන්‍යෙන්‍ය වශයෙන් එකිනෙකට පරස්පර දේශපාලන හා ආර්ථික මතවාද මත පදනම් කරගත් විකල්ප ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ කිහිපයක් දේශපාලන සමාජය තුළ පැවතීමය. මෙම දේශපාලන හා ආර්ථික මතවාද එක්කෝ ධනවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් විය හැක. නැතිනම් සමාජවාදය මත පදනම් විය හැක.

එසේත් නැතිනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් විය හැක. දෙවැන්න වන්නේ එම විකල්ප ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ රාජ්‍ය බලය අල්ලා ගැනීම මගින් ක්‍රියාවට නැංවීම අරමුණු කරගත් දේශපාලන රැඟුම්කරුවන් නැතිනම් දේශපාලන ක්‍රියාධරයින් දේශපාලන සමාජයක් තුළ සිටීමය. මෙම රැඟුම්කරුවන් නැතිනම් දේශපාලන ක්‍රියාධරයින් එක්කෝ පුද්ගලයින් විය හැක. නැතිනම් දේශපාලන පක්‍ෂ විය හැක. නූතනයේ බහුලව දැකිය හැක්කේ දේශපාලන පක්‍ෂ පෙරමුණ ගැනීමය. මෙයින් පැහැදිලි වන කරුණු දෙකක් තිබේ. එයින් එකක් දේශපාලනය වූ කලී දේශපාලන සමාජයක් මුහුණ දෙන ප්‍රශ්න විසඳීම අරභයා ඉදිරපත් වන විකල්ප ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙළ අතර ඇතිවන ගැටුම හේතුවෙන් පැන නගින දෙයක් වන බවය.

දෙවැන්න ප්‍රතිපත්තිමය වශයෙන් පවතින බැඳීමකින් තොරව කෙනෙකුට දේශපාලනය කළ නොහැකි බවය. එනම් දේශපාලනය නිර්පාක්‍ෂිකව කළහැකි දෙයක් නොවන බවය. මෙයින් එළඹිය හැකි නිගමනය වන්නේ දේශපාලනය කරන්නේ කවරෙක්ද එම පුද්ගලයා එක්කෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය පිළිගත් අයකු විය යුතු බවය. නැතනිම් සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය පිළිගත් අයකු වියයුතු බවය. එසේත් නැතිනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් අයකු විය යුතු බවය. මේ කිසිම මතවාදයක් පිළිනොගන්නේ නම් අඩුම වශයෙන් පැසිස්ට්වාදියකු විය යුතු බවය. මෙයින් පෙනී යන්නේ නිර්පාක්‍ෂික වීම යන්න හුදු මනෝරාජික උපකල්පනයක් විනා ප්‍රායෝගික දේශපාලනය තුළ ක්‍රියාවට නැංවිය හැකි ප්‍රායෝගික යථාර්ථයක් නොවන බවය.

මිනිසුන් සහ දේශපාලනය අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය විමසා බැලීමේ දී ඉහත කී තත්ත්වය තවදුරටත් පැහැදිලි වේ. මිහිපිට ජීවත් වන සෑම මිනිස් ජීවියෙක්ම උපත ලබන්නේ රාජ්‍යයක් තුළය. ජීවත් වන්නේ රාජ්‍යයක් තුළය. මිය යන්නේ රාජ්‍යයක් තුළය. යමකු මේ ලෝකය තුළ බිහිවූ විගස කළයුතු ප්‍රථම කාර්ය වන්නේ ඒ බව රාජ්‍යයට දන්වා ලියාපදිංචි වී උප්පැන්න සහතිකයක් ලබා ගැනීමය. යමකු මියගිය විටක වහාම කළයුතු වන්නේ ඒ බව රාජ්‍යයට දන්වා මරණ සහතිකය ලබා ගැනීමය.

මෙම සහතික දෙක අතරතුර මිනිසකු ජීවත් වන කාලය තත්පර ගණනාවක සිට අවම වශයෙන් අවුරු එකසිය විස්සක් විය හැක. ජීවත් වන කාල ප්‍රමාණය කුමක් වූවද එම කාලය තුළදි මිනිසුන්ගේ පැවැත්ම සඳහා කෙරෙන හුස්ම ගැනීමේ කාර්යය හැරුන විට අනෙක් සෑම දෙයක්ම පාලනය කරන්නේ රාජ්‍යය විසිනි. නිදසුන් ලෙස මීට ඉහතින්ද සඳහන් කළ පරිදි යමකු මේ ලෝකය තුළ උපත ලද විගස රාජ්‍යයේ ලියාපදිංචි වී උප්පැන්න සහතිකය ලබාගත යුතුය. ඊට ප්‍රථමයෙන් විවාහය ආණ්ඩුවේ ලියාපදිංචි කළ යුතුය. දරු උපත සඳහා යා යුත්තේ ආණ්ඩුවේ රෝහලකටය. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යා යුත්තේ ආණ්ඩුවේ පාඨශාලාවකටය. උසස් අධ්‍යාපනය සඳහා යා යුත්තේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයකටය.

අසනීප වූ විටක ප්‍රතිකාර ගැනීම සඳහා යා යුත්තේ ආණ්ඩුවේ රෝහලකටය. ගමනක් බිමනක් යා යුත්තේ ආණ්ඩුවේ බස්රථයක හෝ ආණ්ඩුවේ දුම්රියකය. රැකියාවක් කරන අවස්ථාව එළඹුන විට සොයා යන්නේ ආණ්ඩුවේ රැකියාවක්ය. රැකියාවෙන් විශ්‍රාම ගියපසු විශ්‍රාමික දීමනා ගෙවන්නේ ආණ්ඩුවෙන්ය. අවවරප්‍රසාදිත ජනතාවට සමාජ සුබසාධන සේවාවන් සපයන්නේ ආණ්ඩුවෙන්ය. නිවසට ජලය සහ විදුලිය සපයන්නේ ආණ්ඩුවෙන්ය. කෑමබීම, ඇඳීම, පාරේ ගමන් කිරීම යනා දී මේ සියල්ල කළයුතු වන්නේ ආණ්ඩුවෙන් පනවන නීතිරීතිවලට යටත්වය. අඩුම වශයෙන් තමන්ගේ ජීවිතය එපා වූ විට කෙනකුට සියදිවි හානිකර ගැනීමට පවා අයිතිය නොමැත.

හේතුව ආණ්ඩුවේ නීතියෙන් එය වරදක් බවට ප්‍රකාශ කර තිබීමය. මේ සියල්ල අවසානයේ දී කෙනකු මියගිය විට ඒ බව රාජ්‍යයට දන්වා අවසාන කටයුතු කිරීමට රාජ්‍යයෙන් දෙන මරණ සහතිකය ලබා ගත යුතුය. ඉන් පසුව භූමදානය කරන්නේ නම් එය කළ යුත්තේ ආණ්ඩුවේ සුසාන භූමියකය. ආදාහන කරන්නේ නම් එය කළ යුත්තේ ආණ්ඩුවේ ආදාහනාගාරයකය. මිනිස් පැවැත්ම කෙරෙහි රාජ්‍යයේ සහ ආණ්ඩුවේ මැදිහත් වීම මෙයින් අවසන් වන්නේ නැත. මියගිය අය දේපල හිමියකු නම් සහ ඒ ගැන අවසන් කැමති පත්‍රයක් නොමැතිව මියගියේ නම් එම දේපල සම්බන්ධයෙන් අවසාන තීන්දුව ගත යුත්තේ රාජ්‍යයේ නීතියට අනුකූලවය. ඉහත දැක්වූ සමහර කාර්යයන් කිරීම හා සේවාවන් සැපයීම පෞද්ගලික අංශය විසිනුත් කළද එසේ කළ යුත්තේ රාජ්‍යයෙන් පනවන මෙහෙයුම් නියෝගවලට යටත්වය.

මෙයින් පෙනී යන්නේ මිනිස් පැවැත්ම කෙරෙහි රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය කොතරම් තදින් බලපා තිබෙනවාද යන්නය. ඉතාම කෙටියෙන් කියනවා නම් මීට ඉහතින්ද දැක්වූ පරිදි මිනිස් පැවැත්මේ සමස්ත ක්‍රියාකාරිත්වයෙන් මේ වනවිට රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ නීතියකින් පාලනය නොවනවා නම් එසේ නොවන එකම දෙය හුස්ම ගැනීම පමණි. ඒ තරමටම මිනිසාගේ පැවැත්ම රාජ්‍යයේ සහ ආණ්ඩුවේ පාලනයට යටත්ව ඇත, මේ සියල්ල කෙනකුට පෙනී යනු ඇත්තේ දෛනික ජීවිතයේ දී අත්දැකීමට සිදුවන සාමාන්‍ය සිදුවීම් ලෙසය. නමුත් කරුණු විමසීමේ දී පෙනී යන්නේ මේ සියල්ල වක්‍රව හෝ සෘජුව දේශපාලනය සමඟ සම්බන්ධ වන බවය. මෙම කාර්යයන් රාජ්‍යයට හෝ ආණ්ඩුවට හිතුවක්කාරී ලෙස කළ නොහැක.ඒවා කළ යුත්තේ පිළිගත් යම් දේශපාලන හා ආර්ථික මතවාදයක් අනුවය.

මේ නිසයි දේශපාලනය නිර්පාක්‍ෂිකව කළ නොහැකි දෙයක් බවට පත්වන්නේ. එම නිසාය. දේශපාලනය ප්‍රතිපත්තිමය දෙයක් බවට පත්වන්නේ. දේශපාලනය කරන කොයි කවුරුනුත් මේ පාඩම ප්‍රගුණ කළ යුතුය. කළ යුත්තේ නිර්පාක්‍ෂික මනෝරාජිකවාදයක් ගැන කථා කිරීම නොව ප්‍රායෝගික වශයෙන් දේශපාලනය කළහැකි දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් තෝරාගෙන ඒ අනුව දේශපාලනය කිරීමය.

මේ සඳහා ඇත්තේ ධනවාදය, සමාජවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. අත්දැකීමෙන් පෙනීගොස් තිබෙන්නේ දේශපාලන සමාජ මුහුණ දෙන ප්‍රශ්න මුළුමණින්ම විසඳීමට මෙම මතවාද තුනම අසමත් වී තිබෙන බවය. නමුත් මේ අතුරින් වැටි වැටී හෝ ඉදිරියට පැමිණ තිබෙන්නේ ධනවාදය පමණි. දේශපාලනය කරන්නවුන් මෙම යථාර්ථය තේරුම් ගත යුතුය. ඒ අනුව එම ප්‍රතිපත්තිය අනුගමනය කරන දේශපාලන පක්‍ෂය සමඟ බද්ධ වී නිර්පාක්‍ෂික දේශපාලනයක් නොව සැබෑ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කිරීමය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *