කරූ සහ මහින්ද – අනුර සූරියබණ්ඩාර

පසුගිය දිනවල මෙරට දේශපාලන කතිකාවේ වැදගත් සන්ධිස්ථානයක් ගන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ ඉන්දීය සංචාරයයි .මෙරට මහින්ද හිතවාදී ජනමාධ්‍ය පෙන්වන්නට උත්සහ කලේ ,ඉන්දියාව මහත් හරසරින් මහින්ද පිළිගෙන,ආහාර පානදියෙන්ද, කතා ලතාවන් ගෙන්ද සංග්‍රහ කොට ඔහු නැවත ලංකාවට එවූ බව කියන්නටය.ඔහුගේ සංචාරය පිළිබද කියවුණු අනෙක් එකම පුවත ඔහු ඉන්දීය පුවත්පතකට සැපයු සම්මුඛ සාකච්ඡාවය.ඉනුත් අනාගත ජනාධිපති පිලිබදව ඔහු කි දේ විශේෂිත විය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඔහු “චිරාත් හින්දුස්ථාන් සංගම්”විසින් සංවිධානය කල “ඉන්දු ශ්‍රීලංකා සබදතා සහ එහි අනාගතය” යන දෙසුමද කළේය.ඊට අමතරව රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමගද සාකච්ඡා කළේය. එකී සාකච්ඡා කලේ වැසුණු දොරක පිටුපසදිය. එහිදී ඔහු අගමැති මොදී සමග කතා කලේ කුමක්ද? කිසිවෙකු දන්නේ නැත! නායකයෝ දෙපලම එහිදී  සිදුවූ දෙය නිවැරදිව නොකියන්නට වගබලා ගත්හ. කි එකම දෙය මෝදී රාජපක්ෂ සබදතා තහවුරු වන්නට පදනම වැටුණු බවය.මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා එකී සාකච්ඡා ගැන කියා තිබුනේ සම්බන්ධතා උණුසුම් වුවා නොහොත් උද්දීපනය වුවා වැනි දෙයකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂයට ඉන්දීය ආණ්ඩුව සහ ශ්‍රීලංකා ආණ්ඩුව අතර සම්බන්ධතාවන්හි ගැටළු රාශියක් තිබේ.එකක් එට්කා හිවිසුමයි.එට්කා වෙනුවෙන් දිවි පුදන්නට විමල්  විරවංශ, උදය ගම්මන්පිල, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආදී මහින්ද පාර්ශවයේ පුද්ගලයින් හා සංවිධාන සැරසී සිටිති.ඉන්දීය ගිලන් රථ සේවයටද මේ අය විරුද්ධය මත්තල ඉන්දියාවට දෙනවටත් විරුද්ධය .ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය ඔයිල් සමාගමට දුනහොත් පෙඅට්‍රල් වත්කරගෙන ගිනි තබා ගන්නට පවා ඔවුන් දෙවරක් සිතන්නේ නැති බවක් පෙනේ.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය පුවත්පතට පැවසුවේ ඊලඟ ජනාධිපතිවරයා ට තමා ඉදිරිපත් වීම ගැටලු සහගත බවත් සිය පුත්‍රයාට වයස ප්‍රශ්නයක් ඇතිබවත්ය. එහෙයින් තම සහෝදරයා ඉදිරිපත් වියහැකි බවය.ඔවුන් එසේ ඉදිරිපත් ව ජයගතහොත් එට්කා සම්බන්ධයෙන් ගනු ලබන පියවර මහින්ද  – මෝදි සාකච්ඡා වලදී අවදානයට ලක්වූයේද?

එසේම ත්‍රී මලය තෙල් ටැංකි ,මත්තල ගුවන් තොටුපළ යන දෙකෙහි අනාගතය ගැන එහිදී සාකච්ඡා කලේද? එසේනම් ඒ මොනවාද ? මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පක්ෂයේ හෝ ඔහු සමග එම ඉන්දීය සංචාරයට සම්බන්ධ වූ කිසිවෙකු හෝ ඒ ගැන වචනයක් වත් මෙතෙක් පවසා නැත.

ඉන්දීය සංචාරයට මහින්ද රාජපක්ෂ මහතා සමග  සහභාගි වූයේ නාමල් රාජපක්ෂ ,ලොහාන් රත්වත්තේ ,ජී එල් පීරිස් යන අයය. මෙරට ජනමාධ්‍ය කිසිවක් ඔවුන්ගේ හෝ මහින්ද රාජපක්ෂ මහතා මෝදි සමග කල සාකච්ඡාවේදී එට්කා ,මත්තල ,ත්‍රී මලය ආදිය ගැන අවදානය යොමු කලාද කියාවත් විමසා නැත.මහින්ද හිතවාදී මාධ්‍ය වලට සමාව දියහැකි නමුත් රාජ්‍ය මාධ්‍ය පවා ඒ ගැන විමසිලිමත් නොවීම පුදුමයකි.ඔවුන් ඒ ගැන කිසිවක් කියා නැත.

යම් හෙයකින් රාජපක්ෂ වරුනට මෙරට පාලන බලය හිමි වුවහොත් ඔවුන්  මත්තල ,එට්කා ,ත්‍රී මලය සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙත මෙරටට හෙලිදරව් කලයුතුය. එසේම එම පිලිවෙත ඉන්දියාවට ඉදිරිපත් කලේද ඊට ඉන්දියාව දැක්වුවා ප්‍රතිචාරය කුමක්ද යන්න මෙරට ජනතාවට අනාවරණය කලයුතුය . එය දැනගැනීමේ අයිතිය ජනතාවට තිබේ .

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දියානු  සංචාරය තරමට හෝ ඊටත් වඩා වැදගත් ඉන්දියානු සංචාරයක් ඒ දිනවලම සිදුවිය .ඒ කතානායක වරයා ඉන්දීය සංචාරය සිදුවූයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සමගය.නමුත් එම සංචාරය මෙරට මාධ්‍ය වලට වැදගත් වී තිබුණේ නැත .

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ,විපක්ෂ නායක ආර් සම්බන්ධන් ,ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද ,අමාත්‍ය මනෝගනේශන් ,අමාත්‍ය රාවුෆ් හකීම් ,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක එකී නියෝජිත පිරිසට ඇතුලත් වූහ .

එහිදී කල කතාබහ රහස් සාකච්ඡා වූයේ නැත .කතානායක කරූ ජයසූරිය මහතාත් ,අග්‍රාමාත්‍ය මෝදිත් විවුර්තව කතා කලහ. නියෝජිත පිරිසේ සියල්ලන්ටම කතා කාලයක් ලබාදී තිබුනි.

එහිදී ඩග්ලස් දේවානන්ද මහතා ඉන්දීය අගමැති වරයාට යෝජනා තුනක් කල බව සදහන් විය. එකක් ඉන්දියාවේ නගර කිහිපයක් සහ යාපනය අතර ගුවන් ගමන් සබඳතා දියුණු කිරීම සම්බන්ධවය. අනෙක ඉන්දියාවෙන් ලබාදෙන නිවාස 50000කින් යුතු උතුරු නැගෙනහිර නිවාස වැඩසටහන පුලුල් කිරීම පිලිබදවය. තෙවැන්න 13 වන සංශෝධනය පදනම් කරගත් දේශපාලන විසදුමක් පිලිබදවය . සම්බන්ධන් මහතා පවසා තිබුණේ දේශපාලන විසදුමක් ඉතා වැදගත් බවය.ඒ සදහා සුදුසුම අවස්ථාව වන බැවින් එය මගහරවා නොගතයුතු බවය. හකීම් මහතා නැගෙනහිර දුම්රිය ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්නට ඉන්දියාවේ සහයෝගය ඉල්ලා සිටි බව කියවින.

ඉන් කියවෙන්නේ කුමක්ද ? මහින්ද රාජපක්ෂ මහතා ස්වකීය උන්නතිය තමපුතුගේ ,සිය පවුලේ උන්නතිය උදෙසා ඉන්දියාවේ සංචාරය කල අතර කතානායක වරයාගේ නියෝජිත පිරිස රටේ දියුණුව වෙනුවෙන් ඉන්දියාවේ සහය ලබාගන්නට සිය ඉන්දීය සංචාරය උපයෝගී කරගත් බවයි.අමුතුවෙන් නොකීවද රට වෙනුවෙන් කරන විදෙස් සංචාරයක් සහ පවුල වෙනුවෙන් කරන සංචාරයක් අතර වෙනස ජනතාව වටහා ගත යුතුය .

ඊලග කාරනාව කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය මෝදි සමග රහස් සාකච්ඡාවක් කර තිබුණේ නම් විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,දිනේෂ් ගුණවර්ධන ,බන්දුල ගුණවර්ධන ,වාසුදේව නානායක්කාර ,රාජපක්ෂවාදී ජනමාධ්‍ය කෙසේ හැසිරෙනු ඇත්ද යන්නය.මහින්ද රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,ජී.එල් පීරිස් ඒ ගැන කියනු ඇත්තේ කුමක්ද ?

ඉන්දීය අගමැති වරයා සහ කතානායක වරයා සාකච්ඡා කල කරුණු හෙලිදරව් කරන්න කියා විමල් වීරවංශ උපවාසයක් ද පටන්ගන්නට තිබුනි. ඔහුට තැබිලි පොවන්නට මහින්ද ,නාමල් හෝ ගෝටාද අවශ්‍ය වනු ඇත. නමුත් රටේ අවසනාවටත් මහින්ද ලාගේ වාසනාවටත් මහින්ද – මෝදි සතරකන් මන්ත්‍රණය ගැන අසන්නට වැඩපිලිවෙලක් ආණ්ඩුවටත් ආණ්ඩුවට හිතවත් මාධ්‍ය වලටත් ඇත්තේ නැත.අපේ පිට්ටනි වල දූෂිතයන් කරනම් ගසන්නේ ආණ්ඩුවේ එම දුර්වලතාව නිසාය .අපට කලහැක්කේ කනගාටුවෙන් බලාහිදීම පමණය.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *