එතෙර කතා ගැන මෙතෙර කතා – භාතිය බරුකන්ද

විමල් වීරවංශ මහතාගේ අදහස වන්නේ ඉන්දියාව සැරසෙන්නේ ජාතියේ ගෙලට වද මල්මලා දැමීමට නම් ඔවුන් එයට එකඟ වන්නේ නැති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දියාව ජාතියේ ගෙලට දාන්න හදන වද මල් මාලය කුමක් ද ? යන්නයි. මේ වන විට පවතින ප්‍රවණතා හමුවේ වීරවංශ මහතා මවන ආකාරයේ ඉන්දීය බිල්ලෙක් දැකිය නොහැකියි. ඉන්දියාව ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලිය සඳහා තම නොමසුරු දායකත්වය ලබාදෙමින් සිටින අතර මත්තල වැනි ආර්ථිකමය මැදිහත්වීම් සඳහා ද සූදානමින් සිටිනවා. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ද පූර්ණ එකඟත්වයක් පළවී තිබෙනවා. ඒ හැර වෙනත් ආකාරයේ අර්බුදකාරී ඉන්දීය මැදිහත්වීමක් කිසිවෙකුට දැකිය නොහැකියි.

කඩතොලු එකක් මකා ගන්න ගිහින් කඩතොලු දෙකක් හදා ගත්ත ආචාරියෙක්ට වුණ ඇබැද්දියක් ගැන කතාවක් අපි අතර තිබෙනවා. මේ වගේ අනපේක්ෂිත ඇබැද්දියකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පත් වුණා. ඒ පසුගිය 05 වැනිදා සිදු කළ ඉන්දීය සංචාරය හේතුවෙනුයි. රාජපක්ෂ මහතා ඉන්දියාවේ මාධ්‍ය හමුවේ කළ සියලුම දේවල් මේ දක්වා අඛණ්ඩව ඒකාබද්ධ කල්ලිය තුළ වගේම පොදු ජනතාව අතරත් දැඩි විවේචනයට මෙන්ම හාස්‍යයට ද ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු කල්ලියේ දේශහිතෛ්ෂි සිතාම්බර සළුපිළි රාජපක්ෂ මහතා විසින් නොදැනුවත්මව ගලවා දැමූ බවයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට හේතු වුණු සැබෑ කරුණු ගැන මේ දක්වා රාජපක්ෂ පාර්ශ්වයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුව නැහැ. ඒත් රෙජිම මාධ්‍ය ප්‍රකාශ කළේ “භාරත රත්න” සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත් වූ බවයි. ඒ අතර විශේෂ දේශන පැවැත්වීම් ගැනත් ප්‍රකාශ නිකුත් වුණා. එහෙත් එම සංචාරය සිදු වූ ආකාරය නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනී යන්නේ රෙජිම මාධ්‍ය සුපුරුදු ලෙස අතිශයෝක්තියෙන් යුතුව මේ සංචාරය ගැන ප්‍රචාරයේ නිරත වූ බවයි. ඒ නිසා ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙකු මෙන්ම විශේෂයෙන් ඇමැති මහින්ද සමරසිංහ මහතාද ප්‍රකාශ කරන්නේ මෙය හුදු සංචාරයක් මිස එයින් ඔබ්බට ගත යුතු කිසිදු දෙයක් නැති බවයි. එමගින් කිසිදු ආකාරයක රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් හෝ වාසියක් රාජපක්ෂ මහතාට අත්නොවන බවයි.

පවුල් පාලනය ගැන අපුල

එසේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය තවදුරටත් දේශීය වශයෙන් මෙතරම් අවධානයට හා විචේනයට ලක් වන්නේ කුමක් නිසාද ? යන ප්‍රශ්නය පොදු ජනතාව අතර මතුවිය හැකියි. ඒ සඳහා දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ඇතැම් ප්‍රකාශ ජාත්‍යන්තර හෝ කලාපීය වශයෙන් කිසිදු වැදගත්කමක් නැති වුවත් රාජපක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය පිළිබඳව වර්තමානයේ ඇති වී තිබෙන බල අරගලයේදී තීරණාත්මක හෙළි කිරීමක් කළ බවයි ඔවුන්ගේ අදහස වන්නේ. ඒ අතර ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ තව දුරටත් රාජපක්ෂ පවුල් පාලනය සහතික කිරීම කෙරෙහි මහින්ද රාජපක්ෂ මහතා දක්වන දැඩි උනන්දුව මේ හරහා ප්‍රකාශයට පත්වීමයි. මෙය “රාජපක්ෂවරුන්ගෙන් තොර හෙටක් නැහැ” යන අති උද්දච්ච අදහස යළි ප්‍රකාශ කිරීමක් වශයෙන් සැලකිය හැකියි. ඒකාබද්ධ කල්ලිය වටා ගොනුව සිටින සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් වන කුමාර වෙල්ගම ආදීන්ගේ සිට ශ්‍රීලනිපය සමඟ හවුල්වීමෙන් තොර දේශපාලන අනාගතයක් ගැන සිතීමටවත් නොහැකි වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ආදීන් අද අවුලෙන් අවුලට පත්ව සිටින්නේ මේ පවුල්වාදය තවදුරටත් කරපින්නා ගෙන යාමට මහින්ද රාජපක්ෂ මහතා දක්වන මාරාන්තිකභාවය නිසයි.

“රාජපක්ෂ පවුලෙන් පිට කිසිවෙක් රාජ්‍ය නායකත්වය නොදැරිය යුතුය” යන මේ අති උද්දච්ච මානසිකත්වය යළි වටයකින් මහින්ද රාජපක්ෂ මහතාව හුදකලා කිරීමට හෝ ඔහු කෙරෙන් තීරණාත්මක බලපෑමක් කළ හැකි ප්‍රබලයන් පිරිසක් විතැන්වීමට හේතුවක් විය හැකි බවයි බොහෝ දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ. ඔවුන් සඳහන් කරන ආකාරයට පවුල් පාලනයට හා පවුල් ආධිපත්‍යයට දැඩි බරක් තබා ක්‍රියා කරන මහින්ද රාජපක්ෂ මහතාගේ පටු පිළිවෙත 2005 සිට ප්‍රබල බිඳී යාම් හා අර්බුද නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. උදාහරණ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ ආසන්න යුගයේදී, 2007 සිදු වූ මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි, අනුර බණ්ඩාරනායක යන ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ බිඳීයාම ප්‍රකට උදාහරණයක්. තවද රාජපක්ෂ පවුල් පාලනය තීරණාත්මකව පරාජයට කිරීමට හේතු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිඳී යාම ද රාජපක්ෂ පවුල් පාලනය දැඩිව, තීරණාත්මකව අභියෝගයට ලක් කළ අවස්ථාවක්. අද ජනාධිපතිවරයාව සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ද, මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටිමින් මංගල සමරවීර මහතා ද දැඩි රාජපක්ෂ විරෝධී ස්ථාවරයක සිටින්නේ එම පවුල් පාලනයෙන් බැට කෑමේ වේදනාව නිසා බව නොරහසක්.

රාජපක්ෂ පවුල් පාලනයෙන් හා පවුල් ආධිපත්‍යයෙන් බැට කෑ ශ්‍රීලනිප ප්‍රබලයන් අතරට මෛත්‍රී, මංගල වැනි වර්ණවත් චරිත සේම තවත් ප්‍රබලයන් පිරිසක් නම් කිරීමට දේශපාලන විචාරකයන් කැමැත්තක් දක්වනවා. ඒ අතර තම පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ කුඩම්මාගේ සැලකිල්ල ගැන විරෝධයෙන් සිටින දුමින්ද දිසානායක, සේම පියසේන ගමගේ ඇතුළු ප්‍රබලයන් පිරිසක් ද සිටිනවා. එමෙන්ම රාජපක්ෂ පවුල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ගෙන යන “එක පවුලක් ” ප්‍රතිපත්තියෙන් මහින්ද අමරවීර වැනි ප්‍රබල තරුණ ශ්‍රීලනිප නායකයන් දැඩිසේ පීඩාවට පත්ව සිටින බව කිසිසේත් බැහැර කළ නොහැකියි. මේ වන විට රාජපක්ෂ පවුල් ගැති ප්‍රාදේශීය නායකයන් වෙතින් ද සාම්ප්‍රදායික ශ්‍රීලනිප නායකත්වය වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබෙන තත්ත්වයක් තුළ තව දුරටත් පවුල් පාලනයක් ගැන සිහින දැකීම මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතක තනිවීමට නියත හේතුවක් විය හැකි බව පැහැදිලි කරුණක්. (මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතා 2005/2010 සේම 2015දී ද මුහුණ දුන් බව සලකන්න)

ඉහත සඳහන් තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතා එතෙරදී කී කතා මෙතරදී දේශපාලන සුනාමියක් නොව රාජපක්ෂ පවුල් පාලනය පිළිබඳ අපුලක් ඒකාබද්ධ කල්ලිය තුළ සේම ඒකාබද්ධ කල්ලියේ පදනම වන ශ්‍රීලනිප ජන මනස තුළ ද නිර්මාණය කළ බව නොරහසක්. අද කුමාර වෙල්ගම ආදීන් හරහා අඛණ්ඩව ප්‍රකාශ වන්නේ හුදු තනි මතයක් හෝ වුවමනාවක් නොව ශ්‍රීලනිප ප්‍රබලයන් විශාල පිරිසකගේ දැවෙන හෘද සාක්ෂිය බව නොරහසක්.

එතෙර කතා මෙතෙර කතා

රාජපක්ෂ පවුල් පාලනය පිළිබඳ එතෙර කතාවලින් මෙතෙර පවුල් පාලනය ප්‍රශ්න කෙරෙන තරමටම එතෙරදී කළ “දෙපිට කාට්ටු කතා” ඒකාබද්ධ කල්ලිය තුළ සේම රාජපක්ෂවාදීන් තුළ ද මානසික අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම දේවභාෂිතයක් සේ ඇදහීමට සූදානම් වහල් මානසිකත්වයකින් සිටින්නන් මේ දෙපිටකාට්ටු කතාවලින් අපේක්ෂාභංගත්වයට පත්වීමයි.

මේ වන විට ඇතැම් ජනමාධ්‍ය විසින් නාමකරණය කර ඇති “රාජපක්ෂ වහලුඅන්” මේ ආකාරයෙන් දැඩි සේ අපේක්ෂාභංගත්වයට පත්වීමට හේතුව අපට පහසුවෙන් වටහා ගත හැකියි. ඒ ඔවුන් රාජපක්ෂවරුන් අනුව යමින් පසුගිය කාලය පුරාම අඛණ්ඩ ඉන්දීය විරෝධයක ගිලී සිටීමයි. මේ සියලු අර්බුදයන්ට, අහිමි කිරීම්වලට ප්‍රධාන වගකිව යුත්තා ඉන්දියාව බව කල්පනා කිරීමයි. මොවුන් අතර තිබෙන මේ ඉන්දීය විරෝධය හුදු කල්පනා මාත්‍රයක් ලෙස නොසැලකිය හැකි මට්ටම දක්වා සංකීර්ණභාවයට හා ප්‍රබලත්වයට පත්වූ මනෝභාවයක් බව අපි පසුගිය කාලය පුරාම අඛණ්ඩව අත්විඳිමින් සිටින උදාහරණවලින් වටහා ගත හැකියි.

උදාහරණයක් ලෙස අදත් රාජපක්ෂ වහලුන් විශ්වාස කරන්නේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් නොවූ බවයි. ඔවුන් කියන්නේ ‘රාජපක්ෂ මහතාව පරාජයට පත් කරවූ බවයි”. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ගික පදනමින් පමණක් නොව, එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, ජාහෙළ වැනි පක්ෂවල පුළුල් එකතුවක් මගින් තීරණාත්මකව පරාජයට පත් කළ රාජපක්ෂ පාලනය මෙරට පුරවැසියන් විසින් නොව බාහිර බලවේග විසින් පරාජයට පත් කර වූ බව මොවුන් අවධාරණාත්මකව කියන්නේ රාජපක්ෂ කල්ලිය මේ ජනතාවට ගිල්ල වූ බොරුව නිසා මිස තාර්කික පදනමක් ඇතිව නොවන බව බැලූ බැල්මට පැහැදිලියි. එහෙත් තම දැවැන්ත පරාජයේ වගකීම තමන් විසින්ම භාර නොගත් මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 09 වැනිදාම කියා සිටියේ “මේක කුමන්ත්‍රණයක් බවයි. මේ කුමන්ත්‍රණ කතාව යළි යළිත් මෙරට ජනතාව හමුවේ අවධාරණය කළ මහින්ද රාජපක්ෂ මහතා 2015 මාර්තු මාසයේදී එය ජාත්‍යන්තර මාධ්‍යවලට ද ප්‍රකාශ කළා. ඒ “සවුත් චයිනා පෝස්ට්” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්. “අමෙරිකානුවන්, නෝර්වේජියානුවන්, යුරෝපීයයන් සහ ඉන්දීය රෝ ඔත්තු සේවය මට විවෘතවම විරුද්ධව කටයුතු කළා.” මහින්ද රාජපක්ෂ මහතාගේ මේ කුමන්ත්‍රණවාදී කතාව 2015 මාර්තු 15 වැනිදා “ඉන්දියා ටුඩේ” පුවත්පත ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කළේ මුළු ඉන්දියාවේම ඇස් මේ කතාව දෙස යොමු කරමිනුයි.

තමන් විසින් රාජ්‍යත්වයෙන් සැලකූ නායකයා මේ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස බලයෙන් පහ කිරීමට ඉන්දියාව (රෝ ඔත්තු සේවය) මූලිකත්වය ගෙන කුමන්ත්‍රණය කිරීම රාජපක්ෂවාදීන්ට කිසිසේත් දරාගත නොහැකි කරුණක් බව පැහැදිලියි. මීට පෙර ලංකාව බෙදා වෙන් කිරීම සඳහා කුමන්ත්‍රණය කළ, කොටින්ට උදව් කළ ඉන්දියාව, යුද ජයග්‍රහණයෙන් පසුව මෙරට නායකයන් (යුද හා දේශපාලන) හේග් නුවර විදුලි පුටුවට ගෙන යාමට බටහිර රටවල් කළ කුමන්ත්‍රණයේදී (ජිනීවා මානව හිමිකම් කොමිෂම) අපට විරුද්ධව සිටි බවයි රාජපක්ෂවාදීන්ගේ මතය වුණේ. රාජපක්ෂ කල්ලිය මේ ආකාරයෙන් සදාකාලික ඉන්දීය විරෝධයක් නිර්මාණය කරමින් එය පවත්වාගෙන ගියේ පූර්ණ වශයෙන් තම දේශපාලන පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙනුයි. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දීය රාජ්‍ය විරෝධයක් නඩත්තු කිරීම සැලකුවේ සාදාකාලික ආයෝජනයක් විදහටයි.

ප්‍රතිපත්තියක් නැති දේශපාලනය

ඉන්දීය විරෝධයෙන් මුසපත් කළ ජනතාවගේ කර මතින් යළි බලය අල්ලා ගැනීමට පිඹුරු පත් සකස් කළ රාජපක්ෂ කල්ලිය බලය අහිමි වූ විට ඒ විරෝධය භාවිත කළේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන සැලසුම් කඩාකප්පල් කිරීමේ තීරණාත්මක අවියක් විදිහටයි. රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ තීරණාත්මක ප්‍රවේශයක් ලෙස ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සැලසුම් කළ “එට්කා ගිවිසුම” කඩාකප්පල් කිරීම රාජපක්ෂ බල සැලසුමේ තීරණාත්මක කොන්දේසියක් වෙනවා. ඒ ආණ්ඩුව ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේ අත්පත් කර ගන්නා ඕනෑම ජයග්‍රහණයක් යළි බලය අල්ලා ගැනීමේ සිහිනය ඈත් කරන්නක් වීම නිසයි. ඉතාමත් සාවද්‍ය හා අභූත විවේචන කරමින් රාජපක්ෂ කල්ලිය එට්කා ගිවිසුම අත්සන් කිරීමට රජය ගන්නා සැලසුමට මේ දක්වා මාරාන්තික විරෝධයක් දක්වමින් සිටිනවා. ඒ තමන් විසින් නඩත්තු කළ ඉන්දීය විරෝධීන් හරහායි.

මෙය එට්කා ගිවිසුමට පමණක් ලඝු කිරීමට රාජපක්ෂ කල්ලිය සූදානම් නැහැ. වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමඟ එළඹෙන සියලුම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කඩාකප්පල් කිරීමයි ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ. මේ තුළ මත්තල ගුවන් තොටුපොළ ද තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ ඉන්දිය සමාගමක් සමඟ හවුල් කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ සැලසුමට රාජපක්ෂ කල්ලිය හා රාජපක්ෂවාදී පසුගිය කාලයේ මාරාන්තිකව එරෙහි වුණා. “මම බලයට පත් වුණොත් මේවා යළි පවරා ගන්නවා. ඒ නිසා මේවාට අත තියන්න එපා කියලා මම ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා” මහින්ද රාජපක්ෂ මහතා මේ තර්ජනයෙන් පමණක් නතර වුණේ නැහැ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගිය රාජපක්ෂ ගෝලයෝ මේ ගැන සංදේශයක් පවා භාර දුන් බව මාධ්‍ය වාර්තා කළා.

එහෙත් පසුගිය සැප්පැම්බර් 05 වැනිදා රාජපක්ෂ කල්ලියේ කසකරුවන් වන විමල් වීරවංශ, ගම්මන්පිල ආදීන්ගේ දේශහිතෛෂි සීතාම්බර සළු මහින්ද රාජපක්ෂ මහතා විසින් ගලවා දැම්මේ මුළු ලෝකයාම බලා සිටියදී. දෛවෝපගත ආකාරයෙන් ඉන්දීයාවේදී.

“මම මත්තල ඉන්දියාවට දෙනවාට විරුද්ධ නැහැ. මම විරුද්ධ පෞද්ගලීකරණයට” කියලා මහින්ද රාජපක්ෂ මහතා “ද හින්දු” මාධ්‍යවේදීන් සමඟ සහතික වෙන කොට ඒ වචන දේශපාලන බුමරංගයක් වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා නොසිතුවා විය හැකියි. ඒ වගේම කලාපීය බලවතාගේ මහ ගෙදරදී සුපුරුදු මැදමුලන චණ්ඩි පාට් වංගු නැති බව මහින්ද රාජපක්ෂ මහතා තම සුපුරුදු “දවල් මිගෙල් – රෑ දනියෙල් ” ක්‍රමයට වැඩ කළ බව නිසැකයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අවස්ථාවාදීත්වය එළිපිටම ප්‍රකාශ වූ මේ ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡාව ගැන විශ්ලේෂණයේ යෙදෙන විට අපට කරුණු කිහිපයක් නිවාරණය කරගත හැකියි. එයින් ප්‍රධාන වන්නේ “ප්‍රතිපත්තියක් නැති දේශපාලනය” තවදුරටත් අභ්‍යාස කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවයි. රටේ ජනතාවට එකක් කියා ඊට හාත්පසින්ම වෙනස් කතාවක් හෝ පොරොන්දුවක් ජාත්‍යන්තරයේදී ලබාදීමට රාජපක්ෂ මහතා දෙවරක් නොසිතන බවයි. මෙය යුද සමයේ සිට මේ දක්වා මහින්ද රාජපක්ෂ චරිතයේ ප්‍රධාන ගුණාංගයක් පමණක් බව අප මෙහිදී වටහා ගත යුතුයි. එසේ නොමැති නම් යුද්ධය සඳහා ඉන්දීය සහාය ලබා ගැනීමට “තර්ටීන් ප්ලස්” විසඳුමක් ගැන ඉන්දියාවට සහතික වූ මහින්ද රාජපක්ෂ මහතාට යුද ජයග්‍රහණයෙන් පසුව “කිසිදු විසඳුමක් ” නොදෙන මිලිටරි ක්‍රමවේදයකට ගමන් කළ නොහැකියි. ඒ නිසා අපට මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අවස්ථාවාදී දේශපාලනය “ප්‍රතිපත්තියක් නැති දේශපාලනය” යනුවෙන් පහසුවෙන් හඳුනා ගත හැකියි.

එතෙර කතාවලට මෙතෙර ප්‍රතිචාර

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීයාවේදී කළ බව කියන ප්‍රකාශවලින් මේ වන විට නිවැරදි කර ඇත්තේ “ගෝඨාගමනය” ගැන කළ බව කියන ප්‍රකාශය පමණයි. කල්ලිය අභ්‍යන්තරයෙන් මෙන්ම පවුල තුළින් ද එල්ල වූ දැඩි පීඩනය මැද “ගෝඨාභය රාජපක්ෂට නියත විවරණ දීම” පිළිබඳ ප්‍රකාශය යළි හකුළා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒත් මත්තල ගැන ඇතුළු ඉන්දියාවේ මැදිහත්වීම් හා දේශපාලන අභිලාෂ ගැන මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නොකිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවේශම් වී තිබෙනවා. රාජපක්ෂ මහතාගේ මේ මුනිවත රැකීම ඒකාබද්ධ කල්ලිය තුළ අසහනයක් සේම විරෝධයක් වර්ධනයට වීමට ද හේතු වී තිබෙන බවක් දැකිය හැකියි.

මේ බව විමල් වීරවංශ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් මගින් අපට වටහා ගත හැකියි. “ එතුමාගේ ගෙලට මල් මාලා දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ජාතියේ ගෙලට වද මල් මාලය දානවා නම් අපි ඒකට එකඟ වෙන්නේ නෑ ”

විමල් වීරවංශ මහතාගේ අදහස වන්නේ ඉන්දියාව සැරසෙන්නේ ජාතියේ ගෙලට වද මල්මලා දැමීමට නම් ඔවුන් එයට එකඟ වන්නේ නැති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දියාව ජාතියේ ගෙලට දාන්න හදන වද මල් මාලය කුමක් ද ? යන්නයි. මේ වන විට පවතින ප්‍රවණතා හමුවේ වීරවංශ මහතා මවන ආකාරයේ ඉන්දීය බිල්ලෙක් දැකිය නොහැකියි. ඉන්දියාව ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලිය සඳහා තම නොමසුරු දායකත්වය ලබාදෙමින් සිටින අතර මත්තල වැනි ආර්ථිකමය මැදිහත්වීම් සඳහා ද සූදානමින් සිටිනවා. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ද පූර්ණ එකඟත්වයක් පළවී තිබෙනවා. ඒ හැර වෙනත් ආකාරයේ අර්බුදකාරී ඉන්දීය මැදිහත්වීමක් කිසිවෙකුට දැකිය නොහැකියි. ඒ නිසා තම දේශපාලන සීතාම්බර සළුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගළවා ඉවත් කිරීම ගැන අවුලක් විමල් වීරවංශ ඇතුළු කල්ලිය තුළ තිබෙන බව නම් පැහැදිලියි.

මේ තත්ත්වය තුළ නාමල් අභිෂේක කිරීමට ඇති පවාම ගැන ඇති කණස්සල්ල, රාජ්‍ය බලය පවුලෙන් පිටට විතැන් වීම දැකීමට ඇති අකමැත්ත හා ඉන්දීය මැදිහත්වීම් ගැන ඇති ප්‍රසාදය වැනි සැප්තැම්බර් 05 සියලු කතා ගැන විමසන විට අපට පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ එතෙර කතා මෙතෙර අර්බුදයක් නිර්මාණය කළේ එය ඍජුව ඒකාබද්ධ කල්ලියේ දේශපාලන අපේක්ෂාවන්ට එල්ල කළ අතුල් පහරක් වූ නිසා බවයි. එමෙන්ම ඒ සියලු කතා රාජපක්ෂ මහතාට දේශපාලන බුමරංගයක් වීමට ද ඉඩ ඇති බවයි. ආරම්භයේදී සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාට ඉඳුරුවේ ආචාරියාට වූ ඇබැද්දියම සිදුව ඇති බවයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *