පි‍හියෙන් ඇනිල්ල

හෙලෝ, මේ හාලි ඇල පෙරේරා මන්ත්‍රිතුමාද? කඩේ ළමයා ඇසුවේ ඔහු අලුතින්ම මිල දී ගත් ජංගම දුරකථනයෙනි. කොල්ලා කාගෙන්දෝ පාවිච්චි කළ දුරකතනයක් මිල දී ගෙන ඇත්තේ දින කිහිපයකට කලිනි. දැන් ඔහුට එ‍යින් සගරදිග්භාගයටම දුරකතන ඇමතුම් දෙනවා හැරෙන්නට වෙනත් දෙයක් කරන්නට කාලයක් ඇත්තේ නැත. කොල්ලාගේ දුරකතන භාවිතය දැක ඉස්කෝල මහත්තයා කීවේ, ළමයාට ස්මාර්ට් කුලප්පුවක් වැළඳී ඇතැයි කියාය.

ආලිඇලත් තමයි, පෙරේරාත් තමයි, හැබැයි මේ පැත්තෙ පෙරේරලා ගොඩක් ඉන්නවා කොයි පෙරේරටද කතා කරන්න ඕන? දුරකතනයේ අනෙක් පසින් ආවේ, තවත් ප්‍රශ්නයක් වශයෙනි.

මට කතාකරන්න ඕන 2015 ජනාධිපතිවරණයේ දී වසකුප්පිය තුනක් අරගෙන ස්‍ටේජ් එකේ පන්ගෝට් නාට්‍යයක් රඟපාපු හාලි කටක් තියෙන පෙරේර ගොයියට. කොල්ලා උත්තර දුන්නේය.

ඔව්. ඒ මම තමයි. ඒ වහ කුප්පි තුන මම කුණු බක්කියට දැම්මා. චන්දෙන් පස්සෙ මට වහ කන්න හිතුණා. හාලි ඇල පෙරේරා කීවේය.

සරත් ‍ෆොන්සේකා මහත්තයත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ ලෝක ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට පිහියෙන් ඇනලා කියල මන්ත්‍රීතුමා කියලා තිබුණා නෙද? කඩේ ළමයා ඇසුවේය.

මට මතක නැහැ මම එහෙම කියල තිබුණ ද? හාලිඇල පෙරේරා කඩේ ළමයාගෙන් ඇසුවේය.

කියල තිබුණා නේන්නම්. මම කතා කරන්නේ පත්තරේ බලලා. කඩේ ළමයා කීවේය.

ගණන් ගන්න එපා මල්ලී; දන්නැද්ද? මේ දවස්වල මට රාජ්‍ය ඇමතිකම නැති පිස්සුවට අනංමනං ටිකක් කියැවෙනවා. හාලි ඇල පෙරේරා උත්තර දුන්නේය.

සරත් ෆොන්සේකා මහත්තයා ඡන්දෙ ඉල්ලලා පැරදිලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ එක වැරදියි කියලයි ඔබ තුමා කියල තිබුණෙ. කඩේ ළමයා කීවේය.

වැරදියි වැරදියි ඡන්දෙ ඉල්ලලා ඇඩ්ඩ්‍රස් නැතිව පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා මඩගහන එක වැරදියි බොහොම වැරදියි. උසාවි යන කාලෙනම් මම එයාට විරුද්ධව නඩුවක් දානවා. හාලිඇල පෙරේරා කීවේය.

ඇහුවට අමනාප වෙන්න එපා මන්ත්‍රීතුමා, ඔබතුමාත් ගිය සැරේ ඡන්දෙ ඉල්ලුවා නේද? කඩේ ළමයා ඇසුවේය.

ඉල්ලුවා. දැන් අහනවා ඉල්ලුවා නේන්නම් ඇයි මතක නැද්ද? හාලි ඇල පෙරේරා උත්තර දුන්නේය.

ඡනදෙ ඉල්ලලා ඔබතුමාට සිද්ධ වණේ මොකක්ද? කඩේ ළමයා ඇසුවේය.

ඇත්තටම ඒ ඡන්දෙන් මට මොකද වුණේ කියලා හිතාගන්නත් බෑ. මතකත් නෑ. පොඩ්ඩක් ඉන්න. මම පැරදුණාද කොහෙද. හාලිඇල පෙරේරා කීවේය.

පැරදුනා නේනම් ඇඩ්ඩ්‍රස් නැතිව පැරදිලා කුජිත වුණා කියල රටම දන්නවා. කඩේ ළමයා කීවේය.

ඇත්තට මල්ලි මම පැරදුණා තමයි. හැබැයි ඇඩ්ඩ්‍රස් නැතිව පැරදුනේ නැහැ. හාලිඇල පෙරේරා කීවේය.

ඇඩ්ඩුස් නැතිව පැරදුනේ නැහැ කියලා කියන්නේ කොහොමද? අපි බය වෙලා හිටියේ අර කුප්පි තුනම බීලා ඇඩ්ඩ්‍රස් නැතිව අභාවප්‍රාප්තවෙයි කියලයි. කඩේ ළමයා කීවේය.

ඔන්න මල්ලි ඔයා රෝන් ටෝක් දානවා. හැබැයි ඇඩ්‍රස් නැතිවුණේ නැහැ. මම කියන්නෙ බොරුනම්, ලාජ්ජනැති පෙරේරා, හාලිඇල. කියලා අද පෝස්ට් කාඩ් එකක් දාන්න. හෙට ලියුම්කාරයා ගෙදරටම ගෙනත් දෙනවා. හාලිඇල පෙරේරා කීවේය.

එච්චර කෙටි ඇඩ්ඩ්‍රස් එකකට ගෙදරටම ලියුම එන්නේ කොහොමද? ගෙදර නොම්මරේ ලියන්න ඕන නැද්ද? කඩේ ළමයා ඇසුවේය.

ගෙදර නොම්බරේ මොකටද මල්ලි, මම තරම් ලැජ්ජා නැති පෙරේරා කෙනෙක් හාලිඇල තියා රටේවත් නැහැ කියල ඕන තැපැල්කාරයෙක් මල්හතට දන්නවා. හාලි ඇල නැතත්. ලැජ්ජා නැති පෙරේරා කියල නම ලියල ඕනම තැනකින් පැපැල් කරන්න. බඩු බනිස් මගේ ලියුම අපේ ගෙදරට එයි. හාලිඇල පෙරේරා කීවේ ඉර හඳ  පායනවාටත් වඩා විශ්වාසයෙන් යුතුවය.

එතකොට මන්ත්‍රීතුමා ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පිහියෙන් ඇනීමක් නෙමේ ද? කඩේ ළමයා ඇසුවේය.

පිස්සුද මල්ලි, ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පිහියෙන් ඇනිල්ලක් වෙන්නෙ කොහොමද? අපි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ සාටක රජාට පිහියෙන් ඇනල මිසක් ප්‍රජාතන්ත්‍රවාදයට පිහියෙන් ඇනල නෙමෙයි. කියූ හාලිඇල පෙරේ‍රා, අනික් මල්ලී ඒ වෙලාවෙ පිහියෙන් අනින්න ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබුණෙත් නැහැනෙ. ඡන්දෙට කලින්ම ඇසිල් බැසිල්, ගෝඨා සාටක රජා අපි ඔක්කොම එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදයට පිහියෙන් අන්නා. මල්ලිට මතක නැද්ද? ඒ වගේ ඓතිහාසික සන්සිද්ධි අමතක කරන්න එපා. ඒව පවු වැඩ. කියා වැඩිදුරටත් කීවේය.

කැබිනට ඇමති ධුරයක් දරමින් හමුදාපතිට බැනීම පහත් තත්ත්වයට ඇද වැටීමක් කියලත් ඔබතුමා කීවා නේද?  කඩේ ළමයා හාලිඇල පෙරේරාගෙන් අසුවේය.

ඔවු. මම එහෙමත් කීවා වගේ මතකයි. හාලිඇල පෙරේරා කීවේය.

එතකොට මන්ත්‍රිතුමා කැබිනට් ඇමතිකම් දරමින් අගවිනිසුරුවරියට බැණීම පහත් තත්ත්වයට ඇද වැටීමක් නෙමේද? කඩේ ළමයා ඇසුවේය.

ඇත්ත වශයෙන්ම මල්ලි එතනදි වෙන්නෙ අගවිනිසුරුවරිය පහත් තත්ත්වයට ඇද දැමීමක් විතරයි. බණින කෙනා පහත් තත්ත්වයට ඇදවැටෙන්නෙ නැහැ. හැබැයි කැබිනට් ඇමතිකමක් දරමින් හමුදාපති කෙනෙකුට බැන්නොත් බණින කෙනා පහත් තත්ත්වයට අනිවාර්යයෙන්ම ඇද වැටෙනවා. හාලිඇල පෙරේරා කීවේය. හොඳයි මන්ත්‍රිතුමා, ඡන්දෙන් පැරදිලා, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිවෙලා මන්ත්‍රිකමක් ගත්තු ආණ්ඩුවටම බැන බැන ඇවිදින කෙනාට ඇති වෙන තත්ත්වය මොකක්ද? කඩේ ළමයා ඇසුවේය.

ඒ ගැන මේ වෙලාවෙ කියන්න අමාරුයි ඊළඟ ඡන්දෙදි ඒ ගැන බලගන්න වෙනවා. හාලිඇල පෙරේරා කීවේය.මෙතෙක් වේලා සියලුම ප්‍රශ්නවලට සාර්ඡකව පිළිතුරු දුන්නා. කඩඉම් ප්‍රශ්නය ගන්නවද කියා කඩේ ළමයා ඇසුවේ ඔළුව රූපවාහිනියේ වඩසටහන් ඉදිරිපත් කරන්නකුගේ අභීනයක් ද පාමිනි.

ප්‍රශ්නෙ ඇහුවොත් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවනි. මල්ලි දන්නවනේ මගේ ප්‍රතිපත්ති ගැන. සංහිඳියා ආණ්ඩුවේ පිං ඇමතිකම ගත්තා වගේ තමයි මගේ වැඩ. බෝලේ හරියටම වැටුණොත් බැට් කරනවා. නැත්නම් එවපු කෙනාටම පාස් කරලා සුදනා වෙනවා. හාලිඇල පෙරේරා කීවේය.

එහෙනම් මෙන්න ඔබේ කඩඉම් ප්‍රශ්නය, කැබිනට් ඇමතිකමේ ඉඳගෙන හමුදාපතිට බැනීම වැරදි නම්, කැබිනට් ඇමතිකමේ ඉඳගෙන හමුදාපතිට ජම්පර් ඇන්ද වීමට උදව්කිරීම වරදක්ද නැද්ද?

ඔන්න මල්ලිත් ඇඩ්ඩ්‍රස් නැතිවෙන්නම ප්‍රශ්න අහනවා. කැතයි හො‍ඳේ. කියමින් හාලිඇල පෙරේරා දුරකථනය විසන්ධි කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *