|

ඒ තමයි මහින්ද – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පැමිණියේය. දැන් ඒ ගැන විවාද ගණනාවකි. එකක් නම් මහින්ද ඉන්දියාවේදී ඇත්තටම කී‍ෙව් කුමක්ද යන්න ගැනය. ඒකාබද්ධ විපක්ෂය තුළ එකිනෙකට වෙනස් මත දරන උදවිය එම කතා අර්ථ දක්වන්න හදන්නේ තම තමන්ට ඕනෑ විදිහටය. මහින්ද ද ශ්‍රී ලංකාවට පැමිණ කියන්නේ ඉන්දියාවේදී කීදේ නොවේ. ඉන්දියානු නායකයන්ට කීදේ මෙරට ජනතාවට කියන්නේ නැත. මහින්දගේ හැටි එහෙමය.

අනෙක් විවාදය නම් මේ ගමනේ වැදගත්කම ගැනය. සමහරු හදන්නේ මහින්ද පුම්බන්නටය. පිම්බෙන්නට තරම් දෙයක් ඉන්දියාවෙන් මහින්දට ලැබුණේද නැත. මහින්දම කී පරිදි ඔහු ගියේ පව් කමාකර ගන්නටය. එනම් එකල ඇති වූ වැරදි අවබෝධ නිවැරැදි කරගෙන හොඳ හිත ගොඩ නගන්නටය. එකල වූ වැරදි නම් යුද්ධයෙන් පසු උතුරට දේශපාලන විසඳුමක් දෙනවා කියා පොරොන්දු වී පොරොන්දු කැඩීමය. දහතුනට එහා විසඳුමක් දෙනවා කියා දහතුනේ බලතලත් කැපීමය. මහින්ද යන්නට ඇත්තේ දැන් තමා එහෙම නැති බව කියන්නට විය හැකිය. බලා ඉන්නට වන්නේ මහින්ද ඒ විශ්වාසය ගොඩ නගා ගන්නා හැටිය. රට බෙදන ව්‍යවස්ථාව පරදවනවා’ කියා තවමත් හදා නැති ව්‍යවස්ථාවකට එරෙහි වන්නට බලා සිටින මහින්දගේ ගෝලයන් සනසන ගමන් ඉන්දියාව සමඟ මහින්ද ගහන ගිවිසුම කුමක්ද යන්න පැහැදිලි නැත. මහින්ද කුමක් කීවත් ඉන්දියාව විශ්වාස කරයිද යන්න එතරම්වත් පැහැදිලි නැත.

මත්තල ගැන දෙබිඩි කතා

ඊළඟ ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකයා ගැන මහින්ද කතා කළේය. නීතිය අනුව නාමල්ට තරඟ කරන්නට බැරි වීම ගැන දුක් වුණේය. කීවේ තම සහෝදරයා එන්න ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පක්ෂය එය තීරණය කළයුතු බවයි. ඒ සාකච්ඡාවෙන් පෙනෙන විදිහට සහෝදරයා කීවේ ගෝඨාභයටය. දැන් ඒකාබද්ධය ඇතුළේ වැඩේ පත්තුවෙලාය. දැන් මහින්ද කියන්නේ ගෝඨාභය එන බවක් කී‍ෙව් නැති බවයි. මහින්දගේ හැටි එහෙමය.

කුමාර වෙල්ගම කීවේ ජනාධිපති අපේක්ෂකත්වයට රාජපක්ෂ සහෝදරවරුන්ට වඩා හොඳ නායකයන් ඒකාබද්ධයේ සිටින බවයි. වාසු හැදුවේ පන්දුව කරකවා වෙන අතක යවන්නටය. ඔහු කීවේ මහින්ද සහෝදරයා කීවේ චමල්ට බවයි. ඒකාබද්ධයේ තවත් සමහරු කීවේ අපි හැමෝම මහින්දගේ සහෝදරයන් බවයි. කෙසේ වෙතත් මහින්දගේ සහෝදරකම් තිබෙන්නෙ කාටදැයි රටම දනිති. රාජපක්ෂ සහෝදරයෙක්ම ගෙනෙන්න හදන්නේ අනෙක් සහෝදරයන් විශ්වාස නැති නිසාය. නාමල් පුතා ගැන හිතනවිට රාජපක්ෂ සහෝදරයින්ද විශ්වාස නැත. තවමත් තෙපරබාන්නේ ඒකය. මහින්දගේ හැටි එහෙමය.

මත්තල ඉන්දියාවට දෙනවාට මහින්දත් ගෝලයෝත් ශ්‍රී ලංකාවේදී විරුද්ධය. ඉන්දියාවට ගියවිට එහෙම විරෝධයක් නැත. තියෙන්නේ පෞද්ගලිකකරණ විරෝධයකි. මහින්ද කෝටි ගණනක් වියදම් කොට මත්තල හදා තියෙන්නේ ඔහේ තියෙන්න අරින්නය. දිනපතා ලක්ෂ කෝටි ගණනින් වියදම් කරමින් පවත්වාගෙන යන්නටය. ‘මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ කියා කිව්වාම ඇතිය. එයින් ආදායම් උපදවන්නට ඕනෑ නැත. ආදායම් උපදවන වැඩක් කරන්නට ගියාම විරුද්ධය. රටට කෙළවෙන එබඳු විරෝධතාවලට කියන්නේ දේශප්‍රේමය කියාය. ඒ ඉන්දියාවට දණ නොනමන්නටය. ඒ ශ්‍රී ලංකාවේදීය. ඉන්දියාවට ගියවිට හතර හන්දිම නැමෙන්නේය. මහින්දගේ හැටි එහෙමය.

මෝදි ලංකාවට එනවිට මහින්ද ගෝලයන්ට කියා කළු කොඩි දම්මන්නේය. ඒ ඉන්දියානු ආධිපත්‍යයට එරෙහිවන්නට කියාය. දැන් මහින්දම ගොස් ඉන්දියානු නායකයන්ට වැඳ නමස්කාර කොට වැරදි අවබෝධ දුරු කරගත්තේය. එහිදී ඔසවන්නේ සුදු කොඩිය. මහින්දගේ දෙබිඩි පිළිවෙත ඒකය.

මහින්ද පුම්බන්නට හදන ගෝලයෝ දැන් තවත් කතාවක් කියති. ඉන්දියානු නායකයන් මහින්දව පිළිගත්තේ මේ රටේ නිල නොවන පාලකයා ලෙස බවයි. රටේ ජනතාවට නම් ඒ බවක් පෙණුනේ නැත. පෙනෙන්නට තිබුණේ ශ්‍රී ලංකාව නැමැති යටත් විජිතය පාලනය කරන නිල නොවන අධිරාජ්‍යය ලෙස සලකා මහින්ද ඉන්දියානු නායකයන්ට තම ගැති බව ප්‍රකාශ කොට පැමිණි බවයි. එසේ නොමැතිව මහින්දට මෙබඳු ගමනක යෙදෙන්නට කිසිදු අවශ්‍යතාවයක් නැත.

මහින්දගේ ගෝලයෝ දැන් තවත් කතාවක් කියති. එනම් ඉදිරි මැතිවරණ මගින් මහින්ද බලයට එන බව ඉන්දියාවෙත් ලෝකයේත් විශ්වාසය වී ඇති බවයි. එහෙම කතාවක් ඔවුන් කියන්නේ ශ්‍රී ලංකාව තුළ එහෙම විශ්වාසයක් නැති නිසාය. යම් විශ්වාසයක් ඒකාබද්ධ විපක්ෂයට තිබුණානම් එයද ‘ජනබලය කොළඹට’ සමග සුන්නත්දුලී වී ගියේය.

මේ කතාව කියන්නට මොවුන් තවත් කෑල්ලක් අහුලාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ ද ඉකොනොමිස්ට් සඟරාවෙනි. එහි බුද්ධි අංශය කී කතාවකි. එය නම් ඉදිරි මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගනු ඇති බවයි. හැතැක්ම දහස් ගණනකට එහා සිට කියන මේ කතාව ඒකාබද්ධයේ ඇතමුන්ට මහා බක්කක් වී ඇත. හැබැයි පරහට තියෙන්නේ 2015 ජනවාරි 08 දා මහින්ද ජයගන්නා බව මේ කට්ටියම 2014 දෙසැම්බරයේ කැට තියා කියා තිබීමයි. අන්තර්ජාලයේ ඇතැම් සටහන්වල කියන්නේ මේ බුද්ධි අංශය අනාවැකි කියන්නේ ‘සුමනදාස අබේගුණවර්ධනගෙන්’ අසා බවයි. තම අනාවැකි වැරදුනු විට සුමනදාස සමාව ඉල්ලුවද මේ කට්ටිය සමාව ඉල්ලන්න තරම්වත් නිරහංකාර නැති බව අන්තර්ජාලයේ සැරිසරන්නෝ කියති.

මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගත අරමුණු සම්බන්ධයෙන් කාට හෝ විචිකිච්චා තිබුණා නම් ඉන්දියානු සංචාරයේදී කළ කී දෑ අනුව ඒ බොහොමයක් කරුණු පැහැදිලි විය. පසුගිය ‘ජනබලය කොළඹට’ වැඩ සටහනේදී පෙනීගිය ආකාරයටම දැන් මහින්දගේ ඒකායන අරමුණ නාමල් ඔටුනු හිමි කුමාරයා බවට පත්කිරීමයි. ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා කරනවිටම පළමුවෙන් මතක් වූයේ නාමල්වය. දුක්වුයේ නාමල්ට ඉල්ලන්න බැරි වීම ගැනය. ඒකාබද්ධ විපක්ෂයේ හෝ පොහොට්ටු පක්ෂයේ හෝ සිටින ජ්‍යෙෂ්ඨ නායකයින් කාගේවත් නම් මහින්දට මතක් වූයේ නැත. ඔවුන්ට මහින්ද සලකන්නේ පොල් කුඩු ගානටය. නැතිනම් කරපිංචා ගානටය. මහින්ද ආණ්ඩු කළේ ඒ ආකාරයෙනි. මහින්දගේ හැටි එහෙමයි.

මහින්දගේ ඉන්දියානු ගමනෙන් සිදුව තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය තවත් අර්බුදයට යාමයි. මහින්දගේ ගෝලයන් මෙතෙක් කර තබාගෙන ගිය ඉන්දියානු විරෝධය තවදුරටත් ගෙනයන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයකි. ආපහු ඉන්දියානු විරෝධය උස්සන්න ගියහොත් රට තුළින් එයට එන ප්‍රතිචාර යහපත් නොවනු ඇත. අනෙක් අතට ඉන්දියානු ආණ්ඩුව සමග යහපත් සබඳතා පවත්වා ගැනීමට අවශ්‍ය නම් මත්තල ගුවන්තොටුපළ වැනි ප්‍රශ්න ගැන කටයුතු කරන ආකාරය ගැනද ප්‍රශ්න මතුවිය හැකිය.

එට්කා ගිවිසුම පිළිබඳ ප්‍රශ්නය මහින්දගේ ගෝලයන් දිගින් දිගටම ඇදගෙන ගිය එකකි. එට්කා විරෝධය ඔවුන්ගේ පැවැත්මේ කොටසකි. දැන් එට්කා ගිවිසුමේ වැඩ අවසන් වෙගෙන යන බව දැනගන්නට ඇත. මාස දෙක තුනකින් එය යළි කරළියට එනු ඇත. එවිට මහින්ද කරන්නේ මොකක්ද ඔහුගේ ගෝලයන්ට වෙන්නේ මොනවාද යන ප්‍රශ්න පැනනගිනු නොඅනුමානය.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීමේ ව්‍යුහයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාවට නැගීම ගැන ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වයි. තමිල්නාඩුවේ දේශපාලනයේදී එය වැදගත් සාධකයකි. පාර්ලිමේන්තුව විසින් කෙටුම්පත් කොට ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරි කාලයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. එම අවස්ථාවේ මහින්ද වැඩ කරන්නේ ඉන්දියාව සමඟ ගොඩනගාගත් අවබෝධතාවය අනුවද යන ප්‍රශ්නය මතුවිය හැකිය. එසේ වුවහොත් එය මහින්දගේ ගෝලයන්ට නම් දිරවන්නේ නැති තත්ත්වයක් විය හැකිය. එම අර්බුදයට මුහුණදීමට මහින්දටත් ඒකාබද්ධ විපක්ෂයටත් සිදුවනු ඇත. එහිදී මහින්ද තම ගෝලයන්ගේ ජාතිවාදයට ඉඩදී ක්‍රියාත්මක වුවහොත් මේ ගිය ගමනින්ද වැඩක් නැත. යළිත් වරක් ඉන්දියානු නායකයන් රැවටීම ගැන ඔහු කෙරෙහි තවත් වෛරයක් ගොඩනැගීම පමණක් සිදුවනු ඇත.

ඉන්දියාව සමඟ පමණක් නොව ජාත්‍යන්තරය සමගද කටයුතු කරනවිට මහින්ද මුහුණදෙන ප්‍රශ්නය වන්නේ විශ්වාසය නොමැතිවිමයි. ඔහු මෙරට පාලනය කළ කාලය තුළ ඉන්දියාවටත් ලෝක නායකයන්ටත් වරින්වර දුන් පොරොන්දුද සුළු පටු නැත. ජනවර්ග ප්‍රශ්නයට විසඳුම ගැන කීවේ දහතුන්වන සංශෝධනයට එහා යන බවයි. පොලිස්, ඉඩම් බලතලවලට වැඩි දේ දෙන බවයි. එසේ කියා කිසිවක් නොකළ විට ලෝක නායකයන් හිතන්නේ ‘අපිව කඩේ යැව්වා’ කියාය. රැවැට්ටුවා කියාය. මහින්දගේ හැටි එහෙමය. ඒ බව ඉන්දියාවෙත් ලෝකයේත් නායකයෝ දැන සිටිති. දැන් ඉන්නේ වෙනත් මහින්ද කෙනෙකු බව පෙන්වන්නේ නැතිව නැවත විශ්වාසය ගොඩනැගිය නොහැකිය.

මෙරට හමුදාවෙන් කළ බවට චෝදනා නැගුණ යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් ගැන පරීක්ෂණයක් පවත්වන බව මහින්ද ලෝකයාට පොරොන්දු විය. ශ්‍රී ලංකාව උගුලක හිරවුණේ එම පොරොන්දුවෙනි. මහින්ද එලෙස පොරොන්දු වුණේ එදා වේල ගැට ගසා ගන්නටය. රටට ම බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවුණේ එබඳු ක්‍රියා හේතුවෙනි. දැන් මෙම ආණ්ඩුව යටතේ එම තත්ත්වය බොහෝදුරට සමනය වී ගොසිනි. එහෙත් මහින්ද ගැන යළි විශ්වාසයක් තබන්නට තරම් ඔහුගේ පැත්තෙන් නම් සිදුවු වෙනසක් නැත. මේ සිටින්නේත් ඒ මහින්දමය. එකම වෙනස බලය නැති එකය. මහින්ද දැන් එහෙම නැතැයි මෝදිට පෙන්වන්නට සිදුවන්නේද මහින්දටමය. අපට තියෙන්නේ බලාගෙන ඉන්නටය. මහින්ද එම කඩුල්ල පැන පෙන්වන තෙක් ඒකාබද්ධයේ නායකයන් කියන පිළිගැනීම ඉන්දියාවෙන් මහින්දට ලැබෙන්නේ නැත. ඒ ගැන නම් අවිශ්වාසයක් තබාගැනීම අවශ්‍ය නැත.

උගුලක හිරවීම

රටට කොහොම කීවත් මහින්දගේ ඉන්දියා ගමනේ ඇත්ත අරමුණ තමන් හා ඉන්දියාව අතර හොඳ හිත ඇතිකර ගැනීමද යන්න සැක සහිතය. එහි වෙනත් අරමුණක් තිබූ බව ප්‍රදර්ශනය විය.

මහින්ද ඉන්දියා ගියේ නාමල් සමගය. තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි සහෝදරයින් හෝ නොවෙනත් ප්‍රබල නායකයින් ඔහු කැටුව ගියේ නැත. එහි අරමුණ නම් තම පක්ෂයේ අනාගත නායකයාව ඉන්දියානු නායකයන්ට හඳුන්වාදීමයි. අනෙක් අතට රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගැන නාමල්ට දැනුමක් ලබාදීමයි. මහින්ද මේ සැරසෙන්නේ 2019ට හෝ 2020ට නොවේ. 2025ටය. නාමල් කුමාරයා රජ කරවන්නටය.

මේ තත්ත්වය යටතේ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න මහින්දට එතරම් වැදගත් නැත. ඒ ගෝඨාභය හෝ චමල් හෝ වෙන අයෙක් විය හැකිය. එහිදී මහින්ද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ඇත. එසේ වුවද තම අපේක්ෂකයා දිනවන තැනට මහින්ද වැඩ කරයිද යන්න සැක සහිතය. ඒ තම අපේක්ෂකයා ජනාධිපති වුවහොත් නාමල්ට එරෙහිව තවත් ප්‍රබල නායකයකු තම කණ්ඩායම තුළින් බිහිවන නිසාය. කතාන්දරය තියෙන්නේ එ‍තනයි.

මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සමඟ පසුගියදා කියා තිබුණේ ‘මිළඟ වාරයේ තමන්ගේ අලුත් වයින් අලුත් බෝතලයක, අලුත් ලේබලයකින්’ එන බවයි. ඒ අලුත් වයින්, බෝතලය හෝ ලේබලය ගැන කිසිවක් කියා තිබුණේ නැත. කෙසේ වෙතත් මහින්ද සමග සිටින පරණ වයින්, පරණ බෝතල් හා ලේබල්ද කුණු කූඩයට යනු ඇත. මහින්දගේ හැටි එහෙමයි.

සී.ජේ. අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *