ඩලස් ඩලස් මේ අහන්න – සම්පත් අමරසිංහ

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයැම පිලිබඳ කතාබහ දැන් අලුත් වටයකින් කරළියට ඇවිත් තිබේ. එහි අලුත්ම අංගය වන්නේ, ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක, හිටපු මාධ්‍යවේදී, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, කීත් නොයාර් පැහැරගෙන යාම ගැන ජෝසප් මයිකල් ප්‍රනාන්දු මහතා 2008 ජුලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් ඔස්සේ පරීක්ෂණයක් කරන්නැයි කරන ඉල්ලීමයි.

හොරාට පෙර කෙසෙල් කැන වැට පනිනවා යැයි කතාවක් තිබේ. ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රකාශය සැලකිය හැකි වන්නේ ද හොරාට පෙර කෙසෙල් කැන වැට පැනීමක් වශයෙනි. ඩලස් අලහප්පෙරුම මහතාට, කීත්නොයාර් පැහැරගෙන යාම පිළිබඳ ජෝශප් මයිකල් මහතා 2018.09.16 දිනය. එනම් ජෝසප් මයිකල් මහාතාගේ ප්‍රකාශයෙන් වසර දහයකට පසුවය. ඒත් නිකම්ම නොවේ. කීත්නොයාර් මහතාගේ පැහැරගෙන යාම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන අයගේ නම් සම්බන්ධ වීමෙන් හා පොලිස් අපරාධ විමර්ශන අංශය ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමඟය.

ජොසප් මයිකල් මහතා සිය ප්‍රකාශය කළේ 2008 ජුලි 08 බව ඩලස් අලහප්පෙරුම මහතා නිවැරැදිව කියයි. ඒ කියන කාලයේ මෙරට පැවතියේ පොදු පෙරමුණු රජයයි. එම ආණ්ඩුවේ ජනාධිපති වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.   ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළේ විධායක ජනාධිපතිවරයාගේ මළනුවන්වන ගෝඨාභය රාජපක්ෂ මහතාය. කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධව කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඒ අනුව කීත් නොයාර් මහතා නිදහස් කෙරුණු බවත් පසුගිය දිනවල කියැවිණ. ඒ ගැන ජනමාධ්‍ය විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ, “කවුරු කළා ද කාට කළා ද කාටද මතක තියෙන්නේ? මට කීදෙනෙක් කතා කරනවාද?” යන පිළිතුරයි.

එවැනි කට කැඩුණු කතා කතා වලින් ප්‍රශ්නය යටපත් කළ නොහැකි බව මේ වන විට ඒකාබද්ධයට වැටහී ඇති බව පෙනෙන්නට තිබේ. ප්‍රශ්නයෙන් පැන යාමට ඒකාබද්ධය විවිධ උපාය යොදන්නේ එහෙයිනි. කතන්දර ගොතන්නේ එහෙයිනි. ඒ සඳහා ඉදිරිපත්ව සිටින අලුත්ම තැරැව්කරුවා ඩලස් අලහප්පෙරුම මහතාය.

ඩලස් අලහප්පෙරුම යනු හිටපු මාධ්‍යවේදියෙකි. නිකම්ම මාධ්‍යවේදියෙක් නොවේ. විකල්ප මාධ්‍යවේදියෙකි. පත්තරවලට ලියන කාලයේ ඔහු ලිව්වේ මිනිසුන්ගේ ඇ‍ඟේ ලේ රත්වන්නටය. ඔහු සිය මැතිවරණය සඳහා ආයෝජනය කළේ ද එවැනි පත්තර ලියැවිලි වලින් උපයාගත් කීර්තිනාමයයි. දකුණේ ගොළු මුහුද අවධිකරන්වන්නට ඔහු තාප්ප පුරා පෝස්ටර් අලවන විට ඔහු ඇත්තටම එසේ කරනු ඇතැයි ජනතාව සිතුවේ එකල ඔහු සේවය කළ පුවත්පත ජනතා විමුක්ති පෙරමුණ සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බව පෙනුණු බැවිනි. එහෙත් මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු ලෙසත්, මහින්දම වරක් කියා තිබුණු කැබිනට්ටුවේ සිටි එකම මහින්දගේ මිනිහා ලෙසත්, ඔහු දකුණේ ගොළු මහුද අවදිකිරීම වෙනුවට කළේ: දකුණේත් උතුරේත් බස්නාහිරත් ජනතාව මර්දනය කරන්නට රාජපක්ෂ ආණ්ඩුවට තුවක්කු අවදි කරන විට ගොළුවත රැකීමයි.

ජෝසප් මයිකල් මහතා‍ගේ ප්‍රකාශය ඔස්සේ පරීක්ෂණ කරන්නට පොලීසියට උපදෙස් දෙන්නට ඩලස් අලහප්පෙරුම මහතාට අවුරුදු දහයක් ගතවූයේ ඇයි? ඔහු දැන් කියන්නේ කීත් නොයාර් මහතා පැහැරගැනීමට හේතුව, ඒ මහතා ‍පැහැර ගැනීමට දින දහයකට පෙර පෙර ‘ද නේෂන්’ පුවත් පතේ ‘මිලිටරි මැටර්ස්’ තීරුවේ පළ වූ ‘යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පෞද්ගලික බූදලයක් නොවේ.’ යන ලිපිය බවයි. එසේ නම් ජෝසප් මයිකල් මහතාගේ ප්‍රකාශය අනුව 2008 වසරේ දී කීත් නොයාර් මහතාට පහර දීම සහ පැහැර‍ගෙන යාම පිළිබඳ පරීක්ෂණයක් නොකළේ මන්ද යන්න ඩලස් අලහප්පෙරුම මහතා පැහැදිලි කරන්නේ නැත. කීත් නොයාර් මහතාගේ සිද්ධියට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු සම්බන්ධ බව ඩලස් අලහප්පෙරුම මහතා කියයි. ඔහු ඒ නොකියා කියන්නේ සරත් ‍ෆෝන්සේකා මහතා පිලිබඳව බව කුඩා දරුවකට වුව වැටහේ. එකල මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස සරත් ෆොන්සේකා මහතාට බොරු චෝදනා එල්ල කරමින් ඔහු සිරගත කරන්නට ඩලස් අලහප්පෙරුම මහතා ද දායක වූ බව කවුරුත් දනිති. එහෙත් කිසිම විටෙක ඔවුන් කීත් නොයාර් මහතා පැහැරගැනීමක් පිළිබඳ සරත් ෆොන්සේකා මහතාට චෝදනා එල්ල කළේ හෝ නඩු විභාග කළේ ද නැත. සැබෑ මාධ්‍යවේදියෙක් නම් එකල ඩලස් අලහප්පෙරුම මහතා සහෝදර මාධ්‍යවේදි කීත් නොයාර් පැහැරගෙන යාම පිළිබඳ ජෝසප් මයිකල් මහතාට කලින් පාර්ලිමේන්තුවේ හඬ නැඟිය යුතුව තිබුණි. එහෙත් ඔහු එසේ කළේ නැත.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී නිදහස් කිරීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය අගෝස්තු 17 වැනිදා ප්‍රකාශයක් සටහන් කරගත්තේ පොලිස් අපරාධ විමර්ශන අංශය සැප්තැම්බර් 12 වැනිදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත්, මෙම සිද්ධිය රාජපක්ෂ වරුන්ගේ ගිණුමට බැර කරන්නට උත්සාහයක් එයින් විද්‍යාමානවන බවත් ඩලස් අලහප්පෙරුම මහතා සිය ප්‍රකාශයෙන් කියයි.

ඩලස් අලහප්පෙරුම මහතාත් මුළු රටත් දන්නා පරිදි කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පරදී නිදහස් කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේය. එවක ත්‍රිවිධ හමුදාවටත් පොලීසියටත් අණ දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. එහෙත් කීත් නොයාර් මහතාගේ සිද්ධිය පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් කරන්නට මහින්ද රාජපක්ෂ මහතා කිසිවකුට අණ කළේ නැත. මාධ්‍යවේදියකු පැහැර‍ගෙන යාම නොව කවර පුරවැසියකු පැහැරගෙන යාමත් වරදකි. ඒ ගැන පරීක්ෂණයක් නොකර සිටීමත් වරදකි. ඇත්ත වශයෙන්ම දැන් කෙරෙන පරීක්ෂණ වල දී එකල කීත් නොයාර් පැහැරගෙන යාම පිළිබඳව පමණක් නොව එකල ඒ ගැන පරීක්ෂණයක් නොකිරීම පිළිබඳ අවධානයක් යොමු කළ යුතුය. එකී චෝදනාවෙන් මහින්දට හෝ ගෝඨාට ගැලවිය නොහැකිය. ඒ ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයකු වූ ඩලස් අලහප්පෙරුම මහාතාට ද ඒ චෝදනාවේ කොනක් තිබේ. ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමනි, ඔබ උසාවි යන්න! එය ජාතික ඇඳුමේ යට කොන ඔසවා මුහුණ වසා ගැනීමක් වන ආකාරය දෙස එවිට රටටම බලා ඉන්නට පුළුවන.

සම්පත් අමරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *