වැටත් නියරත් ගොයම් කා නම් – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ඝාතන හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළව උසාවිවලට අවශ්‍යව තිබෙන, ත්‍රිවිධ හමුදාවලට සම්බන්ධ තොරතුරු ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි පුවතක් පසුගිය දිනවල පළ වී තිබුණා.

ඒ පුවත පළ වී මේ වන විට සතියකටත් වැඩි කාලයක් ගත වී ඇතත් එය ප්‍රති‍ක්ෂේප කිරීමක් හෝ ඒ පිළිබඳ අදහස් දැක්වීමක්වත් ජනාධිපති වරයාගේ පාර්ශ්වයෙන් සිදු වී නැහැ. ජනාධිපතිවරයා එම නියෝගය කර ඇත්තේ කොළඹ පැජට් පාරේ තමාගේ නිළ නිවසේ පැවැත්වුණු මාකච්ඡාවක දී බවයි කියන්නේ. එම සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණවර්ධන, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා, අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, පොලිස් විශේෂ බලකායේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීන් ද සහභාගීව සිටි බව කියැවෙනවා.

ජනාධිපතිවරයා විසින් ලබා නොදෙන්නැයි කියා ඇති, උසාවිවලට අවශ්‍යව ඇති ඒ තොරතුරු මොනවාද? ඒවා නම්, මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ එමෙන්ම ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නම් ගෑවී ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම හෝ ඝාතනය කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම, තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙනගොස් අතුරුදන් කිරීම ආදියයි.

ඉහත සිද්දි සම්බන්ධයෙන් පොලීසිය විසින් පවත්වන පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාමට හමුදාවෙන්  යම් යම් තොරතුරු අවශ්‍යව ඇතත් හමුදාවන් විසින් ඒවා ලබා නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව මේ වන විට පැහැදිලියි. ඒ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්විට එම තොරතුරු ලබාදෙන ලෙස අදාල අංශවලට නියෝගකර තිබුණා. නමුත් හමුදා විවිධ හේතු දක්වමින් එම තොරතුරු උසාවියට ලබාදීම මගහරිමින් ඉන්නා බැවින් ඉහත සිද්ධීන්වලට සම්බන්ධ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමත් දිනෙන් දින කල්යමින් පවතිනවා. මේ තත්ත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලා හමුදාපතිවරුන්ට ලිපි යවා තිබෙනවා. එසේ තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවත් ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාව කැඳවා තිබුණේ එම ඉල්ලීම නිසා බවත් කියැවෙනවා.

යහපාලන ආණ්ඩුව බිහිවීමටත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ලැබූ ජයග්‍රහණයටත් බලපෑවේ ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන්කිරීම ආදිය ඔස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයටත් මානව නිදහසටත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එල්ල වී තිබුණු මාරාන්තික ප්‍රහාරය බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෛත්‍රිපාල මහතාටත් වත්මන් ආණ්ඩුවටත්, ඡන්දය ලබාදුන් ජනතාව සිතුවේ අලුත් ආණ්ඩුව බලයට පත් වූ වහාම අදාළ අපරාධකරුවන්ට දඬවම් ලැබෙනු අතැයි කියායි.

නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසර තුනක් යන තුරුවත් එකී අපරාධවලට දඬවම් ලැබී නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් තමන්ගේ කටයුත්ත නිසි ලෙස ඉටු කර ඇති බව ඔවුන්ට ගෞරව පිණිස සඳහන් කළ යුතුයි. ඔවුන් එකී කටයුත්ත කරගෙන යනු ලබන්නේ ද විවිධ දුෂ්කරතා සහ බාධක මධ්‍යයේ බවත් පැහැදිලියි. නඩු පමාවටත්, දඬුවම් පමාවටත් හේතුව වී ඇත්තේ පොලීසියට අවශ්‍ය සහය අනෙකුත් අංශවලින් ලබා නොදීමයි.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ වගකීම විය යුත්තේ අපරාධ විමර්ශන කටයුතු වලටත් නඩු විභාගවලටත් සහයෝගය ලබාදීමයි. එසේ සහයෝගය ලබා දෙන්නේ නම් ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා වශයෙන් ජනාධිපතිවරයා කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇති උසාවියෙන් ලබා දෙන්නැයි නියෝග කර ඇති තොරතුරු ලබා දෙන ලෙස නියෝග කිරීම මිස ඒවා ලබා නොදෙන්නැයි නියෝග කිරීම නොවේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනයනු ලබන හමුදාව හෙවත් ඔවුන්ගේ වචන වලින් රණවිරුවන් පවාදීම යන ප්‍රචාරයට ජනාධිපතිවරයා යට වී ඇති තරම ඉහත නියෝගය ඔස්සේ ඉතා හොඳින් පැහැදිලියි. සමහරවිට ජනාධිපතිවරයා, ඉහත නියෝග වැනි ප්‍රයෝග හරහා තමාටත් මහින්ද රාජපක්ෂ කෙනෙක් විය හැකි යැයි සිතනවාද කියන්නටත් බැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් ජනාධිපතිවරයා උත්සාහ කළේ මහින්දටත් වඩා හොඳ මහින්ද කෙනෙක් වෙන්න බවයි පෙනුණේ. ඒත් ඒ උත්සාහය කෙළවර වුණේ තිබුණ ටිකත් අහුරාගෙන බවයි අපට නම් පෙනෙන්නේ.

ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ හමුදාවේ අපරාධකරුවන් ආරක්ෂා  කරමින් සිංහල බෞද්ධ වීරයා වන්නට නම් එය ඔහුගේ පෞද්ගලික අභිමතාර්ථය පිළිබඳ ගැටලුවක් පමණක් නොවෙයි. එසේ වන්නට හේතුව ඔහු හැට දෙලක්ෂයක් ජනතාවගේ මනාපයෙන් ජනාධිපති වූයේ මිනිස් ඝාතන කළ පිරිස ආරක්ෂ කරන්නට වත් මිනිසුන් අතුරුදන් කළ තැනැත්තන් රකින්නටවත් පොරොන්දු දීමෙන් නොවන නිසයි. අපරාධ දූෂණ වංචා නැති කරන්නට පොරොන්දු වූ ජනාධිපතිපරයා මිනිස් ඝාතකයන් මිනිසුන් අතුරුදන් කළ තැනැත්තන් තම ඔඩොක්කුවේ දාගෙන රකින්නට සූදානම් වන්නේ නම් බහුතර ජනතාවගේ යහපාලන අපේක්ෂාවලට සිදුවන්නේ කුමක්ද?

කවර තත්ත්වයක් යටතේවත් අපරාධකරුවන් රකින්නට ජනාධිපතිවරයාට අයිතියක් තිබේද යන්න ඊළඟ ගැටලුවයි. රටේ සම්මත නීතියේ අධිපතිත්වයක් ඒ සඳහා පනවා ඇති දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය ආදියත් ඒවාට සම්බන්ධ අනුශාංගික විධිවිධානත් උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් තියෙනවාද? මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් ඇද දැමීමට ජනතාව කටයුතු කළේ ඔහු තමන්ට අවශ්‍ය තරමට හා තමන්ට ගැ‍ලපෙන අකාරයට රටේ නීතියත් ව්‍යවස්ථාවත් කපා කොටා හසුරුවාගන්නට තැත් කළ නිසාය. වත්මන් ජනාධිපතිවරයාත් ටිකෙන් ටික උත්සාහ කරන්නේ අපරාධකාරයන් ආරක්ෂා කරමින් ජනතාවට කොකා පෙන්වන්නට නම් ජනතාවට ගත හැකි පියවර කුමක්ද? අනෙක එකී ක්‍රියාමාර්ගය හමු‍වේ තමා සූදානම් වන්නේ හමුදාවේ රනවිරුවන් ආරක්ෂා කරන්නට යැයි ජනාධිපතිවරයා සිතන්නේ නම් එය ද මුළාවක්. මන්ද හමුදාව හෝ රණ විරුවන් යනු මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ ආණ්ඩුවේ ලොක්කන් සනසන්නට දූෂිත ක්‍රියාවල යෙදුණු විසිතිස් දෙනකුට වඩා නැති හමුදා හෙන්චයියන් පිරිස නොවේ. දිවිහිමියෙන් ජීවිතය කැප කර වරදාන බාලාපොරොත්තු නොවී සටන් කළ ලක්ෂ දෙකක හමුදා පිරිසයි. ඔවුන්ගේ ආත්ම ගෞරවයත් ජනතාවගේ බලා‍පොරොත්තුත් ඉටුකළ හැක්කේ අපරාධකාරයන් ගැන තොරතුරු වසැංගීමෙන් නොවේ. ඒවා හෙළි කර වැරදි කර ඇත්නම් ඔවුන්ට දඬුවම් කිරීමෙනුයි. එසේ ‍නොකරන්නේ නම් වත්මන් ජනපති සූදානම් වන්නේ යළි මහින්ද යුගයකට රට ආපසු කරකවන්නටය.

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *