ජොන්ස්ටන්ට ඇප නෑ

ලංකා සතොස ආයතනයට අයත් රුපියල් මිලියන 52.02ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා ලැබ නඩු විභාගය අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහරින ලෙස ප්‍රතිශෝධන පෙත්සමක් මඟින් කර තිබූ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ඊයේ (17) ප්‍රතික්ෂේප කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය දුන් නියෝගය අහෝසි කිරීමට තරම් සාධාරණ හෝ නීතිමය හේතුවක් නැති බැවින් එම නියෝගය අනුමත කළ අභියාචනාධිකරණය මෙම ප්‍රතිශෝධන පෙත්සමද ප්‍රතික්ෂේප කෙළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයෙන් සහ නීතිපතිවරයා වෙනුවෙන් මීට පෙර ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ජනක්ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරුමඬුල්ල විසින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලදී.

ලංකා සතොස ආයතනයේ රුපියල් මිලියන 52.02ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ තවත් දෙදෙනෙකු කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූයේ ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සතොස ශාඛා තුනකින් ආහාර ද්‍රව්‍ය ලබාගෙන රුපියල් මිලියන 52.02ක් නොදී වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ කුරුණෑගල මහාධිකරණය හමුවෙහි මෙම නඩුව පවරා තිබිණි.

එම නඩුව ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති කේ.එම්. ආර්. ප්‍රනාන්දු, හිටපු සමුපකාර ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් යන විත්තිකරුවන් රිමාන්ඩ්භාරයේ තබන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

එම නියෝගය නීතිවිරෝධි බව ප්‍රකාශ කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවෙහි දින කිහිපයකදී කැඳවනු ලැබිණි.

එහිදී විත්තිකාර අභියාචක වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ විත්තිකරුවන් බන්ධනාගාර ගත කිරීමට දී ඇති නියෝගය දෝෂ සහිත බවය. සුවිශේෂී කරුණු දැක්වීමකින් තොරව විත්තිකරුවන් රිමාන්ඩ් කිරීම නීති විරෝධී බව ඔහු සඳහන් කළේය.

එම පෙත්සමට එරෙහිව කරුණු ඉදිරිපත් කළ රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය සඳහන් කෙළේ සතොස ආයතනයේ මුදල් වංචා කිරීම පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් වන අතර විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන නියෝගය හේතු සහිතව දැක්වීමට විනිසුරුවරිය කටයුතු කර ඇති බවය.

එම කරුණු සලකා බැලූ අධිකරණය ඒ සම්බන්ධ තීන්දුව ඊයේ (17) ප්‍රකාශ කිරීමට පසුගියදා තීරණය කෙළේය.

නෙල්කා මැදගෙදර

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *