පාරිභෝගිකයා සහ ජනමාධ්‍ය – එම් ඕ ඒ ද සොයිසා

රටක පාරිභෝගිකයින් කෙරෙහි ජනමාධ්‍යයේ ඇති වගකීම කුමක්ද? මෙම ප්‍රශ්නය ඇසීමට සිදුවන්නේ කූඨ ව්‍යාපාරිකයින් හා සේවා සපයන්නන් හේතුවෙන් පීඩාවට පත්වන සහ අමාරුවේ වැටෙන පාරිභෝගිකයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ද වගකිව යුතු බවට මතයක් සමාජය තුළ මේ දිනවල කථිකාවතට ලක්ව තිබෙන බැවිනි. මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමේ දී අවධානය යොමුකළ යුතු කරුණු දෙකක් තිබේ. පාරිභෝගිකයා යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්ද යන්න පළමු කරුණය. දෙවැන්න වන්නේ පාරිභෝගිකයින් කෙරෙහි ජනමාධ්‍යයට ඇති වගකීම කුමක්ද යන්න විමසා බැලීමය.

යළි විකිණීමේ හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා යළි යොදා ගැනීමේ අරමුණෙන් තොරව සෘජු පරිභෝජනය සඳහා හෝ පෞද්ගලික හිමිකමට යටත් කර ගැනීම සඳහා හෝ නියමිත මිල වටිනාකම ගෙවා යම් භාණ්ඩයක් නැතිනම් සේවාවක් ලබා ගන්නා යම් තැනැත්තකු පාරිභෝගිකයකු ලෙස හැඳින්වේ. මේ අනුව පාරිභෝගිකයකු ආශ්‍රිතව පවතින මූලික ලක්‍ෂණ දෙකක් හඳුනා ගතහැක. සෘජු පාරිභෝජනයට හෝ පෞද්ගලික හිමිකමට යටත්කර ගැනීම අරමුණු කොටගෙන නියමිත මිල මට්ටම් ගෙවමින් භාණ්ඩ හෝ සේවාවන් මිල දී ගැනීම එයින් ප්‍රථම ලක්‍ෂණය වේ. දෙවැන්න වන්නේ එසේ මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් යළි විකිණීමට හෝ ප්‍රතිනිෂ්පාදනය සඳහා යොදා නොගැනීමය.

ජනමාධ්‍යයේ වගකීම හා කාර්යය වන්නේ වෙළෙඳපොළේ පවතින භාණ්ඩ හා සේවා, ඒවායේ මිල මට්ටම්, ඒවා නිෂ්පාදනය කරන්නේ කවුරුන් විසින්ද යන්න, ඒවායේ ගුණාත්මක තත්ත්වයන් සහ ඒවා ලබාගත හැකි ආකාරය පිළිබඳව යනා දී කරුණු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හා වාර්තා ලබා දෙමින් පාරිභෝගිකයින් දැනුවත් කිරීමය. එමෙන්ම පාරිභෝගික, දුක් ගැනවිලි සහ පැමිණිලි යනාදිය අදාළ නිෂ්පාදකයින් හා බලධාරී ආයතන වෙත ඉදිරිපත් කරමින් වඩාත් හොඳ පාරිභෝගික සේවාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමද ජනමාධ්‍යයේ වගකීම වේ. මෙයින් පැහැදිලි වන එක් වැදගත් කරුණක් තිබේ. එනම් පාරිභෝගිකයා සහ ජනමාධ්‍ය අතර නොබිඳිය හැකි අතිශය සමීප සෘජු සමබන්ධතාවක් පවතින බවය. මෙම සම්බන්ධතාවය නිවැරදිව තේරුම් ගත හැක්කේ එක් අතකින් පාරිභෝගික අයිතිවාසිකම් මොනවාද යන්න සොයා බැලීමෙනි. අනෙක් අතින් පාරිභොගික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සතු ක්‍රියා කලාපය කුමක්ද යන්න සොයා බැලීමෙනි.

20 වන සියවසේ මැද භාගය වනතෙක්ම මිල දී ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් සහ එම භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් සතු විධිමත් අයිතිවාසිකම් මාලාවක් තිබුණේ නැත. 1950 ගණන්වල දී ඇමරිකාව තුළ ආරම්භ වන ‘පාරිභෝගිකවාදය’ පදනම් කරගත් සමාජ ව්‍යාපාරය විසින් අක්‍රමික හා අසාධාරණ ව්‍යාපාරික ක්‍රියාවන්ගෙන් පාරිභෝගිකයා ආරක්‍ෂා කර ගැනීම සඳහා විධිමත් පාරිභෝගික අයිතිවාසිකම් මාලාවක් නීතිගත කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින අතර එම ව්‍යාපාරයේ හඬට ඇහුම්කන් දීමක් වශයෙන් 1962 දී ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා විසින් The Consumer Bill Of Rights පනත කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරවා ගෙන ක්‍රියාවට නැංවීය. පාරිභෝගික අයිතිවාසිකම් සමස්ත ලෝකය පුරා ප්‍රචලිත වීම ආරම්භ වන්නේ මින් අනතුරුවය.

වර්තමානයේ පාරිභෝගික අයිතිවාසිකම් සමන්විත වන්නේ, මූලික අයිතිවාසිකම් හතරකින් සහ එම හතරට එකතු කරන ලද තවත් අයිතිවාසිකම් හතරකිනි. එම අයිතිවාසිකම් වන්නේ 1. ආරක්‍ෂාව පිළිබඳ අයිතිය, 2. දැනුවත් වීමේ අයිතිය, 3. තේරීමේ අයිතිය, 4. පාරිභෝගික හඬට ඇහුම්කන් දීමේ අයිතිය, 5. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය, 6. සහන ලබා ගැනීමේ අයිතිය, 7. පාරිභෝගික අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය, සහ 8. සුවදායක පරිසරයක් පවත්වා ගෙන යාමේ අයිතිය යනාදියයි.

මෙයින්, ආරක්‍ෂා වීමේ අයිතිය යන්නෙන් අදහස් කරන්නේ, මෝටර් රථවලින් හැරුණු විට අනෙක් භාණ්ඩ පරිභෝජනයේ දී පාරිභෝගිකයින්ට සිදුවිය හැකි හානිවලින් ආරක්‍ෂා වීමේ අයිතියයි. එමෙන්ම භාණ්ඩය පාවිච්චි කිරීමේ දී දක්වා ඇති උපදෙස් අනුව භාණ්ඩය පාරිභෝජනය කරන්නේ නම් එහි දී ඇතිවිය හැකි හානිවලින් ආරක්‍ෂාවීමේ අයිතියද මෙයට අයත් වේ. මෙම අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියාකාරී ප්‍රමිතීන් එනම් භාණ්ඩය පූර්ව පරීක්‍ෂණයකට ලක්කොට වෙළඳ පොලට නිකුත් කිරීම, අන්තරාදායක තත්ත්වයන් දක්වන ලේබල ඇලවීම, දෝෂ සහිත නිෂ්පාදන පිළිබඳව හැකි ඉක්මණින් පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී දෝෂ සහිත නිෂ්පාදන යළි එකතු කිරීම යනාදිය ව්‍යාපාරිකයින් විසින් ක්‍රියාවට නැංවිය යුතුය.

දැනගැනීමේ අයිතිය යන්නෙන් අදහස් කරන්නේ භාණ්ඩ හා සේවාවන් පිළිබඳව ප්‍රමාණවත් සහ නිවැරදි තොරතුරු ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගික ප්‍රජාවට සැපයිය යුතුය යන්නය. මෙම තොරතුරු මුළුමණින්ම සම්පූර්ණ විය යුතු මෙන්ම විශ්වසනීයත්වයෙන්ද යුක්ත විය යුතුය. විශේෂයෙන්ම භාණ්ඩ මිල දී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම, ලේබල් කිරීම, ඇසුරුම් කිරීම යනාදිය පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය මෙයට අයත් වේ.

තේරීමේ අයිතිය යන්නෙන් අදහස් කරන්නේ භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීමේ දී තේරීමේ අයිතිය පාරිභෝගිකයාට තිබිය යුතු බවය. එකම වර්ගයේ භාණ්ඩ අතුරින් තමන් කැමති භාණ්ඩය හෝ සේවාව තෝරා ගැනීමට පාරිභෝගිකයාට වෙළඳපොළ විවෘත විය යුතු අතර ව්‍යාජ මිල අඩුකිරීම් මගින් ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ හෝ සේවාවන් මිල දී ගැනීමට පාරිභෝගිකයා පෙළඹීම ආවරණය කිරීම මෙයින් අදහස් වේ.

පාරිභෝගික හඬට ඇහුම්කන් දීමේ අයිතිය යන්නේ අදහස් කරන්නේ නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ඉදිරිපත් කරන පැමිණිලිවලට සාධාරණව, ඉක්මණින් සහ කාර්යක්‍ෂමව ඇහුම්කන් දිය යුතු බවය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය යන්නෙන් අදහස් වන්නේ ජන ජීවිතය පවත්වා ගෙනයාමට අවශ්‍ය මූලික භාණ්ඩ හා සේවාවන් එනම් ආහාරපාන, ඇඳුම් පැලඳුම්, නිවාස, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, ජලය, හා වෙනත් ප්‍රයෝජ්‍යතාවන් ප්‍රමාණවත් අයුරින් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට තිබෙන අයිතියයි.

සහන ලබා ගැනීමේ අයිතිය යනුවෙන් අදහස් වන්නේ තත්ත්වයෙන් අඩු භාණ්ඩ හා සේවාවන්, කල් ඉකුත් වූ භාණ්ඩ හා අසතුටුදායක සේවාවන් ලබා ගැනීමෙන් සිදුවන හානිවලට සහන හා වන්දි ලබා ගැනීමට පාරිභෝගිකයින්ට ඇති අයිතියයි.

අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය යන්නෙන් අදහස් කරන්නේ භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ දී බුද්ධිමත්ව සහ තාර්කිකව හැසිරීමට අවශ්‍ය දැනුම හා අවබෝධය පාරිභෝගිකයාට ලබා ගැනීමේ අයිතියයි. සුවදායක පරිසරයක් පවත්වා ගෙන යාමේ අයිතිය යන්නෙන් අදහස් කරන්නේ වර්තමාන සහ අනාගත පරම්පරාවේ පොදු යහපත ආරක්‍ෂා වන ආකාරයේ පරිසරයක ජීවත් වීමට හෝ වැඩ කිරීමට පාරිභෝගිකයාට ඇති අයිතියයි.

ඉහතින් දැක්වූයේ පාරිභෝගික අයිතිවාසිකම් පිලිබඳවය. මෙම අයිතිවාසිකම් පාරිභෝගිකයාට නිසිලෙස භුක්ති විඳිය හැක්කේ පාරිභෝගිකයා නිසිලෙස දැනුවත් වූ, බුද්ධිමත්ව සහ තාර්කිකව කටයුතු කරන්නෙක් වුවහොත් පමණි. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් කරන්නේ කෙසේද? ජනමාධ්‍ය වැදගත් වන්නේ මේ සම්බන්ධයෙන්ය. ව්‍යාපාරිකයින් තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ හා පවත්වා ගෙනයන සේවාවන් පාරිභෝගිකයාට හඳුන්වා දෙන්නේ ගුවන් විදුලිය, රූපවාහිණිය හා මුද්‍රිත මාධ්‍යය මාර්ග වලිනි. පාරිභෝගිකයින් වෙළඳපොළට යන්නේ මාධ්‍ය මගින් සපයන තොරතුරු හරහා ලබා ගන්නා දැනුම පෙරදැරි කර ගෙනය. එසේනම් නිවැරදි තොරතුරු සපයා පාරිභෝගික ජනතාව විධිමත් ලෙස දැනුවත් කිරීම මාධ්‍ය සතු මූලික මෙන්ම අත්හැරිය නොහැකි වගකීමක් වේ.

පාරිභෝගිකයා ආරක්‍ෂා වන්නේ සහ ඔහුට සාධාරණත්වය ඉටුවන්නේ ජනමාධ්‍ය තමන් සතු වගකීම නිසිආකාරව ඉටුකරන්නේ නම් පමණි. අනෙක් අතට පාරිභෝගික හඬ නිසි අයුරින් නිසි තැනට ගෙන යමින් පාරිභෝගිකයාට සාධාරණත්වය ඉටුකිරීම සම්බන්ධයෙන්ද ජනමාධ්‍යයට විශාල වගකීමක් පැවරේ. පාරිභෝගිකයා පැමිණිලි කළ යුත්තේ කාටද? පැමිණිල්ල කළ යුත්තේ කුමන ආකාරයකටද? පැමිණිල්ලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ගතයුතු මීළඟ පියවර කුමක්ද?යන්න පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමද මාධ්‍ය සතු වගකීමක් වේ.

මාධ්‍යය මෙම වගකීම සැබෑ ලෙසම ඉටුකරනවාද? මෙම ප්‍රශ්නය සමස්ත ලෝකය පුරාම තියුණු විවාදයට ලක්ව ඇති කරුණක් ලෙස පෙන්වා දියහැක. මාධ්‍ය වූ කලී ලාභය පෙරදැරි කරගත් වාණිජ ව්‍යාපාර වන අතර සෑම මාධ්‍යයක්ම නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ හැකිතාක් දුරට ලාභය වැඩිකර ගැනීමටය. ජනමාධ්‍ය ලාභ උපයන්නේ දැන්වීම් මගිනි. දැන්වීම් හරහා ලැබෙන ආදායම නොමැතිව කිසිදු මාධ්‍යයකට පැවැත්මක් තිබේයැයි කිව නොහැක. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ මාධ්‍යයට ලැබෙන ඕනෑම දැන්වීමක් වගකිව යුතු විමර්ශනය කිරීමකින් තොරව පළකරමින් පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීමය.

මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ හොඳ, යහපත, සාධාරණත්වය, සත්‍යතාව, නිවැරදි බව යන මූලධර්ම පදනම් කරගෙන නොව ලාභය උපරිම කර ගැනීමේ පදනම මතය. මෙම හේතුවෙන් වගකීම් විරහිතව මාධ්‍ය බොහෝවිට ක්‍රියාකරන ආකාරය දැකිය හැකි වේ. ශ්‍රී ලංකාව තුළ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්, විවිධ ඔෳෂධ වර්ග, ලෙඩ සුවපත් කිරීම, ව්‍යාජ ව්‍යාපාර, ලෙහෙසියෙන් මුදල් උපයා ගැනීමේ ක්‍රම යනාදිය පිළිබඳව මාධ්‍ය තුළ පළවන දැන්වීම්වලින් මෙය පැහැදිලි වේ. පිරමිඩ මුදල් උපයා ගැනීම, ගෝල්ඩන්කී, ඊ. ටී. අයි, සක්විති වැනි දෑ සම්බන්ධයෙන් මාධ්‍යය වගකීමෙන් ක්‍රියාකළා නම් ඒවායින් අමාරුවේ වැටී සිටින පාරිභෝගිකයින් දහස් ගණනක් ආරක්‍ෂා කර ගැනීමට බෙහෙවින්ම ඉඩකඩ තිබූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මාධ්‍ය සදාචාරය හා මාධ්‍ය වගකීම වැදගත් වන්නේ එබැවිනි. මාධ්‍ය වගකීමකින් යුතුව තම කාර්යභාරය ඉටුකරනවාද යන්න සොයා බැලීමේ අවශ්‍යතාවය පැන නගින්නේ එම හේතුව මතය. ප්‍රායෝගික තත්ත්වය විමසීමේ දී පෙනී යන්නේ පාරිභෝගිකයා කෙරෙහි මාධ්‍යය දක්වන අවධානය බෙහෙවින්ම පහත මට්ටමක පවතින බවය. එහි ගොදුරු බවට පත්වී අවසානයේ දී අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *