අතේ කෝට් – භාතිය බරුකන්ද

“අතේ පැළ වෙන බොරු” කියමින් රටේ ජනතාව රැවටීමට තැත් කිරීම මේ කල්ලිය පසුගිය කාලය පුරාම අඛණ්ඩව කළ බව අපි අමතක නොකළ යුතුයි. එමෙන්ම “රටේ ජනතාවට හමුවේ එකක් කියා විදේශ රටවලදී ඊට හාත්පසින්ම වෙනස් වෙනත් කතාවක් කියන මේ අවස්ථාවාදීන්ගෙන් රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොව ඔවුන්ගේ විසිල්වලට බල්ටි ගහන ජනමාධ්‍ය සහ පාක්ෂිකයන්ද ප්‍රවේශම් විය යුතු බව අපගේ අදහසයි.

යම්කිසි වරදක් කර හෝ බොරුවක් කියා අතට ම අසු වූ වෙලාවට “අතේ කෝට්” කියලා සමහරු කියනවා. ගමේ ගොඩේ සිල්ලර වරදක් හෝ පොඩි පහේ බොරුවක් කියා අසු වූ විට පවා ඒ වරද කළ හෝ බොරුව කී පුද්ගලයා දැඩි මානසික අසහනයකට පත් වෙන ආකාරය අපි දැකලා තිබෙනවා. ඒ වගේම මෙවැනි පුද්ගලයන් සමාජය තුළ යම්කිසි ආකාරයකට කොන් කිරීමකට ද ලක් වෙනවා. ඒ නිසා “අතේ කෝට් ” වෙන්න කවුරුත් කැමැති නැහැ.

ලෝකේ වැඩියෙන්ම අතේ කෝට් වෙන්නේ දේශපාලනඥයන් බව පැහැදිලියි. මහ බලවතාගේ සිට මේ තත්ත්වය අපි පසුගිය කාලේ දැක්කා. එහෙම අතේ කෝට් වුණු බොහෝ දෙනෙක් මහත්වරුන් වාගේ දේශපාලනයෙන් සමුගත්තා. ඇතැම් සංවේදී පුද්ගලයන් තමන්ගේ ජීවිතයෙන් පවා සමු ගත්තා. ඔවුන් එහෙම කළේ හෘද සාක්කියක් කියලා දෙයක් තිබෙන නිසා වෙන්න ඇති. එහෙම නැතිනම් සියල්ලට වඩා ආත්ම ගරුත්වය වටිනවායැයි හිතලා වෙන්න ඇති.

දැන් ලෝකෙන් ඉවත් වෙලා ලංකාවට ආවොත් අපිට දැකිය හැකි තත්ත්වය කුමක්ද ? ලංකාවෙත් හිටපු පාලක කල්ලියට සම්බන්ධ දේශපාලනඥන් සහ නිලධාරින් අති බහුතරයක් අතේ කෝට් වුණු අවස්ථා අපි පසුගිය කාලය පුරාම නිතර නිතර දැක්කා. එහෙම වුණාම ඇතැම් ලොක්කේ තමන්ගේ අතින් සල්ලි ගෙවලා වරද වහගන්න උත්සාහ කළා. එහෙම නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා වාරණ නියෝග ගත්තා. මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා. ඒත් පුදුමයට වාගේ මේ කිසිවෙක් අතේ කෝට් වීම නින්දාවක්, ලැජ්ජාවක් විදිහට සැලකුවේ නැහැ. ඒ ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා වැඩි නිසා වෙන්න ඇති. එහෙම නැතිනම් ‘වෙහෙර ගිල්ල අපිට අග්ගලාව මොන කජ්ජක්ද’ කියලා හිතලා වෙන්න ඇති. ඒ නිසා දවස ගානේ අතේ කෝට් වුණත් අපේ දේශපාලනඥයන්ට ඒ ගැන වගේ වගක් නැතුව තව තවත් අතේ කෝට් වෙන වැඩ කරමින් ඉන්න ආකාරයක් අපි දකිනවා.

සංස්කරණය නොකළ දර්ශන

ඒකාබද්ධ කල්ලියේ නාමල් වසන්තයේ සංස්කරණය නොකළ දර්ශන තවමත් ජනමාධ්‍ය හමුවේ, සමාජ මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය වෙනවා. ඒ සංස්කරණය නොකළ දර්ශන අතරේ අපූරු කතාවකුත් තිබෙනවා. ඒ නාමල් වසන්තය වණ කළ විස කිරි පැකැට් කතාවයි.

රට පුරා අධිකරණවල නඩු කප්පරක් ගොඩ ගැසී තිබුණත් සාම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලිය තුළ ඒ නඩු දිගින් දිගටම පමාවීම තමන්ගේ වාසනාව බවට හරවා ගත් ඒකාබද්ධ කල්ලිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ සක්‍රීය වූ මොහොතේදී දැඩි කැළඹිල්ලටත් භීතියටත් පත් වූ බව රහසක් නොවෙයි. එතෙක් කල් විවිධාකාර උපාය ප්‍රයෝජනයට ගනිමින් අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් සිතාසි නිකුත් කිරීම සමඟ තවදුරටත් සෙල්ලම් බැරි බවත් ආණ්ඩුවේ රතු කට්ටද පැන ඇති බවත් ඒකාබද්ධ කල්ලිය විසින් වටහා ගත් බව රහසක් නොවෙයි. ඒ සමඟ ආණ්ඩුව තවත් වටයකින් “තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕනෑ” යන කියමන අනුව යමින් රටපුරා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින්, දැවැන්ත සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අනපේක්ෂිත ගැම්මක් ගැනීම ද ඒකාබද්ධ කල්ලිය තුෂ්නිම්භූත කළ බවට සැකයක් නැත. ආණ්ඩුවේ මේ සියලු සැලසුම් කඩාකප්පල් කළ හැකි එකම උපාය වශයෙන් ඒකාබද්ධ කල්ලිය විශ්වාස කළේ “ජන බලය” පෙන්වා ආණ්ඩුව සහ නිලධාරී යාන්ත්‍රණය බියපත් කිරීමයි. තමන්ගේ අනාගතය ගැන ඔවුන් තුළ අවදානම් හැඟීමක් නිර්මාණය කිරීමයි. අඩියක් ඉදිරියට තැබීමට පෙර තවත් වරක් ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නිර්මාණය කිරීමයි. “ජන බලය කොළඹ – මහින්ද රජ ගෙට” යන සැලසුම ක්‍රියාත්මක වුණේ ඒ නිසයි.

ඒත් සිදුවිය යුතු පරිදිම සිදු වුණේ ජන බලය කොළඹට කෙසේ වෙතත් “ජන බලය තැබෑරුමට” රිංගා ගෙන රා බී වෙරි වූ මීයන් සේ මඟ දිගට විකාර කළ පොල්ලෙලි කෑලි පාර දිගේ හතර ගාතේ වැටිලා මුළු රැලියම එකම විකාරයක් බවට පත් කිරීමයි. නාමල් වසන්තය වණයක් වී යාමයි.

ජන බලය කොළඹට අතේ කෝට් වූ හැටි

ලක්ෂ දෙකක් සමඟ කොළඹ වටලා රජගෙට යාමට ආ රාජපක්ෂ කල්ලිය තම පොල් ලේලි කෑලි කොළඹ සන්නිය නටමින් ඇති කළ අවුලෙන් කොතරම් කම්පනයට පත් වුණාද යන්න අපට පහසුවෙන් වටහා ගත හැකියි. එහිදී ඔවුන් වඩාත් කම්පනයට පත් වුණේ සමාජ මාධ්‍යවලින් ලැබුණු ප්‍රතිචාර හරහා බව නොරහසක්. ජන බලය කොළඹ ඒමට පෙර සමාජ මාධ්‍යවලින් දැඩි සහායක් හා ප්‍රසිද්ධියක් ඒ සඳහා ලැබුණත් කොළඹ සන්නිය තිරගත වුණාට පස්සේ ඒ සඳහා සමාජ මාධ්‍යවලින් ලැබුණේ අපූරු විචාරයක්. “වචන දාහකින් කියන්න බැරි කතාවක් එක පින්තූරකින් කියන්න පුළුවන් ” යැයි කියන කියමන මනාව සනාථ කරමින් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යවල රැල්ලක් ඇති කළ ඒ ඡායාරූප ගොන්න රාජපක්ෂ කල්ලියේ මහා ජන පදනමේ සැබෑව “අතේ කෝට් ” කළ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකියි. මේ ගැන අවධානය යොමු කළ බොහෝ සන්නිවේදන විශ්ලේෂකයන් සඳහන් කළේ සමාජ මාධ්‍ය සංස්කරණය වූ ඡායාරූප හා අදහස් මගින් සමස්තය ගැන අපූරු විග්‍රහයක් ලබාදුන් බවයි. ජනතාවට වඩාත් පහසුවෙන් ජන බලය කොළඹ මෙහෙයුම ගැන වටහා ගැනීමට අවස්ථාවක් ලබා දුන් බවයි.

“ඇත්තටම වඩාත් වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ ඡායාරූප හා අදහස් දැක්වීම්. ජාතික මාධ්‍යවලට සාම්ප්‍රදායික වාර්තාකරණයේ සීමා ඉක්මවා ගිය අපූරු වාර්තාකරණයක් සමාජ මාධ්‍ය මගින් ලැබුණා. ඇත්ත, ඔබ කියන ආකාරයට ජනබලය කොළඹට මෙහෙයුමේ ඇත්ත තත්ත්වය අතේ කෝට් වුණා” සමාජ මාධ්‍ය හා එහි බලපෑම පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පර්යේෂණයේ යෙදෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මේ ලියුම්කරු සමඟ ඉහත සඳහන් ප්‍රකාශය කළා.

කිරි පැකැට්ටුවේ එල්ලීම

ජන බලය කොළඹට රැගෙන විත් හත්පොලේ ගා ගත් රාජපක්ෂ කල්ලිය තමන්ට සිදු වුණ නව නින්දාවෙන් ගැළවීමටත් යොදා ගත්තේ කාලයක් පුරා අත්හදා බැලූ අතිසාර්ථක අවියක් වන “කුමන්ත්‍රණ” කතාවයි. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ආදි ජනබල නායකයන්ට අනුව නාමල් වසන්තය වණයක් කළ පොල් ලෙලි කෑලි පිස්සු නැටීමට සහ විශාල පිරිසක් රෝහල්ගත වීමට හේතුව ආණ්ඩුව විසින් බෙදා දුන් කිරි පැකට් උද්ඝෝෂකයන් විසින් පානය කිරීමයි. එහිදී මේ කල්ලිය කිසිදු බියක් සැකක් නැතිව මෙරට ප්‍රමුඛ ආයතනයක් වන ජාතික ලොතරැයි මණ්ඩලයට ඍජුව චෝදනා කළා. ඒ මේ විස කිරි පැකට් බෙදා දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වාහන මගින් බව කියමින්. (මේ චෝදනාව ගැන ජාතික ලොතරැයි මණ්ඩලය නීතිමය පියවර ගෙන තිබෙනවා)

විමල්, නාමල් හරහා සමාජගත වුණු විස කිරි පැකට් කුමන්ත්‍රණ කතාව තවත් ‘චේතිය බොරුවක් ” බවට ලඝු වුණේ මේ කතාවට මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වූ අවස්ථාවේදීයි. පසුගියදා රූපවාහිනි කැමරා ඉදිරියේ ජන බලය කොළඹට ගැන පසු විපරමක යෙදුණු රාජපක්ෂ මහතා අපූරු රහසක් හෙළි කළා. ඒ ආණ්ඩුව බෙදා දුන්න විස කිරි පැකට් බීපු නිසා තමන්ගේ රැලියට සහභාගි වූ විශාල පිරිසක් අසනීප වූ බවත් ඒ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාත් සිටි බවයි. ඩලස් රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බවත් රාජපක්ෂ මහතා රූපවාහිනි කැමරා අභිසය ඉඳන් අති සංවේදී ආකාරයෙන් කිව්වා. ඒ අතරේ රූපවාහිනි කැමරා විසින් ලබා ගන්නා රූප රාමුවේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිනා සෙමින් සිටින ආකාරය අපූරුවට දැකගත හැකි වුණා. විස කිරි පැකට් බී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඩලස් අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්ෂ මහතා අසලම සිට කැමරාවට සිනාසෙනු දුටු ප්‍රේක්ෂකයන්ට ඇති වුණු හැඟීම කුමක්දැයි හිටපු ජනාධිපතිවරයාට තැකීමක් නැතිවිය හැකියි. ඒ ඔහු පසුගිය කාලය පුරාම මේ ආකාරයෙන් අතේ කෝට් වෙන කතා සිය දහස් ගණනක් කියා ඇති නිසයි. චේතිය රජ්ජුරුවොත් පරාද කළ මහින්ද රාජපක්ෂ මහතා තවත් වටයකින් අතේ කෝට් වුණේ එහෙමයි.

ජන බලය කොළඹට පැමිණෙන විටදී විටින් විට ප්‍රදර්ශන වූ සටන් පාඨ අතර ඉන්දීය විරෝධය සහිත සටන් පාඨ රැසක් අපට දැකගත හැකි වුණා. ඒ අතර ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත “එට්කා ගිවිසුම” සහ මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මත සංවර්ධනය කිරීමේ රජයේ නව සැලසුමට ඇති විරෝධය ද දැකගත හැකි වුණා. මේ සියල්ල මගින් ඒකාබද්ධ කල්ලිය උත්සාහ කළේ වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමඟ ගෙනයන ආර්ථික හා සංවර්ධන වැඩසටහන් කඩාකප්පල් කිරීමයි. ඒ අතර මීට සති කිහිපයකට පමණ පෙර මත්තල ගුවන් තොටුපොළට අත නොතබන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ඉන්දියාවට අනතුරු ඇඟයීමට ද පියවර ගත්තා. රාජපක්ෂ කල්ලියේ මේ නිමක් නැති ප්‍රබල ඉන්දීය විරෝධය හමුවේ නිර්මාණය වුණේ පැහැදිලි චිත්‍රයක්. ඒ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන සියලුම ප්‍රතිපත්තිවලට ඒකාබද්ධ කල්ලියේ ඇති විරෝධයයි. තවත් චිරාත් කාලයක් චීනයේ සරණ යාමට ඇති සූදානමයි.

ඒත් ඉන්දීය විරෝධය කුළු ගැන්වූ ජනබලය මෙහෙයුමේ උණුසුම යාමටත් පෙර මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ ඉන්දීය රජය විසින් පිරිනැමීමට නියමිත බව කියන “භාරත රත්න” සම්මානයෙන් පිදුම් ලැබීම සඳහායි. ඉන්දියාවට මූෙලා්පායික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ පුද්ගලයන් සඳහා ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය ප්‍රදානය කරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. ඉන්දියාවේ මේ තීරණය සැබෑවක් නම් හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීමට කළ ගෞරවනීය සේවය කුමක්දැයි මේ රටේ ජනතාව මදක් විමසිල්ලෙන් කල්පනා කර බැලිය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතිහාසය පිරික්සීමේදී නම් අපට ඉතාම පැහැදිලිව දැකගත හැකි වන්නේ දැවැන්ත ඉන්දීය විරෝධයක්. ඉන්දියාවට රිදවීම සඳහා ඕනෑම අවදානමක් ගැනීමට ඇති සූදානමක්. රාජපක්ෂ පාලන සමයේ (2005-15) ඉතාම පැහැදිලිව හා සක්‍රීය ආකාරයෙන් මේ ඉන්දීය විරෝධය ප්‍රකාශයට පත් වුණා. මේ සඳහා එක් පැහැදිලි නිදසුනක් වන්නේ 2012 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ලංකාවේ සංචාරය කරද්දී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දැක්වූ කුඩම්මාගේ සැලකිල්ලයි. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කළ යෝජනාවට ඉන්දියාව සහාය දැක්වීම ද රාජපක්ෂ – ඉන්දීය අවුල තවදුරටත් වර්ධනය කළා. එම නිසා මහින්ද රාජපක්ෂ යුගය පොදුවේ සැලකුණේ ඉන්දීය සතුරන් සමඟ කල්ලි ගැසෙන යුගයක් විදිහටයි.

අද මහින්ද රාජපක්ෂ මහතා භාරත රත්න සම්මානයෙන් පිදුම් ලැබීම මේ රටේ සාමාන්‍ය ජනතාව තුළ, විශේෂයෙන් රාජපක්ෂ කල්ලිය වගා කළ ඉන්දීය විරෝධයේ අස්වැන්න නෙළාගෙන ඒවා බුදිමින් සිටින ජනතාව තුළ විස්මයක් ඇති කරනවාට සැකයක් නැහැ.

දවල් මිගෙල් රෑ දනියෙල්

මෙහිදී රාජපක්ෂවරුන්ගේ ඉන්දීය විරෝධය හමුවේ “බුදුන් උපන්නෙත් ලංකාවේ” යැයි විශ්වාස කිරීමට පවා පෙළඹී සිටින පාක්ෂියකයන් තිගැස්මට ලක් කරන ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ මහතා කළ බව ඉන්දීය හා ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කළා.

“ද හින්දු” පුවත්පතේ (මේ පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාට ඉතාම හිතවත් පුවත්පතක් ලෙස ප්‍රකටය) මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ “මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමේ ආණ්ඩුවේ තීරණයට මම විරුද්ධ නැහැ. මම විරුද්ධ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට පමණයි” යනුවෙනුයි. මෙහිදී තවත් අපූරු හෙළි කිරීමක් මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබෙනවා. ඒ රාජපක්ෂ යුගයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ත්‍රිත්වය වන මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ අධිවේගී මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට ලබාදුන් බවත් ඉන්දියාව එය නොපිළිගත් නිසා චීනයට එය ලබා දුන් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස්, ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියන මේ කතා මේ රටේ සාමාන්‍ය ජනතාව (විශේෂයෙන් ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකා පමණක් නරඹන සහ ජාතික පුවත්පත් පමණක් කියවන) කෙසේ වටහා ගත යුතු දැයි සිතා ගත නොහැකියි. මන්ද රාජපක්ෂ මහතා ලංකාවේදී කියන කතා සහ ලංකාවෙන් එළියට ගිය වහාම කියන කතා අතර දැඩි පරස්පරයක් තිබෙන නිසයි. “මම මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට දෙනවාට විරුද්ධ නැහැ. මම විරුද්ධ රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කරනවාට” යැයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ මත්තල ඉන්දියාව සමඟ හවුලේ සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ සැලසුමට හා ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සැලසුම් කර ඇති එටිකා ගිවිසුමට එරෙහිව මාධ්‍ය සංදර්ශන පවත්වමින්, ජනතාව ප්‍රකෝප කරමින්, ආණ්ඩුවේ එකී සැලසුම් සියල්ල කඩාකප්පල් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින අවස්ථාවකදීයි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි වහාම ජනතාව හමුවේ පැහැදිලි කළ යුතු කරුණ වන්නේ “මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමේ ආණ්ඩුවේ තීරණයට තමන් විරුද්ධ නොවන්නේ නම් විරුද්ධ වන්නේ මත්තල සම්බන්ධ ආණ්ඩුවේ කුමන තීරණයටද යන්නයි. මන්ද ආණ්ඩුව මත්තල සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ පෞද්ගලීකරණය කිරීමක් නොව “රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක්” පමණක් බව ආණ්ඩුව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන නිසයි. (මේ සම්මුඛ සාකච්ඡාවේදී එටිකා ගිවිසුම ගැනත් ප්‍රශ්න කළා නම් “ඔව් මම පක්ෂයි” යන පිළිතුර ලබා දෙන බව සහතිකයි) හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ද මෙවැනිම අවස්ථාවාදී ප්‍රවේශයක් අනුගමනය කරමින් ආණ්ඩුවේ ප්‍රයත්නය කඩාකප්පල් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පියවර ගත් බව අපි අමතක නොකළ යුතුයි.

“අතේ පැළ වෙන බොරු” කියමින් රටේ ජනතාව රැවටීමට තැත් කිරීම මේ කල්ලිය පසුගිය කාලය පුරාම අඛණ්ඩව කළ බව අපි අමතක නොකළ යුතුයි. එමෙන්ම “රටේ ජනතාවට හමුවේ එකක් කියා විදේශ රටවලදී ඊට හාත්පසින්ම වෙනස් වෙනත් කතාවක් කියන මේ අවස්ථාවාදීන්ගෙන් රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොව ඔවුන්ගේ විසිල්වලට බල්ටි ගහන ජනමාධ්‍ය සහ පාක්ෂිකයන්ද ප්‍රවේශම් විය යුතු බව අපගේ අදහසයි.

මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතාගේ සුපුරුදු “දවල් මිගෙල් – රෑ දනියෙල්” පිළිවෙතයැයි කියා අපට පහසුවෙන් අමතක කළ හැකියි. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ රටේ සිදුවන සියලු කඩාකප්පල්කාරී කටයුතු හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවට වීමයි. මත්තල, හම්බන්තොට වැනි රාජපක්ෂ යුගයේ සුදු අලි තවදුරටත් මහජන මුදලින් නඩත්තු කිරීමට ආණ්ඩුවට සිදුවීමයි. මේවා කිසිසේත් පොදු ජනතාව ඉවසිය යුතු හෝ ඉඩ දිය යුතු විහිළු නොවන බව අපගේ අදහසයි.

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *