| |

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන එහි එක් පියවරක් ලෙස නිවිතිගල ශ්‍රීලනිප මධ්‍ය බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිගුකාලීන අත්දැකීම් ඇති ජනතාවක් එයට සහභාගි වී සිටීම ගැන සතුට ප්‍රකාශ කරමින් කතා කළ ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයත් මේ දිනවල තමන්ගේ බලය ගැන අධි තක්සේරුවෙන් කටයුතු කරන බවයි. තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න මේ පක්ෂ දෙකෙන් එකකටවත් හැකියාව නැති බව කී ජනාධිපතිතුමා ශ්‍රීලනිපයේ සහාය නැතිව කිසිවකුට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි බව ද කීවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද නිතර ඇතිවන ගංවතුර පාලනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා පසුගිය ආණ්ඩු නොයෙකුත් ව්‍යාපෘති සකස් කළත් මහජන විරෝධය නිසා ක්‍රියාත්මක කරන්න නොහැකි වූ බව ද කීවා. එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ගිය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා පසුබැස ගිය ආකාරය ද ජනාධිපතිතුමා විස්තර කළා.

පරිසරයට හානි නොවන ලෙස ගංවතුර පාලනයට මෙවර සකස් කර තිබෙන වැඩපිළිවෙළ ගැන ද ජනාධිපතිතුමා කීවා. මෙරටට අලුත් අත්දැකීමක් වන ලෙස විශාල ජලනළ මඟින් ප්‍රදේශයේ අමතර ජලය වියළි කලාපයට රැගෙන යාම අලුත් සැලැස්ම බව ද කීවා. මෙවැනි සැලැස්මක් ගැන ජනාධිපතිතුමා කීවේ අලුත්ම අදහසක්.

නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකාවට ලබා දුන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හිඟුරක්ගොඩ නගරයේ දී පසුගියදා මුල්ගල තබන ලද්දේ ජනාධිපතිතුමා විසින්. එහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ මෙය උසස් පෙළ අසමත් වන අයට අධ්‍යාපනය දෙන ආයතනයක් ලෙස හැඳින්වීම වැරදි බවයි. උසස් පෙළ සමතුන්ට ද මෙහි පාඨමාලා පැවැත්වෙන බවත්, පොළොන්නරුවේ පමණක් නොව මුළු රටේම දරුවන්ට පාඨමාලා හැදෑරීමට මෙහි දී අවස්ථාව ලැබෙන බවත් ජනාධිපතිතුමා කීවා.

විශ්වවිද්‍යාලවල නවක වදය දීමේ අමානුෂික ක්‍රමය පිළිබඳවද මෙහි දී ජනාධිපතිතුමා කතා කළා. නවක වදය නිසා පසුගිය කාලයේ මියගිය සංඛ්‍යාව 25 දෙනකුට වැඩි බව ජනාධිපතිතුමා කීවා. පසුගිය වසරේ රුහුණු සරසවියට ඇතුළු වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 16 දෙනෙකුට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දුන් වද ගැන මෙහි දී කියන්න බැරි බව ද ජනාධිපතිතුමා කීවා.

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැතියේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. රටේම ඇති පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක කොට තිබෙන නව වැඩපිළිවෙළ හා නව නීතිරීති ගැන ද ජනතාව දැනුවත් කිරීම මෙමඟින් සිදුවනවා.

එහි දී කතා කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ හම්බන්තොට, මාතර ජනයාගේ අපේක්ෂා ඉටුකරන ගිං – නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවෙමින් පවතින බවයි. පසුගිය පාලන සමයේ මෙහි සිදු වූ දූෂණ ගැන මෙන්ම දැන් සිදුවන දේ ගැනත් පරීක්ෂා කිරීමට සිදුවන බව ද ජනාධිපතිතුමා කීවා. තවත් ප්‍රමාද නොකර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට අවවාදාත්මකව ප්‍රකාශ කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල වියට්නාමයේ හැනෝයි නුවරට ගොස් සිටින්නේ ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහායි. එම සමුළුවට සහභාගි වන අතරවාරයේ වියට්නාමයේ හා කලාපයේ අනෙක් රටවල රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අවස්ථාව ලැබුණා. මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

වියට්නාම් අගමැති ගුඑන් ෂුඑන් ෆුක් මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලද්දේ වියට්නාම අගමැතිතුමාගේ කාර්යාලයේදී. එහි දී දෙපාර්ශ්වය අතර විවිධ ක්ෂේත්‍රවල දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා එකඟතාවක් ඇතිකර ගත්තා. අධ්‍යාපනික – සංස්කෘතික – සමාජයීය – වෙළෙඳ – ව්‍යාපාරික – කර්මාන්ත හා ආයෝජන ක්ෂේත්‍රවල දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම ගැන ද එහි දී එකඟත්වයක් ඇතිකර ගත්තා.

ලබන වස‍රේ ජාත්‍යන්තර වෙසක් සමරුව වියට්නාමයේ පැවැත්වීමේ දී ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට ද එම සාකච්ඡාවේ දී එකඟතා ඇතිකර ගත්තා.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදෝදෝ මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවීම සිදුවූයේ හැනෝයි නුවර මෙලියා හෝටලයේදීය. යුරෝපා වෙළෙඳපොළෙහි කොටසක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව එක්ව උපාය මාර්ගයක් ක්‍රියාවට නැංවිය යුතු බවට එහි දී එකඟතාවයක් ඇතිකර ගත්තා.

දෙරට අතර ආයෝජන හා වෙළෙඳ කටයුතු සංවර්ධනය සඳහා ඒකාබද්ධ කමිටුවක් මඟින් කාලරාමු සහිත වැඩසටහනක් ක්‍රියාවට නැඟීමට ද එහි දී තීරණය වුණා. සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා සාමුහිකව ගතහැකි පියවර ගැන ද එහි දී සාකච්ඡාවට ලක්වුණා.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හා ලාඕස අග්‍රාමාත්‍ය කොංල්යුවන් සිස්යුලින් මහතා අතර පැවැති හමුවේ දී තීරණය වූයේ දෙරට අතර සංස්කෘතික සබඳතා තරකර ගැනීම සඳහා දෙරට සංස්කෘතික ඇමැතිවරුන්ගේ කඩිනම් හමුවක් සංවිධානය කිරීමටයි.

දෙරට අතර වෙළෙඳ ආයෝජන හා ව්‍යාපාරික සබඳතා වර්ධනය සඳහා ගත යුතු පියවර ගැන ද එහි දී සාකච්ඡාකොට තීරණය කරනු ලැබුවා.

හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සමගාමී පූර්ව සැසියක් පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. ‘පෞද්ගලික අංශයේ මූලධනය එක්රැස් කරගැනීම’ මැයෙන් පැවැති එම සමුළුව අමතා කතා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අනාගත සංවර්ධන වැඩසටහන් සඳහා රාජ්‍ය ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැති බව හා ඒ සඳහා පෞද්ගලික ආයෝජන ලබාගත යුතු බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව, වහමල්ගොල්ලෑව ගොවි ජනපදය ආරම්භ කළේ 1968 දී එවක ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා විසින්. ඊට වසර 48 ක් පිරීම නිමිත්තෙන් 2016 දී නිවාස 48 කින් යුත් උදා ගම්මානයක් සඳහා එහි මුල්ගල් තැබුණේ වත්මන් පාලනය යටතේයි. පසුගියදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රඹෑව, වහමල්ගොල්ලෑවට ගියේ “සෑගිරිගම” ලෙස නම් කර තිබූ මෙම ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය සඳහායි. ගම්මානයට නම තැබීමේ දී ඩඩ්ලි සේනානායක ශ්‍රීමතාණන් සහමුලින්ම අමතක කර තිබීම පිළිබඳ සජිත්ට ඇතිවූයේ කෝපයද කනස්සල්ලද මුසු හැඟීමක්. “ඇයි මේ ගමට ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ නම තියන්න අමතක වුණේ?” සජිත් අසද් දී නිලධාරින් අන්ද මන්දව නිරුත්තරව සිටියා. සජිත් කීවේ “කෙළෙහිගුණ සැලකීමේ ගුණය අතුරුදන් වේගෙන යනවා. පිදිය යුත්තන් පිදීමේ ගුණය අහලකවත් නෑ” කියායි නිලධාරින් තමන් අතින් සිදුවුණු බරපතළ වැරැද්දට සමාව ඉල්ලා සිටියා. ඇතැමුන් නිදහසට කරුණු දක්වන්නට වුණා. “ඩඩ්ලි සේනානායක කියන්නේ මේ රටේ ජනතාවට ‘බත් දුන් පියා’ එතුමා මේ වගේ ජනපද හැදුවා. විශාල ඕනෑකමකින් කෘෂිකර්මය දියුණු කළා. දැන් හුඟ දෙනෙකුට එතුමා අමතක වුණත් අපට නම් කවරදාකවත් අමතක වෙන්නේ නෑ. “සජිත් කතා කළේ කෝපයෙන්” මේ ළඟම තවත් උදා ගම්මාන 2 ක් හැදෙනවා නේද? ඒ දෙකම ඩඩ්ලි සේනානායක ශ්‍රීමතාණන්ගේ නමින් නම් කරන්න ඕනෑ. වැඩක් කරනකොට ඒක තිතට කරන්න ඉගෙන ගන්න. ලී ක්වාන් යූ අගමැතිතුමා සිංහයෙක් ව‍ෙග් නොසැලී වැඩ කළ කෙනෙක්. එතුමාව ආදර්ශයට ගන්න. සජිත් කීවා.

සෙනසුරාදා උදෑසන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ගාලු ගියේ මහජන හමුව වෙනුවෙන්. ඇමතිවරයා හැකි ඉක්මණින් යළි කොළඹ බලා ඒමේ අපේක්ෂාවෙන් ගාල්ලට ගිය ද අති විශාල පිරිසක් තම ගැටලු රැගෙන ඇමතිවරයා හමුවීමට පැමිණ සිටි බැවින් ලෙහෙසියෙන් එතැනින් ගැලවී එන්නට ඔහුට හැකි වූයේ නැහැ. සවස්වනතුරු ගාල්ලේ මහජනතාව සමඟ රැඳී සිටි ඇමැති වජිර පසු දා උදෑසන ම බල මණ්ඩල රැස්වීම් සඳහා හිනිදුමට ගියා. හිනිදුම ආසනය ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විශාලතම මැතිවරණ කොට්ඨාසය බැවින් එහි බල මණ්ඩලය කැඳවා තිබුණේ කොටස් දෙකක් ලෙසින්. හිනිදුම බලමණ්ඩලය අවසන් කළ ඇමතිවරයා ඉන් අනතුරුව පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර මහතාගේ නිවසේ පැවැති කරන්දෙණිය ආසන බලමණ්ඩලයට ද සහභාගී වූණා.

පසුදා වජිර අබේවර්ධන අමාත්‍යවරයා අම්බලන්තොට ගියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 1100ක වියදමින් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමටයි. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

ජනාධිපතිවරයා හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට සහභාගී වී ඉන් අනතුරුව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පැමිණියා. ගොඩනැගිල්ලේ ඵලකය විවෘත කර පොල්තෙල් පහන දල්වා ලොග් සටහනක් තැබූ ජනාධිපතිවරයාට අපූරු කාර්යයක් ඉටුකිරීමට අවස්ථාව සලසා තිබුණා. ඒ 40 වසරකට වැඩි කාලයක් අවිවාහකව අඹු සැමියන් සේ දිවි ගෙවූ මවුපිය යුවළක් නීත්‍යානුකූලව විවාහ කිරවීමයි.

‘’වජිර දැන් රටේම ඉන්න අවිවාහක අම්මලා තාත්තලා හොය හොයා කසාද බන්දනවා.” යැයි ජනාධිපතිවරයා කීවේ සිනා සෙමින්.

‘’දැන් දරුවොත් කසාද බැඳල ඇති නේද ?” ජනාධිපතිවරයා මේ යුවළගෙන් ඇසුවා.

‘’ළමයි හතක් ඉන්නවා. හය දෙනෙක්ම කසාද බැඳලා”

‘’දරුවනුත් ඒක්කගෙන ආවනම් තමයි හොඳ” යැයි ඇමැති වජිර කියන විට ජනාධිපතිවරයා ද ඒය අනුමත කළා.

අනතුරුව කෙටි උත්සව සභාව ආරම්භ කෙරුණා.

ඒහි දී ජනාධිපතිවරයා කතා නොකළ ද රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය වූ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විධිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ලබාදෙන දායකත්වය ගැන ඇමැති වජිර ජනාධිපතිවරයාට ස්තූති කළා.

අම්බලන්තොට ප්‍රාදේශීය කොට්ඨාසයේ ඉඩම් හිමිකම් නොමැතිව සිටි පවුල් ගණනාවකට ඉඩම් හිමිකම් ද සමාජ සුබ සාධන දීමනා ද පිරිනැමූ ජනාධිපතිවරයා ආපසු යාමට පැමිණෙද් දී තවත් නව යුවළයක් ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් එහි සිටියා.

‘’ඔබතුමාට කියලා කසාදයට අත්සන් කරගන්න අලුත් ජෝඩුවක් ඇවිත්. “ යැයි ඇමැති වජිර ජනාධිපතිවරයාට කීවා.

‘’එයාලා අද කසාද බඳින අය ද ?” යැයි ඇසූ ජනාධිපතිවරයා ඔවුන්ගේ විවාහයට අත්සන් කිරීමට සිය කැමැත්ත පළ කළා.

මේ යුවළ පැමිණ සිටියේ ජනාධිපතිවරයා විසින් කලින් විවාහ නොවූ අඹු සැමියන් දෙදෙනකු විවාහකරවන බව දැන ඒ අවස්ථාවේ දී තම විවාහයට ජනාධිපතිවරයා සාක්ෂිකරුවකු කර ගැනීමේ අපේක්ෂාවෙන්. කලින් යුවළත් මේ නව යුවළත් විවාහ කරලීම සිදුකිරීමට නියමිතව සිටියේ ඒකම විවාහ රෙජිස්ටාර්වරියක විසින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව යුවළගේ විවාහයට අත්සන් තබා ඔවුන්ට සුබ පැතුවා.

සවස ඇමැති වජිර අබේවර්ධන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයට කැඳවා තිබුණා. එහි දී සංවර්ධන කටයුතු ඉටුකිරීමේ දී නිලධාරීන් මුහුණ දෙන ගැටලු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඔවුන්ට ඇති පුද්ගලික ගැටලු රැසක් නිරාකරණය කිරීමට ද ඇමතිවරයා කටයුතු කළේ ක්ෂණිකව ඒසඳහා විසඳුම් ලබා දෙමින්.

මෙතෙක් විදේශගත නොවූ නිලධාරීන්ට ඉක්මණින් ම විදේශ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා කීවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙනා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැවත කතාබහක් මතුවූයේ එය පසුගිය 05වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡාවට ලක්වුණා. ”මේ වෙනකොට පෙත්සම් කිහිපයක් 20ට එරෙහිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පෙත්සම්වල හරය ගත්තාම තියෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ගන්න ඕන කියන එකයි ජනමත විචාරණයයි. ඒවා අමුතු දේවල් නෙවෙයි. අපි බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.” ටිල්වින් සිල්වා කියා සිටියා. ”මේක ජනතාවට බලපාන ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ නිසා ජනතාවගේ මැදිහත්වීමෙන් මේ සංශෝධනය සම්මත කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් මේක සම්මත කරගන්නවට වඩා ජනතාවගේ සක්‍රීය මැදිහත්වීමෙන් සම්මත කරගන්න තියෙනවනම් හොඳයි. මොකද මේකට ජනතාව ඉතාම කැමතියි. ජනතාව අවස්ථා පහක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඡන්දය දීලා තියෙනවා.” බිමල් රත්නායක කීවා. ”ඇතැම් ජාතිවාදී කණ්ඩායම් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැනත් ජාතිවාදී බිල්ලෝ මවනවා. ඒක පරාජය කරන්න ඕනෑ. ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරමු” අනුර දිසානායක කීවා. ‘ඒ වගේම අපි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමඟත් සාකච්ඡාවක් කරමු. ඒ විතරක් නෙවෙයි මල්වතු නාහිමියන්, කාදිනල්තුමන් ඇතුළු ආගමික නායකයින් හමුවෙලා මේ ගැන සාකච්ඡාවක් කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මේක හංගලා කරන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් විවෘතව කතා කරන්නයි අපිට ඕනෑ. එතකොට කොයි වෙලාවෙත් කොරහේ කිඹුල්ලූ දකින කුමන්ත්‍රණවලින් විතරක් ඔළුව පුරවගෙන ඉන්න කණ්ඩායම්වලට උත්තර ලැබෙයි” ලාල්කාන්ත කියා සිටියා. මේ වනවිට ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විසින් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයටත් සාකච්ඡාවක් සඳහා ලිඛිතව ආරාධනා කොට තිබෙනවා.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් විසින් 20වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 11ක්අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය පසුගිය 12වැනිදා ආරම්භ කළා. අගවිනිසුරුවරයා විදේශ සංචාරයක නිරත වී සිටින බැවින් එම පෙත්සම් විභාගය වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෲ මහතා ඉදිරියේ සිදුවෙනවා. මෙම පෙත්සම් විභාගයේ දී විජිත හේරත් මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්මහතායි. නීතිඥ සුනිල් වටගල විසින් නීති කටයුතු සම්බන්ධීකරණය සිදුකරනවා. මෙම පෙත්සම් විභාගය සම්බන්ධයෙන් නීතිඥයින් තුළ දක්නට ලැබෙන්නේ විශාල උනන්දුවක්.

‘ජනබලය කොළඹට’ ලෙස ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කළ විරෝධතාවය අසාර්ථක නැති බව කියන්නට එහි නායකයෝ දිගටම උත්සාහ දැරූවා. කොළඹ නිෂ්ක්‍රීය කරනවා බලය ගන්නවා කියා එදා කීවද දැන් කියන්නේ එහෙම අරමුණක් නොතිබූ බවයි. රැය පහන් කරන කතාවද නැහැ. කෙසේ වෙතත් දැන් කියන්නට හදන්නේ ආණ්ඩුව විරෝධතාකරුවන්ට වස මිශ්‍ර කිරි බෙදු බවයි. ඒ ගැන සොයන්නැයි පොලිසියටද පැමිණිලිකොට විශාල ඝෝෂාවක්ද කරනවා.

විශේෂ මහාධිකරණය ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව විභාගයට ගත් සඳුදා දිනයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ උසාවියට පැමිණි සිටියා. එම නඩු කටයුතු අවසානයේ රූපවාහිනී නාලිකාවලට කතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කීවේ කිරිපැකට් ප්‍රශ්නය ගැන පරීක්ෂණයක් කළ යුතු බවයි. එම කිරි බීමෙන් පසුව ඩලස් අලහප්පෙරුම මහතාට හොඳටම අමාරු වූ බවත් එදින උසාවියට පැමිණ ඔහු ආපසු ගිය බවත් කී මහින්ද රාජපක්ෂ මහතා ඩලස් තවමත් ඉන්නේ අසනීපයෙන් බව ද කීවා. මහින්ද එසේ කියන විට ඔහු පිටුපසින් ඩලස් අලහප්පෙරුම මහතා සිටින ආකාරය රූපවාහිනි දර්ශනවල සටහන්ව තිබුණා.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා සඳුදා පිටත්ව ගියා. එහි දී කළ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු කීවේ නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට වයස මදි බවයි. ජනතාව රාජපක්ෂවරයකු ඉල්ලුවත් තවමත් ඒ ගැන තීරණයක් නැති බව කී රාජපක්ෂ මහතා තමාට එයට තරග කිරීමට නීතිමය හැකියාව තිබේද යන්න සොයාබැලීමේ අනතුර ගැනීමට තවමත් තීරණය කොට නැති බවයි. මෛත්‍රී-මහින්ද එකතුවක් ගැන ප්‍රශ්නයකට පිළිතුර ලෙස මහින්ද රාජපක්ෂ මහතා කීවේ මෛත්‍රී එයට කැමැති නැති බවයි.

Email Facebook0 Twitter Google+ Pinterest0 WhatsApp Facebook Messenger

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *