හා හා හොරේ දැනුණා දැනුණා

“මුදලාලි… මුදලාලි…, ඩබල් ට්‍රිබල් එකේ ප්‍රවෘත්ති දාන්ඩ කොළඹ වටලන්න ගිය බස් එක ආවා.”කොහේදෝ සිට දිව ආ කඩේ ළමයා කෑගැසුවේය. ඔළුව, ඉර, රත්තරන් වාහිනී ආදී ටීවී චැනල් බලන්ට ළඟක දී සිට ඇබිබැහි වී කඩේ ළමයා දැන් කතා කරන්නේ සිංහල පනහට පනහේ අනුපාතයටය. එපමණක් නොවේ කොල්ලා දැන් කොණ්ඩය කපන්නේ ද ‘මේකයි ලව් එක’ ටෙලිනාට්‍යයේ ඉන්නා චරිතයක් කොණ්ඩය කපන ආකාරය අනුවය.

“බස් එක ආවනම් ආපහු යයි මේ ළමයට ඒකට මෙච්චර තදියමක් අහවල් දේට ද?” කඩේ මුදලාලි ඇසුවේය.

“බස් එක කීවෙ මුදලාලි පාරේ දුවන බස්එක නෙමෙයි. කොළඹ වටලන්න ගිය බස්එකයි ආවේ. ඩබල් ට්‍රිබල් එකේ නිවුස් දාන්ඩ”

“මොන කෙහෙල්මල් බස් එකක් ගැනද මේ ළමයා කියන්නේ? කියන ඉටි ගෙඩියක් තේරෙන බාසාවකින් කියන්න” මෙවර නම් මුදලාලි කීවේ තරමක කෝපයෙන් යුතුවය.

මුදලාලි ඕකට තරහ ගන්න එපා. ඇයි දන්නෙ නැද්ද අද පිවිතුරු නැති අයයි, සෙල්පෝන් විමලයයි, වේලිච්චවට්ක්කයි, කරත්ත රෝදෙ දිනේසුයි කොළඹ වටලන්න ගියා. දැන් ඒ බස් එක ආපහු ඇවිත් මම පෝර්ති දාන්න කියන්නේ ජනාධිපති කවුද? අගමැති කවුද? ජොනියට බාරදීලා තියන්නෙ සතොස ද, අධිකරණෙ ද කියලා බලාගන්න. කඩේ ළමයා තමාට තේරෙන හොඳම විදිහට මුදලාලිට කාරණාව පැහැදිලි කළේය. එහෙත්, මුදලාලිට කොල්ලා කී අප්‍රභංශය තාමත් වැටහුණු බවක් නම් පෙනුණේ නැත.

ඔය පිරිස කොළඹ වටලන්න ගියාම කියමුකො. ඒ අය ගිය බස්එකත් ආව කියමුකො. ඉතින් ඒ දෙකයි ජනාධිපතියි, අගමැතියි අතරෙයි සම්බන්ධෙ මොකක්ද?” මුදලාලි ඇසුවේය.

“ ඕකනේ කියන්නේ මුදලාලි ගේ සෙන්සරේ ගිහිල්ලා කියලා. ඔය කොළඹ වැටල්ලිලට යන්න කලියෙන් පවිත්තරා නෝනා කීවේ, ‘වටලන්න ඕන තැන් වටලනවා; ආපහු යන්නේ ආණ්ඩුව ගෙදර යවලායි’ කියලා. ඉතින් වටලන්න ගිය බස් එක ආවා. වන්නියපැත්තට ආරච්චි පවිත්තරා නෝනත් බස් එකෙන් බැස්සා. පවිත්තරා නෝනගේ වචන දෙකක් නැහැ. එකත් එකටම ආණ්ඩුව ගෙදර ගිහිං ඇති. මම පෝර්ති දාන්ඩ කීවේ, අලුත් ආණ්ඩුවේ ජනාධිපති බයගෝත ද ඇසිල් බැසිල් ද ජාතියේ මල ද කියල බලාගන්න” කඩේ ළමයා කීවේය.

“කඩේ ළමයාට අවශ්‍ය පවිත්තරා නෝන ආවෙ ආණ්ඩුව ගෙදර යවල අගමැති ජනාධිපති අලුතෙන් පත්කරලද කියල දැනගන්න නම්, රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න ඕ‍න නැහැ වෙච්ච සිද්ධිය මම කියන්නම්.” කඩයට එන අතරවාරයේ කඩේ ළමයාගේ කතාව කැන වැකුණු ඉස්කෝල මහත්තයා කීවේය.

“ඒ කියන්නේ ඉස්කෝල මහත්තයත් ගියාද කොළඹ වටලන්න?” මුදලාලි පුදුමයෙන් ඇසුවේ ඉස්කෝල මහතා කවර හේතුවක් නිසාවත් සැල්‍ ෆෝන් විමලයාගේ කල්ලියට සම්බන්ධ නොවන බව හොඳින්ම දන්නා නිසාය.

“පිස්සුද මුදලාලි මම තියා මගේ බල්ලා ටොමීවත් ඔය වගේ ලැජ්ජා නැති ගමනක් යවනව ද?  කොළඹ වටලන්න ගියා නෙමෙයි, ඒත් මම කොළඹ ගියා. අර පත්තර මහගෙදරට. පරණ පත්තරයක් හොයාගන්න.” ඉස්කෝල මහත්තයා කීවේය.

“ඒකනේ පාර! ඉස්කෝල මහත්තයා පත්තර මහගෙදර වටරවුමට ගිහින්නෙ. කොහොමද? ඉස්ම යන්නඩ සෙනඟ හිටියද? සාටක සෙට් එක කියලා තිබුණෙ, පෘථිවිය පහළ වුණාට පස්සෙ එකතු වෙච්ච ලොකුම සෙනඟ කියලායි.” කඩේ ළමයා කීවේය.

“එහෙම ම් ඔය තියෙන්නේ ඇහින් දුටු සාක්කි. කොහොමද ඉස්කෝලෙ මහත්යා ඒකාබද්දෙ ජන බලේ?” කඩේ මුදලාලි කීවේය.

“කඩේ ළමයා ඇහුවේ ඉස්ම යන්ඩ සෙනඟ හිටියද කියල නේද? ඉස්ම යන්ඩ නෙමේ ඇත්තම කියනව නම් හුළං යන්න තරම් සෙනඟ හිටියා.” ඉස්කෝල මහත්තයා කීවේය.

“හුළං යන්ඩ කීවම මට තක්කු මුක්කු. දැන් කාගෙද ඔය හුළං යන්නෙ ආණ්ඩුවද?” මුදලාලි ඇසුවේය.

“ආණ්ඩුවෙ හුළං අරින්න ලබන ඡන්දෙදිවත් සාටක කල්ලියට බැරි බව මෙදා ජනබලයෙන් හොඳටම ඔප්පු වුණා. සෙනග හිටියේ ආණ්ඩුවේ නෙමෙයි, සාටක රජ්ජුරුවන්ගෙ හුළං යන්ඩ” ඉස්කෝල මහත්තයා කීවේය.

“ඒක වෙන්න අමාරුයි කරත්ත රෝදෙ මහත්තයා පිට්ටනි පහක්ම ඉල්ලල තිබුණ නේද ජන බලේ පෙන්නන්න” කඩේ ළමයා කීවේය.

“වේලිච්ච වට්ටක්කා වමේ මහත්තයා කියලා තිබුණෙ, කොලඹ නගරය මහාජන සමුද්‍රයක් වෙනව කියලනෙ.” කඩේ ළමයා ද කීවේය.

“ආණ්ඩුව කොහොම වුණත් එයාලගෙ ජන බලේ දැකල, ජාතියේ මලට අද බඩයන්න ඇති. ජන බලේ හුළං ගිය නිසා තමයි එයාලට, පිට්ටනි තියෙද්දි අන්තිමේ පත්තර මහගෙදර ළඟ හුණ්ඩු ඉඩක් තියන පාරේ ඉඳගන්න සිද්ධ වුණේ” යැයි ඉස්කෝල මහත්තයා කීවේය.

“ආහා හොරේ දැනුණා දැනුණා,” ඉස්කෝල මහත්තයාගේ කතාව අසා කඩේ ළමයා සින්දුවක කොටසක් කියමින් නටන්නට පටන් ගත්තේය.

“මොකද ළමයො උඹට ඔල්මාදෙ හැදිල ද?” කියා ඒ දැක මුදලාලි ඇසුවේය.

“නෑ මුදලාලි මට ඇත්තටම හොරේ දැනුණා… දැනුණා…” කොල්ලා නොනවත්වාම නටමින් කීවේය.

“මොන හොරේද ළමයා දැනුණේ, කාගෙ හොරේද!” ඉස්කෝල මහත්තයා ඇසුවේය.

“වෙන කාගෙවත් හොරේ නෙමෙයි මහත්තයෝ, සාටක රජාගෙ ගෝලබාලයන්ගෙ හොරේ” කඩේ ළමයා  කීවේය.

“කියමු බලන්ඩ මේ ළමයට දැනිච්ච හොරේ මොකක් ද කියලා. අපිටත් දැනගන්න,” කියා කීවේ කඩේ මුදලාලිය.

“ජාතියේ මල කියල තිබුණේ, උද්ඝෝෂණයට පැයකට කලින් පැවත්වන තැන කියන්න කටයුතු කරනවා කියලායි. කොහෙද උද්ඝෝෂණය කරන්නේ කොයි පිට්ටනියෙද කියල මීඩියා ඇහුවම ඩලස් බලස්ලා පිවිතුරු නැති උදයා ඔක්කොම කසාය බීපු ගොළුවො වගේ හිටියා.” කඩේ ළමයා කීවේය.

“ඉතිං..?” මුදලාලි ඇසුවේය.

“හොරේ දැනුණා දැනුණා! ඒකට හේතුව තමයි කොළඹ වටලන්න කයිවාරු ගැහුවට පත්තර මහගෙදර වටරවුම වහන්නවත් සෙනඟ එයිද කියන සැකේ කස්ටියටම තිබීම.” කියමින් කඩේ ළමයා පාර පැත්තට දුවන්න පටන් ගත්තේය.

“ඒ පාර කොහෙද ගාලකඩාගත්තා වගේ  දුවන්නේ?” මුදලාලි උස්හඬින් ඇසුවේ, ඒ වන විටත් ළමයා බොහෝ දුරක් ගොස් සිටි නිසාය.

“පවිත්තරා නෝනලා ආණ්ඩුව ගෙදර යවන්න ගිහිං ගෙදර ආවේ රෙදිත් ඇඳගෙනද කියලත් බලන්නඩ යනවෝ.” කොල්ලාත් උස් හඬින් උත්තර දුන්නේය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *