හුළං ගිය ජනබලය – අනුර සුරිය බණ්ඩාර

පාරවල් පහකින් කොළඹට ජන ගඟක් – (දිවයින)

ජනබලයට ජන ගඟක් – (ලක්බිම)

JANA  BALAYA  FLOODS  COLOMBO – CEYLON TODAY

ඉහත සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන්නට යෙදුණු ජනබල මෙහෙයුම පැවති දිනට පසු දින එනම් 2018 සැප්තැම්බර් 06 වන දින පුවත් කිහිපයක පළවූ ශර්ෂපාඨ කිහිපයකි. ඉහත ශිර්ෂපාඨ දකින කියවන ඕනෑම පාඨකයෙකුට හිතෙනු ඇත්තේ ජනබලය දිනයේ කොළඹ නගරය ජනතාවගේ පිරී ඉතිරී ගිය බවකි. කොළඹින් එපිට නගරයක වෙසෙන නිතර කොළඹට නොඑනා මා වුව එකී ශීර්ෂපාඨ වලින් එදින නොමග යාමට ඉඩ තිබුණි. එහෙත් එසේ නොවන්නට මට වාසනාව තිබුණේ අදාළ දිනයේ හදිසි කටයුත්තකට කොළඹ නගරයට එන්නට සිදු වූ බැවිනි.

රාජකාරි කටයුත්තකට කොළඹ කාර්යාලයකට ගොස් ආපසු එන්නට දුම්රියකට නඟින්නට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට යාමට සූදානම් වූ මට එම කාර්යාල කාර්ය සහයකයකු අනතුරු ඇඟවූයේ කොළඹ කොටුවට ලේක් හවුස් එක අසලින් යා නොහැකි තරමට සෙනඟ පිරී ඇති බව කියමිනි. අවසන මා සිතුවේ මහලේකම් කාර්යාලය දුම්රිය පොළින් දුම්රියකට ගොඩවෙමියි කියාය. මහලේකම් කාර්යලය දුම්රිය පොළහි වේදිකාවෙකින් වේදිකාවකට නැගීමට තරප්පු පෙළක් නැත. වේදිකාව උස් කොට තනා ඇති බැවින් දුම්රිය මාර්ගයෙන් පැන අනෙක් පසට යාම ද මා වැනි අයකුට අසීරූ බැවින් මම ලේක් හවුස් දෙසට මහ මඟට නැඟුනෙමි. එසේ නඟින්නට මට ආත්ම ශක්තිය ලැබුණේ ඒ වන විටත් මගීන් ජනබලයේ සෙනඟ හරහා දුම්රිය පාළට එමින් සිටින බව පෙනුණු නිසාය. අවසානයේ මම කිසිදු අපහසුවකින් තොරව රීගල් සිනමාහලත් ලේක්හවුසියත් අතර පදිකමාරුවෙන් එතෙරව සම්පත් බැංකුව අසලින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිත් සන්තෝෂයෙන් නිවෙසට පැමිණියෙමි. මෙහි දී කිව යුතතේ මා එදින ප්‍රවෘත්ති නැරඹූ සිරස සහ දෙරණ නාලිකාද ජනබලයේ අසාර්ථකත්වය නොකියා කියූ බවය.

ඇත්ත වශයෙන් කියන්නේ නම් මා දුටු ජනබල සෙනග අනුව කොළඹ නගරය වැටලීමට නොව ලේක්සහුස් මන්දිරය වටලන්නටවත් ඔවුනට හැකියාවක් තිබුණේ නැත. අවශ්‍ය වුණි නම් රීගල් සිනමාහල වැටලීමේ හැකියාව ඔවුනට තිබෙන්නට ඇත.

ජනබල උද්ඝෝෂණයට කලින් ඒකාබද්ධය කියා තිබුණේ ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ තරමේ සෙනඟක් කොළඹට කැඳවන බවයි. එසේ කැඳවා කොළඹ සියලුම වැදගත් ස්ථාන වටලා අකර්මණ්‍ය කර ආණ්ඩුව වට්ටන බවයි. ඒ සඳහා අවශ්‍ය කෙනකුට පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ආදීන් ආදීන් සැප්තැම්බර් 05 දිනට කලින් කී කතා මතක්කර ගත හැකිය.

ඔවුන්ගේ තර්ජන, පම්පෝරී හේතුවෙන් ජනතාවද තරමක් කලබලයට පත්ව සිටි බව පෙනුණි. සමහරු සිතුවේ කොළඹ නගරයේ මහා ගැටුමක් වී විශාල ලේ හැලීමක් සැප්තැම්බර් 05 දා සිදුවනු ඇති බවයි. නමුත් එවැන්නක් තබා අවම වශයෙන් සරසවි සිසුන්ගේ උද්ඝෝෂණ වලදී සිදුවන ආකාරයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් හෝ ජල ප්‍රහාරයක්වත් එදින සිදු වූයේ නැත. ඒ වෙනුවට කොළඹ නගර සභාවේ ජල ටැංකිවල වතුර පුරවා ලේක් හවුසිය ඉදිරිපිට රථගාල අසල පදික වේදිකාවේ තබා ඇති අයුරුත් එම ජල ටැංකිවලින් පෙළපාළිකරුවන් රිසිසේ ජලය පානය කරමින් රිසි සේ මුහුණ හා අතපය සොදා ගනිමින් වෙහෙස සරතැස නිවාගත් ආකාරය නම් දක්නට ලැබුණි.

උද්ඝෝෂණයට පෙර ඒකාබද්ධය කළ කතා අනුව නම් සිදුවන්නට තිබුණේ එදින ශ්‍රී ලංකාවේ දේදුනු විප්ලවයක් ආර්ම්භ වීමය. ඇත්තෙන්ම ඒකාබද්ධය එක් අතකින් මීට වඩා පිරිසක් ජනබලයට කොළඹට එනු ඇතැයි සිතුවා වන්නට හැකි සේම තමන්ගේ ශක්තිය පිළිබඳ දෙගෙඩියාවකින් සිටි බව ඔප්පු කෙරෙන ප්‍රධාන සාක්ෂිය වන්නේ තමන්ගේ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානය කල්තබා හෙළිදරව් කරන්න පසුබට වීමයි.

දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා තිබුණේ ඔවුන් පිට්ටනි පහක් ඉල්ලූ නමුත් එකක්වත් නොලැබුණු බවය. ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ වූයේ එම පිට්ටනි ලබා දෙන්නේ මැයි රැළි සඳහා පමණක් බවයි. කෙසේ වෙතත් ආණ්ඩුව ද ඒකාබද්ධයේ ශක්තිය පිළිබඳව අධිතක්සේරුවකින් පසු වූ බව ඉල්ලූ පිටි ලබා නොදීම හරහා ප්‍රකාශමාන විය. ආණ්ඩුව ඇත්තෙන්ම කළ යුතුව තිබුණේ තම යහපාලන පිළිවෙත අනුව යමින් පිට්ටනි පහටම වුව අවසර ලබා දීමයි.

අපේක්ෂා කළ තරමට ජනතා සහභාගිත්වයක් ලැබුණේ නම් එදින ඒකාබද්ධ විපක්ෂය ද එවැනි හික්මීමකින් කටයුතු කරන්නේ ද නැත. තම ජනබලයේ හුළං ගිය බව වැටහුණ විට ඔවුනට කරන්නට ඉතිරි වුයේ අඩුම පිරිසකින් පුරවන්නට හැකි වටරවුමක් ගැන සිතා බැලීමය. ඊට ගැලපෙන එකම තැන ලේක් හවුස් වටරවුමය.

මෙතෙක් කොළඹ නගරයේ ප්‍රකට උද්ඝෝෂණ මධ්‍යස්ථානය වූයේ ලිප්ටන් වටරවුමය. එදා ජනබලයට පැමිණි පිරිසෙන් ලිප්ටන් වටරවුමට බාධා කළ නොහැකි බව උද්ඝෝෂණවල කප්පිත්තෙකු වන මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගත්තා විය යුතුය. මන්ද මීට කළකට ඉහත  මහින්ද රාජපක්ෂ මහතා ජන ඝෝෂා ආදි විරෝධතාවන් ලිප්ටන් වටරවුමේදී පවත්වන විට කොළඹට රැස් වූ සෙනඟ තරමට සෙනඟක් මෙවර රැස් නොවූ බව පැහැදිලි බැවිනි. ලිප්ටන් වට රවුම හරස් කළේ නම් කොළඹ නගරයට ඉන් ඇතිවන පීඩනය ද වැඩිවේ. ලේක් හවුස් වටරවුම ඇහිරීමෙන් කොළඹ නගරයේ වාහන ගමනාගමනයට කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැත. එය යම් තරමකට හෝ බලපාන්නේ ගාලුමුවදොර හරහා ගාලු පාරේ වාහන ගමනාගමනයට පමණක් බැවිනි. ඒ බව ඒකාබද්ධය ද නොදන්නවා නොවේ. එහෙත් වත්කමේ හැටියට පින්කම කීවා සේ ඔවුන් ඉන්නා සෙන‍ඟේ තරමට ඇහිරිය හැකි වටරවුමක් තෝරාගෙන තිබුණි.

මේ සියලු දේ අතර තමන්ගේ නොහැකියාව වසා ගන්නටත් උද්ඝෝෂණය සාර්ථක වූ බව කරුණු නොදන්නා ජනතාවට අඟවන්නටත් ඒකාබද්ධය සිය මුඛරිකම උපයෝගී කරගන්නට උත්සාහ කළ බව පෙනුණි. නිදසුනක් වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියා තිබුණේ “ලංකා ඉතිහාසයේ පැවැත් වූ දූවැන්තම උද්ඝෝෂණය ජනබලය” කියාය. එතුමා සමහර විට හර්තාල් ගැන දන්නේ නැතුව වන්නට පුළුවන. එතුමාගේ තරමේ හැටියට හර්තාලය ගැන නොදැන සිටියාට සමාව දෙන්නට පුළුවන. තමන්ගේ නායකයා ජී.එල්. පීරිස් මහත්තයාගෙන් අසා දැනගත නොහැකි නමුත් (එකල එතුමා හිටියේ ප්‍රතිපක්ෂ පිලේ බැවින්) තිරය පිටුපස සිට රූකඩ නටවන මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනඝෝසා වැනි විරෝධතාවලට පැමිණි සෙනඟ ප්‍රමාණය ගැන අලුත්ගමගේ මහතා අසා දැනගත්තාට වරදක් ඇත්තේ නැත. ඒ නැතත් දැන් නැවතත් ආණ්ඩුවිරෝධි වී සිටින කලෙක එජාපයේ ඇමතිකමක් දැරූ අසල් වැසියා එස්.බී. දිසානායක වැන්නකුගෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සිදු කෙරුණු ජනබල මෙහෙයුමට කොළඹට ආ සෙනඟ පිටාරය ගැන ද අසා දැනගන්නේ නම් වරදක් නැත.

මහින්දානන්ද මන්ත්‍රීවරයා කියා තිබූ තවත් කතාවක් වන්නේ තේ එකක්වත් නැතිව ජනතාව කොළඹ ආවාය කියාය. තේ එකක් නැති නමුත් කොළඹ ආ ජනතාවට වෙන වෙනත් දේ නම් අඩුපාඩුවක් නැතිව ලැබෙන්නට ඇති බව පෙනෙන්නට තිබුණේ ඔවුන්ගේ හැසිරීම් සහ මහපාරේ ඇද වැටී නිදා සිටි ආකාරය ආදිය දුටු විටදී ය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උද්ඝෝෂණයෙන් පසුව කියා තිබුණේ; රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස සිටි කාලයේ ඔහුගේ ක්‍රමවේදය තමයි මෙවැනි රැලියක් පවත්වල මිනිහෙක් දෙන්නෙක් මරා ගන්න එක” යනුවෙනි. ඔහුගේ කියමන අප අනුමත කළ යුතුය. හේතුව උද්ඝෝෂණ වලදී මිනිසුන් මියයාමත් නාමල් ගේ පියා ජනාධිපති වී සිටි සහ බාප්පා ආරක්ෂක ලේකම්ව සිටි ඉතිහාසයේ සිදුව නැති බැවිනි. රතුපස්වලත්, කටුනායකත් උද්ඝෝෂකයන් මහ මඟ මරා දැමුණේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටිය දී වන බැවිනි.

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ගේ දැනුම් තරම අනුව; “ලංකාවේ මෙතෙක් පැවැත් වූ සාර්ථකම උද්ඝෝෂණය ජනබලය ය. ලංකාවේ දීර්ඝතම විරෝධය ද එයය. එක් දිනක ආරම්භ කර තවදිනකින් අවසන් කළ උ‍ද්ඝෝෂණය ද එයය.”

ගම්මන්පිල මැතිතුමාගේ යහපත පිණිස කියවා ගතයුතු පාඩම් කීපයක් තිබේ. ඉන් එකක් වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩු විරෝධී පා ගමනය. තව එකක් හර්තාලයය. පාද යාත්‍රාව ගැනත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසා දැනගත්තාට වරදක් නැත. එවිට එකී උද්ඝෝෂණ සමඟ සසදන කල සැප්තැම්බර් 05 යනු ලිලිපුට්ටන්ගේ සෙල්ලම් ගෙයක් බව ඔහුට වැටහෙනු ඇත.

පුවත්පත් ශීර්ෂපාඨ කෙසේ වුවද කාටුන් ශිල්පීන් නම් ජනබල මෙහෙයුමේ යථා තත්ත්වය මොනවට පෙන්වා දී තිබුණු බව ඔවුනට ගෞරව පිණිස සඳහන් කළ යුතුය. දාස හපුවලානගේ කාටුනයක, සුවාරිස් පවිත්‍රා නෝනාගෙන් අසා තිබුණේ “දැන් තියෙන්නේ කාගෙ ආණ්ඩුවක් ද? කියාය. ඒ ඇය සැප්තැම්බර් 05 ආණ්ඩුව පෙරළන බවට පම්පෝරි ගසා තිබුණු බැවිනි.

එපමණක් නොවේ ඒකාබද්ධයේ විමල් වීරවංශගේ වෙබි අඩවිය කියා තිබුණේ; ‘ඒකාබද්ධයේ ජනබලය අවසන්. ජනතාව බණිමින් යති’ යනුවෙනි.

තලංගමගේ ‘‍අනේද කියන්නේ?’ ජනබලය ගැන කීවේ මෙ‍සේය.

“යහපාලනය කර දමමින් අළු                            දූලී

දසබිම්බරක් විත් කොළඹට පෙළ                       පාලී

නැංවූවෝය නාමල්ලා ජය                                 කේලී

නැත දැන් රජයේ අහුලන්නටවත්                       කෑලී”

ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘ෆ්‍රයිඩේ බුලට්’ ජනබලයේ ඇත්ත තත්ත්වය මෙසේ පෙන්වා දුන්නේය.

‘කෝ ජන බලය මෙච්චර කල්               ඇහින්ද

කඩ වී ගියේ අප්පච්චී                            විහින්ද

තනිකර දමා මහපාරක                          මහින්ද

සහෝදර බැසිල්  වෙතක                       ගිහින්ද’

නාමල් පුම්බන්නට ගෙනා ජනබලයට බැසිල් පිටුපෑ බව සහ එහි අසාර්ථකත්වය ප්‍රියන්ත කොඩිප්පිලි පද හතරකට අගේට ගෙනැවිත් ඇත.

ඩිලානුත්, එස්.බී.ත් දෙදෙනා ද ජන බලය ගැන වල්පල් කියා තිබුණ ද ඔවුනට පිළිතුරු‍ නොදී ලිපිය නවත්වන්නේ ලිපිය දිගු වන නිසා පමණක් නොවේ. එකක්, ඒ කතාවලට සවන් නොදෙන තරමට ජනතාව බුද්ධිමත් වී ඇති බැවිනි. අනෙක, ඩිලාන් එස්.බී. ඇතුළු කල්ලිය මේ රඟන්නේ අමුඩයත් ගලවාගෙන බැවිනි. ඩිලාන්ගෙත්, එස්.බී.ගෙත් අමුඩ ඔවුන් විසින්ම ගලවා විසිකරන අයුරු කාටුනයකට නගා තිබුණේ දාස හපුවලානය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *