|

ආණ්ඩුව දිනලා ඉවරද? – සී.ජේ. අමරතුංග

තමන්ගේ ශක්තිය පෙන්වීමටත් තම අනුගාමිකයන් වඩා ධෛර්යමත් කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ වැඩසටහන නිමවී ඇත්තේ ඔවුන්ට වස ලැජ්ජාවක් අත්කර දෙමින් බව පැහැදිලි කාරණයකි. ලජ්ජාව වසා ගන්නට ගොතන කිරි පැකට් කතා ආදිය විශ්වාස කරන කෙනෙක් නැත. කොළඹ පැමිණි පිරිස ගැන ද කියන්නට දෙයක් නැත. ඒ මොහොතේම රූපවාහිනි ආයතන මෙන්ම සමාජ ජාල මගින්ද එම සිදුවීම් ලොවටම දැකබලා ගැනීමට හැකිවී තිබිණි.

කවුරුන් කෙසේ කීවත් සිදුවුණේ ප්‍රමාණවත් සෙනඟක් කොළඹට ගෙන්වා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට නොහැකිවීම හා පැමිණි පිරිසද අධෛර්යමත්ව විසිර යෑමයි. එසේ යන පිරිස් අතර කෙරෙන කතාබහකදී “මේක බොරු වැඩක්” කියා හඬ නඟා කියනු මෙම ලියුම්කරුටද අසන්නට ලැබිණි. රෑ එළි වෙනකල් නවතින බව සංවිධායකයන් හඬ නඟා කියද්දීත් කණ්ඩායම් වශයෙන් පිරිස් විසිර ගියේ සංවිධානාත්මකවය. සමහරු පැමිණ සිටියේ ගේමක් ඉල්ලගෙනය. ආණ්ඩුව පහර දෙනු ඇතැයි සිතාගෙනය. එවැන්නක්ද සිදුවූයේ නැත. රනිල් ආවානම් කරන දේ කියමින් බීමතින් බැන බැන ගිය උදවියද දකින්නට ලැබිණ.

අනුගාමිකයන්ට ලණු දීම

අපි කොළඹ නගරය නිෂ්ක්‍රීය කළා යැයි සංවිධායකයන් කීවද ජනතාවට එවැන්නක් දැනුනේ නැත. කොළඹ නගරයේ තබා ඔවුන් සිටි ප්‍රදේශය අවට පවා ගමනාගමනය මෙන්ම වෙනත් කටයුතුද හොඳින් සිදුවිය. එබැවින් සංවිධායකයන් ගොඩනඟන්න හැදූ ජයග්‍රාහී හැඟීම ජනතාව තුළ දක්නට ලැබුණේ නැත. සංවිධායකයන්ටද බැණ වදිමින් ජනතාව විසිර ගියේ මෙය නිරර්ථක උත්සාහයක් බව තේරුම් ගනිමිනි. ඇත්ත කතාව ඒකය.

මෙහෙම උද්ඝෝෂණයකින් කොළඹ වැඩ කටයුතු නවත්වන්නවත් ආණ්ඩුව එළවන්නවත් බැරි බව මෙය සංවිධානය කළ දේශපාලනඥයන් නොදැන සිටි බව සිතිය නොහැකිය. එසේ වුවද තම අනුගාමිකයන් ගෙන්වා ගැනීමට ඔවුහු ‍එසේ කීවෝය. ජනතාව එන්නේ එතකොටය. ස්ථාන පහකට සෙනඟ රැස්කොට නගරයට එන පාරවල් සියල්ල අවහිර කරන බව මේ නායකයෝ කීහ. පාක්ෂිකයන් කොළඹ එනවිට අවශ්‍ය සංඛ්‍යාව නැති බව දැනගෙන සියලු දෙනා එක පොළකට ගෙන ආහ. මහජනයාගේ ධෛර්යය බිඳවැටෙන්න පටන් ගත්තේ ඒ සමඟය. කොළඹ වටලා ආණ්ඩු ගන්න සිහිනය බොඳ වන්නේ එවිටය. නායකයන්ගේ ‘ලොරි ටෝක්’ අන්තිමේදී තමන්ටම කෙළවෙන තැනට වැඩ කරන්නේ එහෙමය.

මොවුන් මේ වැඩේ කළ පළමු වතාව මෙය නොවේ. පසුගිය පළාත් සභා ඡන්දයේ පොහොට්ටු රැල්ල හැදුවේද එහෙමය. එදා කීවේ පහුවදාට මහින්ද අගමැති කරනවා කියාය. එදා පොහොට්ටුව වැඩි බලයක් ගත්විට පාක්ෂිකයන් හිතුවේ ආණ්ඩුව ගත්තා කියාය. සමහර ආයතනවල බලය අල්ලා ගත්තේ එසේ සිතූ උදවියයි. පසුව කාටත් තේරුණේ ඒකාබද්ධයේ නායකයන් තමන්ගේම අනුගාමිකයන්ට ලනුවක් ගිල්ලවා ඇති බවයි. නැතහොත් ගොනාට අන්දවා ඇති බවයි. “ජන බලය කොළඹට” වැඩෙන් වුණේ තව වරක් මහජනයා කඩේ යැවීමයි. මෙලෙස මොවුන් ජනතාව රවට්ටවන හැමවිටකම තවත් දෙයක් වන බව පැහැදිලිය. එනම් මෙම නායකයන් කියන දේ ගැන ජනතා විශ්වාසය නැතිවීමයි. මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ජන පදනම දිගින් දිගට දියවන්නට පටන්ගෙන තිබෙන්නේ එහෙමය.

ඇත්ත වශයෙන්ම “ජන බලය කොළඹට” වැඩසටහන දියවෙන්නට පටන්ගෙන තිබුණේ මේ ජනයා කොළඹට එන්නත් පෙර සිටයි. ගමේ ඇත්ත යථාර්ථය වී තිබුණේ මීට මාස ගණනකට පෙර තිබූ ආණ්ඩු විරෝධය මේ වනවිට ඒ මට්ටමේ නොතිබීමයි. එයට හේතුව නම් පෙබරවාරි 10 දා ජනතාව කියා දුන් පාඩම ආණ්ඩුව ඉගෙන ගෙන තිබීමයි. ග්‍රාම ශක්ති, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය ආදී වැඩසටහන් පටන්ගෙන තිබීමයි. තරුණයන්ට රජයේ රැකියා ලබාදීමට පියවරගෙන තිබීමයි. ඒ නිසා මේ ආණ්ඩුව පෙරළන්න දැන් බැරි බව මේ ජනයාට තේරුම් යන්නේ කොළඹට එන්නත් පෙරයි. එසේ වුවද එන්නේ නායකයන්ගේ වහසි බස් නිසායි. නැතහොත් යුතුකමක් යැයි සිතූ නිසායි.

බැසිල් කී අනාවැකිය

රටේ මේ වෙනස ඒකාබද්ධ විපක්ෂයේ එක් නායකයකු තේරුම් ගෙන තිබිණි. ඒ බැසිල් රාජපක්ෂ මහතායි. සැප්තැම්බර් පස්වෙනිදා ‘ජන බලය කොළඹට’ ගැන අගෝස්තු පස්වනදා ගාල්ලේදී බැසිල් කියා තිබිණි. එය දැන් අන්තර්ජාලයේ ඇත. ඔහු කීවේ එදා තිබූ ආණ්ඩු විරෝධයත් මහින්ද මහත්මයාගේ ජනප්‍රියතාවත් නිසා ඇති වූ ජනරැල්ල අධි තක්සේරුවට ලක් නොකරන ලෙසයි. ආණ්ඩුව දැන් එක දවසට වැඩ දෙකක් කරන බවත් ජනමතය හැරවීමට බොහෝ දේ කරන බවත් කියමින් බැසිල් කීවේ නයි නටවන්නා නැතිව තනිව නටන්නට ගිය නයාට මිනිසුන් පහරදී මරා දැමූ කතාවයි. බැසිල් නැතිව වැඩ පෙන්නන්න ගිය ඒකාබද්ධ විපක්ෂයට සැප්තැම්බර් 5 දා සිදුවූයේද ඒකය.

ඒකාබද්ධය වැටුණු තැන ගැන ඇතැම් පැතිවලින් ලැබුණු වාර්තාවලින් කියැවුණේ “ජනබලය කුලියට” තත්ත්වයකි. එනම් සෙනඟ ගේන්න මුදල් බෙදීමයි. කුරුණෑගලින් වාර්තා වූයේ එන අයකුට රුපියල් දෙදාහක් දෙන්න පොරොන්දු වූ බවයි. කොළඹ ඇතැම් වතුවලදී ලන්සුව තුන්දහස් පන්සීයක් වී තිබුණි. පුදුමයට කරුණ එජාප පාක්ෂිකයන්ට හා ශ්‍රීලනිප මෛත්‍රී පිලේ උදවියටද ‍එසේ ආරාධනා ලැබීමයි. කොළඹ ආ උදවිය ආවේ එලෙස යැයි කිව නොහැකි වුවද එවැනි දෑ ද සිදුවූ බවට පැහැදිලි සාක්ෂි ඇත. ඇතැම් තැනක සෙනඟ එකතු කර දෙන අයට එක් අයකු සඳහා රුපියල් පන්සීයක් ගෙවීමටද පොරොන්දු වී තිබිණි. එබඳු උත්සාහයක් දැරූ පොහොට්ටු සංවිධායකයන් ද නොයෙකුත් නඩු හබ ඇති උදවිය බව ද දැනගන්නට ලැබිණි. සමහරු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තනතුරු ලැබූ උදවියයි.

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට” අවසන් වූයේ ආණ්ඩුව තවත් ශක්තිමත් කරමින්ය යන්න පැහැදිලි කාරණයකි. මෙය ආණ්ඩුවට කියලාවත් කරගන්න බැරි වැඩකි. විපක්ෂයේ ශක්තිය ගැන තිබූ ප්‍රතිරූපය විනාශ කරගත්තේ ඔවුන් විසින්මය. ඒ සමඟ තහවුරු වූයේ ආණ්ඩුවේ ශක්තිය ගැන විශ්වාසයයි. එය ඉදිරි දේශපාලන ගමනට ආණ්ඩුවට ලැබුණු අමතර ශක්තියකි.

සතුරු බලය

කෙසේ වෙතත් දැන් ඉතින් සියල්ල හරි යැයි ආණ්ඩුව සිතුවොත් වරද්දගන්නේ එතැනිනි. ආණ්ඩුව සියල්ල හොඳින් තක්සේරුකොට ක්‍රියාත්මක විය යුතුය. සතුරාගේ බලය අඩුවෙන් තක්සේරු නොකළ යුතුය.

ඒකාබද්ධ විපක්ෂයේ කයිවාරුව ගණන් නොගත්තද සැප්තැම්බර් පස්වැනිදා විශාල පිරිසක් කොළඹට පැමිණි බව තේරුම් ගැනීම ආණ්ඩුවේ ශරීර ‍සෞඛ්‍යයට හොඳය. මේ ආ පිරිස කවුද යන්න ගැන ආණ්ඩුව සොයා බැලිය යුතුය. ඒ මෙම පිරිස වෙනස් කරගැනීම රටේ ඉදිරි ගමනට අවශ්‍ය නිසාය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ විවිධ වරප්‍රසාද ලබමින් රජයේ කොන්ත්‍රාත් ආදිය කරගෙන හොද්ද බොරකරගත් දේශපාලනඥයන් රොත්තක් හා ඔවුන්ගේ අනුගාමිකයන් මේ අතර වන බව පැහැදිලිය. ඔවුන්ගේ සටන නම් තමන්ට නැතිවූ වරප්‍රසාද යළි ලබාගන්නටය.

ජාවාරම්කරුවන්ගේ ඉරණම

ඉක්මනට ආණ්ඩුවක් අල්ලන්නට හදන්නේ ඒකටය. එමෙන්ම රාජපක්ෂ පාලන සමයේදී විවිධ සමාජ විරෝධී ජාවාරම්වල යෙදුණු උදවියද මේ ගොඩේ සිටින බව තේරුම් ගැනීම වැදගත්ය. දේශපාලන අනුග්‍රහයෙන් කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් ආදියට වැට බැඳීම නිසා එම ජ‍නකොටසද ඉන්නේ ආණ්ඩු විරෝධීවය. අපට ‍ෙමාවුන් සමාජ විරෝධීන් වුවද ඔවුන්ට නැතිවුණේ තම ජීවිකාවයි. මෙවැනි කොටස් යහපත් පුරවැසියන් ලෙස සමාජගතකොට වෙනත් ජීවනෝපායන්ට යෙදවීමද ආණ්ඩුව අභියෝගයක් ලෙස භාරගත යුතුව ඇත.

ගංඟා ආශ්‍රිතව වැලි ගොඩදැමීම රාජපක්ෂ පාලන සමයේ ජයටම කෙරුණේ දේශපාලන අනුග්‍රහයෙනි. කැලෑ කැපීමද එබඳුම ජාවාරමකි. රක්ෂිත අල්ලාගෙන ඉදිකිරීම් හා වෙළෙඳ ව්‍යාපාර කිරීමද එබඳුම ප්‍රශ්නයකි. මේ සියලු අංශවල දැන් සීමාකිරීම්ය. පරිසරය රැකගන්න එලෙස පියවර ගන්නාවිට මේ පිරිසගේ ජීවනෝපාය අහිමි වී ඇත. ඔවුන්ට විකල්ප ක්‍රියාමාර්ග ලබා නොදුන්නොත් ඔවුන්ට ඇති එකම මාවත යළි රාජපක්ෂ පාලනයක් ගොඩනැඟීමට සටන්කිරීම පමණක් වන බව ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇත. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුළට මෙම පිරිසද ඇතුළත් කරගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.

නීතිවිරෝධී මැණික් ගැරීම වැනි කටයුතුද දැන් නැවතිලාය. එය ද ප්‍රශ්නයකි. මැටි වළං කර්මාන්තයේ යෙදුනු උදවියට දැන් මැටි කපන්න බැරිය. එයද ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නයකි. මෙබඳු ප්‍රශ්නවලට මුහුණදෙන තවත් ජන කණ්ඩායම් සිටිය හැකිය. එම ප්‍රශ්න විසඳීමට වැඩසටහන් අවශ්‍යය.

පසුගිය කාලයේ ආණ්ඩුව විසින් දාගත් ලෙඩද මහජනයා පීඩාවට පත්කිරීමට හේතුවූ බව කිව යුතුය. එකක් නම් ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කිරීමයි. පරිසරය ගැන අපට වඩා ඉහළ ප්‍රමිති අනුගමනය කරන යුරෝපීය හා අමෙරිකානු රටවල් පවා සිදුනොකළ ලෙස මෙම වල්නාශකය තහනම් කළේ එය රජරට වකුගඩු රෝගයට හේතුවන බවට සුළු පිරිසකගේ ප්‍රකාශයක් නිසාය. මේ පිරිස කියන කතාව ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් පිළිගෙන නැත. ලොව පුරා එය භාවිතයට ගන්නේ කෘෂිකර්මාන්තයට වෙනත් සුදුසු විකල්ප වල්නාශකයක් නැති නිසාය. අපි එය තහනම් කොට ගොවි ජනතාවම පීඩාවට ලක් කළෙමු. මේ වනවිට තේ හා රබර්වලට පමණක් තහනම ලිහිල් කොට ඇතත් වී ගොවියා, එළවළු ගොවියා තවමත් පීඩාවට පත්ව ඇත. මේවා විහින් දාගත් අනවශ්‍ය ලෙඩය. ඒවා ගැනත් නැවත සලකා බැලිය යුතුය.

දුර ගියා වැඩිද?

ග්ලයිෆොසෙට් යම් සැකයකට ලක්ව ඇත්තේ පිළිකා කාරක ගුණයක් ගැනය. එයද එක් විශේෂිත පිළිකාවක් ගැන පමණකි. මෙරට වකුගඩු රෝගය පිළිකාවක් නොවේ. අනෙක් අතට ග්ලයිෆොසෙට් තහනම නිසා සිදුව තිබෙන්නේ නීති විරෝධීව ගෙන්වන අඩු ප්‍රමිතියේ ග්ලයිෆොසෙට් වැඩි මිලට ගෙන භාවිත කිරීමයි. මෙවැනි ප්‍රශ්න ගැන නැවත සිතා බැලිය යුත්තේ ඒ නිසාය.

පොලිතීන් තහනමවැනි කාරණාවලදීත් ආණ්ඩුව දුර ගියා වැඩි දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් එයින්ද විශාල පිරිසකගේ ජීවනෝපායට පහර එල්ල වු බව සත්‍යයකි. එම ජනකොටස සම්බන්ධයෙන් පියවර ගැනීම ගැනද ආණ්ඩුවට කල් නොයවාම සොයා බැලීමට සිදුව ඇත.

සියල්ලටම වඩා ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයක් වන්නේ අප තවමත් දූෂණයේ මඩ ගොහොරුවෙන් සම්පූර්ණයෙන් ගො‍ඩ ආ රටක් නොවන බවයි. සමහරු සිතා සිටින්නේ 2015 ජනවාරි 15 න් පසු මෙරට දූෂණය, භීෂණය සමාජ විරෝධී ක්‍රියා ආදී සියල්ලට තිත තබා අවසන් බවයි. නැතහොත් අවසන් කරන්නට හැකි බවයි. එසේ වුවද මෙම ප්‍රශ්නයේ ඇත්ත ගැඹුර විමසා බලනවිට පෙනෙන්නේ තවමත් මේ සමාජය තුළ දූෂණයේ බලවේග ශක්තිමත් බවයි. ඒ බලවේග මෙරටට ඉල්ලන්නේ යහපාලනයක් නොවන බවද පෙනෙන්නට ඇත. ඇත්ත ප්‍රශ්නය තිබෙන්නේ එතනය.

2015 ජනවාරි 8 ද‍ාට පෙර තිබූ මහා පරිමාණ දූෂණය වංචාව දැන් නැති බව ඇත්ත කාරණයකි. මහජන මුදල් එළිපිට ගසා කෑ යුගය අවසන්ය. එමෙන්ම යළි එබඳු යුගයක් ඇතිවීම වළක්වන හා අනාගතය වඩා යහපත් වන නීති රීති හා ආයතන ගොඩනගා ඇති බවද පැහැදිලිය. ස්වාධීන කොමිසන් සභා, තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ආදිය ඒ සඳහා තීරණාත්මක පියවර වී ඇත. එසේ වුවද දූෂණය තවමත් සිදුවන බව කවුරුත් දන්නා කාරණයකි. රාජ්‍ය සේවයේ එය සාමාන්‍ය දෙයක් වී ඇත. වෙනස ඇත්තේ පරිමාණයේ හා ක්‍රමයේය. එදා අල්ලස් ගත්තේ නීති කඩා වැඩ කර දෙන්නටය. දැන් අල්ලස් ගන්නේ නීතියට අනුව වැඩේ කර දෙනවාටය. අල්ලස නැත්නම් වැඩේ නොකරන්නට ඕනෑ තරම් හේතු ඇත.

බරපතළ කාරණයක් වන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස බොහෝ දෙනා පිළිගෙන තිබීමයි. එය ප්‍රශ්න නොකිරීමයි. මෙයින් පෙනෙන්නේ කෙතරම් යහපාලනය ගැන කතා කළද මේ සමාජය යටින් බරපතළ ලෙස කුණු වී ඇති ප්‍රමාණයයි.

ආණ්ඩුවට මුහුණදීමට තිබෙන අභියෝග වඩාත් බරපතළ වන්නේ ඒ නිසාය. ආණ්ඩුවේ ඇත්ත අභියෝගය නම් සමාජයත් සමඟ කුණු වන්නේ නැතිව එය සුවපත් කිරීමයි. දූෂණයේ භීෂණයේ බලවේග අවසන් වශයෙන් පරාජය කළා වන්නේ එවිටය. එබැවින් ආණ්ඩුව මේ අභියෝග සුළුවෙන් තැකීම නොකළ යුත්තකි.

සී.ජේ. අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *