දරුවන්ට එපා වූ පාසල් – අනුර සූරියබණ්ඩාර

2017 පාසල් සංගණනයට අනුව මෙරට පාසල් 9116ක් ඇති බවත්, එයින් පාසල් 433කට ගිය වසරේ පළමුවැනි ශ්‍රේණියට අයදුම් පත් එකක් හෝ ලැබී නැති බවත් කියැවේ. එසේ අයදුම්පත් එකක්වත් නොලැබුණු පාසල් 433 අතරින් 19ක් බස්නාහිර පාළාතට අයත් බවත් බවයි කියැවෙන්නේ. 2017 වසරේ දී එක වසර සදහා යදුම්පත් පහක්වත් නොලැබුණු පාසල් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුරයේය. එම සංඛ්‍යාව 49කි. මෙකි තත්ත්වය පසුගිය වසරට පමණක් අදාළ නොවන අතර 2016 වසරේ දී ද පාසල් 331කට පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නැත. එම පාසල් අතරින් පාසල් 16ක් අයත්වූයේ බස්නාහිර පළාතටය. 2016 වසරේ පාසල් 1270කට අයදුම්පත් ලැබී තිබුණේ 05ට අඩුවෙන් බවත් 2017 වසරේ අයදුම්පත් 05ට අඩුවෙන් ලැබණු පාසල් සංඛ්‍යාව 1270ක් බවත් ඉහත වාර්තාවේ සඳහන්ව තිබුණි.

එක් රූපවාහිනී නාලිකාවක් ඉහත තත්ත්වය පිළිබඳ ගුරු සංගම් හි නායකයන් කිහිපදෙනකුගෙන් අදහස් විමසූ අයුරු දක්නට ලැබුණි. එහිදී ගුරු සංගම් වල චෝදනාව එල්ල වූයේ ඍජුවම ආණ්ඩුවට ය. ආණ්ඩුව පාසල්වලට අවශ්‍ය පමණට පහසුකම් ලබා නොදීම හේතුවෙන් මෙසේ ඇතැම් පාසල්වලට ළමයි ඇතුළත් කරන්නට මවුපියන් අකමැති වන බවත් එකී හේතුවෙන් ළඟම පාසැල හොඳම පාසැල නමැති ආණ්ඩුවේ සංකල්පය අර්ථ ශූන්‍යව ඇති බවත් ගුරු සංගම් පූධානීන් පවසනු පෙනුණි.මෙරට අධ්‍යාපනයේ සම්පත් බෙදීයාමේ විෂමතාවක් ‍හෙවත් පාසල් අතර ඇති – නැති පරතරයක් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුව යම් පාසලකට පළමුවන ශ්‍රේණියට දරුවකු ඇතුළත් නොකරන්නට දෙවරක් සිතන්නේ නම් ඒ සම්පත් හිගතාව නිසාම ද යන්න පිළිබඳ ගුරු සංගම් කෙසේ කීවත් විමසා බැලිය යුතුව ඇත.

පළමු ශ්‍රේණියේ දරුවකුගේ අධ්‍යාපනය සඳහා මහත් භෞතික සම්පත් ප්‍රමාණයක් අවශ්‍යවන්නේ නැත. මෙරට පාසල් අතුරින් ඉතා සුළු පුමාණයක් හැරුණු විට අවශේෂ පාසල් හි, පළමු වසර සිට පහ වසර ශිෂ්‍යත්වය දක්වා ඉගැන්වීමට සෑහෙන සහ අවශ්‍ය පමණට පහසුකම් ඇති බව කිසිවකුට බැහැර කළ හැකි නොවනු ඇත.

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට ඉගැන්වීම කරන පෞද්ගලික පන්ති කොපමණ සංඛ්‍යාවක් තිබේද? ඒවාහි ඇති පහසුකම් මොනවාද? අවම වශයෙන් පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රමිතියවත් පෞද්ගලික ශිෂ්‍යත්ව පන්තිවල දී සැලකිල්ලට ගනු ලබන්නේ නැත.

සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති සම්බන්ධයෙන් ගත් කළ වුව ද එසේ මය. සාමාන්‍ය පෙළ විද්‍යාව වැනි විෂයයන් සඳහා ද උසස් පෙළ රසායන විද්‍යාව සඳහා ද අධ්‍යාපනයේ දී පාසල්වල පරීක්ෂණ සඳහා විද්‍යාගාර පහසුකම් උපයෝගි කරගනු ලැබෙන නමුත් උපකාරක පෞද්ගලික පන්ති වලදී කවර විද්‍යාගාරද? විද්‍යාගාර පහසුකම් සහිත උසස් පෙළ එකම පෞද්ගලික පන්තියක් හෝ මෙරට තිබේද? එහෙත් උපකාරක පන්තිවලට එක පන්තියකට සිය ගණනින් නොව දහස් ගණනින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වෙති. ඉගෙනුම ලබති. ඇතැම් පන්තියක උගැන්වී‍ම් කටයුතු කෙරෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමිනි. ගුරුවරයාගේ මුහුණවත් ශිෂ්‍යාට පෙනෙන්නේ නැත. එම පන්තිවල ද ඉගෙනුම ලබා දරුවන් අනන්තවත් විභාග සමත් වෙති. පෞද්ගලික ගරුවරුන්ට පින් පවා දෙති. ඒ අනුව පෙනී යන්නේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරී‍ම නොකිරීම කෙරෙහි ගුරු සංගම් හුවා දක්වන ආකාරයට පහසුකම් පිළිබඳ ප්‍රශ්නය ඒ තරම් දුරට බලපාන්නේ යැයි පිළිගත නොහැකි බවයි. විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණි පිළිබඳ සලකා බලන කල්හි පාසලකට දරුවන් ඇතුළත් කෙරෙන්නේ ද නොකෙරෙන්නේ ද  යන්න කෙරෙහි බලපානු ලබන්නේ පහසුකම් වලට වඩා අදාළ පාසලෙහි ගුරු මණ්ඩලය කොතෙක් කැපවීමෙන් දරුවන්ට විෂය කරුණු උගන්වන්නේ ද යන සාධකයයි.

රජයේ පාසල් ගුරුවරුන් බොහෝමය පාසලට යන්නේ ඉගැන්වීමට වඩා රැකියාව කිරීම සඳහාය. පාසල් ගුරුවරුන් මනාකොට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ නම් ටියුෂන් පන්ති වශයෙන් හඳුන්වන ආයතන සමූහයක් රටෙහි පවතින්නට ඉඩක් නැත රජයේ පාසල් ගුරුවරයාට ඉගැන්වුව ද නැති වුව ද මාසයේ අන්තිමට අදාළ වැටුප ලැබේ. ටියුෂන් ගුරුවරයාට ආදායම ලැබෙන්නේ ප්‍රමිතියකින් යුතුව ඉගැන්වීම කළහොත් පමණි රජයේ කෙසේ වෙතත් පෞද්ගලික ආයතන නම් වැටුප් වර්ධන උසස්වීම් කෙරෙහි අදාළ සේවකයාගේ කාර්ය සාධනය බලපායි. එහෙත් ගුරුවරයාගෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයා විභාගය සමත් වුව ද අසමත් වුව ද වාර්ෂික වැටුප් වර්ධන ආදිය නොලැබී යන්නේ නැත.

පාසල් වැසීයාම සම්බන්ධයෙන් ආණඩුවට ඇඟිල්ල දිගු කරන්නට ඉක්මන් වන තරමට ගුරු සංගම් තමන්ගේ වෘත්තිය සගයන් කොතරම් කැපවීමෙන් වෘත්ති යුතුකම් ඉටු කරන්නේද යන්න පිළිබද ස්වයං විවේචනාත්මකව කල්පනා කරන්නේ නම් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් නොවන පාසල් සංඛාව නැත්තට නැති කිරීම කෙසේ වෙතත් අවම කරගන්නට හෝ ඉදිරි වසරවලදී හැකියාව ලැබෙනු ඇත.

කවර තත්ත්වයක් යටතේ වුව පාසල් අතර සම්පත් විසමතාවයන් යටතේ වුව පාසල් අතර සම්පත් විසමතාවන් මෙන්ම පාසල් සම්බන්ධ පිළිගැනීමේ විසමතාවන් ද පවතින බව බැහැර කළ නොහැකිය. ඇතැම් පාසලකට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ඇති අතරම තවත් පාසලකට කිසිවක් ඇත්තේ නැත.

සම්පත් බෙදාහැරීම කෙරෙහි අමාත්‍යාංශය, අදාළ බලධාරින් අනුගමනය කරන පිළිවෙත ද එකී ඇති නැති පරතරය පළල් වීම කෙරෙහි බලපානු ලැබේ. නිදසුනක් වශයෙන් මේ ලිපිය ලියන මා ජීවත් වන නගරයේ උසස් පාසල් දෙකකින් එකකට පිහිනුම් තටාකයක් ද අනෙකට බැට්මින්ටන් පිටියක් ද ආණ්ඩුවෙන් ලබා දී තිබේ. එකී පිහිනුම් තාටාකයේත් බැට්මින්ටන් පිටියේත් පල ප්‍රයෝජනය ලබන්නෝ අදාළ විදුහල්වල සිසුන් පමණි. අනෙකුත් පාසල්වල දරුවන්ට ඉන් කිසිම ප්‍රයෝජනයක් නැති නමුත් ඒ ඉදිකිරීම් සඳහා පාසල්වල දරුවන්ගේ මවුපියන්ගේ මුදල් නොව වැයකර ඇත්තේ රටේ පොදු අරමුදල්ය. ප්‍රදේශයේ අනෙකුත් පාසල්වල දරුවන්ටත් ප්‍රයෝජනයක් ගත හැකි පරිදි පොදු තැනක එම පිහිනුම් තාටාකය හා බැට්මින්ටන් පිටිය ඉදිකෙරුණේ නම් පාසල් අතර ඇති නැති පරතරය යම් තරමකට හෝ පිරිමසා ගත හැකිවනවාට සැකයක් නැත. කණගාටුවට කරුණ වන්නේ ආණ්ඩුවටත් ගුරු සංගම්වලටත් බලධාරින්ටත් එවැනි දේ කලපනා නොවීමයි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *