|

හයිය පෙන්නන්න ගිය ඒකාබද්ධය හුලං බැස විසිර යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන්දිනය පසුගිය 3 වැනිදාට යෙදී තිබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහත්වන සංවත්සරයට පසු දිනයි. 1953 සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පැය ගණනකට පසු එදින රාත්‍රියේ පසුදාට එළිවන යාමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපත සිදු වී තිබෙනවා.

සේවා මුක්ත හමුදා භටයන්ට ගොවි ජනපදවලින් ලබාදුන් ඉඩමක පදිංචිව ගොවිතැන් කටයුතු කළ පියකුගේ කුළුඳුල් දරුවා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා උපත ලැබුවා. තරුණ කාලයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට එක් වූ ඒ මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු හා මේ වනවිට ජනාධිපතිවරයා ලෙස දිගු දේශපාලන ගමනක් පැමිණියා.

ජනාධිපතිතුමාගේ උපන් දිනයට අගමැතිතුමාගෙන් මැති ඇමැතිවරුන්ගෙන් මෙන්ම විපක්ෂ දේශපාලනඥයන්ගෙන් ද සුබපැතුම් ගලා ආවා. ජනාධිපතිතුමා තම උපන්දිනය සැමරුවේ කතරගම කිරි වෙහෙරට ගොස් ආගමික වතාවත්වල යෙදෙමින්.

මෛත්‍රීපාල සිරිසේන මහතා උපන් දිනය සැමරීමට මෙරටට පැමිණියේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිටයි. බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපතිතුමාට එම සංවිධානයේ සභාපතිත්වය ද හිමිවුණා. කලාපීය රටවල රාජ්‍ය නායකයින් හමුවී සාකච්ඡා කරන්නට ද අවස්ථාව ලැබුණා.

බදාදා උදේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගියේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් තෝරාගෙන තිබූ හොඳින් ගිණුම් පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 101ක් සඳහා සම්මාන ප්‍රදානය කිරී‍ෙම් අවස්ථාවට එක්වීම සඳහායි. රාජ්‍ය ආයතනවල ගිණුම් හා විගණන වාර්තා ගැන විමසීමේ සම්ප්‍රදායික පිළිවෙතින් බැහැරව විශිෂ්ට ලෙස එම කටයුතු කරගෙන යන ආයතන සඳහා සම්මාන ප්‍රදානය කිරීමට රාජ්‍ය ගිණුම් කාරක සභාව පසුගිය වසරේ සිට පියවර ගත්තා. මුදල් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ දෙවැනි වතාවටයි. කථානායක කරු ජයසූරිය මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සම්මාන ප්‍රදානෝත්සවයට එක්ව සිටියා.

එහි දී කතාකරමින් ජනාධිපතිතුමා කීවේ රාජ්‍ය අංශයේ දූෂණ සෙවීම සඳහා කෙතරම් කොමිෂන් සභා පත්කළත් වැරදිකරුවන්ට ඉක්මන් දඬුවම් නොලැබෙන්නේ නම් ඉන් පලක් නොවන බවයි. ඔවුන් එක්කෝ අතුරුදන් විය හැකි බවත් නැත්නම් ආණ්ඩු වෙනස් වී නිකම්ම බේරෙන බවත් ජනාධිපතිතුමා කීවා. රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන අයට මරණ දඬුවම දිය යුතු බව තමාගේ අදහස බව ද ජනාධිපතිතුමා කීවා.

“වැඩ කරපු හා වැඩ කරන 72” යන තේමාව යටතේ එජාප සංවත්සරය බ්‍රහස්පතින්දා සිරිකොතේදි පැවැති අතර අගමැතිවරයා එහි ගියේ රැස්ව සිටි අති විශාල ජනතාවකගේ උණුසුම් පිළිගැනීම් මැදයි.

“ආණ්ඩු පෙරලන්න ආපු පොහොට්ටුවේ අය හොදටම බීලා එයාලා පෙරළුණා මිසක් ආණ්ඩුව පෙරලන්න බැරි වුණා. ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කාගෙත් සිනා මැද කීවේ සම්මේලනයට යාමට පෙර අගමැතිවරයා සිරිකොත කාර්යාලයේ දී හමුවු විටයි.

“පොහොට්ටුවට පළාත් පාලන ඡන්දයේ දී යම් හයියක් ආවේ අපේ අඩුපාඩු හා ඇතුළේ ඉන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කිරීම නිසයි. පළාත් පාලනවලට පත්වු පොහොට්ටුවේ හුඟ දෙනෙක් මේ වන විට අනාගෙන. උද්ඝෝෂණේ අසාර්ථක වුණේ ඒකයි. මහින්දට ඡන්ද තිබුණට නව වැඩපිළිවෙළක් හෝ සංවිධානයක් නෑ ” සජිත් ප්‍රේමදාස කීවා .

“බැසිල් නැතිව එයාලට රැස්වීමක් තියාගන්න බැරි තරම්. සමෘද්ධි අය දැන් එජාපයෙන් මෙහෙයවීම නිසා එයාලට ලොකු පාඩුවක් වුණා. මහින්ද දැන් විකල්පයක් නෙමෙයි කියලා ඊයේ ඔප්පු වුණා” නවීන් දිසානායක කීවා.

“ගෝඨාගේ වියත් මග අසාර්ථක වුණාම බැසිලුත් රට ගිය වෙලාවේ නාමල් උස්සන්න මේ විරෝධතාව තිබ්බේ. ඒත් හිටපු තැනිනුත් නාමල් පහළට වැටුණා ” දයා ගමගේ කිවේ එහෙමයි.

“පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්නය ගිනියම් බව ඔප්පු වුණ. බැසිල්ගේ පිල විරෝධතාවට කකුල් මාට්ටු දැම්මා. ඊළගට බැසිල් රැලියක් කරන වෙලාවට අනිත් කණ්ඩායම කකුලෙන් අදීවි. බෙදීම ඒ තරමට තියුණුයි මහින්දට දැන් අමාරු තීන්දුවක් ගන්න තියෙන්නේ ” අගමැති විග්‍රහ කළා.

“විරෝධතාවෙදි පරණ පුස්කාපු හැමදාම පතුරු ගහන සටන් පාඨ මිසක් හරියට රැස්වීමක්වත් තියාගන්න බැරි වුණා. පාරවල්වල රස්තියාදු නොවි මම වගේ උදාගම් 130ක් හා පාලම් 4කට මුල්ගල තියන්නැයි සජිත් පොහොට්ටුවට කළ අභියෝගය නැගලා ගියා. ”ගයන්ත කරුණාතිලක කීවා.

“ජනාධිපති, අගමැති රටින් පැනගන්න. ඇමතිවරු නැව්වලට ගිහින් හැංගෙන්න. රෝහල් ඇම්බියුලන්ස් සූදානම් කරන්න කියලා රුපියල් දස ලක්ෂ හැත්ත දෙකක වංචා නඩුවක් තියෙන ගම්මන්පිල වහසි බස් කිව්වා. ආණ්ඩුව අරන් මිසක් ගෙදර යන්නේ නෑ කියලා පවිත්‍රායි 7- 8 දෙනෙක් මැරේවි කියලා වාසු කිව්වා. දවල් හීන මෙයාලා දැකලා තිබුණේ.” චමින්ද විජේසිරි මතක් කොට දුන්නා.

“සිංගප්පූරු ගිවිසුම, රණවිරු දඩයම, රට බෙදීම, විකිණීම, බදු ගැසීම අහලම ජනතාවට පොහොට්ටුවේ පටු සීමාව තේරුම් ගිහින්. ආර්ථික ප්‍රශ්න ණය බර අපි නිවැරදි කරගෙන යන බව ජනතාව දන්නවා. ඒ නිසා ඡන්දයෙන් මිසක් අරගලවලින් ආණ්ඩු පෙරලන්න බැරි බව ජනතාව දන්නවා. ඊයේ කොළඹ ආවේ ජනතාව නෙවෙයි පටු මහින්දවාදීන් විතරයි. ” අගමැති කීවා.

“ගෝල්ෆේස් එක ගිය පාර පිරෙව්වා. මේ පාරත් එතනට යන්න ඇවිත් තියෙන්නේ, සෙනග අඩු නිසා ලිප්ටන් එකයි ධර්මපාල මාවතත් මගඇරලා පුංචිම පුංචි ලේක්හවුස් වට රවුම තෝරාගැනීම තුළම එයාලා තම බංකොලොත් බව පිළිගත්තා වෙනවා” වජිර අබේවර්ධන කීවා.

“ෂැංග්‍රිලා එකේ කාමර 10යි හිල්ටන් හා ටාජ් එකේ කාමර 03 බැගින් එදා බුක් කරලා තිබුණලු. එතන ඉඳන් ආණ්ඩුව ප්‍රකාශ කරන්නත් හිතේ තිබුණා කියලා ආරංචියි. පිස්සු තමයි” චමින්ද විජේසිරි කීවේ හිනා මැදයි.

“ඊජිප්තුවේ ජනතා අරගලය හා තායිලන්තේ රතු කමිස විප්ලවය වගේ ලංකාවේත් කරන්නයි රෑ නවතින්න බැලුවේ.ඒත් රෑ 11 වෙනකොට ඔක්කොම ගියා. ඒ රටවල සිවිල් සංවිධාන හා මිනිස්සු මිසක් දේශපාලකයෝ ඒවට නායකත්වය දුන්නේ නෑ. අනික දූෂිත හා ප්‍රජාතන්ත්‍රවාදය වැනසු රජයක් පලවා හරින්නයි ඒ රටවල් දෙකේ මිනිස්සු රෑ වීදිවල හිටියේ. ලංකාවේ එහෙම ප්‍රශ්නයක් නෑ. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ඕන තරම් ලංකාවේ දැන් තියෙනවා. ආර්ථික ප්‍රශ්න ටිකක් විතරයි දැන් මේ රටේ තියෙන්නේ. ඒක අපි සමනය කරන බව ජනතාව දන්නවා. දූෂිත නඩයක් යළි ගේන්නයි ලංකාවේ මේ උද්ඝෝෂණය තිබුණේ වීදිබැසීම අසාර්ථක වුණේ ඒකයි. ” සජිත් ප්‍රේමදාස කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළ වුණා.

“ශ්‍රිලනිපය පැත්තෙන් මේ උද්ඝෝෂණයට වක්‍ර සහායක් ලැබුණා කියලත් ආරංචි යනවා. ඒ වගේම ජනතාව බ්ලොක් කරන්නත් ශ්‍රිලනිප පැත්තෙන් නොයෙක් දේවල් කරපු බවත් කියනවා. මහින්ද මහත්තයා ඊයේ අසනීපෙන් ඉඳලා කියලත් ආරංචියි. ඇත්ත මොකද්ද දන්නෙ නෑ. ” චමින්ද විජේසිරි කීවේ ඔහුට ලැබුණු ආරංචි පදනම් කරගනිමින්.

“ජනාධිපතිතුමා රවීට හොඳ පණිවිඩයක් දීලා තියෙනවා කියලා ඊයේ එජාප දේශපාලන මණ්ඩලයේ දී හෙළි වුණා. එජාපය ඒක එනකල් මග බලාගෙන හිටියේ” අගමැතිවරයා කීවේ රවී දෙස බලා සතුටින් සිනාසෙමින්.

“මොකද්ද ඒ පණිවිඩය ” කිරිඇල්ල, සජිත්, නවීන් ඇතුළු සියලු දෙනා රවීගෙන් විමසුවේ එකවරයි.

“බදාදා උදේ මම පාර්ලිමේන්තු ගියාම ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තු ඇවිත් හිටියා. මම ගිහින් හමුවුණා.පොහොට්ටුවේ උද්ඝෝෂණයයි අරවා මේවා කතා කළා. මගේ ඇමතිකම ගැනත් අපි සාකච්ඡා කළා. ජනාධිපතිතුමා ඉතා අවබෝධයෙන් ඉතා සාධාරණ තැනක ඉන්නේ. මට ඇමතිකම අහිමි කිරීම නුසුදුසු බවට මම දැක්වු කරුණු එතුමා පිළි ගත්තා. මගේ විරෝධයක් නැහැ. රවී ඔයා අගමැති එක්ක කතා කරලා ප්‍රශ්නය බේර ගන්නැයි එතුමා මට උපදෙස් දුන්නා” රවී කරුණානායක සිද්ධිය විස්තර කළා.

“ බදාදා හවස එජාප දේශපාලන කමිටුව රැස්වුණාම රවී ඇමතිතුමා ඔය සිද්ධිය මුලින්ම අගමැතිතුමා ඇතුළු අපි කාටත් විස්තර කළා. එතන කබීර්, නවීන්, හරීන්, මද්දුම බණ්ඩාර, රුවන්, අජිත් අලවතුවල ඇතුළු සියලු දෙනාම ඒකට එකග වුණා. අගමැතිතුමා සතුටින් රවීට සුබ පැතුවා. ” අකිල විරාජ් කාරියවසම් කීවා.

“මොණරාගල තිබුණු එන්ටර්ප්‍රයිස් ලංකා වැඩපිළිවෙළ ඉතා සාර්ථකයි. අපේ ගම් පළාතට ඒක දීපු එක ගැන අගමැතිතුමා, මංගල ඇමතිතුමා, කිරිඇල්ල ඇමතිතුමා වගේම ආණ්ඩුවටත් ඒ පැත්තේ අය ප්‍රසංශා කරනවා ” රංජිත් මද්දුම බණ්ඩාර කීවා.

“මොණරාගල දී දින 03ට 2500කට ණය දීලා තියෙනවා. මේ රටේ බැංකු අධික ලාභ ලැබුවත් ණය දෙන්නේ ලොකු ඇප තියෙන අයටයි. ණය ඉල්ලන ව්‍යාපෘතියේ වැදගත්කම එයාලා හිතුවෙම නෑ. බැංකු මට බාර වුණාම මම බැංකුවලට මේ ගැන දැඩිව පැහැදිලි කළා. චන්ද්‍රිකාලා, මහින්දලා නොකළාට බැංකු ගමට ගෙනිච්චේ අපි. සියලු බැංකුවල එන්ටර්ප්‍රයිස් ලංකා කවුන්ටර් ඇරලා ඒක අධීක්ෂණය කරන්නැයි මම එජාප සංවිධායකයන්ට බලය පවරණ ලියුමකුත් යැව්වා. බොරු දේශප්‍රේමින් නොකළ දේ අපි කරලා රටට අලුත් ව්‍යාපාර පැලැන්තියක් බිහි කරනවා ” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු කාගෙත් ප්‍රශංසාව ඊට පළවුණා.

ඉකුත් සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු සජිත් ‍ප්‍රේමදාස ඇමැතිවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරියේ කීවේ “මාත් සැප්තැම්බර් 05 වැනිදා මෙහෙයුමක් දියත් කරනවා” කියායි. ජනාධිපතිවරයා කුතුහලයෙන් යුතුව ඇසුවේ “මොකක්ද අප්පේ ඒ?” කියායි. “මම එදා දවසේ රට පුරා අලුත් උදා ගම්මාන 130ක වැඩ ආරම්භ කරනවා” සජිත්ගේ පිළිතුර වුණා. “බොහොම හොඳයි. දිගටම කරගෙන යන්න” ජනාධිපතිවරයා කීවා. අනතුරුව අගමැතිවරයා දෙසට හැරෙමින් සජිත් ‍මෙසේ කීවා. “මම සැප්තැම්බර් 05 වැනිදා මේ උදා ගම්මාන 130 ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරයටත් සමගාමීවයි. අපේ පක්ෂය බිහි කළ, පෝෂණය කළ සියලු නායකයන්ට උපහාරයකුත් හැටියටයි.” අගමැතිවරයා එවර කීවේ “බොහොම හොඳයි. මම තවත් උදව් කරන්නම්. ශක්තිමත්ව ඉදිරියටම කරගෙන යන්න” යනුවෙන්. “හැබැයි සර්, උදා ගම්මාන 2500 වැඩසටහන කරගෙන යන්න වෙලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. ඉඩම් වෙන් කිරීමේ පියවරේ දී කකුලෙන් අදිනවා” සජිත් කියද් දී ජනාධිපතිවරයා ඇසුවේ “මොකක්ද ඒ කතාවේ තේරුම?” කියායි. “පහුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් එක්ක රහස් ගිවිසුම් ගහගෙන ඉන්න සමහර නිලධාරීන් ඉඩම් තියාගෙන නෑ කියනවා. ඉඩම් නිදහස් කිරීමට අනුමැතිය නො දී කල්මරනවා. මේ අය අපේ උදා ගම්මාන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නමයි උප්පරවැට්ටි දාන්නෙ” සජිත් පැහැදිලි කර දුන්නා. ජනාධිපතිවරයා කීවේ “හරි අපි ඒ ගැන අවධානය යොමු කරමු. ඉස්සරහට දැඩි තීරණ ගන්න වෙයි” යනුවෙන්.

වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා මේ දිනවල ආණමඩුව, ඉඟිනිමිටියේ හෙට (08) දින ආරම්භ වන දියවර නෑයෝ වැඩ සටහනේ දෙවන අදියරේ සංවිධානාත්මක කටයුතු සඳහා ඇප කැපවෙමින් ආණමඩුවට වී කාලය ගත කරනවා. කාලය නිකරුණේ කා දැමීමට වඩා ගමේ වැඩකට කැපවීම ඉතා වටිනා බව පෙන්වා දෙමින් දිවා රෑ නොතකා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ක්‍රියාත්මක වී සිටින රාජ්‍ය ඇමැතිවරයාව මේ දිනවල සම්මුඛ සාකච්ඡාවක් සඳහා මාධ්‍යයට සම්බන්ධ කර ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා බ්‍රහස්පතින්දා හදිසියේම ගාලු ගියේ මංගල උත්සව කිහිපයකට අත්සන් කිරීමට ඔහුට ආරාධනා කර තිබූ බැවින්. උදේ ගාලු ගිය අමාත්‍යවරයා සවස යළි කොළඹ ඒමට පෙර ගාල්ල බන්ධනාගාරයට ගියේ රාත්‍රී බන්ධනාගාරය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට තමන්ට පැමිණීමට නොහැකි වුව ද ඒ සඳහා සිය දායකත්වය සැපයීමේ අපේක්ෂාවෙන්.

ගාල්ල බන්ධනාගාරය සුබ සාධන කාර්යයන් හි ලබාගත් ජයග්‍රහණයන්ට දායක වූ ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ට ඒදින රාත්‍රියේ ස්තූතිය පළ කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඇමැති වජිර අබේවර්ධනයි. නමුත් අමාත්‍යවරයාට මේ උත්සවයට සහභාගී වීමට නොහැකි බැවින් උත්සවය අවස්ථාවේ දී පෙන්වීමට අමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවිඩියක් බන්ධනාගාරයේ දී පටිගත කෙරුණා.

මොණරාගල පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් උත්සවය පැවැතියේ සිකුරාදා දිනයේයි. සිකුරාදා සවස පැවැති එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ වජිර අබේවර්ධන අමාත්‍යවරයායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රදර්ශන කුටියේ දී රජය ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය වෙනුවෙන් කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්වලට අමතරව නවීන තාක්ෂණය භාවිත කරමින් ග්‍රාම නිලධාරී නිකුත් කරන සහතිකයේ පටන් සියලු සේවාවන් අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ආකාරයෙන් සිදුකරගත හැකි ආකාරය මහජනතාවට ප්‍රදර්ශනය කර තිබීම කැපී පෙනුණා.

අනාගත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සියලු කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව ඒහි නිදර්ශනය කර තිබූ ආකාරය බොහෝ ජනතාවගේ සිත්ගත් අතර දැනටමත් ක්‍රියාත්මක වන මේ සේවාවන් ලබා ගැනීමට ද ප්‍රදර්ශනයට පැමිණි අයට අවස්ථාව ලැබුණා.

සෙනසුරාදා සහ ඉරිදා ගාල්ලේ නිල මෙහෙවර කාර්යාල 14ක් විවෘත කළ ඇමැති වජිර ගංවතුර වැනි හදිසි ආපදාවල දී ජනතාවට ආරක්ෂාව සැපයීම සඳහා රුපියල් ලක්ෂ 70ක වියදමින් බද්දේගම කිරිබතාවිල විහාරස්ථානයේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල ද විවෘත කළා. නිල සෙවණ විවෘත කිරීමේ උත්සව ආවරණයට පැමිණි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් දේශපාලකයන් ජනතාවගේ කතිරයෙන් බලයට පත්වී පසුව මේ බලය තැන් තැන්වල උගස් කිරීමට කටයුතු කරන බවයි. මෙය නොකළ යුතු දෙයක් බවත් ජනතාව වඩාත් බුද්ධිමත් ව මේ සම්බන්ධයෙන් සොයා බලා අවධානයෙන් සිටිය යුතු බවත් පැවසුවා.

සඳුදා උදෑසන ගාල්ල කඩවත් සතර සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා විදේශ රැකියා හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වුණා. මාස කිහිපයකට පසු පැවැති මේ රැස්වීමේ දී ගාල්ලේ මොරගොඩ ඇල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමතිවරු දෙපළ ම ඒම ව්‍යාපෘතිය සිදුකරන නිලධාරීන්ට දැඩි දෝශාරෝපණයක් එල්ල කළේ පසුගිය රජයෙන් ආරම්භ කළ අසාර්ථක ව්‍යාපෘතියක් හේතුවෙන් තමන්ට ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බව පවසමින්. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බලා වහාම පියවර ගැනීමට දිසාපතිවරයාගේ මූලිකත්වයේන යුතු කමිටුවක් ද ඒහි දී පත්කෙරුණා. එමෙන් ම ගාල්ල මහමෝදර නව ජාතික පාසලක් ඉදිකිරීමට ද යෝජනා කෙරුණා. ඒදින ම සවස වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හෝල්ඩි ගෝල් ශාලාවට කැඳවා තිබුණේ ඔවුන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතිය යටතේ තම ව්‍යාපාර සඳහා ණය ලබාගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටයි. මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කොරියා රජයෙන් ලද ආරාධනයකට අනුව පාර්ලිමේන්තු කණ්ඩායමක් විශේෂ සංචාරයක් සඳහා පසුගිය සතියේ සම්බන්ධ වුණා. කථානායකවරයාද නියෝජනය කළ එම කණ්ඩායමට ජවිපෙ නියෝජනය කරමින් සම්බන්ධ වූයේ විජිත හේරත් මන්ත්‍රීවරයායි. නිල කටයුත්තෙන් පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා තව දින දෙකක් කොරියාවේ රැඳී සිටීමට තීරණය කළේ කොරියාවේ ‘එතෙර අපි’ සංවිධානය විසින් සංවිධානය කොට තිබූ වැඩසටහන් කිහිපයකට සහභාගිවීමටයි. දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින් තිස්දහසකට අධික පිරිසක් රැකියා කරමින් සිටින අතර ඔවුහු ගැටලූ ගණනාවකට මුහුණ දෙමින් සිටිනවා. විජිත හේරත් මන්ත්‍රීරයා පළමු දිනයේ ශ්‍රී ලාංකිකයින් රැකියා කරන ස්ථානවලට ගොස් ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිතර වූ අතර ඇතැම් ආයතනවල පාලනාධිකාරිය සමඟද සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුවා. එදින පස්වරුවේ ශ්‍රී ලාංකිකයින්ගේ නවාතැන්පොළවලට ගොස් ඔවුන් සමඟ රාත්‍රී ආහාරයද ලබාගත් මන්ත්‍රීවරයා ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා හදාගත් අතර වත්මන් දේශපාලන තත්ත්වය ගැනද ඔවුන් දැනුවත් කළා. පසුදින ‘එතෙර අපි’ සංවිධානය විසින් පෝචෝන්හි දී සමුළුවක් සූදානම් කොට තිබුණා. එහි දී විජිත හේරත් වර්තමාන දේශපාලන තත්ත්වයත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලූ පිළිබඳවත් ජවිපෙ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් දේශනයක් පැවැත්වුවා. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලූ පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් ඔහු පොරොන්දු වුණා.

මෙම මස මුල් සතියේ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ජවිපෙ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතිද යන්න සොයා බැලූවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයායි. එය පස්වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර එය කළ යුතුව තිබුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා කොරියාවේ සිටි බැවින් සුනිල් හඳුන්නෙත්ති දුරකතනයෙන් ඔහු දැනුවත් කළ අතර විජිත හේරත් කියාසිටියේ තමන් 04වෙනිදා අළුයම දිවයිනට පැමිණෙන බවයි. විජිත හේරත් විසින් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව සිදු කළ අතර පක්ෂ නායක අනුර දිසානායක එය ස්ථිර කළා. සභානායකවරයාගේ ඉල්ලීමක් අනුව 20 සංශෝධනය ගැන විජිත හේරත් විසින් කෙටි හැඳින්වීමක්ද ඉදිරිපත් කරනු ලැබුවා. පසුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම සභාගැබෙන් පිටතට පැමිණි අතර සිය පළමු කඩඉම් ජයග්‍රහණය පිළිබඳව සතුට බෙදා ගත්තා. පසුව විජිත හේරත් පාර්ලිමේන්තුවේ පනත් අංශයට ගොස් කාර්යමණ්ඩලයට සිය පක්ෂයේ ගෞරවනීය ස්තූතිය පුදකරන බව කියා සිටියා.

”මන්ත්‍රීතුමා අපිට ස්තූති කළාට ඔබතුමාට ස්තූතියි. මොකද අපේ කාර්යභාරය මේ විදියට පැසසුමට ලක්වුණේ පළවෙනි වතාවට. ඔබතුමාලගේ උත්සාහයට අපි සුබ පතනවා.” පනත් අංශයේ නිලධාරියෙක් කියා සිටියා.

එදිනම අනුර, විජිත, නලින්ද පාර්ලිමේන්තු පුස්තකාලයට ගියේ පුවත්පත් කියවීම සඳහායි. පුවත්පත් බලමින් සිටි අනුර දිසානායකට පුස්තකාල සේවකයකු අතින් සංඥා කරමින් විශේෂ අමුත්තෙක්ද පුවත්පත් බලන බව හැඟවුවා. ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ අවධානය ඒ දෙසට යොමුවුණා. විශේෂ පුද්ගලයා වූයේ ජනාධිපතිවරයායි. ඔහු පාර්ලිමේන්තුවේ උත්සවයකට සහභාගිවීමට පැමිණ සිටියා. අනුර දිසානායක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ සුහද කතාබහක නිරත වුණා. මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ උද්ඝෝෂණය පිළිබඳවද කතාව ඇ දී ගියා.

”හෙට වෙනකල් ඉන්නවා කිව්වට 7 වෙන්න කලින්ම කට්ටිය යනවා. මම දන්නවනේ එයාලගෙ වැඩ” ජනාධිපතිවරයා කියා සිටියා.

පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයේ සියලු නායකයන්ගේ සම්පූර්ණ අවධානය යොමුව තිබුණේ බදාදා පැවැති උද්ඝෝෂණය සංවිධානය කිරීම සඳහායි. එයට හැකි උපරිම ශක්තිය ගොනුකර ගැනීමට ඔවුනට අවශ්‍ය වුණා. මුළු රටේම තම ශක්තිය ගොනුකොට කොළඹ දී ප්‍රදර්ශනය කිරීම අරමුණ වී තිබුණා. ඒ සඳහා යාපනය, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලින්ද බස් රථ යොදාගෙන පාක්ෂිකයන් රැගෙන ඒමට කටයුතු යොදා තිබුණා.

මෙම උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු භාරව සිටියේ නාමල් රාජපක්ෂ මහතායි. ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාකච්ඡාවලට මීට පෙර සහභාගි කර නොගත් නමුත් උද්ඝෝෂණය සංවිධානය කිරීම සඳහා වූ සාකච්ඡාවලට සහභාගී කරගනු ලැබුවා.

කොළඹට ගෙන එන සෙනග රැස්වන ස්ථාන පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් නිශ්චිත තීරණයකට පැමිණියේ අවසන් මොහොතේදියි. ඒ සඳහා විවිධ ස්ථාන පිළිබඳව සාකච්ඡා වුවද කොළඹට ගෙන්වාගත හැකිවන සෙනග ප්‍රමාණය අනුව ස්ථාන වෙනස් කිරීමට තීරණය වුණා. අවසානයේ දී තීරණය වූයේ ලේක්හවුස් වටරවුමේ තම ප්‍රධාන විරෝධතාවය ක්‍රියාත්මක කිරීමටයි.

මෙම උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදුකිරීම මගින් ඔහු මෙම කණ්ඩායමේ අනාගත නායකත්වයට ගෙන ඒමේ අරමුණද පෙනෙන්නට තිබුණා. ඒකාබද්ධ විපක්ෂය තුළ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද එය කතාබහට ලක්ව තිබුණා.

අනෙක් අතට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් විරෝධී කණ්ඩායම මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ බලය බිඳ දැමීමේ අවස්ථාවක් ලෙසද භාවිත කළා. බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදේශගතව සිටින අතර උද්ඝෝෂණය සංවිධානය කිරීමට ඔහුගේ මැදිහත්වීමක් නැහැ. බැසිල් විරෝධීන් නාමල් හා එක්ව මෙම අවස්ථාව භාවිත කළේ ඔහු නොමැතිව තමන්ට මහජනයා ගෙන්වාගත හැකි ආකාරය පෙන්වීමටය. එසේ වුවද විශාල ජනකායක් ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා එම අරමුණද අසාර්ථක වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *