ජන බලය කොළඹට – විරෝධතාකරුවෝ බැනවදිමින් ගෙවල්වලට යති – බීමතින් රෝගී වූවෝ රෝහලට – නායකයෝ හොටල් කාමරවලට

සංවිධායකයන්ගේ බලාපොරොත්තු වූ කරුණු කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව අසාර්ථක වූ ජන බල මෙහෙයුම පෙරේදා  (2018.09.05) රාත්‍රී 10.30 පමණ වන විට අවසන් වීය .

ජන බල මෙහෙයුමේ අරමුණ ලෙස, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාළනය, දේශපාලන පළිගැනීම්, මැතිවරණ කලට වේලාවට නොපැවැත්වීම්, රාජ්‍ය දේපොළ විකිණීම් වැනි කරුණු ප්‍රකාශකළත් කළත් රාජපක්ෂ පවුලේ බල අර්බූදයට විසඳුමක් සේවීමට සූදානම් කළ ජන බල මෙහෙයුම අසාර්ථක වීම නිසා රාත්‍රි 10.30ට පමණ වනවිටසියලු දෙනා විසිර ගියහ .

බලාපොරොත්තු වූ තරම් පිරිසක් නොපමිනියත් විශාල ජන සමූහයක් ජන බල මෙහෙයුමේ පෙළපාලිවලට සහභාගි වූවත් ඔවුන් නොසතුටින් සිටි බව පෙනුණි. රැස්ව සිටි අය අතර උද්ද්‍යෝගයක්, අරමුණක් නොමැති බව පැමිණි සෙනඟ නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිවම පෙනෙන කරුණකි. ඊට හේතු කිහිපයක්ම බල පෑ අතර ප්‍රධාන හේතුව වූයේ මහින්ද මහතාට වඩා නාමල් ගේ නම කියමින් සටන්පාඨ කියන ලෙස සංවිධායකයන් විසින් දැනුම් දුන්නත් සහභාගි වූවන් ඊට අකමැත්ත ප්‍රකාශ කිරීමයි. ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසූ විට පෙළපාලියේ පැමිණි තංගල්ල ප්‍රදේශයේ අයෙක් දැක්වූයේ මෙවන් අදහසකි. ‘අර මක්කටැයි අපි එයැයිගෙ නම කියලා කෑගහන්නෙ? නාමල්ට ජය වේවා කියන්න අපිට පිස්සුයැයි? එයැයි මක්කැයි රටට කරල තියෙන්නෙ? අපි ආවේ මහින්ද මහත්තයා වෙනුවෙන්. එයැයි හොරකම් කරා කියල කිව්වත් යුද්දය නැති කළේ එයැයි නෙව. අපි මහින්ද වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති හරිය.’ කියාය.

සහබාගී වූ ආධාරකරුවන් පමණක් නොව ඇතැම් සංවිධායකයන් පවා නාමල් බේබිව පක්ෂ නායකත්වයට ගෙන එමේ මෙම බලව්‍යාපෘතියට කමැත්තක් නොදැක් වූ බව පෙනෙන්නට තිබුණේ පෙළපාලියේ පෙරමුණේ පැමිණි සංවිධායකවරුන් කිසිවෙක් නාමල් ගේ නම කියා සටන්පාඨ කියනවා තබා ඒ පිළිබඳ ඉඟියක් තම පිරිසේ සිටි පිරිසට නොකිරීමයි.

ඇතැම් සංවිධායකයින් පොරොන්දු වූ පරිදි සිය ආධාර කරුවන්ට මත් වතුරෙන් සංග්‍රහ නොකිරීමත් ජන බලය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූ බව නිරීක්ෂකයන්ගේ මතයයි. ඒ බව විවිධ මාධ්‍ය ඔස්සේ ද සඳහන් කර තිබුණි. එහෙත් ඇතැම් ප්‍රධා‍න පෙළේ ඇතැම් සංවිධායකයන් ඇති පදමට මත් පැන් සපයා දී තිබූ බව පෙනුණේ ඔවුන් පෙළපාලියේ ගමන් ගත් ආකාරයෙනි. තමන් කියන්නේ මොනවාද යන්න පවා නොදැන විකාර තියමින් විකාර කරමින් ගිය පිරිස් පෙළපාලියේ දක්නට ලැබුණ සුලබ දර්ශනයක් විය. කෙසේ වෙතත් ඊයේ හවස්වන විට අධික බීමතින් 81ක් දෙනෙක් රෝහල් ගත කර තිබූ අතර බිමත්ව සිටි විශාල පිරිසකගේ හිසේ හා දෙපතුල් වල දෙහි ලෙලි අතුල්ලමින් සිටිනු දක්නට ලැබිණි. පෙළපාලියට පැමිණි හෘදයාබාධය වැළඳුණු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා විය.

සංවිධායකයන්ගේ අසංවිධානත්මක බව නිසා විශාල පිරිසක් කළකිරීමටපත් ව ආපසු ගිය බව දක්නට ලැබුණු විශේෂයකි. කොළඹට ඇදී ආ පිරිස් සවස තුනේ සිට තමන් යායුත්තේ කුමන ස්ථානයකටදැයි නොදැන අසරණව තැන් තැන් වල සිටිනු දක්නට ලැබුණි. දකුණෙන් පැමිණි විශාල පිරිසක් නාවින්න ක්‍රිඩාංගනයට වී සිටි අතර කොට්ටාව, කිරිලපන ආදි ප්‍රදේශවල සිට ඔවුන් ආහාර ගනිමින් මත්පැන් පානය කරමින් සිටිනු දක්නට ලැබිණි.

ඉන්පසු ලේක්හවුස් වට රවුම වටාත් ටෙලිකොම් අසල ලෝටස් වටරවුම දක්වා සෙනඟ පෙළපාලිවලින් පැමිණි අතර කිසිම අරමුණකින් උද්ද්‍යෝගයකින් තොරව ඔවුන් විඩාපත් මුහුණි සිටි අතර මෝලම් සංගීතයට නර්තන ඉදිරිපත් කරන බීමත් තරුණයින් දක්නට ලැබිණි.

පෙළපාලියේ අවසන් කණ්ඩායම ලේක්හවුස් වට රවුම දක්වා පැමිණීමටත් පෙර පෙළපාලියට සහභාගි වූවෝ පිටත් වනු දක්නට ලැබිණි. පළමුවෙන් නික්මගියේ දඹුල්ලෙන් පැමිණි කණ්ඩායම බව අපගේ නිරීක්ෂණයන්ට හසුවුණි. තරමක් හෝ උද්‍යෝගිමත් පිරිසක් ගමන් ගත් කණ්ඩායමක් වශයෙන් දක්නට ලැබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චිගේ කණ්ඩායමයි. වැඩිපුර ජනතාවක් සහභාගි වූ කණ්ඩායම ලක්ෂමන් යාපා ගේ කණ්ඩායම බව නිරීක්ෂණය වූ අතර ඇතැම් සංවිධාකයන් සමඟ සිටි පිරිස පණහකටත් වඩා අඩු පිරිසකි.

කොළඹ නගර සභාව මගින් තැන් තැන් හි ජල බවුසර් හා ජල ටැංකි තබා තිබීම නිසා පෙළපාලි කරුවන්ට සහනයක් විය. සංවිධායකයන් විසින් රාත්‍රි පහන්වන තුරු පවත්වන්නට සූදානම් කර තිබූ ප්‍රසංගවලින් කිහිපයක් පමණක් පවත්වා 10.30 පමණ වන විට විරෝධතාව හමාර කර තිබුණි. සංවිධායකයන් විසින් සෙනඟ රඳවා ගැනීමට කොතෙක් උත්සාහ කළත් නොහැකි වී ය. ආපසු යන පිරිස් පැවසූ පොදු ප්‍රකාශය වූයේ ‘කිසි තේරුමක් නැති වැඩක්’ යනුවෙනි. කන්නත් නෑ බොන්න්නත් නෑ බොහෝ පිරිස කියනු ඇසිණි.

නාමල් රාජපක්ෂ හිල්ටන් හෝටලයේ නවාතැන් සපයාගෙන තිබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නවාතැන් ගෙන තිබුණේ ටාජ් සමුද්‍රා හෝටලයේය. සෙසු සංවිධායකයන් ෂැංගිලා හෝටලයේ සුඛෝපබෝගිව කල් ගෙවූ අතර ඔවුන්ට ඉස්තරම් ලෙස කෑම බීම සැපයීමට ෂැංගිලා හෝටල් කළමණාකාරිත්වය කටයුතු කළ බව අප නිරීක්ෂකයෝ  පවසති . සංවිධායකයන් තරු හෝටල්වල – අපි මහපාරේ විරෝධතාවට සහභාගි වී ආපසු යන පිරිස් කියනු අසන්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *