මුදල් වංචා චෝදනාවට ජොන්ස්ටන් රිමාන්ඩ්

ලංකා සතොස ආයතනයේ රුපියල් මිලියන 52.02ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු සමුපකාර ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ තවත් දෙදෙනකු සැප්තැම්බර් මස 11වෙනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සතොස ශාඛා තුනකින් රුපියල් මිලියන 52.02කට අධික ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා නොදී වංචා කිරීම සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ හිටපු සමුපකාර ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස සභාපති කේ. එම්. ආර්. ප්‍රනාන්දු සහ හිටපු සමුපකාර ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහොදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන මූල්‍ය වංචා ඒකකය මගින් මෙම නඩුව කුරුණෑගල මහාධිකරණයට යොමුකොට තිබුණි.

සිවිල් නඩු සංග්‍රහයේ පොදු දේපොළ පනතේ 50වැනි වගන්තිය යටතේ නඩු අංක 8/16 යටතේ නඩුව ගොනු කර තිබුණි.

වසර 05ක් තිස්සේ අධිකරණයේ දිගහැරෙමින් තිබූ මෙම නඩුව ඊයේ විභාගයට ගත් වයඹ පළාත්බද කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා වි‍ජේසුන්දර මහත්මිය සැප්තැම්බර් මස 11 දින සිට නඩුව දිගටම විභාගයට ගන්නා බවද කියා සිටියාය.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පශ්චාත් උපාධිධාරියකු වන රත්මාල් බොතේජු මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 11 දිනට කල් තැබීය.

රජයේ නීතිඥ අසංක මැන්ඩිස් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සමඟ නීතිඥ ඉන්දික ගිරාගම, රශ්මි ඉන්දතිස්ස සහ රිසාන් විදානගමගේ යන නීතිවේදීහු පෙනී සිටියහ.

මහාධිකරණ ශාලාවේ දොර ‍ජනෙල් වසා දැඩි ආරක්ෂාව යටතේ නඩුව විභාග විය.

කුරුණෑගල මධ්‍යම විශේෂ සහ කුරුණෑගල දකුණ සමූහ – දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *