දහ නමයේ හිල් හොයන්නෝ – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල රටේ දේශපාලන ‍ෙක්‍ෂ්ත්‍රය තුළ බෙහෙවින්ම කතාබහ කෙරෙන මාතෘකාවක් බවට 2015 වර්ෂයේ අප්‍රියෙල් 28 දින ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත්ව ඇත. එයට හේතුව එම සංශෝධනයේ 4.2 වගන්තිය මගින් ප්‍රකාශ වන එක් පුද්ගලයකුට ජනාධිපති තනතුර දැරිය හැක්කේ දෙවරක්ය යන නියමය නීතිමය වශයෙන් අවුල් සහගත වන බවට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂපාතීභාවය දක්වන සමහර නීතිවේදීන් විසින් කර ඇති මත දැක්වීමය.

4.2 වගන්තිය මගින් ප්‍රකාශ වන්නේ ‘‘ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය’’ යන්නය. මහින්ද රාජපක්‍ෂවාදීන් දක්වන අදහසට අනුව මෙම නියමය බලපාන්නේ එම සංශෝධනය පැනවූ දිනයෙන් පසුව තේරී පත් වන ජනාධිපතිවරුන්ට මිස අතීතයේ එම තනතුරට පත් වූ අයට නොවේ. එබැවින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත වරක් ජනාධිපති මැතිවරණයට තරග කිරීමේ බාධාවක් නොමැත.

මහින්ද රාජපක්‍ෂවාදීන් ඉදිරිපත් කරන මෙම තර්කය දෙස බලන විට පෙනී යන්නේ එය මුළුමණින්ම පුද්ගලානුබද්ධ පදනමක් මත ඉදිරිපත් කර තිබෙන තර්කයක් වන බවය. එනම් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද යන කරුණ පමණක් සැළකිල්ලට ගෙන එම තර්කය ඉදිරිපත් කර තිබෙන බවය. නමුත් මෙහි දී මතුවන ප්‍රශ්නය වන්නේ රටේ මූලික නීතිය ලෙස සළකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය හුදෙක් තනි පුද්ගලයකුගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවයක් අනුව පුද්ගලානුබද්ධ පදනමක් මත අර්ථකථනය කිරීම නීතියට අනුකූල වනවාද යන්නය.

එමෙන්ම එය දේශපාලන සදාචාරයට ගැලපෙනවාද යන්නය. කරුණු විමසීමේ දී පෙනී යන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තනි හුදකලා සිද්ධියක් ලෙස සැලකිල්ලට ගනිමින් පුද්ගලානුබද්ධ පදනමක් මත අර්ථකථනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ සම්ප්‍රදායන්ට මුළුමණින්ම පටහැනි බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අර්ථකථනය කළ යුත්තේ එවැනි හුදකලා පදනමක් මත නොව 1978 මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2001 වර්ෂයේ දී කරන ලද 17 වන ව්‍යවස්ථා සංශෝධනය, 2010 වර්ෂයේ දී කරන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 2015 වර්ෂයේ දී කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය යන හතරම එකට ගෙන සළකා බලමින් බව දේශපාලන විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින් ඒ දෙස බැලීමේ දී පැහැදිලිවම ප්‍රකාශ කළහැක.

ව්‍යවස්ථානුකූල පාලනය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රාජ්‍ය පාලන කටයුතු ක්‍රියාවට නැංවීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍යම කොන්දේසියක් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් තොරව ගෙනයන පාලනය අනිවාර්යයෙන්ම ආඥාදායක පාලනයක් වේ. එසේවූවද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙනයාමේ අරමුණෙන් සම්පාදනය කොට ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය යන කඩතුරාවට මුවා වී ආඥාදායක පාලනයක් ගොඩනගා පවත්වාගෙනයාමට පසුබිම සළසන්නේ නම් එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිරෝධතාවක් වනවා මෙන්ම ව්‍යවස්ථානුකූලවාදයේද ප්‍රතිවිරෝධතාවක් වේ. මෙම ද්විත්ව ප්‍රතිවිරෝධතාවන් නිරූපණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට දියහැකි ඉතාම හොඳ නිදසුනක් වන්නේ 1978 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.

1978 ව්‍යවස්ථාව මගින් මෙරට ස්ථාපිත කළේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක්ය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන්නේරට තුළ දේශපාලන ස්ථාවරභාවය ඇතිකරමින් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කොට ගෙනය. දේශපාලන ස්ථාවරභාවය ගොඩනැගිය හැක්කේ ශක්තිමත් සහ ස්ථාවර විධායකයක් සහිත ආණ්ඩුක්‍රමයක් මගින් පමණක් බව ඔහුගේ විශ්වාසය විය.

ඒ අනුව ලෝකයේ බල සම්පන්නම විධායක ජනාධිපති තනතුර නව ආණ්ඩුක්‍රමය යටතේ ජේ. ආර්. ජයවර්ධන විසින් නිර්මාණය කළ නමුත්, මේ සමගම දැකිය හැකි අනෙක් ලක්‍ෂණය වන්නේ සමහර ප්‍රජතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය සළුපිලිවලින් එම නිලය සරසා එයට ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවක් දීමටද ජේ. ආර්. ජයවර්ධන කටයුතු කරන ආකාරයයි. එම සළුපිලි අතුරින් කැපී පෙනෙන ඒවා වූයේ ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දයෙන් අවරුදු හයකට වරක් තෝරා පත්කර ගැනීම, එක පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම සහ ව්‍යවස්ථාවේ දැක්වෙන චෝදනාවලට වැරදිකරු වුවහොත් දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීමට පාර්ලිමේන්තුවට බලය පැවරීම යනාදියයි.

නමුත් ජනාධිපති තනතුර ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වීම පටන් ගෙන වසර කිහිපයක් ගතවන විට පෙනී ගියේ ඉහත දැක්වූ සළුපිලිවලින් ආවරණය කොට ඒවාට මුවා වී ගොඩනගා තිබෙන්නේ භයානක විධායක ආඥාදායකත්වයක් බවය. ඒ සමගම පෙනීගිය අනෙක් කරුණ වූයේ ජනාධිපති තනතුර ස්ථාපිත කිරීමෙන් අපේක්‍ෂා කළ දේශපාලන ස්ථාවරභාවය ගොඩනගා පවත්වා ගෙනයාම සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම යන අරමුණු කරා ගමන් කිරීම කෙසේ වෙතත් එයට පටහැනි ආකාරයෙන් රට තුළ භයානක විධායක ආඥාදායකත්වයක් පෙරටු කරගත් ඒකාධිපති පාලන ක්‍රමයක් ගොඩ නැගෙමින් තිබෙන බවය.

මේ තත්ත්වයට බලපෑ හේතු දෙකක් විය. එයින් එකක් වූයේ ජනාධිපති තනතුරට සෘජුව සහ අනියම් ආකාරයෙන් යා කොට තිබූ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ සහ වෙනත් බලතල පාලනය කිරීමට තරම් ව්‍යවස්ථාවේ දැක්වෙන සංවරණ විධික්‍රම ප්‍රබල නොවීමය. මෙම සංවරණයන්හි ප්‍රායෝගික තත්ත්වය දෙස බලන විට පෙනීගියේ ඒවායේ ප්‍රායෝගික වටිනාකම අතිශයින්ම සීමිත වන බවය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම සහ දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කළහැකි වීම හුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැරසිලි පමණක් වන බව පැහැදිලිවම පෙනී ගියේය.

එම විධිවිධාන අතුරින් යම් ප්‍රමාණයකින් හෝ ප්‍රායෝගික වටිනාකමක් පෙන්නුම් කළේ ජනාධිපතිවරයා ජනතාව විසින් සය අවුරුදු නිල කාලයක් සඳහා තෝරා පත්කර ගැනීම සහ ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට පමණක් සීමා කිරීම යන විධිවිධාන දෙක පමණි. දෙවන හේතුව වූයේ විධායක ජනාධිපති තනතුර නීතියේ පාලනයට යටත් කර නොතිබීමය.

මෙයාකාරයට වර්ධනය වෙමින් පැවැති ආඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතන්තවාදය නැ‍ඟී සිටීමේ අරගලය පිළිබඳ කතාන්දරයයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙන්නුම් කරන්නේ. නමුත් අරගලයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කරන්නේ මෙයට අවුරුදු 17 ට පමණ පෙර දී එනම් 2001 වර්ෂයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

එමගින් උත්සාහ ගත්තේ රජයේ ඉහළ තනතුරුවලට කරනු ලබන පත්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමිව තිබූ අභිමතානුසාරී බලය සංවරණය කිරීමය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවන අතර ජනාධිපතිවරයා විසින් මැතිවරණ, රාජ්‍යසේවා, පොලිස්, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ, මුදල් සහ සීමා නීර්ණය යන කොමිෂන් සභා හතේ සාමාජිකයින් පත්කළ යුතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ කිරීම්වලට යටත්ව බව සඳහන් විය.

මෙයට අමතරව සුප්‍රිම් උසාවියේ අග්‍ර විනිශ්චයකරු සහ අනෙක් විනිශ්චයකරුවන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අනෙක් විනිශ්චයකරුවන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, ඔම්බුඩ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

17 වන සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට අතිරේක බලතල ප්‍රමාණයක්ද පවරා දෙනවාට අමතරව පොලිස් සහ මැතිවරණ ක්ෂේත්‍ර සඳහා නව කොමිෂන් සභා දෙකක්ද පිහිටුවනු ලැබිණ. මෙයාකාරයට ජනාධිපතිවරයාගේ ආඥාදායක පාලනය යම් ප්‍රමාණයකින් හෝ පාලනය කරමින් සංවරණය කිරීමට 15 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පදනම දැමිණ.

18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු 2010 වර්ෂයේ සැප්තැම්බර් 08 වැනිදාය. එය ඉදිරිපත් කළේ ඒ වනවිට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂගේ අනුදැනම මත ඔහුගේ පාර්ලිමේන්තු සගයින් විසිනි.

පනතට ඡන්දය විමසීමේ දී පක්‍ෂව ඡන්ද 161 ක් ප්‍රකාශ විය. විරුද්ධව ඡන්දය දුන්නේ 17 ක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 46 ක් විය. මේ අනුව සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මත විය. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කරනු ලැබූයේ 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති තනතුර වටා දමනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාරණ මුළුමණින්ම කණපිට හැරවීමය.

18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන ලද මූලික වෙනස්කම් තුනක් විය. එයින් එකක් වූයේ එක් පුද්ගලයකුට ජනාධිපතිවරණය සඳහා දෙවරකට වඩා ඉදිරිපත් විය නොහැක යනුවෙන් පනවා තිබූ සීමාව ඉවත් කොට කැමති ඕනෑම වාර ගණනක් ඉදිරිපත් වීමට අවස්ථාව පාදා දීමය. දෙවැන්න වූයේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ අභිමතය අනුව හැසිරවිය හැකි පාර්ලිමේන්තු සභාව පිහිටුවීම මගින් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් අසීමිත බලයක් ජනාධිපතිවරයාට හිමිකර ගැනීමය.

තුන්වන වෙනස් කිරීම වූයේ ඒ වනවිට ස්ථාපිත කර තිබූ සෑම ස්වාධීන කොමිෂන් සභාවකම බලතල අසීමිත ලෙස කප්පාදු කිරීමය. මේ සියලුම වෙනස් කිරීම් මගින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගොඩනගා තිබූ ආඥාදායක විධායක ජනාධිපති ධුරය රාජාණ්ඩු මාදිලියේ ආඥාදායකත්වයක් බවට පරිවර්තනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය විනාශ කර දැමීමය.

2015 වර්ෂයේ දී සම්මත කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කරනු ලැබූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආඥාදායක වියරුවට වැට බඳිමින් ජනාධිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීමට පියවර ගැනීමය. මේ සඳහා ගත් පියවරවල් වූයේ එක් පුද්ගලයෙකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන යළිත් වරක් දෙකකට සීමා කිරීමය. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා කිරීමය. ජනාධිපති තනතුරට ඉදිරිපත් වියහැකි වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දැමීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි පරණ ආකාරයටම බලාත්මක කිරීමය. ස්වාධීන කොමිෂන් සභා යළි පණ ගැන්වීමය. පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව පැවැති අභිමතානුසාරී බලය සංවරණය කිරීමය. මේ සෑම විධිවිධානයක් මගින්ම උත්සාහ ගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ වැනි ආඥාදායක පාලනයකට තිත තබා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය මේ රට තුළ යළි ස්ථාපිත කිරීමටය.

අද රාජපක්‍ෂවාදීන් උත්සාහ දරන්නේ මහින්ද රාජපක්‍ෂ යළි බලයට ගෙනවිත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ඉතාමත්ම වෙහෙසකර උත්සාහයකින් මේ රට තුළ ස්ථාපිත කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය විනාශ කොට යළි ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමය ගෙන ඒමටය. ඔවුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලානුබද්ධ පදනමක් මත අර්ථකතනය කරමින් ජනතාව නොමග යවනසුලු ව්‍යාජ නිර්වචන සමාජ ගත කරන්නේ මේ අරමුණ සපුරා ගැනීම සඳහාය.

මහින්ද රාජපක්‍ෂවාදීන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන් නම් කළ යුත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සමස්ත හරය සහ එහි අරමුණු පදනම් කරගෙන එය අර්ථකථනය කිරීමය. එසේ නොමැතිව එම සංශෝධනයේ හිල් ගැන සොයමින් එය වැරදි ලෙස අර්ථකථනය කිරීම නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ හිල් සොයන්නේ කවරෙක්ද ඔහු අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරෙක් මිස මිතුරෙක් නොවන බව අවසාන වශයෙන් කිව යුතුය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *