ඥානසාර හිමිගේ ඇපෑලේ ඉල්ලීම ඉවතට – ප්‍රමාණවත් කරුණු නෑ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කළ වසර 6ක සිරදඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (31) ප්‍රතික්ෂේප කළේය.

අභියාචන‍ාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් (අභියාචනයක්) ලබාදීමට තරම්වන නීතිමය කරුණු අභියාචකයන් විසින් ඉදිරිපත් කර නොමැති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය අනුව තීන්දුවට එරෙහිව සැලකිය යුතු නීතිමය පදනමක් ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කරමින් අභියාචනාධිකරණය අභියාචන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම්වලට සවන්දීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහත්වරු මෙසේ අභියාචන ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‍ සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අභියාචනයට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19ක සිරදඬුවමක් වසර 06 කින් ගෙවී යන පරිදි නිකුත් කළ තීන්දුව අගෝස්තු මස 08 දින අභියාචනාධිකරණය මඟින් නිකුත් කළේය. එම තීන්දුවට එරෙහිව නීතිමය කරුණු තුනක් යටතේ අභියාචන පෙත්සම ඉදිරිපත් කරන බව එම හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කෙළේය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී 2016. 01. 25 දින සිදු වූ එක් සිදුවීමක් සම්බන්ධයෙන් වෙන් වෙන්ව චෝදනා හතරක් යටතේ වෙන් වෙන්ව වැරැදිකරු බවට තීරණය කර වෙන් වෙන්ව දඬුවම් නියම කළ හැකිද යන්න පළමුවන කරුණ වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇමැති එස්. බී. දිසානායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබිය දී මහේස්ත්‍රාත් අධිකරණයේ දී වූ එක් සිදුවීමකට වසර 6ක සිරදඬුවම් නියම කිරීම පමණ ඉක්මවා දඬුවම් පැනවීමක් ද යන්න දෙවැනි කරුණ වේ.

යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ සෙබළුන් වෙනුවෙන් ඇති වූ හැඟීමෙන් විත්තිකාර හිමිනම කටයුතු කර ඇති අතර, එය විත්තිකාර හිමිනමට අදාළ නඩුවක් නොවීම නීතිය කරුණු හමුවේ වරදක්ද යන්න තෙවැනි කරුණ වේ.

2016 ජනවාරි මස 25 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු විභාග වෙමින් තිබිය දී කලහකාරී ලෙස හැසිරීමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණයේ නියමය පරිදි නීතිපතිවරයා විසින් චෝදනා පත්‍රයක් සකස් කළ අතර, එම චෝදනාවලට නිවැරැදිකරු බව ඥානසාර හිමියෝ සඳහන් කළහ.

ඒ අනුව අදාළ නඩුව විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළ අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා විසින් සාක්කිකරුවන් 4 දෙනකු සහ විත්තිකාර පාර්ශ්වයෙන් විත්තිකාර හිමියන් සහ තවත් සාක්කිකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලදී.

එම නඩු විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය චෝදනා හතරටම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැරැදිකරු බවට තීරණය කෙළේය.

ඒ වෙනුවෙන් වසර 19ක සිර දඬුවමක් වසර 6කින් ගෙවී යන ලෙස නියම කෙළේය.

මේ තීන්දුවට එරෙහිව අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරන බව විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කෙළේය. ඒ අනුව එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කිරීමට අදාළ ඉල්ලීම සම්බන්ධ පෙත්සම ඉදිරිපත් කරන බව සඳහන් කෙළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් දෙන ලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට පෙර අභියාචනාධිකරණයෙන්ම ඒ සඳහා අවසර ලබාගත යුතු බැවින් මේ ඉල්ලීම කරන බව සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *