|

මෛත්‍රී, රනිල් පෙරට එද්දී ඒකාබද්ධය අවුල් ජාලයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිගුකාලීන සිහිනයක් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට සම්බන්ධ තවත් ප්‍රධාන සංවර්ධන යෝජනා ක්‍රමයක් පසුගියදා විවෘත කෙරුණා. ඒ වයඹ ඇළ ව්‍යාපෘතියයි. මොරගහකන්ද ජලාශයේ රැස්වන ජලයෙන් කොටසක් වයඹ පළාතට රැගෙන යන්නේ මෙම ව්‍යාපෘතියෙන්. එය මඟින් පළාතේ වැව් දහස් ගණනකට ජලය සැපයෙන අතර කුඹුරු අක්කර දසදහස් ගණනක් ද අස්වැද්දෙනවා. මෙය එම පළාතේ නිතර ඇතිවන නියං තත්ත්වයට ද විසඳුමක් වනවා.

මෙම ව්‍යාපෘතිය ගැන කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙය මුල් මහවැලි ව්‍යාපාරයේ කොටසක් නොව අලුතින් එක්කළ යෝජනාවක් බවයි. වයඹ පළාතේ ජල ගැටලුව ගැන විශේෂයෙන් සලකා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟූ බව ද ජනාධිපතිතුමා කීවා.

මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට හා පසුවදාට නියමිත දිය කැපීම හා සන්නස පිළිගැනීමට සහභාගි වීම සඳහා ජනාධිපතිතුමා සිකුරාදා මහනුවර යා යුතු වුවත් ඊට පෙර එතුමා වෙනත් ඉතා වැදගත් ගමනක් ගියා. එනම් මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා මැදමුලන බලා යාමයි. බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මෙම ගමනේ දී මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා චමල් රාජපක්ෂ මහත්වරුන් හමුවී සුහද කතාබහක යෙදීමට ද ජනාධිපතිතුමාට අවස්ථාව හිමිවුණා. මහනුවර බලා ජනාධිපතිතුමා පිටත්ව ගියේ ඉන් අනතුරුවයි.

දහවල් දළදා පෙරහර හා දිය කැපීමෙන් පසුව පෙරහර සාර්ථකව නිමකළ බවට දියවඩන නිලමේතුමාගේ සන්දේශය ජනාධිපතිතුමාට භාරදීම සිදුවුණා. පෙරහර කටයුතුවල දී විශේෂ දක්ෂතා පෙන්වූ ශිල්පීන්ට ත්‍යාග හා සහතික ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් මෙහි දී සිදුවුණා.

එහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ තාක්ෂණය ඉහළටම දියුණු වී ඇති මෙම යුගයේත් දියුණු ජාතීන් පවා ‍තම සංස්කෘතික අනන්‍යතා රැකගැනීමට විශේෂයෙන් උත්සාහ දරන බවයි.

උතුරු නැ‍ඟෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයක් පත්කිරීම සිදුවුණේ මීට සති ගණනාවකට පෙරයි. එහි දෙවන රැස්වීම සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එයට උතුරු නැ‍ඟෙනහිර පළාත නියෝජනය කරන දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වී සිටියා.

එහි දී ජනාධිපතිතුමා කියා සිටියේ මෙලෙස විශේෂ කාර්ය සාධක බළකායක් ඇතිකිරීමේ අරමුණ වන්නේ උතුරු නැ‍ඟෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කිරීම බවයි. තවමත් එම කටයුතු මන්දගාමීව සිදුවන බව කී ජනාධිපතිතුමා එක් එක් කමිටු රැස්වනතුරු නොසිට කාර්ය සාධක බළකායට අදාළ ප්‍රශ්න ඉදිරිපත්කොට තීරණ ගෙන ක්‍රියාත්මක වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා.

බෙංගාල බොක්ක කලාපයේ රටවල රාජ්‍ය නායකයන් හමුවන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිතුමා බදාදා පිටත්ව ගියා. නේපාලයේ කත්මණ්ඩු අගනුවරට ගිය ජනාධිපතිතුමාට එහි දී උණුසුම් පිළිගැනීමක් ලැබුණා.

ඉන්දීය සාගර සමුළුව ප්‍රධාන දේශනය කිරීමට වියට්නාමයට ගිය අගමැතිවරයා එහි දී කළ දේශනය චීනය, ජපානය ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු කලාපයේ සියලු රටවල දැඩි අවධානයට යොමු වුණා. එහි දී කලාපයේ බලවත් රටවල නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡා ඔහු නිමා කළේ ලංකාවට ආර්ථික අතින් වාසි රැසක්ද හිමිකර ගනිමින්.

“ මේ ඔක්තෝම්බර්වල ඉන්දීය සාගරයේ නිදහස් නාවික සම්මුතිය ලංකාව, ඉන්දියාව හා සිංගප්පූරුව අතර ඇතිවෙනවා.ඒ තුළ ලංකාව නාවික කේන්ද්‍රයක් බවට පත් කිරීමේ පදනම වැටෙනවා. ”අගමැතිවරයා ප්‍රකාශ කළා.

ජනපති මෛත්‍රී නේපාලයේ බිම්ස්ටෙක් සමුළුවට එක් වීමට යාමත් හා මොණරාගල එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා තෙදින ප්‍රදර්ශනය විවෘත කිරීමට තිබූ නිසාත් අගමැති රනිල් වියට්නාමයේ සිට යළි දිවයිනට පැමිණ පැයක් තුළ මොණරාගල බලා පිටත් වුණා. අතිවිශාල ජනතා සහභාගීත්වයක් තුළ මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමතිවරු රැසක් සමඟ ඔහු කුටි 500 ක ප්‍රදර්ශනය විවෘත කළේ උණුසුම් පිළිගැනීම් මැදයි.

“ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ලංකා කියන්නේ රාජපක්ෂ සමයේ දැයට කිරුළ, දිවි නැගුම ආදිය කොපි කිරීමක් බව නාමල් කියලා නිකං සවුත්තු වෙනවා” මංගල සමරවීර කීවේ අගමැතිටයි.

“එජාපය ගම් උදාව, මහපොළ, යොවුන් පුරය ඇතුළු මේ රටේ විශාලම ප්‍රදර්ශන හා ව්‍යාපෘති කරපු පක්ෂයයි. අපි කාගෙවත් දේවල් කොපි කරන්න තරම් බංකොලොත් නෑ. එයාලයි අපෙන් මේවා ඉගෙන ගත්තේ. ” අගමැති කීවේද උපහාසාත්මකවයි.

“රාජපක්ෂලගෙ කාලේ මේ වගේ ප්‍රදර්ශන තිබ්බේ ඒ හෙංචයියන්ට හම්බ කරන්න හා බොරු සෝබනයටයි ප්‍රතිරූප පුම්බන්නයි. දැයට කිරුළ නිසා වෛද්‍ය ශිෂ්‍යාවක් සදාකාලික ආබාධිත වුණා. ඒ තරම් අනාරක්ෂිතවයි එයාලා ඒවා කළේ. අපේ අරමුණ ඊට වඩා පළල් දැක්මක් සහිත ජනතාවාදී එකක් ” රංජිත් මද්දුම බණ්ඩාර කීවා.

මොණරාගල උත්සවය අති සාර්ථක වූ නිසා එහි දිගටම රැදුණු අගමැතිවරයා එදින රාත්‍රිය එම ප්‍රදේශයේම ගතකොට යළි කොළඹ ආවේ බ්‍රහස්පතින්දා උදයේයි. කෙළින්ම අරලිය ගහ මැදුරට පැමිණි ඔහු සමීප මාධ්‍යවේදීන් දෙදෙනකු හා කතා කොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ආරක්ෂක අංශ සමුළුවට එක් වීමටයි.ජනපති විදෙස් ගතව සිටි නිසා එම සම්මන්ත්‍රණයේ පූර්ණ වගකීම් දරා සිටියේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනයි.

“ රණවිරුවන් දිවි හිමියෙන් රකිනවා. ඒ අයගේ සුබසාධනය උපරිමව කරනවා. ඒත් රණවිරුවන් ලෙස එක එක්කෙනා දීපු පහත් කොන්ත්‍රාත් මත වැරදි කළ සුළුතරයට නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්න කාටවත් බෑ. අද නීතිය කාටත් සමානයි. ” අගමැතිවරයා එම සමුළුවට යාමට පෙර අරලිය ගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේ හිතවතුන් හමුවේයි.

ආරක්ෂක සමුළුව නිමකළ අගමැතිවරයා යළි අරලිය ගහ මැදුරට ආවේ ඇමැති රාජිතගේ පුත් මන්ත්‍රී චතුරගේ විවාහයට එක්වීමටයි.

“ අද වැඩ අධිකයි. ඉක්මනට අරලිය ගහ මැදුරට එන්න. චතුර මන්ත්‍රිතුමාගේ වෙඩින් එක අරලිය ගහ මැදුරේ ලොකු හෝල් එකේ තියෙන්නේ ” අගමැති කීවේ බිරිය මෛත්‍රීට ඇමතුමක් ලබා දෙමින්.

“අරලිය ගහ මැදුරේ ලොකු හෝල් එක වැඩිපුර දිනවල වහලා තියෙන්නේ. ඒක විශ්වාසය තහවුරු කළ හැකි අයගේ උත්සවවලට දීලා ආදායම් ගන්න තීන්දු කළා. එතකොට ඒ සල්ලි ඒකේ එදිනෙදා වියදම් පුරවා ගන්න පාවිච්චි කළ හැකියි. ” ඉහළ නිලධාරියෙක් කීවේ අරලිය ගහ මැදුර විවාහ මංගල්‍යය සඳහා දෙන්නේ කවර පදනමකින්දැයි එහි සිටි ඇමතිවරයෙක් විමසු විටයි.

“ මටයි අද එන්ටර්ප්‍රයිස් ලංකා ප්‍රදර්ශනය විවෘත කරන්න තියෙන්නේ.මම දැන් එහේ යනවා. පළාත් සභා සීමා නිර්ණය පනත පාර්ලිමේන්තුවේ පරාද කිරීම අපේ ගේම් එකක් බව විපක්ෂය රටට කියාගෙන යනවා ” සභානායක කිරිඇල්ල කීවා.

“පනත සම්මත වෙන්නම ඕනේ නෑ. ඒ වාර්තාව ගැන පක්ෂ එකඟ නෑ. පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප වුණේ ඒකයි. දැන් මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.කමිටුවත් පක්ෂ නායක මතය විමසනවා.දැනට පවතින නීතිය යටතේ ඡන්ද තියන්නත් බෑ. උපලේඛන හදලා නෑ. සංශෝධන 02ක් එන්න ඕනෑ. කල් දදා ඉන්නවට වඩා පවතින නීතියට සංශෝධන ගෙනැත් ඡන්දය තියමු කියලයි අපි කියන්නේ. ” අගමැතිගේ විග්‍රහය වුණා.

“ ඡන්ද කල්යාම හා නොපැවැත්වීම ආණ්ඩුවට හොඳ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් ඡන්ද තියන්න අපි ක්‍රියා කරමු. ” නවීන් දිසානායක කීවා.

“ පනත පාර්ලිමේන්තුවේ දී හිරවූ නිසා ජනපති නෙවෙයි අගමැතිට අස්වෙන්න කියලා මහින්ද කිව්වා” දයා ගමගේ කීවා.

“ පක්ෂ නායකයෝ කතා කරල මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ ශ්‍රීලනිප ඇමැති කෙනෙක්. බහු ආසන ගැන ප්‍රශ්න තිබුණා. ජවිපෙ හා ශ්‍රීලනිපයයි එකතු වුණේ මේ පනතට. පස්සෙ ශ්‍රීලනිපයත් බෑ කීවා. ජවිපෙ ඡන්ද වෙලාවෙ ගියා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ අර්ජුන මහේන්ද්‍රන්ගේ නීතිඥ පිරිස ඔහුට ඇති චෝදනා හා වෙනත් විස්තර ලංකාවෙන් නිල ලෙස ඉල්ලුවා. ඒත් මහින්ද ගේනවා කියපු උදයංග හා පැනල ගියපු ජාලිය වික්‍රමසූරිය තාම එහෙමවත් කරල නෑ. ” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා පිළිගත්තා.

“සැප්තැම්බර් 05 දා සෙනග ගේන්න අමාරු බව දන්න ඒකාබද්ධය මිනිස්සු බය කරලා එදාට පාරවල් බ්ලොක් කියල වැඩට එන එක වළක්වන්න යාම විහිළුවක්.” විජයදාස රාජපක්ෂ කීවා.

“ එන්ටර්ප්‍රයිස් ලංකා එකේ සෙනග දැකපු අය නම් ඒකාබද්දෙ බංකොලොත් උද්ඝෝෂණවලට කොළඹ එන එකක් නෑ. ” වජිර අබේවර්ධන කීවා.

“ මහින්ද අගමැති කරන්න ජනාධිපති සූදානම්ලු. එත් මහින්ද තාම එකඟ වෙලා නෑ කියල වාසුදේව කිව්වා. රාජිත ඇමතිතුමා ඒකට හොඳ උත්තරයක් දුන්නා. සීතල කාලෙට හීන පෙණුනත් රස්නෙ කාළෙත් වාසුට හීන පේන එකයි පුදුමෙ කියල ඇමැති රාජිත කිව්වා” චමින්ද විජේසිරි කීවේ සිනා මැදයි.

“05 දා කොළඹ ඇවිත් සිවිල් නීති කඩ කළොත් දැඩි නීති ක්‍රියා මාර්ග ගන්න ආරක්ෂක අංශ තීරණය කරලා. ඒ කාලෙ වංචා කළ මුදල්වලින් මිනිස්සුන්ට කන්න බොන්න දීලා කොළඹ පෙන්නල ගෙනියන එක අපට ප්‍රශ්නයක් නෑ. ” ගයන්ත කරුණාතිලක කීවේ සිනා මැදයි.

“ 2001 එජාප කාලෙ ඇමෙරිකාව ලංකාවට යුද නැවක් දුන්නා. යුද්ධයට ඒකෙන් විශාල ශක්තියක් ලැබුණා. දැන් තවත් නැවක් දීලා. ජපානෙනුත් වෙස්ල් කුඩා නැව් 02 ක් අපට තෑගි ලැබිලා මේ ඔක්කොම එජාප කාලෙ ලැබීමයි පුදුමෙ” විජයදාස රාජපක්ෂ කීවා.

“ කිරිඇල්ල ඇමතිතුමා සිංහල දෙමළ වතු කම්කරුවන්ට පර්චස් 07 ක් බෙදන එක වළවක්වන්න මහින්දානන්ද අලුත්ගමගේ ගේමක් ගැහැවලු නේද” චමින්ද විජේසිරි විමසුවා.

“ ජනවසම හා රාජ්‍ය වැවිලි නිලධාරීන් කෝප් කමිටුවට කැඳවල මහින්දානන්ද අහල තියෙනවා ඉඩම් කොමිසමේ අනුමැතිය නැතිව මේ ඉඩම් දෙන්න ඔයාලට ඇති අයිතිය මොකක්ද කියලා. ඒ සියලු ඉඩම් අයිති ජනවසම හා රාජ්‍ය වැවිලි එකට බවටත් මහින්දානන්ද දන්නේ නෑ. අපි ආවාම පර්චස් 07 ක් නෙවෙයි 10 ක් දෙනවා කියල මහින්දානන්ද දැන් ලැජ්ජා නැතිව වතුවලට ගිහිං කියනවලු. මම ඉඩම් කට්ටි 5000 ක් බෙදුවා. මේ වසර ඉවර වෙනකොට 10, 000ක් බෙදනවා. දයාගේ අපනයන ගම්මාන 5500ක වැඩ පිළිවෙළත් හුගක් වටිනවා. ” කිරිඇල්ල කීවා.

“ ඔව්. කුරුදු ගම්මිරිස් කරාබු නැටි ඇතුළු අපේ සාම්ප්‍රදායික කුළු බඩු හා වැවිලි භෝගවලට ලෝකයේ ඉහළ මිලක් ලැබෙන නිසා ඒවා වවන ගම් 5500ක් බිහිකරනවා. ඒක ඒ ජනතාවට හා රටට විදේශ විනිමය ගේන්න ලොකු ක්‍රියාවක් වෙනවා ඒකාන්තයි. ” දයා ගමගේ විස්තර කළා

“ හමුදා මාණ්ඩලික ප්‍රධානියා නාවික හමුදාපති කාලෙ නේවි සම්පත් කියන අර ළමයි 11 මරපු බවට චෝදනා ඇති අයට රැකවරණ දීම ගැන සොයලා එයාව අත්අඩංගුවට ගන්නැයි උසාවිය නියෝග දීලා නේද ” විජයදාස රාජපක්ෂ විමසුවේ අගමැතිගෙන්.

“ උසාවි නියෝගයක් ආවාම ඕනම කෙනකුට ඊට මුහුණ දෙන්න වෙනවා. වැරදි කළා නම් ඒ කිසි කෙනෙක් රකින්න හෝ උසාවියට අත පොවන්න ආණ්ඩුවට බෑනේ ” එජාප නීති අංශ ප්‍රධානියෙක් කීවා. එහි දී එහි සිටි සියලු දෙනාගේ නළල රැලි ගැන්වුණේ පවතින තත්ත්වය බැරැරුම් බව තේරුම් ගත් නිසා විය යුතුයි

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සතියේ නැවතත් ත්‍රිකුණාමලයට ගියේ කිලිවෙඩ්ඩි හි ඉදිවූ “මුත්තුමාරි නගර්” 110 වැනි උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය වෙනුවෙන්. එහි දී සජිත් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුරෙයි රාජසිංහම්, අබ්දුල්ලා මහරුෆ්, ඉම්රාන් මහරූෆ් සහ සේරුවිල සංවිධායක වෛද්‍ය අරුණ සිරිසේන ඇතුළු පිරිස විසින්. සුපුරුදු ආකාරයෙන් ගම්මානයේ නිවාස 25 ටම ඇවිද යමින් සිටි සජිත්ට දැන ගැනීමට ලැබුණේ මෙම ගම්මානයේ ප්‍රතිලාභීන්ගෙන් බහුතරයක්ම යුද සමයේ සිය නිවාස විනාශවීම හේතුවෙන් කලක් තිස්සේ කඳවුරුවල ජීවත්වුණු පුද්ගලයන් බවයි. මේ අතර තවත් පුද්ගලයන් පිරිසක් පැමිණ කීවේ “ඇමැතිතුමා අපිත් අනාථ වෙච්ච අය. අපටත් ගම්මානයක් හදලා දෙන්න” කියායි. සජිත් ඒ මොහොතේම මුතූර් ප්‍රාදේශීය ලේකම්වරයා අමතමින් විමසා සිටියේ ‘මුත්තුමාරි නගර්’ උදාගම්මානය පිටුපසින් ඇති භූමිභාගයේ මේ ඉතිරි පිරිස වෙනුවෙන් තවත් උදාගම්මානයක් ඉදිකළ හැකි නේද” කියායි. ඔහු ඒ සම්බන්ධව කටයුතු කිරීමට එකඟවුණා. ඊළඟට සජිත්ගේ කන වැකුණේ තවත් කඩවුණු පොරොන්දුවක්. එනම් කන්තලේ – සේරුනුවර මාර්ගයේ ‘මහවැලි පාලමේ’ වැඩ තවමත් අවසන් කර නොතිබීමයි. ඉකුත් මැයි මාසයේ දී මුතූර්, ඉක්බාල් නගර්හි “මොහොමදියා නගර්” සහ “අබුරාර් නගර්” උදාගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට යමින් සිටිය දී මේ ප්‍රමාදය පිළිබඳ අදාළ බලධාරින්ගෙන් විමසූ සජිත්ට ලැබුණු පිළිතුර නම් පාලම තුන් මාසයක් ඇතුළත නිම කරන බවයි. “මේ ප්‍රමාදය ගැන ජනතාවට නොසන්සුන් පිරිස කියද් දී සජිත් කීවේ ‘මම ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ ගැන ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කරනවා. මේ කොන්ත්‍රාත්කාරයෝ ආණ්ඩුව ලැජ්ජාවට පත්කරනවා යනුවෙන්.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අම්බලංගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 13 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් සැප්තැම්බර් මස 01 සහ 02 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව 01 වන දින කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 41 එෆ් දියපිටගල්ලන, 93 සී අඟනකැටිය, 92 බී මණ්ඩකන්ද, 92 ඒ මඩකුඹුර සහ 39 ජේ වල්ඉඟුරුකැටිය ද අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 81 ඒ තිලකපුර සහ 75 ජී දොරල මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වනවා.

02 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වන්නේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිලගොඩ, වරකපිටිකන්ද, තිලක උදාගම, ඉහළ ලේල්වල, මාබොටුවන සහ ගනේගම උතුර යි.

මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කළ මුදල රුපියල් ලක්ෂ 260 ක්.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට “නිල සෙවණ” කාර්යාල 14, 000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සඳහා අවස්ථාවක් ලැබෙනවා.

මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර තිබෙනවා.

පසුගිය 24වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම පොල්පිතිගම දී සිදුවුණා. එම අවස්ථාවට මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගි වී සිටියා. මේ අතර එම උත්සවයට සහභාගි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි දේශපාලනඥයෙක්ද පැමිණ සිටියා. ඒ, ජවිපෙ පළාත් සභා මන්ත්‍රී, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ජනතාවකටද බලපාන මෙම ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාව සඳහා ඔහුටද නිල ආරාධනයක් ලැබී තිබුණා. පොල්පිතිගම ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ ගණනාවක අලි මිනිස් ගැටුම, ඉරුදෙණියාය ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලූව ආදී ගොවි ගැටලූ විසඳීම සඳහාද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පසුගිය කාලය පුරාම විශාල අරගලයක යෙදී සිටීමත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කර ගැනීමත් අරමුණු කරගෙන නාමල් කරුණාරත්න මෙම උත්සවයට සහභාගි වීමට තීරණය කළේ ප්‍රදේශයේ ජනතාවගේද ඉල්ලීමකට අනුවයි.

විවෘත කිරීම් අවසන් වීමෙන් අනතුරුව නිල උත්සවයට සහභාගි වීමට වේදිකාවට යමින් සිටින අතර නාමල් කරුණාරත්න දුටු ජනාධිපතිවරයා ”හා කොහොමද කචල්කාරයා” කියමින් සිනාමුසු මුහුණින් කතාබහට වැටුණා. නාමල් කරුණාරත්නද ජනාධිපතිවරයා සමඟ ගමනට එක්වෙමින් ජනතාවගේ ගැටලූ කිහිපයක් ඔහුගේ අවධානයට ලක්කළා. අලි මිනිස් ගැටුම ඉන් එකක්. ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය ඇමතිවරයාද ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බව හා ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට උපදෙස් දුන් බවයි. එමෙන්ම ඉරුදෙනියාය ජනතාවගේ ඉඩම් අක්කර තුන්දහසකට අධික ප්‍රමාණයක් පිළිබඳව මතුව ඇති ගැටලූවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කිරීමට නාමල් කරුණාරත්න පියවර ගත්තා. අනතුරුව උත්සවය අවසන්වන විට නාමල් කරුණාරත්න දුටු මහින්ද අමරවීර ”මෙන්න ජනාධිපතිතුමා ගොවි රජා ඇවිත් ඉන්නවා” යැයි පැවසුවේ මීට පෙර හමුවූ බව නොදැන සිටි නිසාය. ”ඔව්, ඔව් අපි මුණගැහුණා. ආ.. ඒකට කමක් නෑ. ගොවි රජා එක්ක ෆොටෝ එකක් ගමු” යැයි ජනාධිපතිවරයා කීවේ කැමරා ශිල්පීන්ට ඡායාරූපයක් ගන්නා ලෙස අතින් සංඥා කරමිනි.

මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කළ හැකි බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් කියතත් ඒ ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර මතභේද හටගෙන තිබෙනවා. එහි ඇතැම් ප්‍රබල නායකයන් පෙන්වා දී ඇත්තේ තෙවැනිවර තරග කළ හැකිදැයි විමසා අධිකරණයට ගොස් ප්‍රතික්ෂේප වුවහොත් එය බරපතළ දේශපාලන පරාජයක් වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ නව වන සංශෝධනය අතීතයට බලපාන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පිළිගෙන ඇති බැවින් මෙම තත්ත්වය පවතින බව ඔවුන් කියනවා. ඔවුන් පෙන්වාදී ඇත්තේ තෙවැනි වර තරගකිරීමේ හැකියාව ඉල්ලා අධිකරණයට ගොස් පරාජය වුවහොත් එය ඉදිරි මැතිවරණ පරාජය වීම සහතික කරන හේතුවක් විය හැකි බවයි.

මේ අතර වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සූදානමින් සිටින බවයි. එසේ වුවද අගමැති ධුරය භාරගැනීම රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කොට ඇති බව ද වාසුදේව කීවා. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන බව ද වාසු කියා තිබුණා. කෙසේ වෙතත් අඟහරුවාදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමේ දී ඒ ගැන සාකච්ඡා වූයේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අඟහරුවාදා පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනෙක් පක්ෂ නායකයන්ට අමතරව මෙවර එයට නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියා. සැප්තැම්බර් 5 දා ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී පැවැත්වීමට යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු භාර දී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාටයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් මේ වනවිට අධෛර්යමත් වී සිටීම සෙනග ගෙන්වා ගැනීමට බාධාවක් වී තිබෙනවා. තමන්ගේ විශ්වාසවන්ත සංවිධායකයන් දිරිමත් කරමින් වඩ වඩා පිරිස් රැස්කර ගැනීමටත් ඔවුන්ගේ ගමන් පහසුව සඳහා බස්රථ ලබාදීම පිළිබඳවත් මේ වනවිට සැලසුම් සකස්ව තිබෙනවා. ආණ්ඩුවෙන් ඉවත්වූ පිරිසද සහභාගී වන මෙම උද්ඝෝෂණයට ශ්‍රීලනිපයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී කර ගැනීමට උත්සාහ දැරිය යුතු බවට එහි දී තීරණය කෙරුණා.

මෙතෙක් මෙබඳු කටයුතුවල පෙරමුණ ගෙන සංවිධාන කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට විදේශගතව සිටිනවා. සංවිධාන කටයුතු නාමල් රාජපක්ෂ මහතාට පවරා ඇත්තේ මීළඟ නායකත්වයට ඔහු පත්කර ගැනීමේ පියවරක් ලෙස බව අභ්‍යන්තරයේ කතාබහ වනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *