බදු පෙන්වා බුදු වන්නෝ – සම්පත් අමරසිංහ

“1815 වැටුණු වළටමයි අපි 2015 දි වැටුණේ. 1815 අපිව රැවට්ටුවේ අධිරාජ්‍යවාදීන්. 2015 දී අපිව රැවට්ටුවේ නව යටත් විජිතවාදයේ ඒජන්තයන්. දැන් මේ ර‍ට පාලනය කරන කළු සුද්දෝ අපට බදු පිට බදු ගහනවා. 2017 බදු පනතෙන් කලාකරුවන්ට තියෙන සියලු සහන නැති කළා.” ඉහත උපුටනය ‘බදු දඩයමට එරෙහි කලා කරුවෝ සීරුවෙන් සිටින්’ යනුවෙන් පසුගිය සතියේ පැවැති කලාකරුවන්ගේ රැස්වී‍මේ දී නිදහස් කලා සන්ධානය නමැති සංවිධානයේ සභාපති සුදත් රෝහණ මහතා කළ ප්‍රකාශයකි.

බදු යන වචනය අකුරු දෙක පෙරටදමාගෙන ආණ්ඩු විරෝධයට අලුතින්ම එක්ව ඇත්තේ ඉහත කලා කරුවන්ය. මොවුන් කෙසේවත් මෙරට ප්‍රගතිශීලි කලාකරුවන් සමස්තය නොවන නමුත් ඔවුන් මවා පෙන්වන්නට උත්සාහ ගන්නේ මෙකී ඊනියා බදු විරෝධය සමග මෙරට සියලු කලාකරුවන් ඉන්නා බවකි.

පසුගිය දිනෙක මුදල්හා ජනමාධ්‍ය මංගල සමරවීර මහතා කලාකරුවන්ගෙන් අයකරන්නට යෝජිත බදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, වත්මන් ආණ්ඩුව කලාකරුවන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය පැහැදිලිවම පසුගිය පාලන සමයේ එනම් රාජපක්ෂ පාලන සමයේ කලාකරුවන්ගෙන් අය කරනු ලැබූ බදු වලට වඩා අඩු බවයි. එසේ තිබියදීත් මෙකී කලාකරුවන් ගෙනයන උද්ගෝෂණ වල අරමුණ කලාකරුවන් හෝ කලාව බදු වලින් නිදහස් කිරීම ද නැතහොත් අප්‍රකාශිත අන් යමක් ද යන්න විමසා බැලිය යුතුය.

බදු ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ සංකල්පයක් වශයෙන් සමාජයේ වැඩි ආදායම් ලබන පිරිසගෙන් රැගෙන දිළිඳු ස්ථර සඳහා එම මුදල් වැය කිරීම පෙරදැරිව බව ආර්ථික විද්‍යාවේ මුලිකාංග ගැන හෝ දන්නා කිසිවකු දැන් නොසිටින්නට හේතුවක් නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගත් කල්හි වර්තමාන ලෝකයේ සුභසාධන රාජ්‍යන් අතර මුල් පෙළෙහි ඉන්නා රටකි. මෙරට අධ්‍යපනය නොමිලයේය. අධ්‍යාපනය කියා කී කල්හි හුදෙක් ඉගැන්වීම පමණක් නොව පාසල් නිල ඇඳුම් පොත් පත් ආදිය ද ඇති නැති භේදයකින් තොරව රටේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලයේ සැපයේ. ඊට අමතරව පාසල් සිසුන් සඳහා රක්ෂණ ක්‍රමයක් ද වත්මන් ආණ්ඩුව විසින් හඳුන් වා දී තිබේ.

ඊට අමතරව සෞඛ්‍ය සඳහා ද ආණ්ඩුව වාර්ෂිකව සැලකිය යතු මුදලක් වැය කරනු ලැබේ. ඒ විදේශ ණය ගෙවීම් සංවර්ධන කටයුතු ආදි වියදම් රැසක් අතරතුරය. දෑවැන්ත රාජ්‍ය සේවයක් නඩත්තු කරන්නට ද, සේවා සපයන රාජ්‍ය ආයතනවලට අමතරව භාණ්ඩාගාරයට බරක් වෙමින් දිගින් දිගටම පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතනවල වැටුප් හා නඩත්තුව වෙනුවෙන් ද ආණ්ඩුව මුදල් වැය කළ යුතුව ඇත. ඒ සියල්ල සඳහා ඉපැයුම් මාර්ගයක් වන්නේ බදුය. නමුත් දෑවැන්ත ඉපයීම් ඇති වෛද්‍යවරුන් ද ටියුෂන් ගුරුවරුන් ද නීති වෘත්තිකයන් ආදි වශයෙන් වන සමාජ‍ ශක්තියක් ඇති සැවොම උත්සාහ දරන්නේ බදු ගෙවා යුතුකම ඉටු කිරීමට නොව වෘත්තිය ශක්ති පෙන්වා බදු ගෙවීමෙන් මගහැර යාමටය. ඒ අතරතුර බදු දැල ශක්තිමත් කරන්නට ආණ්ඩුව ගනිමින් සිටින පියවර වලට එරෙහි දේශිය ආදායම් නිලධාරින් ද පොලු ඔසවමින් සිටිති.

ආණ්ඩුව වෘත්තිකයන් ගෙන් පමණක් නොව නිසි ආදායමක් රැකියාවක් නොමැති ජනතාව කෙරෙහි ද බදු පනවා තිබේ. එනම් වක්‍ර බදුය. නාටාමිවරුන්, පෙදරේරු, වඩුකාර්මික, ගොවි ජනතාවට පමණක් නොව ගෘහනියනට පවා වක්‍ර බදු වල බලපෑමෙන් මිදෙන්නට හැකියාවක් නැත. එසේම බදුවලට විරුද්ධව ඔවුනට කළ හැකි දෙයක් ද නැත. සිදුව ඇත්තේ බදු වලට යටත්ව තම තමන්ගේ ජීවන තත්ත්වය පහත හෙළා ගන්නට පමණි. මේ දිනවල බිත්තිවල ඇලවී ඇති පෝස්ටරයක දැක්වෙන්නේ “ජීවන වියදම ඉහළට, වැටුප් වැඩිකර ගැනීමේ සටනට එක්වෙමු” යනුවෙනි.

වැටුප් වැඩිකර ගැනීමේ සටනට එක්වෙමු කියා මේ කියන්නේ රාජ්‍ය සේවකයාටය. එකී සේවකයින් සේවය කරන ආයතන අතරින් බොහොමය මේ වන විටත් භාණ්ඩාගාරයෙන් යැපෙනවා මිස භාණ්ඩාගාරයට උපයා දීමක් කරන්නේ නැති බව සත්‍යයකි. එවැනි ආයතනවල සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමෙන් සිදු වන්නේ භාණ්ඩාගාරයට දැනටමත් ඇති බරට තවත් අමතර බරක් එකතු වීමයි. ඒ බර දරන්නට සිදු වන්නේ වැටුප් නොලබන පොදු ජනතාවට සහ අනෙකුත් අංශවලටය. ආර්ථික විද්‍යා මූලධර්ම අනුව රටක මුදල් සංසරණය ඉහළ යද්දී බඩු මිල ඉහළ යනු ලැබේ. වැටුප් වැඩීම යනු ක්‍රය ශක්තිය ඉහළ යාමයි. එහි ඊළඟ ඵලය බඩු මිල ඉහළ යාමයි. එවිට ඒ බර වැටුප් නොලබන සැමට බලපානු ලැබේ.

ඒ අනුව විද්‍යාත්මකව කළ යුතු වන්නේ වැටුප් වැඩි කිරීම නොව ජීවන වියදම අඩු කිරීමයි. එසේ කරන්නට නම් නිෂ්පාදන හා සේවා ආදයම් ඉහළ නංවාගත යුතුවේ. වැඩි පඩි ඉල්ලන අපේ වෘත්තිය සමිති එවැන්නකට ද සූදානම් නැත.

කලාකරුවන්ගේ ප්‍රශ්නය ගත් විට ඔවුන් කියන්නේ බදු ගෙවන්නට තරම් තමන්ට ආදායමක් නොමැති බවයි. තවත් තැනක ඔවුන් කියා තිබුණේ ටී බෝයිටත් ආණ්ඩුව බදු පනවා ඇති බවයි. බදු ගෙවිය යුතු වන්නේ උපයන ආදායම අනුව, යම් සීමාවකින් පසුව බව ආණ්ඩුව පැහැදිලිවම කියා තිබේ. ඒ අතර ආණ්ඩුව කලාකරුවන්ගේ බදු අඩු කිරීමටද පියවර ගත්තේය. එහෙත් නිදහස් යැයි කියාගන්නා ඉහත කලාකරුවන් ඒ ගැන කරන්නේ කොළය වසා ගැහීමකි.

අප දන්නා තරමින් මෙරට කලාකරුවන් අතුරින් වැඩි පිරිස ඉහළ මට්ටමේ ඉපැයීම් ඇති අය වේ. ඔවුන් අතරින් වැඩි පිරිස අන් වෘත්තීන්ට සාපේක්ෂව සුවපහසු ජීවිත ගතකරන්නෝය. ඔවුන් කිසිවෙකු සිය සේවය නොමිලයේ සපයන්නේ නැත.

ආණ්ඩුව ද කලාකරුවන් වෙනුවෙන් විශේෂිත සුබ සාධන කටයුතු කරමින් සිටී. පැවති සියලුම ආණ්ඩුද කලා කරුවන් වෙනුවෙන් වෙසෙසින් වැඩ සටහන් ක්‍රියාත්මක කළ බව පිළිගත යුතුය. නිවාස යෝජනා ක්‍රම, විශ්‍රාම වැටුප් දීමනා, ණය මුදල් ආදිය ඊට අයත්ය.

බදුවලට කෑගසනු වෙනුවට කලාරුවන්ට තමන්ගේ ආදායම් නංවා ගැනීමට නොයෙකුත් ක්‍රම ද නැතුවා නොවේ. උදාහරණ වශයෙන් කලා නිර්මාණ කොල්ලය මේ රටෙහි ඉතා බරපතල අන්දමින් සිදු වන්නකි. උදාහරණයක් වශයෙන් පසු ගිය සතිඅන්තයක පුවත්පතක සඳහන්ව තිබුණේ එක්තරා තැනැත්තෙකු සංහල චිත්‍රපට 32ක් සොරකම් කළ බවට චෝදනා ඇති බවයි. ප්‍රවීන ගායක රෝහණ බැද්දගේ පුවත් පතකට සාකච්ඡාවක් ලබා දමින් කියා තිබුණේ; “ගීත පචාරය කළාට කර්තෘ භාගය ලැබෙන්නේ නැහැ” කියාය.

ඒ අනුව ගත් කල මෙරට කලාකරුවන්ට ලැබිය යුතු මුදල් මංකොල්ලකන විවිධ ව්‍යාපාර මහත් ඉහළින් ක්‍රියාත්මකය. පොත් ප්‍රකාශනය සම්බන්ධයෙන් ගත් කල ද තත්ත්වය එසේය. කර්තෘ භාගය වංචා කිරීම්, පොත් වැඩි ප්‍රමාණවලින් මුද්‍රණය කිරීම්, දෙවන මුද්‍රණ කර්තෘට නොදන්වා හොරට මුද්‍රණය කිරීම්, කර්තෘ අයිතිය හොරට ලියා ගැනීම් ආදී වශයෙන් ලේඛකයන් සූරා කන ව්‍යාපාර ඇතත් කලාකරුවන් ඒ කිසිවකට එරෙහිව සංවිධානය වන බවක් පෙනෙන්නට නැත. බදු ගැන පාරම්බාන නිදහස් යැයි කියා ගන්නා ඉහත කලාකරුවන් ද ඒ සම්බන්ධව සක්‍රිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. පසුගිය ආණ්ඩුව සමයේ රන්මිනිතැන්න වැනි සුදු ආලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විටද ඔවුන් සිටියේ මුනිවත රකිමිනි. වඩාත් පැහැදිලි කරුණ වන්නේ නිදහස් යන වචනය පෙරටු කරගෙන ආණ්ඩුව විවේචනය කරන්නට පෙළගැසී සිටින මේ පිරිසේ බොහොමය කලාකරුවන්ටත් රටටත් කසිම නිදහසක් නොතිබුණු සමයේ පාලකයන් සමඟ කරට අත දාගෙන සිටි අය බවය. කවුරුත් වටහා ගත යුතු රහස වන්නේ එයයි.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *