යුදධයකට මොන ස්මාරක ද ? – අකුරැස්සේ වින්සන් පුනාන්දු

උතුරේ ඉදිකර ඇති යුද ස්මාරක ඉවත් කරන ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන් මහතා ඉල්ලීමක් කර ඇති බව පසුගිය සතියේ පළවී තිබුණි. විග්නේෂ්වරන් මහතා කියන්නේ උතුරේ යුද ස්මාරක නිසා එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ හිත්වල වෛරය සහ ජාතිවාදී හැඟීම් ඇතිවිය හැකි බවයි.

විග්නේෂ්වරන් මහතා තව දුරටත් යුද ස්මාරක හැදීමෙන් වලකින ලෙස ආරක්ෂක අංශවයල උපදෙස් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

විග්නේශ්වරන් මහතාගේ ඒ ඉල්ලීම උතුරේ හද ගැස්ම ජාදිවාදී කෝනයෙන් අල්ලා ගන්නා මෙරට (රාජපක්ෂවාදී) ජනමාධ්‍ය දකුණේ හැඟීම් අවුස්සන්නට යොදාගත් ආකාරයත් එසේම දක්නට ලැබුණා. කෙසේ වෙතත් කවදත් හිතට එකඟව නිර්භයව සාධරණව අදහස් ප්‍රකාශකරන මංගල සමරවීර මහතා, විග්නේෂ්වරන් මහතාගේ ඉල්ලීම් අසාධාරන නොවබව ප්‍රකාශ කළා වැනි මතකයකුත් තියනවා.

ප්‍රකට රුසියානු ලේඛක චින්ගීස් අයිත්තමාතව් ගේ ‘ජමිලා’ නවකතාවේ ප්‍රධාන චරිතය වන ආබාධිත සොල්දාදුවාට දිනක් ළමයින් ‘මාමේ යුද්ධය ගැන කතාවක් කියපන්’ යැයි ඉල්ලීමක් කරනවා. එම ඉල්ලීමට මද වේලාවක් නිහඬව ඉන්නා ආබාධිත සෙබළා කියන්නේ ‘උඹලා යුද්ධය ගැන නොදැන ඉන්නා තරමට හොඳයි’ කියලයි.

යුද්ධය උලුප්පා පෙන්වා කාඩ් බෝඩ් වීරයන් වෙන්නට උත්සාහ දරන සෙබළුන් ද සෙන්පතියන් ද ආරක්ෂක ලේකම්වරුන් ද ජනාධිපතිවරුන් ද තවත් බොහෝ අය ද ඉන්නා ශ්‍රී ලංකාවට ‘ජමිලා’ හි වීරයා වන ආබාධිත සෙබල දනියාර්ගේ කෙටි වචන කිහිපයෙහි ඇති ඒ ගැඹුරු දර්ශනය අවබෝධ නොවීම පුදුමයක් නොවෙයි.

උතුරේ ස්මාරක මොනවා යනු මොනවා ද ඒවායින් නිරූපණය කරන්නේ කුමක් ද? උතුරේ යුධ ස්මාරක යනු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ හමුදාවල වීරත්වය උළුප්පා දක්වන ඉදිකිරීම් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ නම් එම ඉදිකිරීම් වලින් දෙමළ ජනතාවට ව්‍යංගයෙන් කියන්නේ ඔන්න උඹලාගේ ද්‍රොහීන් අපේ වීරයන් අතින් පරාජය වුණා වැනි පණිවුඩයකි. එවැනි ස්මාරක දකින දෙමළ ජනතාවට හිත් රිදුමක් ඇති වුණොත් එ පුදුමයක් නෙමෙයි.

නැවත දනියාර් දෙසට හැරුණොත් ඔහු කියන්නේ ඔවුන්ගේ පරපුර යුද්ධය හේතුවෙන් විඳි පීඩාවන් ලැබූ පරාජයන් (යුද්ධයක දී දිනන කිසිම පාර්ශවයක් නැත. ජයග්‍රාහකයා ද පරාජිතයා ද එකම විනාශයක කොටස් කරුවන් පමණි) ඊළඟ පරම්පරාව අත්විඳිය යුතු නැති බවයි.

ලොව පුරා කොතෙකුත් යුද ස්මාරක ඇතත් ඒවායින් කෙරෙන්නේත් යුද්ධයේ යම් පාර්ශ්වයකගේ වීරත්වය හුවා දැක්වීම නොව යුද්ධයෙන් වැටුණු සියල්ලන් ගේ ශෝකය කඳුළ ඉස්මතු කර පෙන්වීමයි.මෙරට උතුරට මෙන්ම දකුණට ද අවශ්‍යව ඇත්තේ යුද්ධයේ එක් කොටසක් වීරයන් සේ මතුකර පෙන්වීම නෙමෙයි යුද්ධයේ බිහිසුණු යථාර්ථය උතුරටත් දකුණටත් පෙන්වා දීමයි.  ඉතිහාසයේ අප අතින් මෙවැනි වරදක් සිදුව ඇති බවත් එවන් වරදක් නැවත සිදුවිය යුතු නැති බවත් කීමට ස්මාරක වැඩි වැඩියෙන් ඉදිකළ යුතු යුගයකයි අපි මේ ජීවත් වන්නේ.

නමුත් පසුගිය කාලයේ සිදු වූයේ කුමක් ද උතුර පමණක් නොව දකුණේ ද මළවුන් වෙනු‍වෙන් පැවති ආණ්ඩුව අනුගමනය කළේ කවර පිළිවෙතක් ද? ඊට හොඳම උදාහරණය බත්තරමුල්ල හි ඉදිකර තිබුණු අහිංසකයන්ගේ ආරාමයයි. අහිංසකයන්ගේ ආරාමය ගොඩනැඟීම සඳහා ඇඹිළිපිටිය මියගිය ශිෂ්‍යන්ගේ පවුල්වල අයගෙන් මැටි ඵලක එකතු කිරීමේ අවස්ථාවක දී එහි නිර්මාතෘ ජගත් වීරසිංහ මහතා කීවේ ඉතිහාසයේ එක් යුගයක මෙරට සිදු වූ එක් ඓතිහාසික වරදක පිළිඹිබුවක් වශයෙන් එය පවතිනු ඇති බවයි. යම් දිනක එය නටඹුන්ව වල් වැදී ගිය ද පසුව කවරකු හෝ ඒ ඉදිකිරීම දැක මළවුන් වෙනුවෙන් ශෝකවනු ඇති බවයි. අම්මාවරුන්ගේ පෙරමුණට වාරු වී 88-89 මියගිය අයගේ මානව හිමිකම් වෙන්දේසි කර බලයට පැමිණි මහින්ද රාජපක්ෂ කළේ එම අහිංසකයන්ගේ ආරාමය බිමට සමතලා කර දැමීමයි. ඔහුගේ මානව හිමිකම් ව්‍යාජය හුවා දක්වන එක් කදිම උදාහරණයක් තමයි අහිඅංසකයන්ගේ ආරාමයට කළ දෙය.

උතුරටත් දකුණටත් යුද ස්මාරක අවශ්‍යයි. හැබැයි දකුණේත් ඉදිවිය යුතතේ හමුදා සෙබලාගේ, ජවිපෙ කරලිකරුවන්ගේ එල්.ටී.ටි.ඊ. කැරලි කරුවන්ගේ වීරත්වය හුවා දක්වන ඉදිකිරීම් නොවෙයි.

නිදහසින් පසුව මේ රට කැරලි තුනකට මුහුණ දී තියනවා. වසර හැත්තෑවක් තුළ කැරලි කුනක්. ඉන් අදහස් වන්නේ නිදහසින් පසුව මෙරට සෑම අවුරුදු 33 කට වරක්ම තරුණ කැරැල්ලකට මුහුණ දී ඇති බවයි. එය සතුටුවිය හැකි තත්ත්වයක් නෙමෙයි.

තරැණ කැරලි තුනක් අවුරුදු 70 ක් තුළ ඇති වීමට බලපෑ හේතු මොනවාද යන්න මෙතෙක් හරියාකාරව සාකච්ඡාවට ලක් වූ බවක් ද පෙනෙන්නට නැහැ. අනෙක, 1971, 1988-89 දකුණේ කැරලි දෙක මැඩපවත්වන්නට කටයුතු කළේත් උතුරේ සන්නද්ධ කැරැල්ල මර්ධනය කළ හමුදාවන්මයි. නමුත් දකුණේ හමුදා වීරත්වය දක්වන ස්මාරක කිසිවක් නැහැ. එවැන්නක් යම් තැනක තිබුණත් එයිනුත් හුවා දැක්වෙන්නේ 88-89 හමුදා වීරත්වය නොවේ. උතුරේ සටන් කළ හමුදාවේ වීරත්වයමයි.

විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය හැඟුම්බර එකක් වන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම උතුරේ එල්.ටී.ටී.ඊ. වීරත්වය හුවා දක්වන එම සංවිධානය විසින් ඉදි කර තිබුණු යුද ස්මාරක යුද සොහොන් මේ වනවිට ඇත්තේ සමතලා කළ තත්ත්වයක. අඩුම තරමින් තමන්ගේ මළවුන් වෙනුවෙන් මලක් පහනක් පුදන්නටවත් තැනක් උතුරේ ජනතාවට නැහැ. එහෙම වටාපිටාවක හමුදා වීරත්වය පෙන්වන ස්මාරක ඉදිවන්නේ නම් දෙමළ ජනතාවගේ මානසික තත්ත්වය ඔවුන්ගේ මට්ටමට ගොස් කල්පනාකර තේරුම් ගත යුතුයි.

උතුරේ එල්.ටී.ටී.ඊ. සටන් අප අනුගමනය කරන්නේ නැහැ. නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහිවන තත්ත්වයකට උතුර පත්කිරීමේ වගකීමේ කොටසක් දකුණටත් අයිති බව ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම, පෙඩරල් ඉවත දැමීම, කළු ජූලිය එල්.ටී.ටී.ඊ. සංවිධානය නැගිටීමේ සාධක කිහිපයක්.

එවන් වටපිටාවක ඊළාම් යුද්ධය අප සියල්ලන්ගේම වරදින් (දෙමළ සිංහල) සිදු වූ දෙයක් බව උතුරත් දකුණත් අවංකව පිළිගත යුතුයි. එසේ පිළිගෙන එහි වරදත් සම සමව බෙදාගත යුතුයි. එවිට ඒ සටනේ පරාජිතයන් මිස ජයග්‍රාහකයන් නැහැ. අප කළ යුතුවන්නේ තිස් වසරක යුද්ධය වෙනුවෙන් උතුරත් දකුණත් කැපකළ ඇස් ඉස් මස් ලේ ජීවිත දේපළ සිහිගන්වන ස්මාරක ඉදිකිරීමයි. එවිට ඒ අසල මලක් මහනක් තබා උතුරේත් දකුණේත් සැමට එකවර යුද්ධයෙන් වැටුණු තමන්ගේ අය වෙනුවෙන් කඳුළක් හළන්නට පුළුවන් වෙයි. එවැනි ස්මාරක ඉදිකරන්න කියා විග්නේෂ්වරන් නොව කිසිවකුත් කියන්නේ නැතිවෙයි. එවැනි ස්මාරක දැක කාගෙවත් ජාති වාදයක් වෛරයක් ඇවිලෙන්නේත් නැති වෙයි.

අකුරැස්සේ වින්සන් පුනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *