තඩි බාන්නට මුව හමක් – නිශාන්ත කමලදාස

රටේ ඕනෑ ම ප්‍රශ්නයකට වග කියන්නට හේතුවක් හොයන අයට පහසුවෙන් හමුවන දෙයක් තිබේ. ඒ විවෘත ආර්ථිකය ය. එය තඩි බාන්නට හොඳ මුව හමකි. එය ආරම්භ කර දැනට වසර 40 ක් ඉක්ම ගොස් තිබෙතත් තවමත් බොහෝ දෙනකු තලන්නට ගන්නේ ඒ මුව හම ය. මේ මෑතක දී මේ කාර්යය බාර ගත්තේ මේ රටේ කතෝලික පල්ලියේ නායකයා යැයි සැලකෙන අගරදගුරු රංජිත් මැල්කම් ආදිපාදයාණන් ය. එවැනි සමාජ බලයක් ඇති අයකු පවා තවමත් මේ පැරණි කතාව ඉදිරියට ගන්නා නිසාත් දේශපාලන වේදිකාවේ ද මෙය නැවත නැවතත් ඇසෙන නිසාත් අප මේ ගැන විමසිය යුතු ය. මෙහි ඇත්ත නැත්ත විමසිය යුතු ය. වැරදි දෙයක් සමාජගත වීම රට අවුල් කළ හැකි බැවිනි.

ඒ ගැන අපට බැලිය හැකි එක් ක්‍රමයක් නම් ආර්ථිකය විවෘත වෙන්නට කලින් අප අත් දුටු ආර්ථිකය ඇසුරෙන්, එයින් ලද පලවිපාක ඇසුරෙන්, වත්මන් තත්ත්වය විමසීම ය. ඒ අප අත්දුටු සංවෘත ආර්ථිකයේ මහිමය කෙසේ වී දැයි සලකා බලමිනි.

ඒ කාලයේ බොහෝ දේ පිටරටින් ගෙන්වූයේ නැත. පිටරටින් ගෙන්වීමට ඉඩ තිබුණු ද්‍රව්‍ය පවා ගෙන්වීමේ බලය තිබුනේ රජයට ය. නැතිනම් එවකට අතිශයින් සීමිත විදේශ විනිමය තිබූ අතලොස්සක් දෙනාට ය. ඒ ද රජයේ අනුමැතියට යටත් ව ය. කප්පරක් වූ ආරක්ෂක බදු ගැසීමෙන් පසු ය. ඒ නිසා වෙළඳ පොළේ තිබුණේ භාණ්ඩ අතලොස්සකි.

ඒ නිසා ම දෝ පිටිවල ගුල්ලෝ ද හරි හරියට වාසය කළෝ ය. පිටි පමණක් නොව ඒවායින් හැදූ පාන් ද ගඳ ය. රෙදිවලින් වහනය වුනේ ද භූමිතෙල් ගඳකි. බොහෝ දේ නිදහස් වෙළඳ පොළේ තිබුණේ ද නැත. බෙදුවේ සළාක ක්‍රමයට ය. ඒ ද සමූපකාරයෙනි. පෝලිමේ වරු ගණන් ඉඳ, සමූපකාරයේ වැඩ කළ සියලු දෙනාගේ ආඩම්බර ද බලමිනි. සමූපකාර මැනේජර් අතිශයින් බලසම්පන්න විය. මනාල වෙළඳ පොළේ පවා ඔහුට ඉහළ ඉල්ලුමක් එවකට තිබීමෙන් ඒ බව වැඩිදුරටත් සනාථ වේ. ගෙදරකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගෙන රසට කන්න වුවමනා නම් සමූපකාරයක කෙනෙක් පවුලට බැඳි සිටිම අවශ්‍ය ම විය. කරවල උම්බලකඩ ඔහුගේ අනුග්‍රාහකයන්ට සීමා වූ අති සුඛෝප භෝගී ආහාර විය. ඒ කාලයේ පුවත්පතක කාටූන් ශිල්පියෙක් මේ උම්බලකඩ සම්බන්ධයෙන් වූ සාගතය සනිටුහන් කළේ උම්බලකඩ හොද්දට නොදා ඒ වෙනුවට මාළු බාන්නට ගන්නා වැනි පිත්තකින් හොද්දේ බහා තබා ටික වෙලාවකින් නැවත ගැනීමට සිදු වූ බව අඟවන රූපයකිනි (ඒ කාලයේත් සල්ලි ඇත්නම් මේ හැම එකක්ම බ්ලැක් මාර්කට් එකෙන් ගන්නට ද පුළුවන‍්කම තිබුණේ ය. ඇතැම් විදේශ විනිමය බලපත් තිබූ අය තමන් වෙනුවෙන් ඇතැම් භාණ්ඩ විශේෂයෙන් ආනයනය කරන්නට පෙළඹුණු බව ද වාර්තා වුණා මතක ය).

 

හේතුව ආර්ථිකය පාලනයට යටත් කර තිබූ නිසා ය. එයින් අදහස් කළේ බොහෝ දේ රජයේ ඍජු පාලනයට ද යටත් ව තිබූ බව ය. එයට ඩොලරය ද අයත් විය. අද මෙන් ඩොලර් ද මිල දී ගැනීම පහසු වූයේ නැත. ඒ සඳහා පළමුව විනිමය සහතිකයක් ලබා ගත යුතු විය. ඊට උරුම කීවේ අතලොස්සක් අපනයනකරුවන් පමණ ය. එහෙමත් නැත්නම් දේශපාලන සබඳකම් තිබූ අය ය. ඔවුන් ආනයනය කළ දේ භුක්තිවිඳි අතර සෙස්සො හූල්ලමින් ජීවත් වූහ.

රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව

රාජ්‍ය අංශය අතිශය අකාර්යක්ෂම වුව ද භාණ්ඩාගාරයෙන් පොම්ප කරන සල්ලිවලින් දුවනු ලැබූ නිසා පෞද්ගලික අංශයට ඒ හා තරග කළ නොහැකි විය. ඒ නිසා රජය මැදිහත් වූ බොහෝ තැනකින් පෞද්ගලික ව්‍යාපාරිකයෝ ඉවත් වූහ.

හාල් මුං ඇට පරිප්පු හැම එකකම හරි හරියට ගල් තිබුණේ ය. ඒවායේ තිබුණේ ඒකාධිකාරයක් නිසා ගල් නැති හාල් වෙළෙඳ පොළට නිකුත් කිරීමට දිරි ගැන්වීමක් කළ හැකි තරගයක් තිබුණේ ද නැත.

එක වර්ගයක බඩු තිබුණේ එකම ලේබලයක් යටතේ ය. කිරි නම් කිරි මණ්ඩලයේ කිරි ය. ජෑම් නම් අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජෑම් ය. සිමෙන්ති නම් සංස්ථා සිමෙන්ති ය. ගෑස් නම් ආණ්ඩුවේ ගෑස් ය. බැංකු නම් ආණ්ඩුවේ බැංකු ය (බැංකු නම් ආණ්ඩුවේ ම වුව තුනක් තිබුණේ ය. ඒ ලංකා මහජන හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලෙස ය. ඒත් ඒවා අතර එහෙමට තරගයක් තිබුණේ නැත). රක්ෂණය ද සංස්ථාවේ ය. ඒ කියන්නේ ආණ්ඩුවේ ය. දුරකථන නම් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ය.

කැමති වුවත් නැතත් ගත යුතුව තිබුණේ ඒ එකම ප්‍රභවයෙනි.

මේ කියන ඇතැම් ආණ්ඩුවේ නිෂ්පාදන ගුණාත්මකභාවයෙන් යුතුව තිබුණු බව ඇත්ත ය. උදාහරණයක් ලෙස අදටත් හොල්සිම් ආයතනයේ සිමෙන්ති හැඳින්වෙන්නේ සංස්ථා සිමෙන්ති ලෙස ය. අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජෑම් නිෂ්පාදනය බාර ගත් පුද්ගලික අංශයේ ආයතනය අදටත් ජෑම් විකුණන්නේ MD ලෙස ය. ප්‍රශ්නෙකට තිබුණේ මේවා හිඟවීම ය. සිමෙන්ති නැති කාල වකවානු තිබුණේ ය. ඒ කාලවල සිමෙන්ති ගිනි ගණන් ගියේ ය. ගෑස් සිලින්ඩරයක් ගැනීමට අවුරුදු ගණනක් පෝලිමේ සිටීමට සිදු විය. දුරකථන සම්බන්ධයක් ලබා ගැනීම වෙන ම ව්‍යාපෘතියක් විය. ඒ සඳහා වසර දෙක තුනක් බලා සිටීමට එකල සිදු ව තිබුණේ ය.

හැම හිඟයක් සමගම පෝලිම තරමට ම අල්ලස ද පැතිර ගියේ ය. වැඩක් කර ගැනීමේ දී දේශපාලන බලය ද තීරණාත්මක විය. ඒ පෝලිමේ ඉදිරියට යෑමට තල්ලුවක් ලබා ගැනීමට ය.

මේ සියල්ල කළේ එක් අරමුණක් ඇතිව ය. ඒ රටට අවශ්‍ය දේ රටේ ම නිපදවීමට ය. පිටරටින් ගෙනෙන ඒවාට වැට බැඳීමෙන් රටේ නිෂ්පාදන රැක ගැනීම ය. එහෙත් එහෙමට නිෂ්පාදනයක් සිදු වුණේ නැත. එයින් සිදු වූ හානිය ඊට වඩා විශාල ය.

තරගයක් නොමැති වීම නිසා අකාර්යක්ෂමතාවයට හා නාස්තියට හරි හරියට තිබුණේය. ඒ නිසා ම සිදු වුණේ ලෝක වෙළඳ පොළේ තරග කළ හැකි ව්‍යාපාර අපට නොමැති වීම ය. අපේ ව්‍යාපාරිකයන්ට සිදු ව තිබුණේ සීමාසහිත ලාංකීය වෙළඳ පොළ මත යැපීමට ය. එයට විනිමය පාලනය ද බල පෑවේ ය. ඩොලරයේ සැබෑ වටිනාකම කුමක් වුව ද එය රුපියල් 15 ට මිල නියම කර තිබුණේ ය. ඒ නිසා ද ලෝක වෙළඳ පොළට බඩු විකිණීමෙන් විනිමය හැරුණ විට රුපියල් වලින් උපයා ගත හැකි වූයේ සොච්චමකි. එය ද අපේ ව්‍යාපාරිකයන් ලෝක වෙළඳ පොළ ඉලක්ක කර භාණ්ඩ නිෂ්පාදනය කිරීම අධෛර්ය කළේ ය. මේ නිසා ම විශාල පරිමාණයේ නිපදවීමකට ඉඩක් තිබුණේ නැත. ඒ නිසා ම scale of economy (විශාල පරිමාණයෙන් නිපදවීම නිසා ස්ථාවර වියදම වැඩි ප්‍රමාණයක් තුළ විසිර යෑමෙන් ලැබෙන වාසිය) ලබා ගැනීමට ව්‍යවාසකයින්ට නොහැකි විය. මේ හේතු නිසා අපේක්ෂා කළ දියුණුව කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නොලැබ ගියේ ය. තත්වයෙන් බාල මිල අධික භාණ්ඩ කීපයක් නිපදවීමෙන් ඔබ්බට එය දියුණු වූයේ නැත.

රුසියන් ආධාර

රුසියාව සිය විදෙස් ආධිපත්‍ය සඳහා ලබා දුන් ආධාර නිසා ඇතැම් කර්මාන්ත ඇති විය. වානේ ටයර් කම්හල් ඒ ආධාරවල ප්‍රතිඵල ය. පසුකලෙක විකුණා දමන තුරු ඒවා අයිතිව තිබුණේ රජයට ය.

විනිමය පාලනය නිසා යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමේ ඉඩ ලැබුණේ විනිමය ඉපැයූ අපනයන ක්ෂේත්‍රය තුළ සිටි පාරම්පරික ව්‍යාපාරිකයන්ට පමණ ය. එයින් ඔබ්බේ ඒ වාසනාව පෑදුණේ දේශපාලන හිතවත්කම් තිබූ ව්‍යවසායකයන් කීප දෙනකුට පමණ ය. ඒ අය නම්වලින් ම මිනිසුන් දැන සිටිය හ. දාස මුදලාලි හා උපාලි විජේවර්ධන ඒ නම් අතර ප්‍රමුඛයෝ වූහ. නව ව්‍යවාසකයන් බිහි වීමේ ඉඩකඩ ඒ නිසා ඇහිරී තිබුණේ ය. ඒ නිසා ම නවෝත්පාදනයට වැඩි තැනක් නොලැබුණේ ය. විවෘත වූයේ ලංකාවේ වෙළඳ පොළට සරිලන එකලස් කිරීමේ කර්මාන්ත පමණ ය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරුම යුගය ඒ සංවෘත ආර්ථික රටාව ඉහළින්ම ක්‍රියාත්මක කළ 1970-76 යුගය ය. එම කාලවකවානුව තුළ වාර්ෂික වර්ධන වේගය 2.8% ක් වූ අතර, එය ඊට කලින් හා පසු වකවානු දෙකට ම සාපේක්ෂව අඩකින්ම පහළ අගයක් ගත් බව වාර්තා වේ. දිග්ගැස්සුණු යුද්ධයක් පැවති වකවානුවල පවා සාමාන්‍ය වර්ධන වේගය 5% ක මට්ටමක පැවති බව සලකන විට (2001 වර්ධන වේගය ඍණ අගයක් ගනිද්දී පවා ඒ අර්ධ දශකය තුළ වාර්ෂික සාමාන්‍ය වර්ධන වේගය 5% ඉක්මවන මට්ටමක පවත්වා ගැනීමට හැකි ව තිබුණේ ය) එම කාලයේ පැවති අර්බුදයේ බරපතළකම කෙබඳු දැයි ඉඟියක් ඉන් අපට ගත හැකි ය.

විවෘත ආර්ථිකය මේ සියල්ල උඩුයටිකුරු කළේ ය. විනිමය පාලනය ඉවත් කළ අතර ඩොලරයේ වටිනාකම තීරණය කළේ ඉල්ලුම හා සැපයුම මිස රජයේ මැදිහත් වීමකින් තොරව ය. අපනයනය කිරීමට තිබූ බාධක බොහෝමයක් ඉවත් වූ අතර තවදුරටත් භාණ්ඩවල හිඟයක් ඇති නොවි ය. රජයේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළ අතර මෙතෙක් පෞද්ගලික අංශයට විවෘත නොවූ ක්ෂේත්‍ර බොහෝමයක් ඒ සඳහා විවෘත විය. රට විදේශ ආයෝජන සඳහා ද විවෘත වූ අතර නිදහස් වෙළඳ කලාප ඇති විය. තවදුරටත් සියරට දේ සිරි සැප නොදුන් අතර සිරි සැප දුන්නේ අඩුමිලට එහෙත් සාපේක්ෂව ගුණයෙන් වැඩි දේ පමණ ය.

ලංකාවේ ව්‍යාපාරිකයකු අහස් යානා ටයර් ලෝකයට සපයන ව්‍යාපාරිකයකු වී සිටියේ ය. විදේශ සඳහා මෘදුකාංග නිපදවන ව්‍යාපාරිකයන් ගණනාවක් ද පහළ විය. ඩොලරයේ මිල ඉහළ යන විට අපනයන කටයුතුවලින් වැඩි ලාභ අත් වීම නිසා අපනයනය දිරි ගැන්වුනේ ය.

අපේ ව්‍යාපාරිකයන්ගේ අද තත්ත්වය

මේ පරිවර්තනයෙන් වඩාත් බැට කෑවේ ගුණාත්මක වශයෙන් අතිශයින් දුර්වල භාණ්ඩ හා සේවා සපයමින් සිටි ආයතනනය. ඒවා තරගයට මුහුණ දී ගත නොහැකිව වැසී ගියේ ය. ඒ අර්බුදයට වැඩි මිලකට වෙළඳ පොළට තම නිෂ්පාදන සැපයූ ගොවීන් ද ගොදුරු විය.

මිනිසුන්ට තෝරා ගැනීමට විශාල පරාසයක් තිබූ අතර නැතිව තිබුණේ මුදල් ය. ඒ නිසා මුදල් සොයා ගැනීම උදෙසා බොහෝ දේ කිරීමට මිනිස්සු ඉදිරිපත් වූහ. ප්‍රශ්න ඇති වූයේ එසේ ඉවක් බවක් නැතිව මුදල් ඉපයීමට ඉදිරිපත් වීම තුළ ය. බල්ලො මරල හරි සල්ලි යන ආදර්ශ පාඨය බොහෝ අයට වැළඳ ගැනීමට සිදු වූයේ යැයි චෝදනා ඉදිරිපත් විය. විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන විවේචන ඇති වූයේ ඒ සම්බන්ධයෙනි.

ඊළග විවේචනය තිබුණේ විවෘත ආර්ථිකය පරිභෝජනවාදයක් ගෙනාවේ ය, ඒ නිසා මිනිසුන් තමන්ට අනවශ්‍ය හා හානිකර දේ පවා මිලදී ගන්නට පොළඹවනු ලැබුවේ ය, යන මතය ආශ්‍රිතව ය.

මේ විවේචන දෙකම විසින් ප්‍රතික්ෂේප කරන එක කරුණක් තිබේ. පිහියක් කුමක් සඳහා භාවිතයට ගන්නේ ද යන්න සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පිහියට නොව පිහිය දරන්නාට බව ය.

යම් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වග කිව යුත්තේ දූෂකයා නොව ස්ත්‍රිය බවට, ඇය රාගය ඇවිස්සෙන ගවුමක් ඇන්දේ ය, නැතිනම් එසේ ඇවිස්සෙන රුවක හිමිකාරියක් ය, යන්න අප රටේ ඇතැමුන්ගේ මතය ය. වගකීමෙන් දූෂකයා නිදහස් කොට එය වින්දිතයාට පැවරීමට ඒ අය දක්ෂ ය. බල්ලො මරලා හරි සල්ලි හොයන මිනිසුන් හා පරිභෝජනවාදයට යට වූ මිනිසුන්, නිදහස් කොට, එහි වගකීම විවෘත ආර්ථිකය මත පටවන විට ද අපේ මනස ක්‍රියාත්මක වන්නේ ඒ මට්ටමේ ය.

විවෘත ආර්ථිකයේ සේයාවක්වත් නොවූ ධනය බලයට ඌණනය ව තිබුණු රජ කාලයේ ඒ බලය වෙනුවෙන් මැරුවේ බල්ලන් නොව බොහෝ විට මිනිසුන් බවත්, ඇතැම් අවස්ථාවක තමන්ගේ ම පියවරුන් හෝ සහෝදරවරුන් බවත්, අපට අමතක ව ගියේ කෙසේ ද? ඒ, තලන්නට මුව හමක් ලැබුණු පසු මිනිසුන් තවදුරටත් ප්‍රශ්න නොඅසන නිසා ය. දිගටම තැලීමෙන් තෘප්තිමත් වන නිසා ය.

විවෘත ආර්ථිකයේ සැබෑ ප්‍රශ්නය තිබුණේ විවෘත වීමට වඩා තවමත් ඇතැම් දේ විවෘත නොවීම තුළ ය. බාර්වලට ලයිසන් අවශ්‍ය විය. ඉන්ධන පිරවුම්හල්වලට ද ලයිසන් අවශ්‍ය විය. ඒවා තවමත් ලැබුණේ දේශපාලන බලය හිමි අතලොස්සක් පිරිසකට ය.

ඊළග ප්‍රශ්නය තිබුණේ රජය තවදුරටත් යම් යම් ක්ෂේත්‍රයන්හි ඒකාධිකාරී බලයක් ඇති ව ක්‍රියාත්මක වීමේ ය. ඒවා පෞද්ගලික අංශයට විවෘත කිරීමට අපොහොසත් වීමේ ය. දුම්රිය, විදුලි බලය, පානීය ජලය ඇතුළු දේ ඊට අයත් විය. තෙල් ඉන්දියන් තෙල් සමාගමට පමණක් විවෘත කිරීම තුළ ද එය ද සියයට දහයක පංගුවකට සීමා කිරීම තුළ ද තවමත් එය තිබුණේ ද රජයේ ම කටයුත්තක් ලෙස ය.

තෙවනුව, ප්‍රශ්නය තිබුණේ රජය පුද්ගලික අංශය නියාමනය සම්බන්ධයෙන් දැක් වූ අකාර්යක්ෂමතාවය තුළ ය. පක්ෂපාතිත්වය තුළ ය. නැතිනම් අනවශ්‍ය නියාමනය තුළ ය. නියාමනය කෙසේ කළ යුතු දැයි හැඟීමක් අත්දැකීමක් රජයට නොවීම තුළ ය. ලාභ ලැබීම වෙනුවෙන් ජනතාව පරදුවට තබන ව්‍යාපාරිකයන් පිරිසකගේ පැවැත්ම ඇත්තේ මේ නියාමනය සම්බන්ධයෙන් රජය දක්වන මන්දෝත්සාහය තුළ ය. එය තවදුරටත් ජය ගැනීමට තිබෙන අභියෝගයකි.

කුමන්ත්‍රණ භීතිකාව

සිව්වෙනුව, ප්‍රමාණවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වන සේ කළ යුතු ව තිබුණු බොහෝ දේ නොකර සිටීම තුළ ය. ඒ නිසා ම අපනයන ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් අයත් කර ගැනීමට රටට තවමත් නොහැකි විම තුළ ය. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ විදේශ හැම දෙයක් දෙස ම නොපිටට බලන, අපව බිලි ගැනීමට විදේශ කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවා යැයි කියා සමාජ ගත කර ඇති, මතවාදයන් ඒ මැදිහත් වීම්වලට එරෙහිව අවි අමෝරා ගැනීම ය. අනෙක් හේතුව මේ ආයෝජකයන්ගෙන් කප්පම් ගැනීමට මෙරට ඇතැම් බලාධිකාරීන් පේවී සිටීම ය.

අවසාන වශයෙන් එකක් කිව යුතු ය. ඒ, විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දෙන්නට කතා කරනවා විනා මොන කඳවුරකවත් දේශපාලනඥයකු, බොහෝ දෙනා විසින් තලන්නට ගන්නා මේ සුකුරුත්තම, වෙනස් කරන්නට ඉදිරිපත් වූයේ නැති බව ය. අඩුවශයෙන් එසේ කළ යුතු යැයි කියන්නටවත් ඉදිරිපත් වූයේ ද නැති බව ය.

එපමණක් නොවේ. අද වන විට සංවෘත ආර්ථිකය ඉතිරිව ඇත්තේ කියුබාව උතුරු කොරියාව වැනි රටක දෙකක පමණකි. ඒවායින් ද ඇසෙන්නේ වඩාත් විවෘත වීමට ඇති වුවමනා ය. සමාජවාදයේ පුරෝගාමියා වූ රුසියාව පමණක් නොව දැනටත් කොමියුනිස්ට් පක්ෂ බලයේ සිටින චීනය වියට්නාමය වැනි රටවල් පවා ආර්ථිකය විවෘත කර දැන් බොහෝ කල් ය. චීනය සෙසු රටවලට අභියෝග කරමින් ඉදිරියට යන්නේ ද එහි බලය ද උපයෝගී කරගනිමිනි. ඒ සියල්ල එසේ තිබිය දී අපේ රටේ මේ මැරුණු හොල්මන්වලට පණ එන්නේ කෙසේ දැයි ඇතැම් විටක සිතා ගැනීමට අමාරු ය.

(ට්‍රම්ප්ගේ දේශපාලන ආගමනය තුළ සංවෘත ආර්ථිකයකට යන ලෝක ගමනක් ගැන ඉඟි පල වෙතත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළතින් ම මේ වන විට විරෝධයන් ඇවිලෙමින් තිබේ. ඒ නිසා ම ට්‍රම්ප්ගේ වහසි බස් හා ඇතැම් ක්‍රියා සැලකිය යුත්තේ තාවකාලික ආතල් ගැනීමේ කටයුත්තක් ලෙස ය. ඇමරිකන් ජනතාව තාවකාලිකව මුළා කිරීමට ද චීනයට තරවටු කිරීමට ද ගන්නා උපාය මාර්ගයක් ලෙස මිසක ඊට දිගු ගමනක් තිබිය නොහැකි ය).

ආගම, මිනිසුන් ශික්ෂණයේ ලා අසමත් වී තිබේ. මිනිසුන් මානුෂීය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගත් කලාව ද විශේෂයෙන් එහි උරුමක්කාර පොල්මක්කාරයින් ද අසාර්ථක වී ඇත්තා හ. ඒ නිසා මේ සියල්ලේ වගකීම පැවරිය හැකි කෙනකු එවැනි පිරිස්වලට අවශ්‍ය ය. හොරකු තමන් හඹා එන මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මිනිසුන් ද සමග එක් ව ඔන්න හොරෙක් යැයි කෑගසමින් දුවන්නාක් මෙන් මේ ආගමික නායකයෝත්, කලාකරුවෝත් මිනිසුන්ගේ අවධානය මග හරින්නට, ඔවුන්ට හඹායනු පිණිස ඉදිරිපත් කරන්නට, වෙන යමක් සොයති. තමන් වෙනුවෙන් උත්තර දිය නොහැකි විවෘත ආර්ථිකය ඒ සඳහා ඇති පහසු තෝරාගැනීමකි. ඊට අමතරව ඒ විරෝධය විශේෂයෙන් විවෘත ආර්ථිකය හා අනුගත වෙන්නට බැරි වූ ඒ සඳහා මනස සකස් කර ගන්නට බැරි වූ මිනිසුන්ට පහසුවෙන් ගිල්ලවිය හැකි ලණුවකි. ඔවුන්ගේ තරහ යනතුරු රිසි සේ තඩි බාන්නට ගත හැකි මුව හමකි.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *