කොරහේ කිඹුලන් දකින සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත-නැත්ත මෙන්න
සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් වෙළෙඳ ගිවිසුම මේ වන විට රටේ දැඩි කතාබහට ලක්වී ඇත්තේ එය මෙරට ආර්ථිකයට අයහපත් බලපෑම් එල්ල කරන බවට නොයෙක් පාර්ශ්ව චෝදනා නගනා පසුබිමකයි. වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම අලුත් ප්‍රතිපත්තියක් නො වූවද මෙම සිංගප්පූරු වෙෙළද ගිවිසුම ඇති කරගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර වීම නිසා එය වඩාත් අවාසිදායක සහ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන ගිවිසුමක් බවට ඇතැම්හු මත පළකරමින් සිටිති. එවැනි කතාබහක් ඇතිවී තිබෙනා පසුබිමක සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමේ සැබෑ තතු පැහැදිලි කරගැනීම පුරවැසියන් ලෙස දැනුම්වත් බවට සේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති වටහා ගැනීමට ද ඉවහල් වනු ඇත.
ශ්‍රී ලංකාව අයත් වන දකුණු ආසියාතික කලාපයට අයත් අනෙකුත් ඌන සංවර්ධිත රටවල් හා සසදා බලන කළ වෙනත් රටවල්වලට සාපෙක්ෂව වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. සැබැවින්ම, සාර්ක් කලාපයට අයත් ඌන සංවර්ධිත රටවල අපනයනවලින් 84% කට ආසන්න ප්‍රමාණයකට විශාල වශයෙන් ලෝකයට බදු රහිතව ප්රවේශවීමේ හැකියාව ඇත. පසුගිය දශකය තුළ ඉන්දියාව, විවිධාකාර ප්රඥප්ති සහ විස්තීර්ණ වෙළෙඳ ගිවිසුම් මගින් ආසියාන්, ජපානය, හා දකුණු කොරියාව සඳහා වරණීය වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබා ඇත. පාකිස්තානය ද චීනය, මැලේසියාව සහ ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අවතීර්ණ වී ඇති අතර යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ gsp+ ප්‍රතිලාභය ද ලබයි. අසල්වැසියන් සමඟ සැසඳීමේදී පසුපසින් සිටින අප සාම්ප්‍රදායික ප්‍රධාන වෙළෙඳ පොළවල් දෙක වන එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමඟ වන වෙළෙඳාමෙහි වේගවත් වර්ධනයක් සහතික කරන අතරතුර ගෝලීය නිෂ්පාදන ජාලය සමඟ සම්බන්ධ වීම සඳහා නැගී එන දකුණු ආසියානු හා ඈත පෙරදිග රටවල් හා අග්නිදිග ආසියානු කලාපයේ වෙළෙඳ හවුල්කරුවන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළැඹීම බව වත්මන් රජයේ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් හදුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සදහා පසුබිම සකස් වී ඇත.
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන් ප්‍රධානතම චෝදනාවක් වන්නේ එය ‘හොර රහසේ ‘ඇති කරගත් ගිවිසුමක් බවයි. එවැනි චෝදනාවක් එල්ල වුව ද සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යාන්තර වෙළෙඳ අමාත්යාං ශ තොරතුරු වලට අනුව මෙම ගිවිසුම සාකච්ජා වට ගණනාවක ප්රතිඵලයකි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් වූ පළමු සාකච්ජාව 2016 වසරේ ජූලි මස 7 වැනිදා ඇරඹී ඇති අතර මාස 18ක පමණ කාලයක් පුරා සාකච්ජා වට අටක් පවත්වා අවසාන සාකච්ජාව 2017 වසරේ නොවැම්බර් 13 සහ 14 යන දිනයන්හිදී පවත්වා ඇත.
මෙම සාකච්ඡා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ජාතික කමිටුව විසින් සහ අදාල සියලුම ක්ෂත්රයන් හි ප්‍රධානත්වයෙන් යුතු එම සියලුම රාජ්‍ය ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත උප කමිටු 12 විසින් මෙෙහයවා තිබේ.
මාස 18 ක් පමණ වූ සාකච්ඡා කාලපරිච්ඡේදය තුළ වාණිිජ මණ්ඩල, කර්මාන්ත, සංගම්, වෘත්තීය සංගම් යනාදී පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් සමඟ උපදේශන මතවිමසීම් සාකච්ඡා 20 කට අධිකව ප්‍රමාණයක් පවත්වා ඇත. එම සාකච්ඡා සමහරක් දැනට පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ පොදු වශයෙන් සිදුවී ඇති අතර සමහරක් අදාළ භාණ්ඩ සේවා හෝ ආයෝජන ක්ෂේත්රවල නිදහස් කිරීම් පරිමාණ තීරණය කිරීමට අදාළ ව විවිධ සංගම් සහ වාණිජ මණ්ඩල සමඟ අදාළ අනුකමිටු විසින් වෙන් වෙන් වශයෙන් ද පැවැත්වූ සාකච්ඡා ය.
ගිවිසුමෙහි තත්ත්වය පිළිබදව වරින්වර වාර්තා කර ඉදිරිපත් කිරීම මඟින් සාකච්ඡා ක්‍රියාවලියේදී ගන්නා ලද ස්ථාවරයන් පිළිබඳ කැබිනට් මණ්ඩලය නිරන්තරව දැනුවත් කර අවසානයේදී, ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ පළමු කෙටුම්පත 2017.12.22 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය 2018.01.02 හා 2018.01.09 වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් අමාත්‍ය වරුන් 14 දෙනකුගේ නිරීක්ෂණයන් සමග සාකච්ඡාවට බඳුන් කර ඇත. එසේම නීතිපති තුමාගේ අනුමැතිය සමග 2018.01.16 කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන ඇති අතර ආරක්ෂණ විධි ක්‍රම සම්මත වීමෙන් අනතුරුව ගිවිසුම 2018.05.01 දින සිට බලාත්මක වී තිබේ. මෙම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධතා මතු කරන ඇතැමකුගේ චෝදනාවක් වන්නේ මෙම ගිවිසුම අත්සන් කළ වහාම සිංගප්පූරුවෙන් එන සියලුම භාණ්ඩ සඳහා තිරුබදු අහෝසි වන්නේද යන්නය. එහෙත් එය එසේ වන්නේ නැත.
ශ්‍රී ලංකාව මෙතෙක් එළැඹ ඇති වෙළෙඳ ගිවිසුම වලට අනුව සිංගප්පූරුවට පමණක් නොව සියලුම රටවලට බලපාන ලෙස භාණ්ඩ 3719ක් තීරු බදුවලින් නිදහස්ය. මෙම නව ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් වසර 12 සිට 15 දක්වා කාලයක් තුළදී සිය තීරුබදු ගාස්තු රේඛා වලින් සියයට 80ක් ලිහිල් කිරීම සඳහා කටයුතු යොදා ඇත. සිංගප්පූරුව අනෙක් රටවල් හා එකඟවී ඇති ගිවිසුම් අනුව ඔවුන් බලාපොරොත්තු වන තීරු බදු නිදහස් මට්ටම සියයට 90 හෝ ඊට වැඩි නමුත් දේශීය කර්මාන්ත රැක ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව එකඟවී ඇත්තේ සියයට 80වේ සීමාවක් සඳහා පමණි.
දේශීය වශයෙන් අධි සංවේදී නිෂ්පාදන ලෙස ගැනෙන පාවහන්, රසකැවිලි වැනි නිෂ්පාදන ක්ෂේත්රයන්ට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා වන එකඟතාවන් මෙම ගිවිසුමේ ඇතුළත්ය. එයට අමතරව, තීරුබදු අඩුකළ පමණටම මෙරටට ඒ ඔස්සේ භාණ්ඩ ආනයනය කළ නොහැකි අතර අදාල වරප්‍රසාද ලබා ගැනීම සඳහා ප්රභවය පිළිබඳ රීති සම්පුර්ණ කළ යුතුය. එසේම ආනයන බලපත්‍ර ලබාගත යුතු භාණ්ඩ ආනයනයට අදාළ ආනයන බලපත්‍ර ලබාගත යුතු අතර මානව,සත්ව හා ශාක ආරක්ෂණය සඳහා අදාළ වන රෙගුලාසි ද එලෙසින්ම බලපානු ඇත.
යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට අපනයන කිරීමට නම් එයට සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට ගිවිසුම අනුව නියම කොට ඇත. ආසියාන් රටවල් හි සමුච්චිතය (cumulative) මත පදනම්ව භාණ්ඩ ප්රභවය පිළිබඳ රීති ගණනය කිරීමේ සිංගප්පූරු යෝජනාවට ශ්‍රී ලංකාව එකඟතාවය පල නොකරන ලදී.
එමෙන්ම දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට සහ ආදායම් පිළිබඳ අහිතකර තත්ත්ව නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා තීරුබදු රේඛාවේ සියයට 20ක් තරම් වන අයිතමයන් 1487ක් නිශේධ ලයිස්තුවේ තබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එයින් සෘජුවම ඉලක්ක කෙරන්නේ දේශීය කර්මාන්තකරුවන් මෙම ගිවිසුමේ බලපෑම්වලින් රැක ගැනීමය.
ලාභදායී භාණ්ඩ දේශීය වෙළෙඳ පොළ ආක්‍රමණය හරහා දේශීය නිෂ්පාදකයින්ට අහිතකර බලපෑම් තත්ත්වයකට ඇති ඉඩකඩ මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද නව අණ පනත් (ප්‍රපාතන විරෝධී, ප්රතිතෝලන පනත හා ආරක්ෂණ පනත) නිසා වැළකී යයි. නීත්‍යානුකූල නොවන ආකාරයට ලබාදෙන සහනාධාර මත පැනවිය හැකි ප්‍රපාතන විරෝධි හා ප්රතිගෝලන බදු, ගෝලීය හා ද්විපාර්ශ්වීය ආරක්ෂණ විධි විධිවිධාන ක්‍රියාත්මක කිරිම සඳහා අදාළ වන වෙළෙඳ පිළියම් මෙම ගිවිසුමට ඇතුළත් වේ. එම වෙළෙඳ පිළියම්වලට අදාළ අණපනත් 2018 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් සම්මත කරගත් බැවින් යම් හෙයකින් සිංගප්පූරුව එවැනි නීත්‍යනුකූල නොවන ආකාරයේ සහනාධාර ලබා දීම නිසා අදාළ භාණ්ඩය අප රට තුළ අනවශ්‍ය ආකාරයට ගොඩගැසීමක් සිදු වුවහොත් ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකාවට දැන් හැකිය.
එයට අමතරව, ගිවිසුම ක්‍රියාත්මක කරන කාලයේදී තීරුබදු අඩුකිරීම නිසා දේශීය කර්මාන්ත වලට බලපෑම් ඇති කරමින් සිංගප්පූරුවෙන් සිදුකරන ආනයන ඉහළ ගියහොත් ද්විපාර්ශ්වීය ආරක්ෂණ ක්‍රියා විධි යොදා ගත හැකි. සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී අවශ්‍යතාවක් ඇති වුවහොත් ශ්‍රි ලංකාවට මෙම ප්‍රතිපාදන යොදා එවැනි තත්ත්ව වැළැක්විය හැකිය.
තීරුබදු නිදහස්කරණ වැඩසටහන යටතේ අපද්‍රව්‍ය ද ඇතුළත් කර ඇති බැවින්, ඒවා ගිවිසුම හරහා මෙරට තුළ ගොඩගැසීමට කටයුතු යොදා ඇති බවට මතවාද පවතී. තීරුබදු අඩුකළ පමණින් ම භාණ්ඩ මෙරටට ආනයනය කළ නොහැකි බව අවධාරණය කළ යුතුය. මෙරටට ආනයනය කරන සියලු භාණ්ඩ, අදාළ ආනයන බලපත්‍ර ලබා ගැනීමට, ප්රමිතීන් සපුරාලීමට හා මානව, සත්ව හා ශාක ආරක්ෂණය සඳහා අදාල වන රෙගුලාසිවලට යටත්ය. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව අත්සන් කර ඇති පාරිසරික ආරක්ෂා පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් මඟින් ඇති අයිතිවාසිකම් සහ දේශීය නීතිරීති හා යාන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිඳු නිදහස් කිරීමක් හෝ බලපෑමක් සිදු නොවේ. එමනිසා, අදාල නීතිරීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇත
වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති අලි ඇතුන්, උරගයින් ආදී සතුන් සිංගප්පූරුවට අපනයනය කිරීමටත්, එවැනි සතුන් සිංගප්පූරුවෙන් මෙරටට ආනයනය කිරීමටත් හැකියාවක් ඇති බැවින් වන සත්ත්ව හා වෘක්ෂලතාදියට අහිතකර බලපෑමක් සිදුවිය හැකි බවට චෝදනා එල්ලවී ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාමේදී වන ජීවි හා වෘක්ෂලතා සඳහා වන සම්මුතියට සහ ජෛව විවිධත්වය සඳහා වන සම්මුතියේ පාර්ශ්වකරුවකු වන බව සඳහන් කළ යුතු අතර මෙම සම්මුතීන් හරහා හෝ වෙනත් අදාළ සම්මුතීන් හරහා අයත් කොට ගෙන ඇති අපේ අයිතීන් කිසිසේත්ම සිංගප්පූරු ගිවිසුම මගින් අහෝසි නොවේ. ඉහත සඳහන් ආනයන බලපත්‍ර ලබා ගැනීම හා අදාළ නම්කළ ආයතන වල අනුමැතිය ලබා ගැනීම යන කරුණු ඇතුළු අදාළ සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ වලට මෙන්ම දේශීය නීති රෙගුලාසි වලටද යටත් වේ.
එවැනි හානිදායක ද්‍රව්‍ය තීරුබදු නිදහස් ලැයිස්තුව යටතේ අන්තර්ගත කොට ඇත්තේ ජාතික වෙළඳ ගිවිසුමක් තුළ 7,438ක් වූ සියලුම තීරුබදු රේඛා නිෂේධ ලැයිස්තුව, වහාම නිදහස්කරණයට ලක්වන ලැයිස්තුව හෝ විශේෂිත කාලසීමාවක් තුළ නිදහස්කරණය වන ලැයිස්තුව යන කුමන හෝ ලැයිස්තුවක අන්තර්ගත කළ යුතු අතර කිසිඳු තීරුබදු රේඛාවක් ලැයිස්තුගත කිරීමෙන් මඟ හැරිය නොහැක.
මෙම භාණ්ඩ දේශීය නීතින්ට අනුගත නොවෙමින් කිසිලෙසකින් ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකි බැවින් ඒවා 80% නිදහස්කරණ ලැයිස්තුවට අන්තර් ගත කළ අතර ඒ හරහා දේශීය වශයෙන් සංවේදී භාණ්ඩ වැඩි ප්‍රමාණයක් නිශේධ ලැයිස්තුව තුළ රඳවා ගැනීමට හැකියාව ලැබුණි. තවද භාණ්ඩ නිදහස්කරණයට ලක් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර මෙම භාණ්ඩ බොහොමයක් ඉන්දියාව හා පකිස්තානය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් වලදීද නිදහස්කරණයට ලක්කර ඇති අතර එහිදී හානිදායක වන ලෙස මෙරටට එම භාණ්ඩ ආනයනය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. එමනිසා මෙය සිංගප්පුරුවට පමණක් ලබාදුන්නක් නොවන අතර අදාළ පාරිසරික නීති හා ආනයන බලපත්‍ර ලබා ගත යුතු බැවින් මෙරටට ගිවිසුම හරහා ඇතුළුවීමට අවස්ථාවක් නොමැත. වෘත්තීය සේවා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බැඳීමක් පවතින්නේ සේවා දායකයා හෝ සේවා ලාභියා දේශසීමා අතර යාම් ඊම් සිදු නොකර සේවා සපයන වෘත්තීන්, විදේශ වලදී සිදුවන සේවා වලට අදාළ වෘත්තීන් සඳහා පමණි. වාණිජමය වශයෙන් ස්ථානගත වී ආයෝජන සිදුකරීම, යාම ඊම් සිදු කරමින් කටයුතු කරන ක්ෂේත්රයන් යටතේ මෙම වෘත්තීය සේවා තවදුරටත් නිදහස් කිරීමක් සිදුකර නොමැති සේම සිංගප්පූරු වෘත්තිකයන් ශ්‍රී ලංකාවෙහි සේවයෙහි යෙදීම සම්බන්ධව කිසිදු ප්රතිපාදනයක් සිංගප්පූරු -ශ්‍රි ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ සලසා නැත.
වාස්තු විද්‍යාත්මක සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බැඳීම් ඇති කරගෙන ඇත්තේ “මුලික සැලසුම් උපදේශන හා උපදේශක” යන අනුකාණ්ඩය යටතේ 1 වන මාදිලිය හා 2 වන මාදිලිය යටතේ වන අතර, එයින් වාස්තු විද්‍යාත්මක ශිල්පයෙහි ශ්‍රී ලංකාව තුළ යෙදීමට ඉඩක් ලබාදී නොමැත. “මුලික සැලසුම් උපදේශන හා උපදේශක” සේවාද සැපයිය හැක්කේ සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරනයකින් තොරව වන අතර මාදිලි 3 හා මාදිලි 4 සඳහා කිසිඳු බැඳීමක් ශ්‍රී ලංකාවට නොමැත. එනම් කිසිදු නිදහස් කරණයක් මුලික සැලසුම් උපදේශන හා උපදේශක සේවා සම්බන්ධයෙන්ද සිදු කර නැත.
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් ගිවිසුමෙහි “පුරවැසියා” යන්න සිංගප්පූරු පුරවැසිභාවය සහිත හෝ සිංගප්පූරුවේ ස්ථිර පදිංචිකරුවා ලෙස අර්ථකනය කරනු ලබයි. නිදහස් වෙළඳ ගිවිසුම මඟින් මෙම සිංගප්පූරු පුරවැසිභාවය ලෙස ගැනෙන සමූහයට පමණක් එම වාසිය අත්වන අතර අනෙකුත් සියලු පුරවැසියන් වෙළෙඳ ගිවිසුමෙන් බැහැර කරනු ලබයි. සිංගප්පූරු වැටුප් ලබමින් සිටියද සිංගප්පූරුවෙහි ස්ථිර පදිංචිය ලබාගැනීමට අපහසු වූ යම් පුද්ගලයෙකු නිදහස් වෙළෙඳ ගිවිසුම අාධාරකයක් / හස්තයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වී රැකියාවක් ලබාගැනීමට උත්සාහ කළද එය කෙසේවත් කළ නොහැකිය. සිංගප්පූරු පුරවැසියෙකුට සමාගම් අතර හුවමාරු වන්නෙකු ලෙස මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දී තිබුණ ද, ඔවුන්ට අවම වශයෙන් වසර 05 ක අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ හෝ වෘත්තීය ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබිය යුතුය. එසේම එවැනි පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන් වසර 2 ක කාලයක් සේවය කළ හැකි අතර එම කාලය ආගමන පාලකවරයාගේ අනුමැතිය යටතේ වසර 05 ක උපරිමයක් දක්වා දීර්ඝ කල හැකිය. තවද, සමාගම් අතර හුවමාරු වන්නන් ඉහළ කළමනාකාරීත්ව තනතුරු වලට අනුයුක්ත කළයුතු අතර එම සමාගමේම සේවය කළ යුතුය. වෙනත් සමාගමකට මාරුවීමට හෝ සේවය කිරීමට ඔවුන්ට නොහැකිය.
silumina