හදා වඩා ගැනීම

සාටක උදිත ළමයාට බැන්න හැටි දැක්කාම මට අනේ පවු කියලා හිතුණා යැයි කඩේ මුදලාලි කීවේය.

මුදලාලිට පවු කියල හිතුණේ කා ගැනද? කියා එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ඇත්තම කියනාවනම් ඉස්කෝල මහත්තයෝ මට පවු කියලා හිතුණෙ උදිත ළමයා ගැන නෙමෙයි. එයාගෙ අප්පුච්චා ගැන’ය කියා එවිට කඩේ මුදලාලි කීවේය.

පුතා බැනුම් අහද්දි තාත්තා ගැන පවු කියලා හිතෙන්නෙ අහවල් දේකටද? කියා එවිට කඩේ ළමයා ඇසුවේය.

උදිත ළමයගෙ අප්පොච්චා ගැන කඩේ ළමයා දන්නෙ මොනවාද? කියා එවිට මුදලාලි ඇසුවේය.

දුන්න දුනුගමුවෙයි, ඊතල කිතලගමුවෙයි තියෙද්දි මුවෙක් හඬාපු පළාතක ආණ්ඩුව කරවන රාල තනතුරේ හිටිය වගේ පුංචි මතකයක් තියෙනවා ක‍ඩේ ළමයා කීවේය.

අනේ ඔව්! ඒත් එයා ආණ්ඩුව කරවන්න පටන්ගත්තෙ බහින කලාව කාලේ. ඊට ඉස්සර කාලේ එයා හොඳ උගතා; සීගිරි ගී වල සිරිය විඳපු කාලෙ මය හොඳට මතකයි. ඉස්කෝල මහත්තයා කීවේය.

මට හොඳටම ඒ උත්තමයා ගැන මතක හිටියෙ ‘කොළ කැඳ තියෙන තැන – අමා රසයට දෙමි දෙවන තැන’ කියන්න ගත්තු කාලේ කඩේ මුදලාලි කීවේය.

ආයෙත් අහල! සෙරෙප්පු සුප් බොන අයත් හිටපු කැබිනට්ටුවක කොළ කැඳ ප්‍රචාරණය කරපු එතුමා ඒ කාලෙ හැටියට වීරයෙක්. ඉස්කෝල මහත්තයා කීවේය.

ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙ මහත්තයෝ, ඒ කාලේ අපේ රටට කොළ කැ‍‍ඳේ වටිනාකම අමතක වෙලා තිබුණෙ. ඒ උත්තමයා නූල් සූත්තරෙන් කවියක් එහෙම කියල අපට ඒක ආයෙත් බෝ කෙරුවා. දැන් බලන්නකො ආයුරුවේදෙත් කොළ කැඳ, හෝටලෙත් කොළ කැඳ, ගෙවල්වලත් කොළ කැඳ, පාර අයිනෙත් කොළ කැඳ කී දෙනෙක් සුවපත් වෙනවද? කඩේ මුදලාලි කීවේය.

“එහෙව් උත්තමයකුගෙ පුත්තරයත් අර‍වගේ පීචං කතාවක් ඇහුව කියන්නේ, තනි ඇහැට ඇඬෙන සීන් කෝන් එකක්නෙ ඉස්කොලෙ මහත්තයා.” කඩේ ළමයා කීවේය.

කොල්ලෝ ඔය උඹේ ‘සිනී ගෝනී’ අපට තේරෙන්නෙ නැහැ. සාටක රජ්ජුරුවො පස්සෙ කියල තිබුණෙ බැන්නෙ දරුවෙකුට වගේය හදාගන්නය කියලයි. කඩේ මුදලාලි කීවේය.

‘කඩේ ළමයා ‘සීන්කෝන්’ කී එක මුදලාලිට ඇසුනේ ‘සීනි ගෝනි’ වශයෙනි.

දරුවෙක් වගේ කීවේ තුන්දෙනාගෙන් කොයි දරුවා ගැන කියල ද මුදලාලි හිතන්නේ? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

මුදලාලි තුන්දෙනා කීවෙ කුමාර තුන්කට්ටුවෙ ගැනද? අපෝ ඒ වගේ තව දරුවෙක් නම් මේ සම්මජ්ජාතියෙ නැතුවට කමක් නැහැ. කඩේ ළමයා කීවේය.

මොකද ළමයා එහෙම කීවේ? කියා ඇසුවේ ඉස්කොල මහත්තයා ය.

ඒ කියන්නේ ඉස්කොල මහත්තයෝ කුමාර තුන් කට්ටලේ වාගේ උදිත ළමයත් හැදුණොත් මාලිගාව වටේ රේස් පදින්නයි, කාමරවලට වෙලා නීති විභාග ලියන්නයි, තාජුදීන්ලගෙ කාර් ඉබේ ගිනිගන්නයි, ෂෝට්කට් එකෙන් නේවි යන්නයි කීයක් රෝග ද කඩේ ළමයා කීවේය.

තරවටු කරල හදාගන්න එක හැබැයි සාටක රජාගෙ උපන්ගෙයි සිරිත. ෆොන්සේකා තුමාටත් හමුදාවෙ ලොකුම පුටුව දීල හදාගන්න බැලුව බැරිම තැන ජම්පරේ අන්දලත් හදාගන්න බැලුව මතක නැද්ද ඉස්කෝල මහත්තයා කීවේය.

ෆොන්සේකා මහත්තයගෙ නෙමෙයි දැන් ඔය උදිත ළමයගෙ පුරස්නෙ වුණෙත් කීත් නොයාර්ට තටවටු කරල හදාගන්න ගියාය කියන ප්‍රශ්නයක් උඩ නේද? කඩේ මුදලාලි කීවේය.

කීත් නොයාර් විතරක්යැ මුදලාලි ඒකාලෙ පොද්දල ජයන්තගෙ කකුල් දෙකමටම තරවටු කරල හදාගන්න බැලුව එතනින් ගියාම උපාලි තෙන්නකෝන් මහත්තයටත් දැලි පිහියක් පෙන්නලද කොහෙද හදාගන්න බැලුව. එතනින් ගියාම එක්නැලිගොඩ මහත්තය හොඳටම හදලා ගන්නද කොහෙද කොහෙහරි යවල තවම ඉන්න තැනැක්වත් හොයාගන්නත් නැහැනෙ. ඉස‍්කෝල මහත්තයා කීවේය.

එතකොට ඉස්කෝලෙ මහත්තයෝ ලසන්ත වික්‍රමසිංහද කෙහෙද කියල මහත්තයෙකුටත් ඔය වගේම පාඩමක් ඉගැන්නුව කියනව නේද? කඩේ ළමයා ඇසුවේය.

ඉගැන්නුවද කියලත් අහල, එයාට මේ ලෝකෙ පාඩම් ගැලපෙනව මදිය කියල පරලෝකෙටම යැව්ව ලබන ආත්මෙදිවත් හැදිල එන්නෙයි කියල. ඉස්කෝල මහත්තයා කීවේය. හැබැයි ඒ මහත්තයා වික්‍රමසිංහ නෙමෙයි වික්‍රමතුංග කියා ඉස්කෝලෙ මහත්තයා කඩේ ළමයාගේ වරද ද නිවැරැදි කළේ නියම ගුරුවරයකු ගේ ලක්ෂණ විදහා පාමිනි.

ඇහුණද ඉස්කෝල මහත්තයෝ මට තවත් දෙයක් හිතෙනව, මුදලාලි එකවරම කීවේ එතෙක් පැවති නිහැඬියාව බිඳ දමමිනි

ඒ මොකක්ද මුදලාලි? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

සාටක රජා වෙන කවුරු වගේ හදාගත්තත් රජ කුමාර තුන් කට්ටුව වගේ නම් උදිත ළමයා හදාගන්නේ නැහැ මුදලාලි කීවේය.

ඒ මොකද මුදලාලි එහෙම කියන්නේ? එසේ ඇසුවේ කඩේ ළමයා ය.

මොකද කියන්නෙ කොලුවො, සාජක රජා‍ තමන්ගේ දරුවන්ගේ යෞව්නයට හෙටක් හදනවා මිසක් වෙන කෙනෙකුගේ දරුවකුට හෙටක් හදන ජාතියේ පුතයෙක් නෙමෙයි. මුදලාලි කීවේය.

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. දැක්කනෙ මැච් එක ටිකක් ස්කෝර් කරගෙන එද්දි ෂශීන්ද්‍ර කාරයටත් දුන්න ෂොට් එක ඌවටම විසිවෙන්න. කඩේ ළමයා කීවේය.

ඒ විතරක් යැ ඉස්කෝලෙ මහත්තයා, බයගෝතා මලය එළිය ගහගෙන වියත් දෙවියත් මග හදාගෙන එද්දි එකට පන්දම් අල්ලපු කේවට්ටයන්ගෙත් කටට මුඛවාඩම් දාල පැත්තකටම කළා මතකයි නේද? කියා මුදලාලි කීවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *