|

අමතක කරවන්න හදන කතා – සී.ජේ. අමරතුංග

කීත් නොයාර් පැහැරගෙන යාම ගැන සොයන රහස් පොලිසියේ කණ්ඩායමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ එහෙම මාධ්‍යවේදියෙක් ගැන තමන්ට මතක නැති බවයි. එම මාධ්‍යවේදියා පැහැරගත් අවස්ථාවේ වර්තමාන කතානායක කරූ ජයසූරිය මහතා දුරකථනයෙන් තමාට කතා කළ බව ද මහින්දට මතක නැත. එසේ වුවද ඒ අවස්ථාවේ සිදුවු දුරකථන සංවාද වාර්තාවක් රහස් පොලිසිය සතුව තිබූ නිසා මහින්දගේ අමතක වීමේ රෝගයට යම් පිළියමක් තිබිණි.

කොයිදේ අමතකය කීවත්, දුරකථනයේ දත්ත වාර්තාව ප්‍රතික්ෂේප කරන්නට හිටපු ජනාධිපතිවරයාට ක්‍රමයක් නැත. එම නිසා ඔහුට සිදුව ඇත්තේ අකරතැබ්බයකි. කරූ ජයසූරිය මහතා තමාට කතා කළ බවත් ඉන්පසුව තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට කතා කළ බවත් පිළිගන්නට මහින්දට සිදුව ඇත. මහින්දම මාධ්‍යයට කීවේ එය ප්‍රශ්න උත්තර වාරයක් වූ බවයි. එනම් රහස් පොලිසියේ උදවිය කියන දේට ඔව් නෑ කියන්න සිදුවූ බවයි.

එහිදී සමහර කරුණු විස්තර කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුව ඇත. කරූ ජයසූරිය මහතාගෙන් දුරකථන ඇමතුම ලැබුණු පසු ගෝඨාභයට කතා කළේ ඔහුට කීවිට ඕනෑ කෙනෙක් නිදහස් කරගත හැකි බව තවත් තැනැත්තකු තමාට පැවසූ බව කීම එවැන්නකි. එවැනි තැන්වලදී බළලා මල්ලෙන් එළියට පැන ඇති බව පෙනෙන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර තිබුණේ මාධ්‍යවේදියා නිදහස් කරගැනීම හොඳ දෙයක් නොවේද යනුවෙනි. එය හොඳ වන්නේ පැහැරගැනීම නරක නිසාය. පැහැරගත් මාධ්‍යවේදියා ඝාතනය කළේ නම් වඩාත් නරකය. එය නැවතුණු එක හොඳය. නරක දෙය නම් එබඳු පැහැරගැනීම් සිදුකිරීමය. එයට ඉඩදී අනුග්‍රහය දැක්වීමය. ඒ සඳහා රාජ්‍ය බලය යොදාගැනීමය.

පලිගැනීම් කියන්නේ මේවාටද?

රහස් පොලිසියත් අධිකරණයත් ක්‍රියාත්මක වී ඇත්තේ පැහැරගැනීම් සිදුකළ උදවිය හරියටම සොයා ගැනීමටය. මේ සියලු විමර්ශන කටයුතු ඒ සඳහාය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයද ඒ සඳහා වැදගත්ය.

එසේ වූවද මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ මේවා දේශපාලන පිළිගැනීම් බවයි. ඒ සඳහා රහස් පොලිසියද යොදාගෙන ඇති බවයි.

පළිගැනීම කියා කියන්නේ කෙනෙකුට, කෙනෙකුගේ පවුලේ උදවියට, නැතහොත් කණ්ඩායමකට සිදුකළ හානියක් වෙනුවෙන් ප්‍රතිචාරයක් දැක්වීමයි. එකට එක කිරීමයි. ඒ අනුව මේ පළිගැනීම කුමක් සඳහා කවුරුන් කරන්නේද යන්න විමසිය යුතුය. එය කරන්නේ කීත් නොයාර් වැනි අය පැහැරගෙන හිරිහැර කිරීමට පළිගැනීමට නම් සිදුවිය යුත්තේ ද ඒකය. පොලිසිය අධිකරණය තියෙන්නේ ඒකටය.

කීත් නොයාර් පැහැරගැනීමට ලක්විය. දරුණු ලෙස පහරකෑමටද ලක්විය. කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් වහාම ක්‍රියාත්මක නොවන්නට ඔහු ඝාතනය වන්නටද ඉඩ තිබිණ. කරූ ජයසූරිය මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කීවිට ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කීවිට කීත් නොයාර් නිදහස් වෙයි. මෙය කීත් නොයාර් පැහැරගත්තේ කාගේ කවුද යන්න ගැන සාක්ෂියක් නොවේද?

කීත් නොයාර් පැහැරගත් දවසේ ජනාධිපතිතුමා තමන්ට කතා කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාටද අමතකව තිබිය හැකිය. මෙයට සම්බන්ධ වූ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාටද අමතක වී තිබිය හැකිය. කෙසේ වෙතත් තිබෙන වාර්තාගත තොරතුරු ඔස්සේ පරීක්ෂණය කෙරෙනවිට මේ මතක නැතිවීමේ රෝගයට බෙහෙත් සොයා ගැනීමට හැකිවිය යුතුය. පොලිසියත් අධිකරණයත් තිබෙන්නේ ඒකටය. ඒවාට පළිගැනීම් කියා කීම වලංගු වන්නේ නැත.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාද මෙලෙසම පැහැරගැනීමට ලක්වූ අයෙකි. එම පැහැරගැනීම සිදුවන මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා සිටියේ මාධ්‍ය සංවිධාන සමඟ සාකච්ඡාවකය. මාධ්‍ය සංවිධාන ගියේ මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන ගර්ජන ගැන කතා කරන්නටය. පෝද්දල ජයන්ත මාධ්‍යවේදියා ඒ මොහොතේම වාගේ නුගේගොඩ ඇඹුල්දෙනියේදී පැහැර ගැනීමට ලක්වූ බවටත්, ඔහු කෙසේ හෝ නිදහස් කරදෙන ලෙසටත් හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ එම සාකච්ඡාව කරන අතරතුරය. කෙසේ හෝ වේවා පෝද්දල ජයන්තට දරුණු ලෙස පහරදී තිබුණද ඔහුගේ ජීවිතය බේරා නිදහස්කොට තිබිණි.

බොහෝ දෙනකුට අමතක දේ

මෙහිදී තවත් යමක් මතක් කළ යුතුය. ඒ මහින්දලාට මෙන්ම තවත් බොහෝ දෙනෙකුට මේවා අමතක නිසාය. එනම් තර්ජනයට ලක්වූ මාධ්‍යවේදීන් විශාල පිරිසක් එම කාලයේ රට හැර විදේශ ගත වූ බවය. කීත් නොයාර් මතක නැති මහින්දලාට රට හැරගිය පිරිස ගැන කොහොමත් මතක නැතැයි කිව හැකිය. කොහේ හරි පන්සලකට ගොස් ඔහු කියන්නේ ‘‘අපේ කාලේ නම් මාධ්‍යයට හොඳටම නිදහස තිබුණා අපේ හාමුදුරුවනේ’’ කියාය. මැරිලා ඉපදිලා කියන්නේ මේ වගේ කතා කියන විටදීය. නැතහොත් මහින්දලා හිතාගෙන ඇත්තේ මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා කියලාය.

ලසන්තලත්, උපාලිලාත් මතක නැද්ද?

පෝද්දල ජයන්ත පැහැරගැනීමට ලක්වන්නේ හා පහරකන්නේ ඔහු අවසාන මොහොත දක්වාම මෙරටේ රැඳී සිට තමන්ගේ ජනමාධ්‍ය මෙහෙවර ඉටුකිරීමට උත්සාහ දැරූ නිසාය.

ලසන්ත වික්‍රමතුංග කියා ජනමාධ්‍යවේදියකු සිටි බවත් ඔහු මහමඟ මරා දැමූ බවත් දන්නේ නැතැයි මහින්දලා කියනු ඇත. උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදියා ගැනත් ඔහුටද පහරදී මරා දමන්න උත්සාහ කළ බවත් අමතක බව මහින්දලා කියනු නොඅනුමානය.

මහින්ද පාලනයේ මර්දනය ඉදිරියේ ඇතැම් ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන කළේ හීලෑවී එම පාලනයට සේවය කිරීමයි. එම තත්ත්වයට පත්වූ ඇතැම් මාධ්‍යවේදීන් මහින්ද පාලනය කියන දෙයක් කරන වහලුන් තත්ත්වයට පත්වු බවද දැකගන්නට තිබිණි.

ඒ අතර රටේ රැඳී සිටිමින් ස්වාධීන මාධ්‍ය භාවිතයක යෙදෙන්නට උත්සාහ කළ පිරිස සීමිතය. මෙම ලියුම්කරු එලෙස ක්‍රියා කළේය. මහින්ද පාලනය කළේ මගේ තොරතුරු සොයන්නට පොලිස් කණ්ඩායමක් අනුරාධපුර‍ෙය් උපන් ගමට පිටත්කර හැරීමයි. එම සිදුවීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළවිට එහි පොලිසිය කීවේ මා විදේශයක තනතුරකට පත්කිරීමට පෙර තොරතුරු පරීක්ෂා කළ බවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ පොලිසියට ඉල්ලුම් කළ අයකු තමා ගැන තොරතුරු දන්නා තැනැත්තකු ලෙස මෙම ලියුම්කරුගේ නම් සඳහන් කොට ඇති බවයි. මේවා පට්ටපල් බොරුය. කිසිදු විදේශ සේවයකට ලියුම්කරු ඉල්ලුම්කොට නොතිබුණි. එමෙන්ම වසර තිස්පහකට පෙර ගමෙන් පිටවූ ලියුම්කරු හඳුනන වයසේ කිසිවකු පොලිසියට බැඳෙන වයසේ නොවන බව සහතිකය.

පොලිසිය කීවේ බොරුවකි. තොරතුරු නොසෙවූ බව කීවේද නැත. ඒ කළේ තර්ජනයක් බව තේරුම් ගැනීම අපහසු නැත. මාධ්‍යවේදීන්ට අනියමින් තර්ජන කිරීමට රාජපක්ෂලා පොලිසිය යොදාගත්තේ එහෙමය. මෙහෙම තක්කඩි වැඩ තමන් කළ බව මහින්ද රාජපක්ෂ මහතාට හෝ එම කල්ලියේ උදවියට හෝ දැන් මතක නැතිවී තිබෙනවා විය හැකිය.

බලය අහිමි වූවත් රාජපක්ෂ කල්ලියේ උදවිය ජනමාධ්‍ය ගැන ක්‍රියාකරන ආකාරය වෙනස් නොවන බව මෑතක නිදසුනකින් පෙනී ගියේය. රාජපක්ෂ පාලනය නැවත ගෙන එන්නට ලෙඩුන් මරා දමමින් වැඩ වර්ජන කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම එහි එක් අවස්ථාවකි. ඔහු කීවේ දේශද්‍රෝහී මාධ්‍යවේදී ලැයිස්තුවක් හදන බවයි. ඒ කියන්නේ එම පිරිසට එරෙහිව මැර බලය මුදාහැරීමට සූදානම් බවයි. මේ කීවේද “පරිස්සම් වෙයල්ලා” යන්නයි. තමන්ට ආණ්ඩු බලයක් නැතත් මහින්දවාදීන්ගේ හැසිරීම එබඳුය.

රාජපක්ෂ පාලනයෙන් පීඩාවට පත්වූයේ මාධ්‍යවේදීන් පමණක් නොවේ. සමස්ත ජනතාවම එම පීඩාවට ලක්ව සිටියහ. නිදහස් වෙළෙඳ කලාපයේ උද්ඝෝෂණයේ යෙදුණු කම්කරුවන්ට, හලාවත ධීවරයන්ට, රතුපස්වල ජනතාවට රාජපක්ෂ පාලනය පිළිතුරු දුන්නේ වෙඩි උණ්ඩවලිනි. ඒ මරා දැමූ මිනිසුන් ගැන මහින්දලාට කිසිම මතකයක් නැතත් මෙරට ජනතාවට ඒවා අමතක නැත. මහින්දලා කතා කරන්නේ ජනතාවට සියල්ල අමතක යැයි සිතාගෙනය. එසේ නැත්නම් මේ උත්සාහය මහජනයාට අමතක කරවන්නටය.

රජයේ නොයෙකුත් ව්‍යාපෘතිවලින් කෝටි ප්‍රකෝටි ගණනින් කොමිස් ගත්තේද වෙනත් ආකාරවලින් ගසා කෑවේද රාජපක්ෂලා හා ඔවුන්ගේ හෙන්චයියන් විසිනි. ජනතා මුදල් ගසාකෑම රජයේ ඉහළම තැන සිට ප්‍රාදේශීය සභාව දක්වා සිදුවුණේ දේශපාලන අනුග්‍රහය යටතේය. මේවාද රාජපක්ෂලාට අමතක වූවද රටේ ජනතාවට අමතක නැත.

නාමල් රාජපක්ෂ මහතා ඊයේ පෙරේදා කියා තිබුණේ මේ ආණ්ඩුව හැම එකටම බදු ගහනවා කියාය. සාමාන්‍ය ජනයා පරිභෝජනය කරන සීනි, කිරිපිටි, පරිප්පු, හාල්මැස්සන් ආදී සියල්ලට දරුණු ලෙස බදු ගසා තිබුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ බව ඔහුටද අමතක වෙලාය. මේ රජය එම බදු විශාල ලෙස අඩු කළේය. ඒ වෙනුවට දැන් බදු ගහන්නේ වැඩියෙන් හම්බකරන උදවියටයි. දොස්තරලා කෑ ගහන්නේ මාසයකට තුන්ලක්ෂ පනස් දහසකට වඩා හම්බකරන උදවියට සියයට විසිහතරක බදු පනවනවාටය. මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය මසකට තබා අවුරුද්දකටවත් එතරම් ආදායම් ලබන්නේ නැත.

දේශපාලන පළිගැනීම්වලට අධිකරණය, පොලිසිය යොදාගන්නවා කියා මහින්ද කියන්නේ තමා එදා කළ දේ මතක් වෙලා විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වන සං‍ශෝධනය ගෙනවිත් පොලිසිය අධිකරණය රාජ්‍ය සේවය ආදී සියල්ල දේශපාලනයෙන් යටපත් කළේ මහින්දය. ස්වාධීන කොමිසන් සභා වෙනුවට එදා කළේ ජනාධිපති පත්කරන කොමිසන් ක්‍රමයක් හඳුන්වාදීමයි.

ජනතාව මැරිලා ඉපදුණේ නෑ

දැන් මේ සියල්ල වෙනස් බව මහින්දට මතක නැත. දැන් පොලිසිය පාලනය වන්නේ ස්වාධීන පොලිස් කොමිසමකිනි. අධිකරණයද ස්වාධීනය. රාජ්‍ය සේවයද ස්වාධීනය. අනෙකුත් සියලු අංශද එසේමය. අරලියගහ මන්දිරයෙන් හෝ වෙනත් මන්දිරයකින් පොලිසියට අධිකරණයට දුරකථන ඇමතුම් ලැබන්නේ නැත. ඒ සියල්ල වෙනස් වෙලාය.

රාජපක්ෂ පාලනය යටතේ දූෂණ ක්‍රියාවල යෙදුණු උදවිය තවමත් ආරක්ෂා වන්නේ අධිකරණයට ඇඟිලි ගැහීමක් නැති නිසාය. නඩු කල් දමා ගනිමින් අත්අඩංගුවට ගැනීම් නවතා ගනිමින් කල්ගන්නේ යළිත් තමන්ට වාරයක් ලැබෙයි කියා හිතාගෙන විය හැකිය. ජනතාව කියන්නේ මේ හොරුන්ට දඬුවම් දුන්නේ නැත කියාය. හොරුන් කියන්න හදන්නෙ මේ සියල්ල පළිගැනීම් බවය.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දැන් වැඩ කරන්නේ රාජපක්ෂ පාලනයක් මේ රටේ තිබුණා කියලාවත් මතක නැති ගානටය. මෙරට කොල්ලකෑ හැටි ජනතාව භීෂණයෙන් යටපත් කළ හැටි මතක නැති ගානටය ඔවුන් උත්සාහ කරන්නේ එහෙම කිසි දෙයක් සිදුවූයේ නැති බව කියන්නටය. තමන්ට මතක නැතැයි කියන්නේ ජනතාවට අමතක කරවන්න හිතාගෙන විය හැකිය. අපේ කාලේ ගැන බොරු ගොතා කියන්නේද ඒකටය.

කෙසේ වෙතත් අපට කියන්නට තිබෙන්නේ මහින්දත් ඔහුගේ නඩයත් මැරිලා ඉපදිලා ලෙස හැසිරුණද මෙරට ජනතාව නම් මැරිලා ඉපදිලා නැති බවයි.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *