විශ්වවිද්‍යාල උප සංස්කෘතිය – සම්පත් අමරසිංහ.

පසුගිය දිනවල බෙහෙවින් කතාබහට කල් වූ කරුණක් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාව අසල දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක් විසින් පුද්ගලයකුට පහර දීමය. එසේ පහර කෑමට ලක් වූ තැනැත්තා වෛද්‍යවරයකු බවද කියැවිණි. පහර දීමට හේතුව වශයෙන් කියැවුණේ එකී තැනැත්තා විශ්වවිද්‍යාල උප සංස්කෘතියට නොගැලපෙන ඇඳුමකින් එනම් කොට කලිසමකින් සැරසී සිටීමය.

මෙකී උපසංස්කෘතිය පිළිබඳ ඊටත් වඩා බරපතල කතාවක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙළිකරව් කර තිබුණි. ඉන් කියැවුණේ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අංශය කරන ලද විමර්ශනයකින් හෙළිවී ඇති පරිදි, විශ්වවිද්‍යාල නවක වදය හේතුවෙන් මේ වන විට සිසු සිසුවියන් 14 දෙනෙකු මිය ගොස් තිබේ. එපමණක් නොවේ, 2015/2016 සිසුන් 1352ක් හා 2016/2017 සිසුන් 637ක් ලියාපදිංචියෙන් පසුව නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතිබවද එම විමර්ශනයෙන් හෙළිවී තිබේ.

කොට කලිසම විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ අංගයක් නොවන්නා සේම නවකවදය යනු විශ්වවිද්‍යාල උප සංස්කෘතියට නැතුවම බැරි අංගයක් වේ. මීට පෙර වතාවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වළෙහි නාට්‍ය සංන්දර්ශනයකට ප්‍රහාරයක් එල්ල වූයේ එම නාට්‍යයේ සිපගැනීමේ දර්ශනයක් තිබුණා වැනි හේතුවක් මුල්කර ගෙනය.

මෙකී සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙරට විශ්වවිද්‍යාල යනු කොතරම් පසුගාමී ආයතන පද්ධතියක් ද යන්නයි. විශ්වවිද්‍යාල යනු විශ්වීය දැනුම ලබාදෙන ස්ථානයක් යනුවෙන් අර්ථකථනයක් තිබේ. නමුත් මෙරට විශ්වවිද්‍යාල ප්‍රජාව දෙස බලන කල ඔවුන් විශ්වීය දැනුමකට නිරාවරණය වූ පිරිසක්යැයි පිළිගැනීමට සාධක කිසිවක් තිබේද? දිග කලිසම අඳින අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කොට කලිසම අඳින තැනැත්තා විශ්වවිද්‍යාල උප සංස්කෘතියට නොගැලපෙන්නකු ලෙස සලකා ඔහුට ප්‍රහාර එල්ල කරයි. එය විශ්වීය චින්තනයක් නොවේ. මුඩුම මිලේච්ඡ අන්තවාදී කමක් පමණි. හෙට අනිද්දා වන විට ඔවුන් අමුඩය සිය උප සංස්කෘතියේ ජාතික ඇඳුම ලෙස තෝරාගත්තද පුදුම විය යුතු නැත.

වධකාගාර වැනි සේෆ් හවුස් කුලියට ගනිමින් නවක සිසුනට වද දෙන්නේ නම් ඔවුන්ගේ විශ්වීය දැනුම කුමක්ද? මානව දයාවෙන් යුතු විශ්වීය දැනුමකින් සන්නද්ධ පිරිසක් නම් කරනු ඇත්තේ අලුතින් විශ්වවිද්‍යාලයට එන තම බාල සහෝදර සහෝදරියන් වෙනුවෙන් මුදල් ගෙවා වධකාගාර කුලියට ගැනීම නොවේ. ඔවුනට උපකාර කිරීමයි. ඔවුන්ගේ දුක සැප බෙදාහදාගෙන උපදෙස් මගපෙන්වීම් ලබා දීමයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ දිනවල ඇති උද්ඝෝෂණයක ඉල්ලීම වන්නේ 80% පැමිණීම නැති සිසුනට විභාගවලට පෙනි සිටීමට අවසර දෙන ලෙසය. වඩාත්ම බරපතල කාරණය වන්නේ එකී සිසුන් ඉංජිනේරු විද්‍යාව හදාරනන් වීමයි. ඉංජිනේරු වැනි විද්‍යාත්මක වූද ප්‍රායෝගික වූද පාඨමාලාවක දේශනවලට සහභාගි නොවූ අයට විභාගයට පෙනි සිටීමට අවසර ලැබෙන්නේ නම් එම පාඨමාලාවේ වටිනාකමට අත්වන ඉරණම කුමක් ද? එකී උපාධියට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබෙනු ඇතිද? දැන් සිදුවී ඇත්තේ දේශනවලට සහභාගි නොවූ පිරිසකට විභාගයට පෙනි සිටින්නට අවසර දෙන්නැයි ඉල්ලමින් විශ්වවිද්‍යාල පරිපාලනයට බලපෑම් කරන සිසු පිරිසක් විසින් අනෙකුත් සිසුන්ගේ ද විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව කඩාකප්පල් කිරීමයි.

අනාගතයේ මෙරටෙහි පරිපාලන සහ වෙනත් වගකිම් දරනු ඇත්තේ විශ්වවිද්‍යාලයේ මැරයන් වශයෙන් හැසිරෙන මේ පිරිස විසින් වීම නොඅනුමානය. පසුගිය දිනක දරුවකු කැස්සාය කියා මවකට සහ දරුවකුට පහර දුන් වෛද්‍යවරිය යනු මෙකි පිරිසේ සාමාජිකාවකි. ආනාගතයේ පමණක් නොව වර්තමානයේත් එවැන්නන්ගෙන් සමාජයට මහත් අලාභයක් සිදුවෙමින් පවතින බවට සැකයක් නොමැති වුවත් සියල්ල ඒ ආකාරයෙන් මතුපිටට ‍පැමිණෙන්නේ නැත. නැතහොත් අර්බුදයේ මූලය කුමක් ද යන්න පිළිබඳ ‍පොද සමාජයට තවමත් වැටහීමක් නැත.

විශ්වවිද්‍යාලවල මේ වන විට අධ්‍යාපනයට වැඩියෙන් ඇත්තේ උද්ඝෝෂණයි. සයිටම් ප්‍රශ්නයට කළ උද්ඝෝෂණ හේතුවෙන් පසුගිය වසරවල විශ්වවිද්‍යාල වලින් වෛද්‍යවරුන් පිටවිම පසුපසට ගොස් තිබේ. ද්‍යෛවරුන් ලෙස සමාජගත වුවද ඔවුන් ඉගෙනුමට වඩා කර ඇත්තේ උද්ඝෝෂණ පිකටින් සහ උපවාස බැවින් ඔවුන් ගේ දැනුම සහ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මතුවීම නොවැලැක්විය හැකිය. හෙට දවසේ ජනතාවට ප්‍රතිකාර ලබා ගන්නට සිදු වනු ඇත්තේ ඔවුන් වෙතිනි.

අප පිළිගත්තා වුවද නැති වුවද කැමති වුවද අකමැති වුවද මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය හරහා උපාධිධාරින් රැකියා වෙළඳපළටත් සමාජයටත් එක් වන වටපිටාවක් ඇති වී තිබේ. එවැනි ඇතැම් ජාත්‍යන්තර උපාධියක් මෙරට සිටම අඩු වියදමකින් සම්පූර්ණ කිරීමේ හැකියාවද තිබේ. අද උද්ඝෝෂණ පිකටින් උපවාස කරමින් කාලය කා දමන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හෙට රැකියා වෙළද පළේදීත් පොදු සමාජයේදීත් තරග කිරීමට සිදුවනු ඇත්තේ මෙකී විදේශ උපාධිලාභි පිරිස සමඟය. ඔවුන් භාෂා දැනුමින් ද විෂය දැනුමින් ද මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉක්මවා සිටිනවාට ද සැකයක් නැත. එසේ නම් එවුන් හමුවේ මෙරට සරසවි ශිෂ්‍යයා පත්වනු ඇති ඉරණම කුමක් ද යන්න අමුතුවෙන් කිවයුතු වන්නේ ද නැත.

මෙරට පසු ගාමී දේශපාලනයේ රූකඩ බවට පත්ව ඇති ශිෂ්‍ය ව්‍යාපාරය බුද්ධිමත් නම් කළ යුතු වන්නේ සයිටම් නැවැත්වීම හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මුට්ටිය ඇල්ලීමට හෝ තම අධ්‍යයන කාලය කඩාකප්පල් කර ගැනීම නොවේ. මෙරට විශ්වවිද්‍යාලවල පාඨමාලා යාවත්කාලීන කර ගැනීම, පහසුකම් දියුණුකර ගැනීම සම්පත් වැඩිදියුණු කර ගැනීම වැනි කරුණු වෙනුවෙන් පෙළගැසීමය. එහෙත් එවැන්නක් සිදු වන බවක් පෙනෙන්නට නැත. දැන් සිදුවන්නේ විශ්වවිද්‍යාලයටත් නොයා උපාධි ලබාගන්නට උත්සාහ කිරීමයි. 80% නැති අයට විභාග ලියන්නට දියව් කියන්නේ එහෙයිනි.

බුද්ධිමත් ජනතාවක් රටේ සිටී නම් 80% නැතිව උපාධි ඉල්ලා සිටින පේරාදෙණියේ උප සංස්කෘතියට විරුද්ධව ජනතාව විදී බසිනු ඇත. දැනුමක් නැතිව උපාධියගත්ත අයගෙන් කෙළවෙනු ඇත්තේ රටට බැවිනි.

අනෙක උප සංස්කෘතියකට නොගැලපෙන කොට කලිසම නිසා ගුටි කෑ තම සහෝදර වෘත්තික වෛද්‍යවරයා සහ ඔහුට පහර දුන් තම සටන් සගයින් වන සරසවි සිසුන් අරභයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හැසිරීමය. වෙනත් තැනක දී එකි පහර දිම සිදුවූයේ නම් වෛද්‍ය සංගමය කෙසේ හැසිරෙනු ඇත්ද? දැන් ඔවුන්ට රැවුළත් කැඳත් දෙකම අවශ්‍යය. සයිටම් වැනි පුහු අරගල වලට දක්කාගෙන යන්නට නම් රජයේ වෛද්‍යවරුන්ටත් උප සංස්කෘතිය රකින ඔලමොට්ටල පිරිසක් විශ්වවිද්‍යාලය තුළ සිටිය යුතුය.

සම්පත් අමරසිංහ.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *