පළමු විශේෂ මහාධිකරණය විවෘත කෙරේ – පළමු නඩුව ගාමිණී සෙනරත්ගේ

රජයේ මුදල් අවභාවිත කරමින් මහා පරිමාණ වංචා දූෂණ සිදුකරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව පැමිණිලි විභාග කෙරෙන ප්‍රථම ස්ථිර ත්‍රීපුද්ගල මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය ඊයේ (21) පෙරවරුවේ විවෘත කළාය.

කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීති විද්‍යාලයට යාබද ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ ‍ස්ථිර ත්‍රීපුද්ගල මහාධීකරණයේ නාම පුවරුව නිරාවරණය කළ ඇමැතිවරිය ත්‍රීපුද්ගල මහාධිකරණ ගොඩනැගිල්ලේ බාරකාරත්වය ත්‍රිපුද්ගල මහාධිකරණ රෙජිස්ට්‍රාර් උපුල් නන්දන මහතාට ලිපි ලේඛනසහිතව පැවරීම සිදු කළාය.

මෙම විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් ස්ථාපිත කෙරිණි. අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 මැයි 9 දින වැඩි ඡන්ද 67කින් සම්මත විය.

ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමේ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් සංශෝධන පාර්ලිමේන්තු විවාදය 2018 මාර්තු 06 දින සිදුකිරීමට ‍නියමිතව තිබූ නමුත් ඒකාබද්ධ විපක්ෂය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය‍ට පෙත්සමක් ඉදිරිපත් කළ හෙයින් මෙසේ මැයි මස 9 දින දක්වා විවාදය කල් ගියේය.

පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව සංශෝධනය කරමින් වැඩි ඡන්ද 67කින් සම්මත කළ අතර කතානායක කරු ජයසූරිය මහතා මැයි මස 18 දින අදාළ පනතට අත්සන් කරමින් නීතිගත කළේය. මහාපරිමාණ මුල්‍ය වංචා විභාග කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සපුරමින් අධිකරණ අමාත්‍යවරිය විවෘත කළ මෙම මහාධීකරණය සඳහා ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්ද අගවිනිසුරුවරයා විසින් පත්කැර ඇත.

මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල විභාග කරන ප්‍රථම නඩුවේ අධිචෝදනා පත්‍ර අදාළ සැකකරුවන්ට ලබන 24 දින බාරදීමට නියමිතය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්, හා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ ඇතුළු පුද්ගලයන් මෙම ප්‍රථම නඩුවේ ‍ සැකකරුවන් ලෙස නම්කර ඇත

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *