නොදී ගන්නට බැරි ය! – නිශාන්ත කමලදාස

ඇතැම් යන්ත්‍ර පණ ගැන්වූවාට පණ ගැන්වෙන්නේ නැත. සද්ද බද්ද කර මොහොතකින් නවතින්නේ ය. ඒවා පණ ගැන්වීමට නම් ලිහිසි තෙල් යොදා නො කැරකැවෙන තැන් කරකැවිය යුතු ය. ඇතැම් මිනිසුන් ද ඒ වගේ ය. ඔවුන්ට අයත් රාජකාරියක් කරවා ගැනීම සඳහා යන කෙනකුට බොහෝ විට ලැබෙන්නේ රැවුම් ගෙරවුම් ය. අව කැපෙන කතා ය. නො කෙරෙන වෙදකමක හෝඩුවාව ය. දැන් ක්‍රියාත්මක විය යුතු ය. ඒ ලිහිසි තෙල් දමා සකස් කරවා ගැනීමට ය. ඒ කියන්නේ අතට යමක් මිටි කළ යුතු බව ය. එය අතට වීම නිසා අත්ලසක් අල්ලසක් වූවාට දැන් අතට ම දීම අවශ්‍ය නැත.

කෙනෙක් වරක් ශිෂ්‍යත්වයක් සඳහා වසර දෙකකට විදෙස් ගත විය. එම ශිෂ්‍යත්ව ප්‍රදානය තුළ සිය පවුල සමග කැටුව යෑමට ඔහුට අවසර ලැබුණා පමණක් නොව ඒ සඳහා ශිෂ්‍යත්වය ප්‍රදානය කළ ඕස්ට්‍රේලියානු රජයෙන් වෙනම වියදම් දීමනාවක් ද ලැබුණි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔහු සිය පවුල ද කැටුව යෑමට තිරණය කළේ ය. ඔහුගේ පුතු අධ්‍යාපනය ලබමින් සිටියේ ජාතික පාසලක තුන්වෙනි පන්තියේ ය. ඉදින් නැවත පැමිණෙන තෙක් පුතු සඳහා නිවාඩු ලබා ගැනීමේ අවසරයක් ද ඔහු අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත්තේ ය. සියලු කටයුතු නිමවා වසර දෙක අවසානයේ දිවයිනට පැමිණ ඔහු ගියේ පුතු නැවත පාසලට ඇතුළු කරනු පිණිස ය. අදාළ පන්ති භාර ගුරුතුමිය හමු වූ විට දැන් වූයේ පුතුගේ නම දිගින් දිගට පැමිණිමේ ලේඛනයට ඇතුළත් කොට තිබූ බවත් විදුහල්පතිට දන්වා පුතු පන්තියට ගෙනත් බාර දෙන ලෙසත් ය. එහෙත් විදුහල්පති හමු වූ විට ඔහු කීවේ පාසලේ ඉඩ නොමැති නිසා දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බව ය. මේ පාත් වුණු හෙනහුරා ගැන වගේ වගක් නැතිව දරුවාගේ පියා විදුහල්පතිට කීවේ තමන් පුතු කැටුව ගියේ අමාත්‍යංශයේ අවසරය ඇතුව බවත් ඒ නිසා ම පැමිණිලි ලේඛනයේ ද පුතුගේ නම සඳහන් වන බවත් ඒ නිසා ඉඩ නැතැයි යන කතාව විදුහල්පතිතුමා කියන්නට ඇත්තේ ඒ ගැන නො දැනුවත්ව බවත් ය. විදුහල්පති පැමිණීමේ ලේඛනය ගෙන්වා ගත් අතර පියා සහ පුතු ඉදිරියේ ම නම කපා දමා දැන් එවැන්නක් නැතැයි කිවේ ය. මේ සිද්ධීය දෙස බලන ඕනෑම කෙනකුට මේ විදුහල්පතිගේ මේ ක්‍රියාව අල්ලසක් ලබා ගැනීමට මග පාදා ගැනීමක් බව තේරුම් යනු ඇත.

නිමිත්තක් පාදා ගැනීම

සාමාන්‍යයෙන් මිනිසුන් අල්ලස් ගන්නේ නීතියට පිටින් යමක් කර දීමට ය. උදාහරණයක් ලෙස රෝහලේ මුරකාරයා අල්ලසක් ගන්නේ රෝගීන් බැලීමේ වෙලාවට පිටින් පැමිණෙන කෙනෙකුගෙනි. මේ විදුහල්පතිට මුරකාර පදවිය බාර දුන්නේ නම් ඔහු නියමිත වෙලාව තුළ පැමිණෙන මිනිසුන්ගෙන් ද අල්ලස් ගැනීමට කටයුතු කරනවා ඇත. අල්ලස් ගැනීමේ රස වැටුණු පුද්ගලයාට නීතිය අනුව කළ යුතු රාජකාරියකට පවා අල්ලසක් ගැනීමේ අපුලක් නැත.

මේ සාහසික ක්‍රියාවෙන් කෝපයට පත් වුව ද කෝපය සගවාගෙන පියා ගියේ අධ්‍යාපන අමාත්‍යංශයට ය. ඒ අමාත්‍යංශයේ ලේකම්තුමා හමුවන්නට ය. ලේකම් ලා කෙලින්ම හමුවන්නට බැරි ය. ඒ සඳහා පළමුව ලේකම්ගේ ලේකම් මුණ ගැසිය යුතු ය. එතුමා කියා සිටියේ විදුහල්පති ඉඩ නැතැයි කියනවා නම් අමාත්‍යංශයට ඊට ඉහළින් යා නොහැකි බව ය. එසේ නම් අමාත්‍යංශය දරුවාට නිවාඩු දුන්නේ අහවල් දේකට දැයි ඇසූ විට ඔහු නිරුත්තර විය. ලේකම්තුමාට යොමු කරන තුරු රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ මේ පියාගෙන් ලෙහෙසියෙන් ගැලවිය නෙහැකි බව තේරුම් ගිය විට ය. ඊළගට ඔහු ලිපියත් රැගෙන ලේකම්තුමා හමුවන්නට ගියේ ය. ස්වල්ප වේලාවකින් කැඳවීමක් ලැබුණි. ලේකම් තුමා කීවේ විදුහල්පති ඉඩ නැතැයි කියනවා නම් කළ හැකි දේ අල්ප බැවින් වෙනත් විකල්ප පාසලක් ලබා දීමට කටයුතු කළ හැකි බව ය.

මේ නොකියා කියන්නේ කුමක් ද? නීතියේ පිටිවහලක් පියාට හෝ දරුවාට නැති බව ය. හැකි නම් විදුහල්පති කැමති කරවා ගන්නා ලෙස ය. නොකියා කියන්නේ අල්ලසක් දෙන ලෙස ය.

මෙයින් පැහදිලි වන පරිදි අල්ලස නැති කළ නොහැක්කේ අල්ලස් ගන්නා නිලධාරීන් නිසා පමණක් නොවේ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබාන මහ උන් ද නිසා ය.

මේ පැරණි කතාව මතක් වූයේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව විසින් මෑතක දී පවත්වන්නට යෙදුණු විද්වත් කතිකාවට සවන් දීමේ දී ය.

ජනාගතවන මතවාද

මේ කතිකාවට සහභාගී වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් කීවේ අල්ලස අපේ ජාන වලට ඇතුළු වී ඇති සංස්කෘතිය විසින් පෝෂණය කරන ලද කාරණයක් බව ය.

මෙහි මුල් තිබෙන්නේ අපේ ගෙවල් දොරවල්වල ය. ඇතැම් තැනක දරුවකුට බත් කවන්නේ කෑවොත් අහවල් දේ දෙන්නේ ය යන පොරොන්දුව පිට ය. ඒ කියන්නේ බත් කන්නත් අල්ලස් ලබා ගත යුතු ය යන්නට දරුවන් අප විසින් පුරුදු පුහුණු කරන බව ය.

අල්ලසට ඊළග පෝෂණය ලැබෙන්නේ පන්සලෙනි. ඒ දානෙ දුන්නහම මහත් ඵල මහානිසංස ලැබෙන්නේ ය යන්න නිරන්තරයෙන් මතක් කරමිනි. අනිත් සියල්ල අභිබවා එය ම කීමෙනි. ඒ කියන්නේ අල්ලස් දීමෙන් නොනැවතී කිසිදු හිරිකිතයකින් තොරව අල්ලස් ඉල්ලීමට ද රටට හා ජනයාට විශේෂයෙන් දරුවන්ට ආදර්ශක් සැපයීමට සිටින ආගමික පූජකයන් කටයුතු කරන බව ය.

ඊළග දිරිය ලැබෙන්නේ පාසලෙනි. පළමුව විදුහල්පති හරහා ය. ඒ දරුවා පාසලට ඇතුළත් කිරීමට වරදාන ඉල්ලා සිටීමෙනි. දෙවනුව ගුරුවර ගුරුවරියන් හරහා ය. ඒ දරුවන්ගේ අම්මලාගෙන් තෑගි බාර ගනිමින් හා ඒ තෑගිවල අඩු පාඩු සම්බන්ධයෙන් දෙස්දෙවොල් දරුවාගේ පිටින් යැවීම හරහා තෑග්ග අල්ලසක් බවට පත් කිරීම හරහා ය.

මෙසේ දරුවන්ට කුඩා කළ සිට අල්ලස් ගැනීමටත් දීමටත් හුරු පුරුදු කර ලොකු වූ පසු උන් වෙනත් විදිහකට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ ය.

අල්ලස කුමක් ද? එහි ඵල විපාක මොනවා ද? එය ගන්නා තැනැත්තාට එය දෙන තැනැත්තාට සිදුවන පසු විපාක (මේ පින්පව් සම්බන්ධයෙන් නොවේ. ඊට අමතරව ඇති විය හැකි දෑ සම්බන්ධයෙනි.) මොනවා ද? රටට සිදු වන ඵල විපාක මොනවා ද? සෙසු මිනිසුන්ට ආයතනවලට සිදුවන ඵල විපාක මොනවා ද? මේ එකක් පිළිබඳවවත් ප්‍රමාණවත් සංවාදයක් රටේ ඇති නොවේ.

ඒ නිසා ම මැතිවරණ ව්‍යාපාරයකට දෙනු ලබන අනුග්‍රහයක් සම්බන්ධයෙන් අප කෙසේ ක්‍රියාකළ යුතු දැයි යන්න පවා අද වන විට විවාදිත කරුණක් වී තිබේ. මේ ලිපියේ අදහස ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇති කිරිමට මුල පිරීම ය.

සන්තෝසම අල්ලසක් ද?

සන්තෝසමක් යනු අල්ලසක් නොවේ. සන්තෝසම වැඩක් ඉවර වුණාම ඒ වැඩය හොඳින් ඉවර කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරනු සඳහා දෙන තෑග්ගකි. අල්ලස එසේ නොවේ. වැඩේ කර ගැනීම සඳහා පෙළඹවීමට දෙන යමකි. මේ දෙකේ වෙනසක් තිබේ. එකක් දෙන්නේ ප්‍රතිඵලයට මුලින් ය. අනෙක දෙන්නේ ප්‍රතිඵලය ලද පසුව ය. එහෙත් සන්තෝසම් ලබා පුරුදු පුහුණු වූ කෙනකු ඊළගට කරන්නේ එය අයිතියක් ලෙස ඉල්ලා සිටිම ය. ඒ සමහරු නොදෙන නිසා ය. ඒ නිසා ම එය පූර්ව කොන්දේසියක් කර ගැනීම ය. සන්තෝසම කලින් ඉල්ලා සිටීම ය. එය අල්ලසක් ලෙස ලබා ගැනීම ය.

අප වැඩක් අවසානයේ දෙන යමක් සන්තෝසමක් නොවි අල්ලසක් වීමේ ඉඩක් තිබේ. ඒ ඊළග වතාවේ අදාළ පුද්ගලයා සිය සේවාව සපයනු ඇත්තේ කලින් දුන් සන්තෝසමේ ප්‍රමාණය අනුව වීමේ ඉඩ තිබීම ය. නිරන්තරයෙන් සේවාව ලබා ගන්නා කෙනකුට පිරිනමන සන්තෝසමක් ඒ නිසා සන්තෝසමක් වී නතර වෙන්නේ නැත. එය අල්ලසක් ම වන්නේ ය.

වෙනත් ලෙසකින් කියනවා නම් සන්තෝසමක් දීමෙන් අප කරන්නේ මිනිසකු අල්ලසකට යොමු කිරිම ය. ඒ නිසා අවංක මිනිසකුට වුව සන්තෝසමක් ලෙස අරුත් ගන්වා තෑගි දීමෙන් නොදැනුවත්ව වුව ද අප කරන්නේ අපරාධයකි.

ප්‍රශ්නය නම් මෙයින් දැන් ගැලවිය නොහැකි වීම ය. යමක් පුරුදු කළ පසු ගැලවීම අමාරු ය. මා කෙස්වැටිය කපා ගැනීමෙන් පසු බාබර් උන්නැහේට සන්තෝසමක් දෙන්නේ නම් දැන් හදිසියේ එයින් නිදහස් වීමට මට නොහැකි ය. සන්තෝසම දිගට ම ලබමින් සිටි ඔහු මගේ මේ හදිසි වෙනස කෙසේ තේරුම් ගනු ඇති ද? ඔහුගේ ඊළග දින ප්‍රතිචාරය කුමක් විය හැකි ද? මට පුරුදු බාබර් අහිමි වී යා හැකි ද?

බේරන්න බැරි තරමට පැතිරී ගොසින්

අල්ලස සුළුපටු ව්‍යාධියක් නොවේ. බෝවෙන රෝගයකි. වසංගතයක් මෙන් පැතිර යා හැකි එකකි. එපමණක් නොවේ. දිනෙන් දින දරුණු විය හැකි ව්‍යාධියකි. අප රට සම්බන්ධයෙන් නම් එය ඔඩු දුවා ඉවර ය. පැතිර අවසන් ය.

අල්ලස් හා දූෂණ කොමිසමට පමණක් මේ රෝගියා මුදාගත නොහැකි තරමට එය පැතිරී අවසන් ය. විද්වත් කතිකාවක් පැවැත්වීමෙන් ම පෙනි යන්නේ එය තමන්ට තනියම නොහැකි බව කොමිසම ද අවබෝධ කර ගෙන ඇති බව ය. එය එසේ වන්නේ මන් ද?

එක් හේතුවක් නම් අල්ලස් ගන්නට පුරුදු වී ඇති කෙනෙකුගෙන් එසේ නොකර වැඩක් කර ගැනීමට නොහැකි වීම ය. වැඩේ කර ගැනීමට ද අවශ්‍ය නම් වෙන මගකුත් නැතිනම් ඕනෑම කෙනකු අල්ලසක් හෝ දී වැඩේ කර ගැනීමට ඉදිරිපත් වීම ගැන අපට විරුද්ධ විය නොහැකි ය. එක ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ඉතිරි වන්නේ කෙනකුට අල්ලසක් දෙන තාක් වැඩේ කල් දැමිය හැකි වාතාවරණයක් සකස් වූයේ කෙසේ ද යන්න ය. එකක් නම් මෙසේ අල්ලස් ගන්නා බොහෝ අය ඉහළට ඒ අල්ලසෙන් කොටසක් ගෙවා තමන්ට අවශ්‍ය වාතාවරණය පාදා ගන්නා බව ය. එය ඇතැම් විට ආයතනයේ ම ප්‍රධානියකුට විය හැකි ය. නැතිනම් දේශපාලනඥයකුට විය හැකි ය. ඒත් නැතිනම් වෙනත් බල මූලාශ්‍රයකට විය හැකි ය. අනෙක නම් පහසුවෙන් අල්ලසක් දී කර ගත හැකි වැඩකට අභියෝග කිරීමේ කට්ට කෑමට කිසිවකු ඉදිරිපත් නොවීම ය.

දෙවනි හේතුව නම් හැම දෙනකුම අල්ලස් ගන්නා තැනක අල්ලස් නොගන්නා කෙනකුට පැවතිය නොහැකි වීම ය. පළමුව, ලොක්කාට හිමි කොටස දෙන්නට ඔහුට ඇයට ක්‍රමයක් නොමැති විමෙන් ලොක්කා අමනාපයට පත් වීම ය. ඒ නිසා ම ඔහුගේ අඩම්තේට්ටම්වලට නතු වීමට සිදු වීම ය. ඇතැම් විටක ඒ හේතුව නිසා ම සයිබීරීයාවකට මාරු කර යැවිමට ඉඩ තිබීම ය. දෙවනුව, අල්ලස් ගන්නා අයට ඔහු හෝ ඇය අභියෝගයක් වීම ය. කරදරයක් වීම ය. ඇණයක් වීම ය. ඔවුන් කල්පනා කරනු ඇත්තේ මේ තැනැත්තා නිසා තමන්ගේ “ව්‍යාපාරය“ කරගෙන යෑමේ ඉඩ අඩු වෙතැයි කියා ය. එහෙම කීප දෙනෙක් ම සිටින විටක මිනිසුන් එවැනි අය ම සොයා යන නිසා “ව්‍යාපාරයේ“ ලාභ රේට්ටුව අඩු වෙතැයි කියා ය. තෙවනුව, සෙසු අය විසින් මෝඩයකු ලෙස සැලකීම ය. කලක දි ඒ තැනැත්තාටම පවා එසේ යැයි හැගී යාම ය. මගුල් තුලාවකට දෙන තෑග්ගක් පවා අල්ලස් ගන්නා කෙනකුගේ මට්ටමින් දීමට නොහැකි වීම තුළ අසරණ වීම ය. ඒ තරමට අඳින්නට පළඳින්නට නොහැකි වීම තුළ අසරණ වීම ය.

ඒ නිසා අල්ලස නොදී සිටිම මෙන්ම නොගෙන සිටිම ද අමාරු ය. රෝගය පැතිර යන්නේ ඒ නිසා ය.

ඊට අමතරව අල්ලසක් දැලට දා ගැනිම ද අමාරු ය. ඒ සඳහා අල්ලස් දීමට බල කෙරුණු තැනැත්තා ඉදිරිපත් විය යුතු ය. අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතු ය. එසේ නොවන තැනක කොමිසමට කළ හැකි දෙයක් නැත. පැමිණිලි කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඉන්පසු කොමිසම විසින් එලනු ලබන දැල එලිමට උදව් පදව් කළ යුතු ය. අල්ලා ගත් චුදිතයාට එරෙහිව උසාවියක සාක්කි දිය යුතු ය. ඒ සඳහා තම කාලය ද මුදල් ද වැය කළ යුතු ය. තරහකරුවන් හදා ගත යුතු ය. ඔවුන්ගේ තර්ජන ගර්ජනවලට යටත් විය යුතු ය. ඒ චුදිතයාගේ වෘත්තීය සගයින්ගේ එසේත් නැත්නම් පාක්ෂිකයින්ගේ මිතුරන්ගේ අඩම්තේට්ටම් ද ඉවසිය යුතු ය. මෝඩ වැඩකට අත ගැසුවේ යැයි හිතේෂින්ගෙන් බැණුම් අසා ගත යුතු ය.

අභිප්‍රේරණයක් ලෙස සැලකිය හැකිද?

සමහරු අල්ලස දකින්න කැමැත්තේ අභිප්‍රේරණ උපාංගයක් හැටියට ය. නිදාගෙන ඉන්නා අලසයින් ඇහැරවා වැඩ ගත හැකි අපූරු යාන්ත්‍රණයක් හැටියට ය. කැරට් අලයක් හැටියට ය.

මෙය කොතෙක් මතවාදයක් ලෙස සමාජ ගත ව ඇත්තේ ද යත් මේ මෑතක දී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ දූෂණය මුළුමණින් ඉවත් කිරීමට ගියොත් සංවර්ධනය ඇණ හිටිය හැකි බව ය.

එය දේශපාලනඥයන්ගේ මතයක් පමණක් නොවේ. සමාජය තුළ ද ඇති විශ්වාසයකි. මහින්ද රාජපක්ෂ යුගය පිළිබඳ ස්තෝත්‍ර ගයන මහ නාහිමිවරු කීප පොලක් ද විද්වතුන් කීප දෙනෙකු ද ප්‍රකාශ කර සිටියේ සොරකම් කළේ වුව ද වැඩත් කළ බව ය.

ප්‍රශ්නය ඇත්තේ අල්ලසට පුරුදු කරනු ලබන තැනැත්තාට සීමා මායිම් නොපෙනෙන බව ය. මුලින් එය ෆයිව් පසන්ට් (සියයට පහ) වී පසු ව ටෙන් පසන්ට් (සියයට දහය) වී අනුක්‍රමයෙන් ප්‍රතිශතය වැඩි වන බව ය. එය නිශ්චිත නොවන බව ය. අවසානයේ කම්බා හොරු මිසක කිසිදු වැදගත් ආයෝජකයකු ආයෝජනයකට නොඑන බව ය. වැඩකට ඉදිරිපත් නොවන බව ය.

ඒ ඇරත් අල්ලස නීති විරෝධී ය. ගන්නා තැනැත්තා පමණක් නොව දෙන තැනැත්තා ද නීතිය ඉදිරියේ වැරදි කරුවකු වන්නේ ය. නො කැමැත්තෙන් වුව අල්ලස් දීමට සිදු වන තැනැත්තාට අන්තිමේ සිදු විය හැක්කේ මුදලත් අහිමිව හිරේ විලංගුවේත් ලගින්නට ය.

මේ අප අල්ලස ව්‍යාධියකි යන කොටසේ සඳහන් කළ කාරණාවලට අමතරව ය. ඒ නිසා ම මෙය සුදුසු අභිප්‍රේරණයක් ලෙස සැලකිය නොහැකි ය.

නිවනට මග

මේ බුර බුරා නැගෙන ගින්න, පැතිර යන ගින්න, නිවන්නට මගක් තිබේ ද?

පළමුව, මේ ගැන සංවාදයක් ඇරඹිය යුතු ය. අල්ලස පිළිබඳ සමාජ සම්මතයන් ප්‍රශ්න කළ යුතු ය. සන්තෝසම අල්ලසක් විය හැකි ආකාරය විමසිය යුතු ය. අප නො දැනුවත්වම ගෙදර දී ද වෙනත් තැන්වල දී ද දරුවන් අල්ලසට හුරු කරන ක්‍රියා නැවත විමසිය යුතු ය.

දෙවනුව, අල්ලසට නිමිති සපයන තැන් සොයා ඉවත් කළ යුතු ය. අපි උදාහරණයක් ගෙන බලමු. රටේ නීතිය අනුව පහසුවෙන් කොස් ගස් කැපිය නොහැකි ය. ඒ සඳහා අවසර ගත යුතු ය. කාර්යාල දෙකකට යා යුතු ය. කපා ගත්තත් එය ප්‍රයෝජන ගැනීම සඳහා ප්‍රවාහණය කිරීම අමාරු ය. ඒ සඳහා ද කප්පරක් මිනිසුන් හමු විය යුතු ය. අවසර ගණනාවක් ගත යුතු ය. මේ සියල්ල දමා ඇත්තේ කොස් ගස් බේරා ගැනීමේ උත්තරීතර අරමුණ ඇති ව බව හැබෑ ය. එහෙත් ඇත්තට ම ඒ අරමුණ ඉටු වන්නේ නැත. කොස් ගස් කැපෙන්නේ ය. කොස් ලී ප්‍රවාහණය වන්නේ ය. එයින් සිදු ව ඇත්තේ සෑහෙන ගණනකට අල්ලස් ගැනීමේ ඉඩ (නිමිති) ඇති කිරීම පමණ ය. මේ උදාහරණය අනුව යමින් අප කළ යුත්තේ රජය විසින් එලා ඇති තහංචි අවමයකට සීමා කිරීම ය.

තෙවනුව, අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි කරන අයට “අල්ලසක්“ දීම ය. තෑග්ගක් දීම ය. ඔවුන්ගේ ආරක්ෂාව බලා කියා ගැනීම ය. චුදිතයන්ගෙන් එන තර්ජන සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ය. එවැනි තර්ජන සම්බන්ධයෙන් දැඩි දඩුවම් නීති ගත කිරීම ය.

සිව්වනුව, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් අප කලින් සඳහන් කළ සාකච්ඡාවේ නිර්දේශ කළ පරිදි පාසල ආගම කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ මේ සම්බන්ධයෙන් පිබිදිමක් ඇති කර සමාජය පිළිසකර කිරිම ඒ ක්ෂේත්‍ර හතර තුළ කරන පුනරුදයක් හරහා සිදු කිරීමට වග බලා ගැනිම ය. අල්ලස පිළිලයක් ලෙස සමාජ ගත කර ඊට එරෙහිව ක්‍රියාත්මක වන සංස්කෘතික ව්‍යාපාරයක් ආරම්භ කිරිම ය.

පස්වනුව, හැකිතාක් දුරට තාක්ෂණයේ සහාය ලබාගෙන මිනිසුන්ට තීරණ ගැනීම සඳහා මැදිහත් විය හැකි වපසරිය හැකි තාක් අවම කිරීම ය.

සයවනුව, වෙනත් රටවල අත්දැකීම් ද රටේ මහ ජනයාගේ අදහස් ද ගෙන මේ පිළිලයට එරෙහිව කළ හැකි සකලවිධ ක්‍රියා නිර්ණය කර ක්‍රියාත්මක කිරීම ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *