අවුරුදු තුනක යහපාලනය – එම් ඕ ඒ ද සොයිසා

මේ මස 15 දා යහපාලන ආණ්ඩුව තම ජීවන ගමනේ තුන්වන වසර සපුරන ලදී. තුන්වන වසර අවසාන කිරීම සහ සිව්වන වසර ආරම්භ කිරීම සිදුවූයේ කිසිදු හැල හොල්මනක් නොමැතිවය. වෙනත් ආකාරයකට කියනවා නම් විශේෂයෙන් සංවිධානය කරන ලද උපන් දින සැමරීම් නොමැතිවය. උපන් දිනය සැමරීමේ උත්සව පැවැත්වීම කෙසේ වෙතත් අඩුම වශයෙන් උපන් දිනයවත් යහපාලන ආණ්ඩුකරුවන්ට මතක තිබුණ බවක් දැක්මට නොවීය.

ඒ තරමටම යහපාලන ආණ්ඩුවේ උපත එහි ජාතකකරුවන්ට අමතක වී ගොස් තිබෙන තත්ත්වයක් දැකිය හැකි විය. ජාතකකරුවන්ට අමතක වී තිබෙන ජාතකයක් ගැන එයට සම්බන්ධ නොවූ අය කතා නොකිරීම පුදුමයට හේතුවක් නොවේ. අද බොහෝ දෙනා කතා කරන්නේ රටේ ආණ්ඩුවක් තිබෙනවාට වඩා ආණ්ඩුවක් නොපවතින තත්ත්වයක් ගැනය. මෙසේ කතා කරන්නේ යහපාලන ආණ්ඩුවේ විරුද්ධවාදීන් පමණක්ම නොවේ. ආණ්ඩු පාර්ශ්වයේ සමහරුන් පවා එම අදහස විටින් විට ප්‍රකාශ කරන ආකාරය දැකිය හැකිය. එසේනම් නොපවතින ආණ්ඩුවක් ගැන කුමන උපන් දින සැමරීම්ද?

මේ තත්ත්වය සැබෑ ලෙසම පවතින්නේ නම් එය ලෙහෙසියෙන් සහ පහසුවෙන් නොසළකා හැරිය හැකි කරුණක් නොවේ. රටක් තුළ ආණ්ඩුවක් නොපවතින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ පාලනය බිඳවැටී ඇති තත්ත්වයකි. එවැනි තත්ත්වයක් හඳුන්වන්නේ අරාජික තත්ත්වයක් ලෙසය. එනම් පාලනයක් නොමැති තත්ත්වයක්ය. එවැනි තත්ත්වයක අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ සමාජ ව්‍යාකූලභාවයයි.

එමෙන්ම සමාජ අස්ථාවරභාවයයි. බලාපොරොත්තු හා අපේක්‍ෂාවන් බිඳවැටී ඉච්ඡාභංගත්වයට පත්වීමයි. මෙවැනි තත්ත්වයක ස්වභාවය කුමක් වේද යන්න ඉංශ්‍රීසි ජාතික දේශපාලන වින්තක තෝමස් හොබ්ස් විසින් 1651 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කළ ‘ලෙවියතාන්’ නමැති කෘතිය තුළ විස්තර කළේ මෙයාකාරයටය.‘‘ මිනිසුන් පාලනය කිරීමට සමත් බල අධිකාරියක් සහිත ආණ්ඩුවක් නොමැති වූ විට රටේ නීතිය හා ස්ථාවරභාවය පවත්වා ගෙන යාමට නොහැක. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ යහපත් සමාජ ක්‍රමයක් පවත්වා ගෙනයාමට අවශ්‍ය මිනිසුන් විසින් පිළිගන්නා නීති සහ සදාචාර පිළිගැනීම්වල වටිනාකම නැතිවී ගොස් මිනිසුන් විසින් ඒවා පිළිනොගන්නා තත්ත්වයක් ඇති වීමය. මෙහි අනෙක් ප්‍රතිඵලය වන්නේ එම නීතිරීති සහ සදාචාරාත්මක සිද්ධාන්ත පිළිගැනීම සහ භාවිතය මිනිසාගෙන් මිනිසාට වෙනස් වීමය.

එහි ප්‍රතිඵලය වන්නේ හොඳ නරක පිළිබඳව සමාජය තුළ පොදු පිළිගැනීමක් හා ඒකමතිකභාවයක් ඇති නොවීමය. හොඳ නරක පිළිබඳව පොදු ඒකමතිකභාවයක් ඇති වන්නේ අසහාය බලැති ආණ්ඩුවක් විසින් පනවන නීති ක්‍රියාට නැංවීම මගින් ජනතාව ඒවාට හුරුපුරුදු කළහොත් පමණි. ශක්තිමත් ආණ්ඩුවක් නොමැති විට එය කළහැකි වන්නේ නැත. ශක්තිමත් පාලනයක් පවත්වා ගෙනයාමට නොහැකි වූ විට ඇතිවන තවත් සමාජ නරකයක් වන්නේ හිඟ සම්පත් අයත්කර ගැනීම සඳහා ආත්මාර්ථකාමී ලෙස නිදහසේ මිනිසුන් තරග වැදීමය. එසේ තරග වදින විට ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ සතුරන් බවට වේ.

මෙවැනි තත්ත්වයක් තුළ මිනිසුන් එකිනෙකා විශ්වාස කරනු නොලැබේ. සෑම මිනිසෙකුම අනෙකා දෙස බලන්නේ වංචාකාරයකු, ප්‍රයෝගකාරයකු සහ අවසාන වශයෙන් තමන් විනාශ කිරීමට අවස්ථාව එළඹෙන තෙක් බලා සිටින සතුරකු යන පූර්ව නිගමනය පදනම් කර ගෙනය. ‘මා අනෙක් අයට තර්ජනයක් වන්නේ යම්සේද? අනෙක් අයට මමද තර්ජනයක් වේ’ යන සිතුවිල්ල සියලු දෙනාම තුළ පවතී. එබැවින් සියලු දෙනාම ජීවත් වන්නේ මරණය පිළිබඳ පීඩාකාරී බිය පෙරටු කොටගෙනය. තමන්ගේ පැවැත්ම පොදු ආරක්‍ෂාවකින් සහතික නොකරන ලද තත්ත්වයක් තුළ තමන්ගේ පෞද්ගලික බලය හා ශක්තිය මත ස්වයං පැවැත්ම තීරණය වේ. ඒ නිසා සියලු දෙනාම උත්සාහ ගන්නේ අනෙක් අය පරදවා තමන්ට වැඩි බලයක් හා ශක්තියක් අයත් කර ගැනීමටය.

මේ අනුව ප්‍රකෘති සමාජයේ මිනිසුන් බලය සඳහා බලය පිටුපස හඹායාමේ බිහිසුණු තරගයක යෙදී සිටී. මෙම තරගයට කෙළවරක් නොමැත. හැම කෙනාගේම අරමුණ වන්නේ අනිකා පරදවා තමන් ඉදිරියෙන් සිටීමය. මෙම තත්ත්වය තුළ සෑම මිනිසෙක්ම තරගයට සහභාගි වී දිවිය යුතුය. නැතිනම් මිය යා යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ කිසිදු ආකාර සමාජ ප්‍රගතියක් ඇතිවේයැයි සිතීමට නොහැකිය.

මිනිසුන් ව්‍යාපාර හෝ කර්මාන්ත හෝ වෙනත් ප්‍රතිඵලදායි දෙයක් ආරම්භ කිරීමට පෙළඹෙන්නේ නැත. හේතුව ඒවායින් ප්‍රතිඵල ලබා ගැනීම බෙහෙවින්ම සැක සහිත බැවිනි. එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ මිහිපිට සභ්‍යත්වයක් හෝ සංස්කෘතියක් ඇතිවිය නොහැක. කලා ශිල්පයන්හි ප්‍රගතියක් ඇතිවිය නොහැක. ආයාත- නිර්යාත කිරීමක් සිදුවිය නොහැක. යන්ත්‍ර සූත්‍ර නිපදවීමක් සිදුවිය නොහැක. ගොඩනැගිලි තැනීමක් සිදුවිය නොහැක. සමාජ සංවරයක් ඇතිවිය නොහැක. දැකිය හැකි එකම දෙය වන්නේ මිනිසුන් අතර පවතින නොනවතින කලහකාරිත්වයයි. බලයෙන් බලය පසුපස මරණය හමුවන තෙක් මිනිසුන් බිහිසුණු තරගයකට අවතීර්ණ වී එකිනෙකා පරයමින් දිවීමට උත්සාහ ගන්නා ආකාරයයි.

මෙවැනි තත්ත්වයක් තුළ සෑම මිනිසකුම කළ දවස ගතකරන්නේ මරණය පිළිබඳ පීඩාකාරී බිය පෙරටු කොටගෙනය. එවැනි තත්ත්වයක් තුළ මිනිසුන්ගේ ජීවිත කාලකන්නි, කටුක, අධම, මූසල සහ කෙටිකාළීන එකක් වේ’’.

හොබ්ස් ඉහත දැක්වූ සමාජ විග්‍රහය ඉදිරිපත් කළේ 1650 ගණන්වල එංගලන්ත සමාජය මුහුණ දී තිබුණ දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදය පදනම් කරගෙනය. මෙම අර්බුදය පැනනැ‍ඟී තිබුණේ කතෝලික හා ප්‍රොතෙස්තන්ත්‍රවාදීන්, වැඩවසම් රදළයින් සහ ධනපතීන්, රාජාණ්ඩුවාදීන් සහ පාර්ලිමේන්තුවාදීන් යන ප්‍රතිවිරුද්ධ සමාජ කොටස් අතර බලය සඳහා පැවැති අරගලය හේතු කොට ගෙනය. මෙම අරගලය විසඳමින් රටට දේශපාලන ස්ථාවරභාවය ගෙනවිත් ආර්ථික හා සමාජ අභිවෘද්ධිය අයත් කරගැනීම සඳහා ඇති ඒකායන මාර්ගය ලෙස හොබ්ස් දුටුවේ බලසම්පන්න ආණ්ඩුවක්

ගොඩ නැඟීමය. මේ සඳහා සුදුසුම ආණ්ඩුක්‍රමය අසහාය බලැති රාජාණ්ඩු පාලන ක්‍රමයක් බව හොබ්ස් කියා සිටියි. සිව්වැනි වසරට පා තැබීම සැමරීමට යහපාලන ආණ්ඩුව අසමත් වීමෙන් පෙන්නුම් කරන්නේ අද අපේ රට මුහුණ දී තිබෙන්නේ හොබ්ස් විස්තර කරන ආකාරයේ දේශපාලන හා සමාජ අර්බුදයකටද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ සමඟ මතුවෙන අනෙක් ප්‍රශ්නය වන්නේ මේ මොහොත වනවිට අපේ රට තුළ සැබැවින්ම පවතින්නේ ආණ්ඩු පාලනයක් නොමැති අනධිකාරී තත්ත්වයක්ද යන්නය.

සමහර පුද්ගලයින් ඉදිරිපත් කර ඇති අදහස් දෙස බලනවිට පෙනී යන්නේ අද රට මුහුණ දී තිබෙන අර්බුදය හොබ්ස් විස්තර කරන අර්බුදයට බෙහෙවින්ම සමාන වන බවය. සමහර අය විසින් රාජාණ්ඩු පාලන ක්‍රමයක් ඉල්ලා සිටීම මගින් පෙන්නුම් කරන්නේ මෙම තත්ත්වය බව ඔවුන් තවදුරටත් කියා සිටී.

ඉමහත් බලාපෙරොත්තු හා අපේක්‍ෂා සම්භාරයක් සහිතව මේ රටේ ඡන්දදායකයින් හැට දෙලක්‍ෂයකට මදක් වැඩි ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් සහ අනුමැතියෙන් මෙයට වසර තුනකට පෙර පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුව අවුරුදු තුනක් රට පාලනය කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වය සැබෑ වශයෙන්ම ඉහත කී තත්ත්වයට සමාන වන්නේ නම් එය යහපාලන ආණ්ඩුකරුවන්ට කිසිම අයුරකින් සමාව දියහැකි වරදක් නොවේ. යහපාලන ආණ්ඩුකරුවන් මෙහි දී කරඇති බරපතළ වරද වන්නේ 2015 වර්ෂයේ දී පවත්වන ලද ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී යහපාලන නායකයින් ජනතාවට දුන් දහසකුත් පොරොන්දු ඉටුකිරීම නොවේ.

සැබෑ ලෙසම කරන ලද බරපතළ අපරාධය වන්නේ, හැට දෙලක්‍ෂයක ජනතාව විසින් තමන්ගේ ඡන්ද බලයෙන් ප්‍රජාතාන්ත්‍රිකව ප්‍රතික්ෂේප කරන ලද ආඥාදායක රාජාණ්ඩුවාදීන් යළි බලයට ගෙන ඒමට තරම් ජනතාව පෙළඹවීමේ පරිසරයක් යහපාලනකරුවන් විසින් රට තුළ යළි ඇතිකිරීමය. යහපාලනය යටතේ මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවූයේ කෙසේද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ.

මේ සම්බන්ධයෙන් බලපා තිබෙන්නේ එක් කරුණක් හෝ දෙකක් නොවේ. ඒ සම්බන්ධයෙන් බලපා ඇති කරුණු රාශියක් තිබෙන අතර එයින් එකක් වන්නේ අසම්මත ආකාරයට ගොඩනැගූ යහපාලන සම්මුති ආණ්ඩුවයි. යහපාලන ආණ්ඩුවේ ආරම්භක අවස්ථාවේ දී සිටම පෙනීගියේ එය ගොඩනගා තිබෙන්නේ සම්මුතියක් පදනම් කරගෙන නොව විසම්මුතියක් පදනම් කරගෙන බවය.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර යහපාලන ආණ්ඩුව පිහිට වූ දිනයේ සිටම ඇතිවූ සහ අද දවසේත් පවතින බල අරගලයෙන් පෙන්නුම් කරන්නේ මෙම විසම්මුතික තත්ත්වයයි. දෙවන වැදගත් කරුණ වන්නේ රට මුහුණ දී තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රශ්න විසඳීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ගොඩනගා ගැනීම පිණිස පොදු අභිමතයක් ඇතිකර ගැනීමට යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා අසමත් වීමය. තුන්වන කරුණ වන්නේ කරන වැඩ පවා ජනතාවට ඒත්තු ගැන්වීමට යහපාලන ආණ්ඩුකරුවන් අසමත් වීමය. සිව්වන කරුණ වන්නේ නිදහසින් පසුව මෙරට බිහිවූ නරකම කැබිනට් මණ්ඩලය යහපාලන ආණ්ඩුව යටතේ බිහිවීමය.

මේ තරම් බරපතළ අයුරින් කැබිනට් සාමූහික වගකීම කඩකරමින් තමන්ට අවශ්‍ය ආකාරයට පෞද්ගලික මට්ටමෙන් ක්‍රියාකරන සහ හැසිරෙන ඇමතිවරුන් සහිත කැබිනට් මණ්ඩලයක් නිදහසින් පසු ඇතිවූවා නම් ඒ සම්බන්ධයෙන් දියහැකි හොඳම නිදසුන වන්නේ යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බවය. මෙයාකාරයට යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් කිව හැකි කරුණු කාරණා රාශියක් තිබේ. ඒවා සඳහන් කිරීමට මෙවැනි තීරු ලිපි සිය ගණනක් අවශ්‍ය වේ.

නමුත් මෙම දුර්වලතා තිබුණද යහපාලන ආණ්ඩුව විසින් ජනතාවගේ යහපත සහ උන්නතිය සඳහා කරන ලද වැඩකටයුතු රාශියක්ද දැකිය හැක. මේ අතුරින් ඉතාම වැදගත් වන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යළි ස්ථාපිත කිරීමය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවභාවිත කරමින් ආපසු ආඥාදායක රාජාණ්ඩු පාලනයක් ඉල්ලා සිටීමට තරම් ජනතාව ආපස්සට යාමෙන් පෙන්නුම් කරන්නේ යහපාලනය කොතරම් අසාර්ථක වී තිබෙනවාද යන්නය.

එසේනම් මෙවැනි ආණ්ඩුවක් සිව්වන වසරට පා තැබීම සතුටින් සහ අභිමානයෙන් සැමරිය හැකිද? සැබැවින්ම නොහැක.

නමුත් කළයුත්තේ කනගාටු වීම හෝ පසුතැවීම හෝ උකටලී වීම නොවේ. එමෙන්ම ආපසු රාජණ්ඩු පාලන ක්‍රමයකට යාමට කථා කිරීම ද නොවේ. කළ යුත්තේ එකම එක් දෙයක් පමණි. එනම් යහපාලන ආණ්ඩු කරුමයෙන් මිදීමය. ඒ වෙනුවට රටේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් ඇති ඒ සඳහා අදාළ දර්ශනයක් හා වැඩපිළිවෙලක් ඇති, ඒ සම්බන්ධයෙන් දැනුම, බුද්ධිය සහ අවබෝධය ඇති නායකත්වයක් සහිත එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට කැපවූ දේශපාලන පක්‍ෂයකට රට බාර දීමය. තව අවුරුදු දෙකකින් එළඹෙන 2020 වර්ෂය ඒ සම්බන්ධයෙන් ජනතාවට ඇති මහඟු අවස්ථාව වේ. එවැනි ආණ්ඩුවක් ඇතිකර ගතහොත් එදාට ජනතාවට ප්‍රීතියෙන් සහ අභිමානයෙන් ආණ්ඩුවේ උපන් දින සැමරීමට හැකිවනු ඇත.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *