වැඩ ඇති පටි නැති පොලිස් කතුන්- චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ඇබර්තු නොමැති බැවින් ඉහත තනතුරට සුදුසුකම් ඇති පොලිස් නිලධාරිනියන් 40 දෙනෙකුට තනතුරට ඉල්ලුම් කිරීමෙන් වැලකී සිටින්නට දැනුම් දී ඇතැයි කියවෙන පුවතක් පසුගිය දිනක දක්නට ලැබුණි ..ඔවුන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර ඇති බව කියවේ.එකී පොලිස් නිලධාරිනියන් එම තත්වය හදුන්වාදී ඇත්තේ තමන්ට සිදුවූ ලිංගික භාවය පදනම් කරගත් මදි පුංචිකමක් වශයෙනි.

1997 දී කාන්තාවන් 120 දෙනෙකු උප පොලිස් පරීක්ෂකවරියන් වශයෙන් පොලිසියට එක්ව තිබේ ..2003 වසරේදී සහ 2006 වසරේදී ඔවුන් ප්‍රධාන  පොලිස් පරීක්ෂක ධුරයට උසස් කලමුත් මේ වනවිට වසර 13-15ක්  ඔවුනට එකම තනතුරේ රැදී සිටීමට සිදුව  තිබේ. කාන්තා පොලිස් නිලධාරිනියන්ට එසේ වසර 13-15 එකම ශ්‍රේණියේ රැදෙන්නට සිදුවුවද පිරිමි පොලිස් නිලධාරීන්ට එවැනි බාධා නැති බවද පැවසේ .ඔවුනට වසර අටෙන් අටට තනතුරු ශ්රේකණියක් ඉහලට යාමට බාධාවක් නැත.

මෙය පොලිසිය පිළිබද ප්‍රශ්නයක්ද  නැතහොත් නැතහොත් කාන්තාවන්ට සහ පිරිමින්ට  දෙයාකාරයෙන් සැලකීමක් පිළිබද ප්රපශ්නයක්ද යන්න මෙහිදී විමසා බැලිය යුතුය .ඉහත පොලිස් කාන්තාවන් පිළිබද පුවත වාර්තා පුවත්පත පෙන්වාදී ඇත්තේ ඉහත තත්වය තුල මෙරටින් පොලිස්පති වරියක් බිහිවීම කිසිම දිනක බලාපොරොත්තු විය නොහැකිබවයි .ගැටළුව වන්නේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය  පළමු විධායක ජනාධිපතිවරිය බිහිකළ රටකට පොලිස් පති වරියක් බිහි කිරීමට ප්‍රධාන  පොලිස් පරීක්ෂක වරිය දක්වා ඉහලට යාමට නොහැකිව කාන්තාවන් පිරිසකට ලතැවීමට සිදුව තිබීමය.

පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේදී ද කතුනට මෙවන් අකටයුතුකම් සිදුවූ බවට වාර්තා පලවූයේ පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙනි. එහිදී තමන්ගෙන් ලිංගික අල්ලස් බලාපොරොත්තු වූ බව කතුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලහ. ස්ථාන මාරුවක්,උසස් වීමක් ,රැකියාවක් ,ණය මුදලක් ලබා ගැනීමට පවා කතුනට තමන් කතුන් වීම හේතුවෙන් විවිධ අකරතැබ්බ අවලාද ,අපහාස ,අඩම්තේට්ටම්වලට  ලක්වන්නට සිදුව තිබීමෙන් මෙරට කතුන්ගේ සැබෑ තත්ත්වය කවර ආකාරදැයි වටහා ගැනීමට අපහසු නැත. දරුවෙකු පාසලකට ඇතුලත් කරගන්නට පවා ඇයට සයනයට නගින්නට සිදුවන්නේ නම් එහි වරද ඇත්තේ කොතැනද?

ශ්‍රීලංකා පොලීසියේ 85000ක පොලිස් බලයක් ඇති නමුත් 2016 දක්වා එහි එස්.පී || ශ්‍රේණිය සදහා කාන්තාවකට අවස්ථා නැතහොත් අවකාශ තිබී ඇත්තේ දෙදෙනකුට පමණි. 2016දී එම තනතුරු දෙක හතර දක්වා වැඩිකර තිබේ. ඒ.එස්.පී තනතුරු සදහා පොලීසිය තුල අවස්ථා 15ක් ඇතැයි කියවෙන අතර පිරිමි කාන්තා අනුපාතය අනුව එය පිරිමින් 16කට එක් කාන්තාවක් පමණි. නමුත් පොලිස් බලඇණියෙන් 15% ක් කාන්තාවන් බදවා ගැනීමට 2016දී කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ගැටලුව වන්නේ සියට දාසයක් වන පොලිස් කතුනට නිලතල වලදී සියට දාසයක කොටසක් හිමි නොවීමයි.ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්නට පිහිටුවා ඇති පොලීසිය තුලම පොලිස් කාන්තා අයිතිය අහිමි වේ නම්

කිව යුත්තේ කාටද ?

බැලු බැල්මට මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනුනද මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිලිබඳ බරපතල ගැටලුවක් එය තුල සැගවී තිබේ. දියවඩන නිලමේ තෝරා පත්කරගන්නා ඡන්ද විමසුමට මහනුවර පරිපාලන සේවයේ නියුතු කතුනට සහභාගි වීමට අවසර නොලැබීම මේ පන්නයේ තවත් කාන්තා හිංසනයකි. පොලිස් කතුන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව මානවහිමිකම් කොමිසමට පැමිණිලි කලද මහනුවර රාජ්‍ය පරිපාලන නිලධාරිනියන් අතින් එවැන්නක් හෝ සිදුව ඇතිබවක් දැනගන්නට නැත.ඉන්න ටිකේදී දිස්ත්‍රික් ලේකම් තනතුර උසුලාගෙන හිද වෙනත් ප්‍රදේශයකට මාරුවී යනුමිස කවර දියවඩන නිලමේ ඡන්දද කියා ඔවුන් සිතනවා වියහැක.එහෙත් තනතුරකට හිමි හිමිකමක් කාන්තාවක වීම හේතුවෙන් අහිමි කෙරෙන්නේ නම් ඊට එරෙහි වීම සමස්ත කාන්තාවන් වෙනුවෙන්ම නැගීසිටීමකි.ගබ්සාවේ අයිතියත් ,තනතුරු දැරීමේදී අයිතියත් ආදී සියල්ල පිරිමින්ට අවශ්‍ය පරිදි තීරණය කරන්නට ඉඩහැර බලාහිදිනවාට වඩා එය වීර ක්‍රියාවකි. පොලිස් කාන්තාවන්ගේ අරගලයට සියලු කතුන්ගේ සහය ලැබිය යුත්තේ එහෙයිනි.

 

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *