|

හුස්ම ගත් ආණ්ඩුව රට වටේ යද්දි ස්වාධීන වෙන්න ගිය ඒකාබද්ධය පඹගාලක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලිකවම ඉතා වැදගත් අවස්ථාවක් පසුගියදා යෙදී තිබුණා. එනම් තමන්ගේ දිගුකාලීන හිතවතකු මෙන්ම දේශපාලන සගයකු වූ එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාට උපහාර පිදීමේ හා එතුමාගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවයි.

කන්තලේ නගර සභා භූමියේ ඉදිකර තිබූ එම්. කේ. ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව විවෘත කළ ජනාධිපතිතුමා එයට පුෂ්පෝපහාර දැක්වූවා. ඉන්පසුව සභාව ඇමතූ ජනාධිපතිතුමා වෙනදා මෙන්ම අතීතය මතකයට නැගුවා.

පොලිස් සේවයේ සිටි එම්. කේ. ඩී. එස්.ගුණවර්ධන මහතා 1977 දී පොලොන්නරුවේ සේවය කරමින් සිටි බවත් ඒ මහතාට කල්මුණේ ප්‍රදේශයට මාරුවක් ලැබුණු බවත් ජනාධිපතිතුමා කීවා. ‘යන්න එපා අපි දේශපාලනය කරමු’ කියා තමා ඔහුට යෝජනා කළ බවත් ගුණවර්ධන මහතා දේශපාලනයට පිවිසුණේ තමාගේ ඉල්ලීම නිසා බවත් ජනාධිපතිතුමා පැවසුවා.

දේශපාලනයට පිවිසි ගුණවර්ධන මහතාට සේරුවිල ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධුරය ලබාදීමට තමා මැතිනිය හමුවී ක්‍රියා කළ බවත් ඒ අනුව සංවිධායක ධුරය ලැබූ ගුණවර්ධන මහතා අවංකව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ අයකු බවත් ජනාධිපතිතුමා කීවා. තමන් හා ගුණවර්ධන මහතා හැමදාමත් එකට ක්‍රියා කළ මිතුරන් බව ද ජනාධිපතිතුමා පැවසුවා.

රටට අද අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර අවංක හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයන් බව කී ජනාධිපතිතුමා රටට හිඟ වී තිබෙන්නේද එබඳු චරිත බව කීවා. දුමින්ද දිසානායක ඇමැතිවරයා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් දහයකට පත්කොට ඇති තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හමුවීමක්ද පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. එහි දී ජනාධිපතිතුමා ඔවුන්ට උපදෙස් දෙමින් ප්‍රකාශ කළේ මේ රජයේ ප්‍රතිපත්තිය වන්නේ සියලු රටවල් සමඟ සුහදත්වය ගොඩනඟා ගැනීම බවයි. එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කරමින් හැම විටම රට වෙනුවෙන් කැප වෙමින් එම රටවලින් අප රටට ගත හැකි ප්‍රයෝජන ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරුන්ට උපදෙස් දුන්නා.

අන්තර් ජාලය හා වෙනත් මාධ්‍ය හරහා ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව රට ගැන ඇත්ත ලෝකයට දැනගැනීමට සලස්වන ලෙසද ජනාධිපතිතුමා අලුතින් පත්වූ තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

සතිය ආරම්භයේදීම අගමැතිවරයා නුවරඑළිය ගියේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජය තිළිණ කළ නිවාස 404 ක විශාල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමටයි. ඉන්දීය මහ කොමසාරිස් හා ඇමැති දිගම්බරම් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක් වූණා.

“හිටපු ආණ්ඩු හා ඒ ආණ්ඩුවල හිටපු වතුකම්කරු ජනතා නියෝජිතයින් යයි කියා ගත් අය තමන් හැදුණා මිසක් කම්කරුවන්ට කළ දෙයක් නෑ. මේ රජය නිවාස හදනවා විතරක් නෙවෙයි වතු කම්කරුවන්ට පර්චස් 07 ගානේ බෙදා දෙනවා. පොදු පහසුකම් ලෙස පාසල් රෝහල් මාතෘ නිවාස ඇතුළු සියල්ලත් ඉටු කරමින් ඉන්නේ. රනිල් ඊළඟ ජනාධිපති කරලයි වතු කම්කරු ජනතාව පස්ස බලන්නේ ” දිගම්බරම් කීවේ දැඩි ප්‍රතිචාර මැදයි.

නුවරඑළිය එජාප බල මණ්ඩලය පිහිටුවීමද එදිනට නියමිතව තිබූ හෙයින් නවීන් දිසානායක හා අකිල විරාජ් එම උත්සවයට එක් වූයේ මදක් ප්‍රමාද වීමෙන් පසුවයි.

බදාදා පෙරවරුවේ අගමැතිවරයා මඩු දේවස්ථානයේ මංගල්‍යයටද එක් වුණා.ලක්ෂයකට අධික පිරිසක් ඊට එක්ව සිටි අතර එම ජනතාව වෙතින්ද අගමැතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ විදේශ නියෝජිතයන් හමුවීමට හා රාජකාරී රැසක් ඉටු කිරීමටයි.

“හුස්ම ගත්ත වසර 03 ක්” කියන තේමාව හරි ලස්සනයි. ” සජිත් ප්‍රේමදාස කී විට නවීන් දිසානායක ඇතුළු පිරිස එය එකහෙළා අනුමත කළා.

“වසර 03 ක් ජනතාව හුස්ම ගතතෙ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් විතරක් නෙවෙයි. ආර්ථිකය ඇතුළු සියලු පැති ඊට අදාළයි. ණය ගෙවීම හොඳින් කරනවා. ආර්ථික වර්ධනය හා සංවර්ධනය දැන් වේගවත් වෙලා. ලෝකය අපිව වටලලා තිබුණ දෙයින් නිදහස් වුණා. ගමේ නගරයේ ගෙවල් පාසල් රෝහල් පාරවල් පාලම් ඇතුළු පොදු යටිතල පහසුකම් දියුණු වෙනවා. ගම හදන්න රුපියල් දස ලක්ෂ අසූ දාහක අතිවිශාල මුදලකුත් අපි ඊළග වසරේ දී යොදවනවා. පඩි 10, 000කින් සමෘද්ධි දෙගුණයකින් වගේම, මහ පොළත් වැඩි කළා. ඉඩම් බෙදනවා. තවම බඩු මිලත් ඉන්ධනත් රාජපක්ෂලගෙ කාලෙට වඩා අඩුයි. ජනමාධ්‍ය නිදහස දෝර ගලලා. ඇත්තටම මුළු රටම හුස්ම ගත්ත වසර 03ක් අපි රටටම ලබාදුන්නා. වළේ තිබූ රටත් ජනතාවත් අපි ගොඩගත්තා. ඒත් රාජපක්ෂලා හා ඒ නඩය තවම ඒ වළේ ඉඳන් එකිනෙකා මරාගන්නවා. අපි ඉදිරියටම යනවා” අගමැතිවරයා විග්‍රහ කළා.

“සැප්තැම්බර් 05 ඒකාබද්ධය කොළඹ ඇවිත් වටලනවා කියල බොරු තර්ජන පාරක් දානවා. කී පාරක් වැටලුවද ආණ්ඩුව පෙරලුවද අගමැතිකම ගත්තද? ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් අපි ළඟ බෙහෙත් තියෙනවා කියල මම පත්තරේකට කිව්වා. ඒ බෙහෙත් රතුපස්වල දී දීපුව නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී බෙහෙත් අපි ළඟ තියෙන්නේ” සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදයි.

“විරෝධතාවලට ඉඩ තියෙනවා. ඒත් ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් එයාලට වන්දි ගෙවන්න වේවි” සජිත් ප්‍රේමදාස කීවේ “සාමය රැකීම ගැන උපරිමව ආණ්ඩුව උනන්දු විය යුතුයි” යන අදහසද මතුකරමින්.

“නිවාඩු මාසවල ගුරු වැටුප් නවත්වනවා කියල අකිල කියල නෑ. අලි බොරුවක් සමහර අවස්ථාවාදීන් පතුරනවා. බොරු පතුරවන අය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න කියල පොලීසියට උපදෙස් දෙන්න” නවීන් දිසානායක අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.

“මනෝ ගනේෂන් හකීම්ල මහින්ද හමුවෙලා කතාකළේ පළාත් සභා ගැන විතරමද? එතන දේශපාලනයකුත් තියෙනවද” දයා ගමගේ ඇහුවේ අගමැතිගෙන්.

“මට කියලයි එයාල මහින්ද හමුවෙන්න ගියේ. පිල් මාරුවක් ගැන හෝ ඒ ගැන කතාවක් එතන නෑ. පළාත් සභා ඡන්දය තියෙන ක්‍රමය ගැනයි කතා කරල තියෙන්නෙ. අලුත් නීතිය සම්පූර්ණ නැති නිසා ඒ ක්‍රමයට ඡන්ද තියන්න අමාරුයි. ඒකට උපලේඛන දාන්න තියෙනවා. ශ්‍රීලනිපය පරණ ක්‍රමයට විරුද්ධයි. ඕනම ක්‍රමයකට කැමතියි කියල ජී.එල්. චැලෙන්ජ් කළා. පරණ ක්‍රමයට ගියොත් කාටවත් චැලෙන්ජ් කරන්න බෑ. ඡන්දය ජනවාරිවල තියෙන්නත් පුළුවන්. අලුත් සීමා නිර්ණ වාර්තාව පිළිගන්නවාද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ දී විවාද කළ හැකියි. ඒ වාර්තාව හුඟක් පක්ෂ පිළිගන්නෙ නෑ. පක්ෂ බලන්නෙ තමන්ගෙ දේශපාලන වාසි අවාසියි” අගමැතිවරයා පවතින තත්ත්වය විග්‍රහ කළා.

“දුම්රිය වර්ජකයෝ අසාධාරණ ලෙස වැඩ කරලා අන්තිමේ ජනාධිපතිතුමාගෙ ඇඟේ එල්ලිලා ෂේප් වුණා. ජනාධිපති හමුවුණා විතරලු. පසුදා මංගල හමුවුණාම කියල තියෙන්නේ එයා කලින් කියපු කතාවම තමයි. දේශපාලන උසිගැන්වීම් අනුව වර්ජන කරන්න ගියාම ඔහොම හිරවෙනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“දැන් දුම්රියේ අය මට්ටු වුණාම බස් සංගම් වර්ජන කරන්න දඟලනවා. දඩ මුදල් අයින් කරන්නලු. මිනිස්සු මරාගෙන, වාහන හප්පගෙන නීතියක් නැතුව පාරේ යන්න අවසර දෙන්න කියලද එයාලා ඉල්ලන්නේ. මොන ආණ්ඩුවද මේවට යට වෙන්නෙ. උසස් පෙළ දරුවො ඉලක්ක කරලා කරන මේ පහත් දේශපාලන සෙල්ලම් ගැන ආණ්ඩුව මීට වඩා ජනතාව වෙනුවෙන් තදින් ඉන්න ඕනෑ” වජිර අබේවර්ධන කී විට අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“කීත් නොයාර් පැහැරගෙන ගිහින් ගහපු වෙලාවේ කරූ ජයසුරිය මැතිතුමා මහින්ද ජනාධිපතිට කතා කරල බේර ගත්ත බව එතුමා කට උත්තර දීලා නිසා මහින්දගෙනුත් කටඋත්තර ගන්න සී.අයි.ඩී. එන්න කිව්වට මහින්ද ඇවිත් නෑ. ඒ නිසා සී.අයි.ඩී. එක එතුමාගේ ගෙදරට ගිහින් කටඋත්තර ගන්න හදනවා. ඒකේ වැරැද්දක් නෑ කියලයි මිනිස්සුත් කියන්නේ ” චමින්ද විජේසිරි කීවේ එවැන්නක්.

“අර ඊ.ටි.අයි. තැන්පතුකරුවන්ගේ ප්‍රශ්නය ඔඩු දුවනවා. ආණ්ඩුව මැදිහත් වෙනවා මදි බවයි සමහරු කියන්නේ ” එහි සිටි මැති ඇමතිවරු රැසක් අගමැතිගේ අවධානයට යොමු කළා.

“ආණ්ඩුව මහ බැංකුව හරහා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා ඉන්නවා. රජයේ මුදල් දාලා මේ ප්‍රශ්නය විසදන්න අමාරුයි. ඒ ආයතනයම මේ මුදල් ගෙවන තැනට තල්ලු කරන්න රජය බොහෝ ක්‍රියා මාර්ග ගන්නවා. ඒ ආයතනය සහ දේපළ ගැනත් රජය අවධානයෙන් ඉන්නේ ඒ තැන්පතුකරුවන්ට උපරිම සාධාරණය කරන්නයි රජය ක්‍රියා කරන්නේ ” එජාප නීති උපදේශකයකු පවතින අලුත්ම තත්ත්වය පැහැදිලි කළා.

2010 ඉඳලා“රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ කෙනෙක් හැටියට ඉන්න කෙනෙක් රු. කෝටි 1000 ක විශාල ණයක් ගැනීම ගැනත් දැන් ලොකු සංවාදයක් යනවා. පත්තර කීපයක් මගෙන් මේ ගැන ඇහුවා. මම බැංකු බාරගන්න කලිනුයි මේ ගනුදෙනුව වෙලා තියෙන්නෙ. ඒ බැංකු සභාපතිගෙනුත් මම මේක ඇහුවා. කලින් ගත්ත ණය එයා හොඳින් ගෙවලා නිසා මේ ණය ගැන බයක් නැහැ කියල බැංකු සභාපති මට සහතික වුණා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ බැංකු අධ්‍යක්ෂලාට ඒ බැංකුවෙන් නියම ක්‍රමවේදයට අනුව ණය ගන්න පුළුවන්. නීතියෙන් කිසිම බාධාවක් නෑ. ඒවා යළි අය කර ගැනීම ගැනයි බැංකුව අවධානය යොමු කළ යුත්තේ” එජාප නීති අංශ නිලධාරියා පිළිතුරු දුන්නා.

“ 11 දෙනෙක් අතුරුදහන් කළ බවට චෝදනා ඇති “ නේවි සම්පත් ” ඇල්ලීම වැදගත් දෙයක්. එයාට රට පනින්න නාවික හමුදා ගිණුමකින් රු.ලක්ෂ 05 දීල කියලත් ඔප්පු වෙලාලු. ” චමින්ද විජේසිරි කීවා.

106 වැනි උදා ගම්මානය වූ මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවූර්පත්තු, සවුක්කඩි හි ඉදිවූ “විරුට්චම්”ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය වෙත ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පිළිගන්නා ලද්දේ නියෝජ්‍ය ඇමැතිවරුන් වන අමීර් අලි, අලි සහීර් මව්ලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රීනේෂන්, යෝගේෂ්වරන් ඇතුළු පිරිස විසින්. සමරු ඵලකය විවෘත කර අනතුරුව ඇමතිවරයා ඇතුළු පිරිස ගම්මානයේ ගෙයින් ගෙට ඇවිද යද් දී අසන්නට ලැබුණේ දුක්මුසු පුවතක්. එනම් ගම්මානයේ ඉදිකරමින් පවතින ජල තටාකයකට ඇදවැටීම නිසා ඊට දින කීපයකට පෙර එහි නිවසක දරුවකු මිය ගිය බවයි. සජිත් මේ පිළිබඳ තොරතුරු විමසා සිටිද් දී හෙළිවූයේ එම ජල තටාකය තැනීම ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබූ එකක් බවයි. සජිත් එහි දී වහාම ප්‍රාදේශීය ලේකම්වරයා කැඳවා මෙවැන්නක් එතරම්ම නොසැලකිලිමත් හා අනාරක්ෂිත ආකාරයෙන් සිදුකිරීම ගැන දොස් නැඟුවා. “මේක බරපතළ කාරණයක්. මේ ගම්මානයේ දරුවෙක් ‍ඒ පොකුණට වැටිලා මැරිලා” සජිත් කීවේ කෝපයෙන්. අනතුරුව මියගිය දරුවාගේ මාපියන් හමුවූ සජිත් කීවේ”දරුවාගේ මරණය ගැන අහලා අපි දුක් වුණා. අපි මේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා. සිද්ධියට වගකිවයුතු පිරිස නීතිය හමුවට පමුණුවනවා. දරුවා වෙනුවෙන් වන්දියක් ලබා දෙන්නත් කටයුතු කරනවා’ කියායි. මෙවැනි දේ නැවත සිදු නොවන්නට වගබලාගත යුතු බව අවධාරණය කළ සජිත් ප්‍රාදේශීය ලේකම්වරයාට කීවේ ‘මේ දරුවාගේ මරණයට තමුනුත් අනියම් ආකාරයෙන් උදව් කර තිබෙන බවයි පෙනෙන්නේ. මට මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් වහාම අවශ්‍යයි’ කියාය. වේදිකාව වෙත යද් දී අලි සහීර් මව්ලානා කීවේ ‘ඔබතුමා අසරණ පවුලකට සාධාරණය ඉටු කරන්න නියම වැඩක් කළේ’ කියායි.

සිකුරාදා රාත්‍රී කතරගම ගිය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුදා උදෑසන කිරිවෙහෙර පූජා භූමියේ දී මහා පිංකමකට සහභාගී වුණා ”විභජ්ජවාද” යනුවෙන් නම් කර තිබූ මේ වැඩසටහනට සහභාගී වූ ඒකම දේශපාලනඥයා වූයේ ඇමැති වජිර අබේවර්ධන ඇමතිවරයායි. මේ වැඩසටහන සංවිධානය කර තිබුණේ මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ප්‍රදානත්වයෙන්. දිවයිනේ නන්දෙසින් වැඩම කර සිටි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා 1000ට අධික පිරිසක් එක්ව බුදුදහම පිළිබඳ කථිකාවතක් සිදුකිරීම මෙලෙස විභජ්ජවාදය ලෙස හඳුන්වාදී තිබුණා.

විභජ්ජවාද සම්භාෂණයේ අරමුණ වූයේ සම්බුද්ධ දේශනාවලට එක්ව තිබෙන දුර්මත හා ධර්මදේශනා පවත්වන භික්ෂූන් වහන්සේලා විසින් විවිධ ආකාරයෙන් කරනු ලබන අර්ථකථනයන්හි ඇති ගැටලු සහගත ස්ථාන ඉවත් කරලීමයි. උදෑසන පැයක කාලයක් සඳහා යැයි කියමින් වැඩසටහනට සහභාගී වූ වජිර අබේවර්ධන ඇමතිවරයා අවසානයේ තමන්ගේ සියලු වැඩ අමතක කර වැඩසටහන අවසන්වනතුරු එහි රැඳී සිටියා.

”අපි මේ වැඩසටහන සඳහා වජිර අබේවර්ධන අමත්‍යවරයාගේ සහයෝගය ලබාගත්තේ අපි දන්නවා මෙවැනි කාර්යයක් කිරීමට බෞද්ධ නායකයෙක් හැටියට එතුමා දක්වන දායකත්වය. මේ කාර්යය සාර්ථක කරගෙන නිර්මල බුදු දහම ආරක්ෂා කරගැනීමට එතුමා අපට විශාල සහයෝගයක් දෙනවා.” හිමිවරු ඒසේ පැවසුවේ අමාත්‍යවරයාගේ දායකත්වයට ප්‍රශංසා කරමින්.

ඉරිදා ඇමතිවරයා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය පහක් විවෘත කළ අතර සඳුදා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ කාර්යාල අටක් විවෘත කළා. ඒඅනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එම නිල සෙවණ කාර්යාලය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් කෝටි දෙකක් හා ලක්ෂ හැටක මුදලක්.

මේ විවෘත කිරීම් කරන අතරතුර අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැරණිතම සේවාවක් වන ග්‍රාම නිලධාරී සේවාව රජ කාලේ සිට විවිධ නම්වලින් හඳුන්වමින් පැවතිය ද මෙතෙක් ඒම සේවාව සඳහා නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් නොමැති බැවින් ගැටලු රැසක් පැන නැ‍ඟී තිබෙන බවයි.

”මේ සේවාව ග්‍රාම සේවක කියා නම් කළේ 1961 දී 1989 දී. එය ග්‍රාම නිලධාරී සේවාව කියා නම් කළා. නමුත් එදා සිට අද දක්වාම නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. අපි ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා සේවා ව්‍යවස්ථාවකට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද අරගෙන විශේෂ කමිටුවක් යොදා සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. දැන් ඒ කොටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට දාලා සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කරනවා.”ඇමැතිවරයා කීවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්‍ෂෙත්‍රවල වෘත්තීය සමිති පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ, වැඩිවී තිබෙන ජීවන වියදම පදනම් කරගනිමින් වැටුප් වැඩි කර ගැනීමේ සටනක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි ජාතික මෙහෙයුම් කමිටුව සහ වෘත්තීය සමිති නායකයෝ සහභාගි වී සිටියා. ”මේ වෙනකොට බදුබර, බඩුමිල, ඉන්ධන මිල වැඩිවෙලා. ජනතාවට තමන්ගේ වැටුපෙන් ජීවිත් වෙන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා වැඩිවෙන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් වැඩකරන ජනතාවට ලබාදෙන්න කියලා සටනක් ආරම්භ කළ යුතුවෙලා තිබෙනවා.” ලාල්කාන්ත සාකච්ඡාවට මුල පිරුවා. ”ඔව්, ආණ්ඩුව බදු වැඩි කරන්න, තෙල් මිල ඉහළ දාන්න මිල සූත්‍ර හදනවා. නමුත් ජනතාවගේ ආදායම වැඩිකරන්න කිසිම පියවරක් ගන්නේ නැහැ. රටේ ජනතාව ගැන කිසිදු කතාබහක් සිදුවෙන්නේ නැහැ.” අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කීවා. ”අපි වැටුප් සටන ජීවන වියදමත් එක්ක ගැටගහන්න ඕනෑ. එතකොට ජනතාවටත් මේ සටන් පාඨ තේරුම් ගන්න පුළුවන්. ඇත්තම තත්ත්වය ජනතාවට හොඳට ජීවන වියදම දැනිලා තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට වැඩිවෙලා තියෙන ජීවන වියදම සැලකිල්ලට ගන්න ඕනෑ.” ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියා. ”මේ ආණ්ඩුව පත්වුණේ 2015 ජනවාරි 08වෙනිදා. 2015 පෙබරවාරිවල ජීවන අංකය වෙලා තියෙන්නේ 108.9ක්. මේ වෙනකොට ජීවන අංකය 126.5යි. මේවා ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන. ඒ අනුව ජීවන අංකය 17.6කින් වැඩිවෙලා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව ජීවන අංකය රු.321ක් වෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ රු.5649.60කින් ජීවන වියදම වැඩිවෙලා තියෙන්නේ.” ලාල්කාන්ත සංඛ්‍යාලේඛන අනුව වැටුප් වැඩිකර ගැනීමේ ප්‍රමාණය පිළිබඳව අදහසක් යෝජනා කළා. ”ඒක හොඳ තර්කයක්. මොකද අපි වැටුප් වැඩි කරන්න කියන්නේ සාධාරණ තර්කයකට අනුවයි. ඒ වගේම මේ වැටුප් වැඩිවීම රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ සියලූ දෙනාට ලැබිය යුතුයි.” සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් පැවසුවා. ඒ අනුව ජනාධිපති, අගමැති සහ මුදල් ඇමතිවරයාට මේ පිළිබඳව දන්වමින් ලිපි යැවීමටත් වැටුප් වැඩිකර ගැනීමේ සටන පිළිබඳව ජනතාව දැනුවත් කරන පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමත් සැප්තැම්බර් මාසයේ දී කොළඹ දී වැටුප් දිනාගැනීමේ උද්ඝෝෂණ සංවිධානය කිරීමටත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයෝ තීරණය කළා.

මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර ගැටලූවක් හේතුවෙන් ජනතාවට අසාධාරණයක් සිදුවන බවට ලද පැමිණිල්ලකට අනුව කෝප් සභාපතිවරයා විසින් එම ආයතන දෙක කෝප් කමිටුවට ගෙන්වීමට කටයුතු කළා. මහජන උපයෝගිතා කොමිසම අයත් වන්නේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටය. විදුලි බල මණ්ඩලයෙන් ම.උ.කො. එල්ලවන බලපෑම් ඇමතිවරයාටවත් පාලනය කරගත නොහැකි බවත් කෝප් කමිටුවෙන් ගැටලූව විසඳා දෙන ලෙසත් විෂය භාර නියෝජ්‍ය ඇමතිවරයා වරෙක කෝප් සභාපතිවරයාට පවසා තිබුණා. ගැටලූව වන්නේ විදුලි බල මණ්ඩලය මගින් වැඩි මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීම මහජන උපයෝගිතා කොමිසම මගින් වළක්වා තිබීමයි. මෙම විදුලි මිල දී ගැනීම් නිසා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවනවා සේම විදුලි පාරිභෝගිකයින්ටද විශාල අසාධාරණයක් සිදුවෙනවා. සේවකයින් පවසන ආකාරයට සහ කෝප් කමිටුවේ හෙළිදරව් වූ කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරීන්ට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමෙන් විශාල කොමිස් මුදලක් ලැබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ ම.උ.කො. සභාපතිවරයා ඉවත් කරන තුරු නියාමන ගාස්තු නොගෙවන බවයි. නමුත් එම ගෙවීම් පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද ගෙවීම්. විදුලි බල මණ්ඩලයේ අරමුණවී ඇත්තේ තමන්ට කීකරු පුද්ගලයකු ම.උ.කො. පත්කරගැනීම බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා. මේ ගැටලූව පසුගිය සතියේ දී කෝප් කමිටුවේ දී සාකච්ඡාවට බඳුන්වී ඇති අතර විදුලි බල මණ්ඩලයේ විශාල අයථා ගනුදෙනු සම්බන්ධයෙන් දැන් විමර්ශනය කෙරෙමින් පවතිනවා.

පාර්ලමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද වැඩමුළුවවක් සඳහා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිටද ආරාධනයක් ලැබුණා. එම වැඩමුළුව වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉහළ නිලධාරීන් සඳහා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව දැනුම ලබාදෙන වැඩසටහනක්. ඒ සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරයෙක්ද සම්බන්ධ වුණා. එය පළාත් මට්ටමින් පැවැත්වෙනවා. බස්නාහිර පළාතේ වැඩමුළුව සඳහා කෝප් සභාපතිවරයා සම්බන්ධ වූ අතර මධ්‍යම පළාතේ වැඩමුළුවටද සහභාගි වීමට නියමිතයි. ”රාජ්‍ය මූල්‍ය පාලනය කියන්නේ ඉතාම වැදගත් රාජකාරියක්. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් තමයි මේ මූල්‍ය කටයුතු සඳහා මැදිහත් වෙන්නේ. ඒ නිසාම මම මේ උපදේශය දෙන්න කැමතියි. රාජ්‍යය සහ ආණ්ඩුව දෙකක්. ආණ්ඩුව අවුරුදු පහෙන් පහට මාරු වෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් දේශපාලකයින්ගේ වුවමනාවන් ඉටුකරන්න යන්න ඕනෑ නැහැ. ඔවුන් කරන්න ඕනෑ රාජ්‍යය වෙනුවෙන් වැඩ කිරීමයි. එතකොට මූල්‍ය ගනුදෙනු අයථා විදියට කරන්න ඕන වෙන්නේ නැහැ. රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව වැඩ කළාම වංචා දූෂණ වෙන්නෙත් නැහැ. තමන්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අද අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නය දේශපාලකයින්ට ඕන විදියට නිලධාරීන් වැඩකරන්න ගිහින් අමාරුවේ වැටෙන එකයි.” කෝප් සභාපතිවරයා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව දේශනය පවත්වමින් කියා සිටියා.

තමාගේ විරුද්ධත්වය නොතකා ශ්‍රී ලනිප 16 කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීමත්, ඉදිරි මැතිවරණ පොහොට්ටුවෙන් තරග නොකර අලුත් පෙරමුණකින් තරග කිරීමේ තීරණයත් ගැන කලකිරී සිටි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා ඇමෙරිකාව බලා පිටත්ව ගියා. ඔහු මාස තුනක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිවයිනෙන් පිටත්ව යාමට අධිකරණයේ අවසරය ලබාගෙන තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වීමෙන් පසුව කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයට ජන බලය ගොඩනැගීමට බැසිල් කළ කැපකිරීම ගැන නිසි ඇගයීමක් සිදුවී නැති බවයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන් බව ප්‍රකාශ කිරීමේ යෝජනාව ගැන විශේෂ සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා සවස පැවැත්වුණා. මෙම කණ්ඩායමේ සියලු දෙනා සිටින‍්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වශයෙන්. ඔවුන් බොහෝ දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන් ලෙස කටයුතු කළ ද එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන නැහැ. එසේ කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වීමේ නීතිමය තත්ත්වය එයට හේතු වී තිබෙනවා. මෙම නීතිමය තත්ත්වය ගැන අඟහරුවාදා පක්ෂ නායක රැස්වීමේ දී දිගින් දිගට සාකච්ඡා සිදුවුණා. එය අවසන් වූයේ එම ප්‍රශ්නය ගැන තීරණ ගැනීමට ජී. එල්. පීරිස් මහාචාර්යතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක කමිටුවක් පත් කිරීමෙන්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කී‍වේ මාධ්‍යවලට මොන ප්‍රකාශ කළත් තම පක්ෂයේ කිසිවකු ස්වාධීන වීමට උත්සාහ නොදරනු ඇති බවයි. එබඳු අදහසක් ගැන හෝ තවමත් පක්ෂයට දැනුම් දී නැති බවත් එවැනි ක්‍රියාවක නීතිමය බලපෑම දන්නා පරිණත දේශපාලනඥයන් කිසිවකු ස්වාධීන වීමට උත්සාහ නොදරනු ඇති බවත් පියදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයට තවත් අභියෝගයක් එල්ල කළා. එයට සම්බන්ධ සංවිධානයක් වන ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කීවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්ෂය දැන්වත් ඉවත්විය යුතු බවයි. මේ ඉල්ලීම විමල් වීරවංශ මහතා මීට පෙරද සිදුකොට තිබූ අතර පසුගිය වසරේ ඔහුගේ මන්ත්‍රීන් හතරදෙනා එයින් ඉවත්වුණා. එසේ වුවද අනෙක් පක්ෂවල සියලු දෙනා තවමත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ රැඳී සිට ක්‍රියාකරනවා.

වාසුදේව නානායක්කාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් ජයගත හැකි අපේක්ෂකයකු ඒකාබද්ධ විපක්ෂයට නැති බවයි. එම නිසා පාර්ලිමේන්තු ක්‍රියාවලියකින් ජනපතිවරණය අහෝසි කරගත යුතු බව ද ඔහු කීවා. අගෝස්තු 2 විහාරමහාදේවි පිටියේ දී ද වාසු කීවේ රටේ අනෙක් පළාත්වලින් තමන්ට ඡන්ද ලැබුණද උතුරින්, නැ‍ඟෙනහිරින් හා වතුකරයෙන් ඡන්ද නොලැබුණු බවයි. එයින් පෙනෙන්නේ ජනාධිපතිවරණය තමන්ට අවාසිදායක බව ඒකාබද්ධ විපක්ෂය ගණන් බලා ඇති බවයි.

Email Facebook0 Twitter Google+ Pinterest0 WhatsApp Facebook Messenger

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *