ශිෂ්‍යත්ව දරුවන්ගේ බෝධි පූජාව – අනුර සූරියබණ්ඩාර

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ සංවේදි පුවත් තුනක් 2018 අගෝස්තු 06 දා පුවත්වත්වල පළ වී තිබුණි. ඉන් එකක් වන්නේ වන අලි ප්‍රහාරයකින් මියගිය, පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ගිය, අම්පාර, පන්නල්ගම, කුමන ගම්මානයේ විහංගි ආක්ර්ශා නමැති දියණියගේ පුවතයි. අනෙක; ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට යමින් සිටිය දී මහියංගනය, සොරබොර ජනපදයේ හද්දත්තාව අක්කර 80 මෝදරපිටිය ප්‍රදේශයේ හද්දත්තාව ද්විතීය පාසලේ සයුරි තත්ත්සරණි දැරිය සහ ඇගේ මව වනඅලි ප්‍රහාරයකට ලක් වීමේ පුවතයි. තෙවැනි පුවත නම්, ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් පැවැත්වුණු බෝධි පූජාවක් අතරතුර පදවිය, ඒ යාය, ඇළ පාරේ, ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ දී සිදු වූ බඹර ප්‍රහාරයකට ශිෂ්‍යත්ව විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටි දරුවන් 84ක් හා මව්පියන් ඇතුළු 103කට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බවට වූ පුවතයි.

ඉහත පුවත් තුන අතරින් පළමු දෙක වනඅලි ප්‍රහාර හේතුවෙන් සිදු වූ අතර තෙවැන්න සැලකිය හැක්කේ මවුපියන්ගේ අමනෝඥකමක් හේතුවෙන් තමන් ද අමාරුවේ වැටී දරුවන් ද අමාරුවේ දැමූ සිද්ධියක් වශයෙනි.

ඉහතකී දිනයේ එනම්, 2018 අගෝස්තු 06 පුවත්පතක පළ වූ කාටුනයකින් ද පෙන්වා තිබුණේ ශිෂ්‍යත්ව විභාගයට යන දරුවන් ඉදිරියේ  සිටින නැකත්කාරයන් දෙහි කපනන් තෙල් බේත් කාරයන් පිරිසකි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් මෙරට විභාග සමත්කර දීමේ ක්‍රියාවලිය පාසල් ගුරුන් අතරින් ටියුෂන් කාරයන් අතටත් ඉන් පසුව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කාරයන් අතටත් එතැනින් පන්සල්වල වෙසෙන කූඨ භික්ෂූන් අතටත් විතැන් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මාතර ප්‍රදේශයේ නමට (පමණක්?) බුද්ධියක් ඇති එක්තරා දේශපාලඥයකුද එක්තරා රූපවාහිනී නාලිකාවක් සමඟ එක් වී මතුරන ලද පෑනක් විභාග අපේක්ෂකයන්ට ලබ දීමට කටයුතු කරනු ඉහත රූපවාහිනී නාලිකාව මගින් උදේ හවා ප්‍රචාරය කරනු පෙනුණි. ජනතාවට මග පෙන්විය යුතු ජනමාධ්‍යයත් ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසීමට යොමුවිය යුතු දේශපාලකයාත් (ඔවුන් වෙනුවෙන් දේශපාලඥයා යන යෙදුම භාවිතයට සුදුසු නැත. දේශපාලඥයා යනු ඥානය දැනුම සහිත වැදගතකු වන නමුත් ඉහත කී මතුරපු පෑන් කාරයා යනු නොයෙකුත් විජ්ජා මගින් ජනතාවගේ ඔළු කුලප්පු කර කතිර මලු පුරවා ගන්නට පිටපොට ගසන කපටි ගොබිලන් පිරිසක් වන බැවිනි) එක්ව මේ කරමින් සිටින්නේ ජනතාවගේත් අනාගත පරපුරේත් සිරස කරකැවීමයි.

මැතිරූ පෑනකින් විභාග පාස් කරන්නට හැකි නම් බුද්ධිකත් සිරසත් කළ යුතු වන්නේ අධ්‍යාපනයට දරන වියදම් නවතා රටේ සෑම දරුවකුටම මතුරන ලද පෑනක් නොමිලයේ දෙන්නට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමයි. අධ්‍යාපන ආමාත්‍යාංශයෙන් දරුවන්ට ටැබ් දීම ආදිය සඳහා වැය වන මුදල් ද එවිට මංමාවත් තැනීම වැනි වෙනත් ඵලදායී කටයුත්තකට වැය කළ හැකිවනු ඇති බැවිනි.

ඊළඟ කාරණය බෝධි පූජාවයි. බුද්ධ සංකල්පය මෙන්ම බෝධි සංකල්පය ද බුදුන් වහන්සේට කලින් අනුහස් බව විද්වතුන් ගේ මතයයි. අස්වත්ථය හෙවත් ඇසතු බෝ රැක පවු දුරුකරන පූජනීය වස්තුවක් ලෙස මොහන්ද ජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ පටන් පිළිගෙන තිබුණු බවත් කියැවේ.

බ්‍රාහ්මන උපනිෂද් ග්‍රන්ථවලින් පූජනීයත්වය වර්ධනයක් කර තිබුණු සියල්ලන්ගේ සැළකීමට පත් රුක් මුලක බුදුවීමෙන් බුදුන් වහන්සේ ඊට බෞද්ධ අරුතක් දීමට සමත් වූ බවද සැබෑවකි.

“පළමුව තමන් විසින් නේත්‍ර පූජා කිරීමෙන් ද පසුව තමන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර පිළිගැනීමට සුදුසු චෛත්‍යයක් වශයෙන් නම් කිරීමෙන් ද තම අනුගාමිකයන්ගේ බෝධිය පිළිබඳ අදහස වෙනසකට පත් කිරීමට බුදුන් වහන්සේට හැකි විය. සාංචි ස්තූප කැටයම් අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුරුව සංකේතවත් කිරීම සදහා බෝ රුව යොදාගත් සැටි ද පෙනේ….

එහෙත් පසුකාලයේ ඇති වූ බෝදි පූජා විකාශය බුද්ධ පුජා චේතනාවෙන් බැහැර වූ ලෞකික සැප පතා කරන ශාන්තිකර්ම ස්වරූපයක් ගැනීමත් බෝගසෙහි කිරි එහි පත්‍රවල ස්වරූපය ආදි උද්භිත විද්‍යාත්මක ලක්ෂණ සූරිය රශ්මිය හා ප්‍රතික්‍රියා කර ඇසුරු කරන්නට බලපාන අන්දම ආදි බාහිර දේ විශ්ලේෂණය කිරීමත් නිසා ආගමික අරුත හීන වී ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් ද බෝධි පූජාව ශාන්තිකර්මයක් වශයෙන් සලකා ඊට නැඹුරු වී ඇත්තේ එහි මූලික අරුත වෙනස් වීමෙනි.

අද චෛත්‍යකට විහාරයයකට නොගොස් බෝධි පූජාවට පමණක් සම්බන්ධවන බෞද්ධයන් බොහෝ වන බව සවසක පන්සලට යන විට පෙනේ. ගහ අපල සඳහා බෝධි පූජා නියම කිරීමත්, යුද්ධය, විදේශගමනය ආදි හේතු නිසා ඇතිවන සංකාව දුරුකර ගෙන සෙත් පැතීමත් වැනි කරුණු ද, පානදුරේ අරියධම්ම හිමියන්ගෙන් පසු ව්‍යාප්තව ගිය බෝධි පූජා වැඩසටහන් ද නියම මගින් ඈත්වන්නට හේතු වූ කරුණු බව පෙන්.

බෞද්ධයන්ගේ මේ බෝධි පූජා ක්‍රමයට නැඹුරුව වීම තුළ විහාරස්ථානවලද නව බෝධි පූජා බුද්ධ පූජා පිළිවෙත් ව්‍යාප්ත වනු දක්නා ‍ලැබේ. අටවිසි බෝධිය හා අටවිසි බුදුවරුන් සංක්තවත් නො‍කළහොත් අද පන්සලකට අඩුවක් සිතන තරමට ගිහි පැවිදි දෙපිරසම සකස් වී සිටිති. විවිධ බුදුවරුන් විසින් දේශිත එකම සත්‍ය දර්ශනයෙන් ඈත් ව එම දේශකයන්ගේ රූ සටහන් හා භාවිත ඇති කෞතුකාගාරයකට වැඳීමට පමණක් ආගම සීමා කිරීම සුදුසු ද?”

සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක ශාසනාරක්ෂ බලමණ්ලය විසින් රේරුකානේ හිමියන්ගේ බෝධි පූජාව සම්බන්ධයෙන් පළකළ කෘතියට සම්පාදනය කළ පෙරවදනින් උපුටා ගැනිණි.

රේරුකානේ හිමියන් පෙන්වා දෙන පරිදි බෝධි පූජාව පින්පතා කෙරෙන්නක් මිස ප්‍රති උපකාර හෝ ලෞකික සැප සම්පත් විභාගජය හෝ ආරක්ෂාව පතා කළ යුත්තක් නොවේ. ඒ අනුව ගත් කල ඉහත බෝධිපූජාවට සම්බන්ධ කෙරුණු දරුවන් 84 දෙනා වැඩිහිටියන් විසින් නොමග යවනු ලැබූවන් ය. එපමණක් නොව එකී වැඩිහිටියන් විසින් දරුවන්ගෙ මනසට බුදු දහමේ විකෘතියක් ද අතුළු කර තිබේ. එම දරුවන් විභාගය සමත් වුවහොත් ඒ බෝධිපූජා බලයෙන් බව ඔවුන් වරදවා වටහා ගනු ඇත. එවිට ඔවුන්ගේ ගුරුවරු කර ඇත්තේ කුමක්ද, එමණක නොව මේ දරුවන් වැඩිහිටි වූ පසුවද ආත්ම විශ්වාසයෙන් තොර ආත්ම ශක්තියක් නොමැති නොයෙකුත් බලවේග පසුපස ගොස් පිහිට ඉල්ලා සිටින නිවට නියාලු පිරිසක් බවට පත්වනු ඇත. එවැන්නන් ගේ බුද්ධියෙන් රටකට ඉහළම ඵලදාව ලබාගන්නට ද හැකිවන්නේ නැත. දරුවන් විභාගයෙන් සමත් කරන්නට තබා බඹර ප්‍රහාරයෙන් වලක්වා ගන්නටවත් ශක්තියක් නැති බෝරුකට කවර පූජාද?

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *