ඔබ වහන්සේ වෙත නැවතත් – නිශාන්ත කමලදාස

ඔබ වහන්සේ තව වතාවක් අධිකරණයක් මගින් වැරදි කරුවෙකු බවට පත් කොට සිර දඩුවම් පමුණුවනු ලැබූ බව ඇසූ නිසා දෙවැනි වරටත් ඔබට ලියන්නට අපට සිත් විය.

අප විසින් ප්‍රසිද්ධ පුවත් පතක් හරහා ඔබට යොමු කළ පළමු ලිපිය ලීවේ ඔබ මුල්වරට සිර ගත කළ දා ය. එදා ලියන්නට අතපසු වූ දෑ ද සමග මෙය ලියන්නේ එදාට ද වඩා අද ඔබේ ඉරණම සිර ගෙදර සමග බැඳෙතැයි දැනෙන නිසා ය.

අධිකරණ තීන්දුව දෙන කාලය වන විට ඔබ වහන්සේ රෝගීව රෝහල් ගත ව සිටි බව ද අපි ඇසීමු. සමහරු ඒ සම්බන්ධයෙන් කියන්නේ සිර දඩුවම ගැන ඇති වූ සිත් තැවුල හේතුවෙන් නැතිනම් බිය වීම හේතුවෙන් හෝ එසේත් නැතිනම් එයින් යම් නිදහසක් ලබනු වෙනුවෙන් ඔබ ලෙඩ වී ඇති බව ය. අප නම් ඒ බව පිළිගන්නේ නැත.

ඔබ වහන්සේ අභීත ය. තමන් විශ්වාස කරන දෙය වෙනුවෙන් වහෙං ඔරෝ නැතිව පෙනී සිටිමේ ඔබ වහන්සේ සතු ඍජු ගුණය අපේ ගෞරවයට හේතු වෙයි. බොහෝ දෙනෙකුට එවැනි කොන්දක් නැත. එහෙම අය ඔබ වහන්සේගේ වැඩ හොර රහසේ අනුමත කරමින් ඔබ වහන්සේ ව අනියමින් දිරි ගන්වමින් කටයුතු කළ බව අපි පසුගිය කාලයේ බොහෝ තැනක දුටුවෙමු. දැන් ඔවුන් සුවසේ සිය සුවපහසු ආරාමයන් තුළ ද තමන්ගේ මාලිගා හෝ නිවෙස් තුළ ද සුව සැප විඳිද්දී ඔබ වහන්සේට පමණක් මේ බරපතළ වැඩ ඇති සිර දඩුවම නියම වීම ගැන අපේ කම්පාවක් ඇත. ඇත්තටම නම් ඔවුන් ද ඔබ වහන්සේගේ ඉරණමට අනියමින් වග කිව යුතු ය. ඔබ වහන්සේ කළ වැරදි සම්බන්ධයෙන් ද අනියමින් වග කිව යුතු ය.

කල්ලියක් එකතුව හොරකමේ ගියේ වුව ද තනියම පව් ගෙවන්නට සිදු වීම අවාසනාවක් බව ඇත්ත ය. ලංකාවේ හැටි එහෙම ය. බොහෝ විට හිරේ ලගින්නට සිදු වන්නේ අන්තේවාසිකයන්ට ය. ඒ තමන් අන්තේවාසිකම් කළ හාම්පුතුන් සුපුරුදු සුවයෙන් කල් ගෙවද්දී ය. සමාජයේ ගෞරව ලබමින් යහතින් වැජඹෙද්දි ය.

ඔබ වහන්සේට රඟන්නට තිබු‍ෙණ් බල්ලෙකුගේ භූමිකාවකි. ඒ උසි ගන්වන විට ඉස්සරහට යෑමේ කාර්යය ය. ඔබ වහන්සේ අවබෝධ කර ගත යුත්තේ එවන් විටක ගල් මුල් වදින්නේ එසේ ඉස්සරහට යන බල්ලන්ට බව ය.

ඔබ වහන්සේ වෙනුවෙන් කීප දෙනෙකු තවදුරටත් කතා කරනු ඇත. ඒ අතලොස්සක් බව ඔබ වහන්සේ තව නොබෝ දිනකින් අවබෝධ කර ගන්නවා ඇත. මිනිසුන් ගැන තේරුම් ගැනීමට එය ඔබට හොඳ අවස්ථාවක් වනු ඇතැයි අපි සිතමු.

මිනිසුන් ජිවිතයෙන් වඩාත් හොඳ පාඩම් ඉගෙන ගන්නේ ඔවුන් අමාරුවේ වැටුනු විට ය. ඔබ වහන්සේට ද දැන් ඒ අවස්ථාව උදා වී තිබේ. හිර ගෙදර දී වෙනත් යුතුකම් කරන්නට නැති නිසා තමන්ගේ කල් ක්‍රියාව නැවත විමසන්නට ඉඩ හා ඉස්පාසුව ඔබට ලැබෙන්නේ ය. ඔබ වහන්සේ මේ අවස්ථාව ඉතා හොඳින් භාවිතා කළ යුතු ය.

ලිට්මස් පරීක්ෂාව

අපට අනුව ඔබ වහන්සේ කළේ ලිට්මස් පරීක්ෂාවකි. ඒ අපේ අධිකරණය, නීතියේ ආධිපත්‍ය ගැන, කොතෙක් දුරට සංවේදී ද යන්නට අදාළව ය. වෙනත් විදිහකට කියන්නේ නම් ස්වාමීන් වහන්සේ කෙනකුට මෙරට අධිකරණ කොතෙක් දුරට නම්‍යශීලි වන්නේ දැයි පරීක්ෂා කිරීමට ය. අධිකරණය ඒ පරීක්ෂණයෙන් සමත් වී තිබේ. සිවුරකට අධිකරණය සෙලවිය නොහැකි යැයි, ඔබ වහන්සේ සම්බන්ධයෙන් දෙන ලද තීන්දුවෙන්, අධිකරණය විසින් පැහැදිලිව කියා තිබේ.

එය ඔබේ ගෞරවයට කෙසේ වතුදු අධිකරණයේත්, රටේත්, ගෞරවයට නම් හේතුවන බව සටහන් කළ යුතු ය.

ඒ නිසා ම ඔබ වහන්සේට කෙසේ වෙතත්, මේ රටේ නීති ගරුක පුරවැසියන්ට නම් එය සැනසීමට කාරණයක් වූවාට සැකයක් නැත. ඒ සැනසීම ලබා දෙන්නට ඔබ වහන්සේට සිර දඩුවමකින් වන්දි ගෙවිමට සිදු විය. එහෙම බැලුවහම ඔබ කර ඇත්තේ කිසියම් ආකාරයක කැප කිරීමකි. ඒ ගැන ඔබ වහන්සේට සතුටු විය හැකි ය.

හිර ගෙදර දුකක් විය හැකි වුව ද ඔබට සතුටු විය හැකි තව හේතු මේ දඩුවම තුළ තිබේ.

ඔබ වහන්සේ අධිකරණය පරීක්ෂා කොට නැවතුණේ නැත. ඔබ වහන්සේ සංඝ සමාජය ද ලිට්මස් පරීක්ෂාවට ලක් කරන්නේ ය. පරීක්ෂණය දැඩිව එල්ල වන්නේ මහා නායක ස්වාමීන් වහන්සේලා ට ය. මුණිවත රකිමින් ද ඇතැම් විට වචනයෙන් අනුග්‍රහ දක්වමින් ද ඔවුන් ඔබට අනුබල දුන් බව අපි පසුගිය කාලය පුරා වරින් වර දුටුවෙමු. එසේ කොට දැන් සියල්ල ඔබට කර ගහගන්නට ඉඩ දී ඔවුන් වෙනතක් බලන්නේ දැයි අපට දැන ගත හැකි ය. ඔවුන් සම්බන්ධයෙන් ද සැක සංකා දුරු කර ඔවුන් කවුරුන් දැයි දැනගන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන් ද අප ඔබට ණය ගැති ය. ඒ අවස්ථාව ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් ද ඔබට සතුටු විය හැකි ය.

ඔබ වහන්සේ පරීක්ෂා කරන්නේ ඒ ආයතන දෙක පමණක් නොවේ. කප්පරක් දේශපාලනඥයින් ද ඔබේ පරීක්ෂාවට ලක් වන්නේ ය. ඒ ඔවුන් ඉඳ ගන්නේ වැටෙන් කුමන පැත්තේ ද යන්න දැන් රටට විවෘත කිමට ඔබ අවස්ථාවක් දී ඇති බැවිනි.

ඔබ විසින් ඔවුන් දමා ඇත්තේ අති විශාල අමාරුවක ය. ආණ්ඩුවේ දේශපාලනඥයන්ට දැන් “දේශප්‍රෙමි“ විය හැක්කේ ඔබට ජනාධිපති සමාවක් දෙන ලෙස ජනාධිපති තුමා ගෙන් ඉල්ලා සිටීමෙනි. විපක්ෂයේ ඔබව ඉත්තෙක් කරගත් දේශපාලනඥයින්ට “දේශප්‍රේමී“ ලකුණු ලබා ගත හැක්කේ ඔවුන් බලයට පත් වූ පසු ඔබට ජනාධිපති සමාවක් ලබා දෙන බව කීමෙන් ය. එහෙත් මේ දෙගොල්ලන්නට ම එසේ එලිපිට කියන්නට බැරි ප්‍රශ්නයක් තිබේ. ඒ ජනාධිපතිවරණය ජය ගැනීමට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද ද අවශ්‍ය නිසා ය. සිංහල බෞද්ධ ජනපදනමක් සහිත ආසන වල ඡන්දයෙන් මන්ත්‍රීකමක් පමණක් ලබා ගෙන ඉන්නට හිත හදා ගෙන සිටින ටික දෙනෙකු නම් ඔබ වෙනුවෙන් යමක් කියන්නට ඉඩ තිබේ. එහෙත් වැඩි දෙනෙකුගේ හිත තියෙන්නේ රජ වීමට ය. ඒ නිසා විශේෂයෙන් රාජ යෝග තිබෙන අය නම් එසේ කියාවි යැයි ඔබ වහන්සේ නොසිතිය යුතු ය. ඔවුන්ට සිදු ව තිබෙන්නේ මග හිටියොත් තෝ නසින, ගෙදර ගියොත් අඹු නසින, තත්වයක ය. දෙක ම එකසේ භයානක ය. ඔවුන් මේ තත්වය යටතේ කෙසේ කටයුතු කරනු ඇත්දැයි බැලිය හැක්කේ ඔබ සැබෑ ලෙස සිර ගෙයි ජීවිතය ආරම්භ කිරිමෙන් පසුව ය. දැනට රෝහලේ සිටින තාක් ඔවුන්ට නවගුණ වැලේ ඇට ගණන් කර කර කල් ගත හැකි ය. එහෙත් දිගටම එසේ සිටීමට බැරි ය. ඔවුන් කවුදැයි හරිහැටි රටේ ජනතාවට දැක ගත හැකි වන සේ නිරාවරණය කිරීම සම්බන්ධයෙන් ඒ නිසා ජනතාව ද ඔබට ණය ගැති වනු ඇත. ඒ සම්බන්ධයෙන් ද ඔබට සතුටු විය හැකි ය.

“දේශප්‍රේමී“ පරීක්ෂාව

ඊළග පරීක්ෂාවට ලක් වන්නේ මේ රටේ ඉන්නවා යැයි කියන කප්පරක් වූ “දේශප්‍රේමී“ ජනතාව ය. ඒ අයගේ නම් පරීක්ෂා කිරීමට එහෙමට දෙයක් තවත් ඉතිරිව ඇත්දැයි ප්‍රශ්නයකි. තමන් වෙනුවෙන් යුද්ධයක් දිනා දුන්නා යැයි කියන සෙනෙවියා බිම දිගේ ඇදගෙන ගොස් හිර ගෙයි ලූ කල ද එතරම් ගෝරනාඩුවක් නොකළ ඔවුන් ඔබ වහන්සේ වෙනුවෙන් කට අරිතැයි සිතීම ම මිරිඟුවකි. ඒ තත්වය යටතේ ඔවුන් සම්බන්ධයෙන් සතුටු විය හැකි කිසිවක් ඔබ වහන්සේට ඉතිරි වේදැයි අපට සැක ය.

සිර ගෙදර යෑමට ඔබ වහන්සේ බිය විය යුතු නැත. එහි ද රෝහලක් තිබෙන බව ඔබ වහන්සේ අසා ඇතුවාට සැක නැත. හිර ගෙදර නිලධාරීන් ඔබ වහන්සේ වෙනුවෙන් යම් යුක්තියක් ඉටු කරනු ඇතැයි ඔබ වහන්සේට අපේක්ෂා කළ හැකි ය.

ඔබ වහන්සේ බිය විය යුත්තේ ඔබ වහන්සේගේ හෘද සාක්ෂියට ය. ඒ භික්ෂුවක ලෙස ඔබ වහන්සේ ශාසනයට කර ඇති හානිය සම්බන්ධයෙන් ය. පොදුවේ බුද්ධාගමට කර ඇති හානිය සම්බන්ධයෙන් ය. විශේෂයෙන් සෙසු ලෝකය තුළ ඔබේ ක්‍රියාකාරිත්වය නිසා බුදු දහමට සිදු වූ නව නිග්‍රහයන් සම්බන්ධයෙන් ය. ඒ නිසා ම බුදු දහමට යොමු විය හැකි ව සිටි බොහෝ දෙනා ඒ දෙස වපරැසින් බැලීමෙන් ඔවුන්ට කර ඇති අගතිය සම්බන්ධයෙන් ය. බුදුන් වහන්සේට ඔබ විසින් කර ඇති නින්දාව සම්බන්ධයෙන් ය.

භික්ෂුවක්වත් හික්මවීමට අසමත් ආගමක් ගිහියන් හික්මවන්නේ කෙසේ දැයි මිනිසුන් අසන්නේ ඔබේ ක්‍රියාකාරිත්වය දෙස බලමින් ය.

සියලු සත්ත්වයන්ට මෛත්‍රී කළ ආගමක් තම සතුරන්ට අබ සරණ පතන තැනට ගෙනාවේ ඔබ ය.

සන්සුන් ගමන් ඇති භික්ෂුවකගේ ප්‍රතිරූපය වෛරයෙන් හඩ තලන යකෙකුගේ ප්‍රතිරූපයකින් ආදේශ කළේ ඔබ ය.

මිනිසුන්ගේ මනස් ශාන්ත සුවයෙන් සනහන රුවක් වෙනුවට උන්ගේ ජඩ පහත් ගති අවුස්සන හැඟීම් ප්‍රලය කරන රකුසෙකුගේ පෙනුම සිවුරට ආරූඩ කළේ ඔබ ය.

මකස ජාතකය

ඒ සියල්ල ඔබ කළේ ඔබ විශ්වාස කළ බුදු දහම ද එහි ආරක්ෂකයන් බවට තමන්ම පත් කර ගෙන සිටි සිංහලයන් ද ආරක්ෂා කිරීමට බව සැබෑ ය. ඔබ දන්නවා යැයි අප විශ්වාස කරන බුදු බණෙන් ම කතාවක් ගෙන ඔබේ ක්‍රියාවේ සැබෑ අර්ථය පෙන්වා දීමට අපට අවසර දෙනු මැනව.

ඒ පියා මදුරුවකුගෙන් බේරා ගනු වස් පොරොව භාවිතා කළ පුතකු සිටි මකස ජාතකයෙන් ය. ජාතක පොතේ සඳහන් වචන වලින් ම අපි ඒ කතාව අසා ඉඳිමු.

“යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානෝ වෙළඳාමෙන් ජීවත් වෙති. එසමයෙහි කසීරට එක් පසල් ගමෙක බොහෝ වඩුවෝ වෙ‍ෙසති. ඒ ගම එක් ඉසකේ වැගිරී ගිය වඩුවෙක් දණ්ඩක් සස්නේය. එකල එක මදුරුවෙක් ඔහුගේ තඹ තැටි පිටක් වැනි වූ ඉසෙහි ද අඩයටියෙන් පහරණාක් මෙන් ඉස මුව තුඩින් විදිනේය. එතෙම තමා සමීපයෙහි සිටි පුතුට කියන්නේ ‘පුත මා හිස එක් මදුරුවෙක් තෙබකින් අනින්නාක් මෙන් විදිනේය. ඔහු නවතාපියවයි‘ කීය. එබස් ඇසූ පුත්‍රයා කියන්නේ ‘පියණනන් වහන්ස, ඉවසුව මැනවයි එක පහරින් ඒ මදුරුවා මරාපියම්යි‘ කීය. එසමයෙහි බෝධිසත්වයෝත් තමන්ට බඩු සොයමින් එගමට පැමිණි ඒ වඩුවන්ගේ දඬුගල සිටියාහ. ඒ වඩ්ඪකී පුත්‍රයා මදුරුවා දුරු කෙරෙමියි සියුම් මුවහත් ඇති මහ පොරවක් ගෙණ පියාගේ පිටිපස්සේ සිට මදුරුවාට ගසමියි කියමින් පියාගේ හිස දෙකක් කොට පැළුයේය. වඩුවා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය“.

ඔබ වහන්සේ ධර්මය ආරක්ෂා කළේ මකස ජාතකයේ කොළුවා සිය පියා ආරක්ෂා කළ ආකාරයට ය.

බුදුන් ඒ ජාතකයෙන් කියන පණිවුඩය ගැන සිර ගෙදර සිට සිතන්නට ඔබ කටයුතු කළ යුතු ය. ජාතක පොතේ වචන වලින් ම ඒ පණිවුඩය අසනු මැනව.

“බෝධිසත්වයෝ ඔහුගේ ක්‍රියාව දැක සතුරා උවත් නුවණැති තැනැත්තේ උත්තමය. ඒ නුවණැත්තා වූ සතුරා අනුන් තමා මරතත් දණ්ඩ ගනිතත් ඒ දණ්ඩනාදියෙහි භයින් මනුෂ්‍යයන් නොමරන්නේ යයි සිතා මෙසේ කිවු ය. නුවණින් යුක්ත වූ සතුරා උතුම්, නුවණ නැත්තාවූ මිත්‍රයා උතුම් නොවෙයි. කුමක් හෙයින් ද යත්, මේ කෙළ තොළු වූ නුවණ නැති පුත්‍රයා මදුරුවා මරම් යයි තමාගේ පියාගේ ඔළුව පලාපි ය. එසේ හෙයින් අඥාන වූ මිත්‍රයාහට වඩා ප්‍රඥා වූ අමිත්‍රයා ම උතුමැයි“.

අවශ්‍ය යක්කු නොවේ

ඔබ වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ බුදුන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් නිසි නුවණ පිහිටුවා ගන්නා ලෙස ය. බුදු දහම ආරක්ෂා කිරීමට පොරොව භාවිතා කොට හිස දෙපළු කොට නොදමන ලෙස ය.

අද බුදු දහම රැකීමට අවශ්‍ය යක්කු නොවේ. රාවණාලා නොවේ. බල සේනා නොවේ. අවශ්‍ය සාන්තුවරයන් ය. ශාස්තෘවරුන් ය.

බුදු දහම රැකෙන්නේ පොරොවෙන් නොවේ. අබ වලින් නොවේ. දහමෙන් ය. දහමට මග පෙන්වීමට හැකි භික්ෂූන් වහන්සේලා ගෙන් ය.

ධර්මය රකින්නා ධර්මයෙන් ම රැකෙනවා යැයි බුදුන් වහන්සේ කීවේ කට කහනවාට නොවේ. අපට ඒ අනුව කටයුතු කරන්නට ය.

අද අවශ්‍යව ඇත්තේ සිවුරේ බලය යොදා ගෙන මැර කම් කිරීමට සූදානම් අය නොවේ. සිවුරේ ගරුත්වය රකින්නට කැප වී සිටින ධර්ම ගවේෂී භික්ෂූන් වහන්සේලා ය.

අපි ඇති වෙන්නට ගැටුම් දැක ඇත්තෙමු. ඒ නිසා වුනු ව්‍යාසනයන් ද දැක ඇත්තෙමු. අපේ හොඳම තරුණ තරුණියන් මැස්සන් මදුරුවන් මෙන් මිය යනවා දැක ඇත්තෙමු.

රටට සාමය අවශ්‍ය ය. දියුණු වීමට ගැටුම් වලින් තොර ඉස්පාසුවක් අවශ්‍ය ය. අප අපේ රට තුළ එකිනෙකාගෙන් ගේම ඉල්ලමින් සිටින අතරතුර සෙසු රටවල් අප පසු කර යන්නේ ය. අපේ කොල්ලන්ට සිදු ව ඇත්තේ එසේ ඉදිරියට යන ඉදිරිගාමී රටවල පිහිට පැතීමට ය. ඒ රටවලට පැන ගැනීමට දිවි එපා යැයි කියමින් මහ මුහුදට අවතීරණය වීමට ය.

මැරෙන දාට අප කිසිවක් ගෙනි යන්නේ නැත. ඊට රට ද ඇතුළත් ය. ඒ නිසා රට එක එකාගේ භුක්තියට සවි කර තැබීමට අවශ්‍ය නැත. එහෙත් එතෙක් ජීවත් වීමට අපට රටක් තිබිය යුතු ය. එකිනෙකා මරා ගන්නා රටක් නොව සැමට ම ජීවත් විය හැකි රටක් ඒ සඳහා අවශ්‍ය ය. දියුණුවට ඉස්පාසුවක් ඇති රටක් අවශ්‍ය ය. තරුණ තරුණියන්ට ඇති තරම් රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා, අධ්‍යාපන අවස්ථා බිහි කළ හැකි රටක් අවශ්‍ය ය. උන් ආසාවෙන් රැඳෙන රටක් අවශ්‍ය ය.

අනෙකා හිරකරන දම්වැලේ අනෙක් කොණ

ඔබ කැප විය යුත්තේ මේ රට, කිසියම් එක ජාතියක භුක්තියට සවි කොට, සෙසු මිනිසුන් සතුරන් මෙන් සලකන රටක් බිහි කිරීමට නොවේ. ඒ තුළ සතුරා දෙස බලමින්, ඔහු ම ජීවිතය කොට දිවි ගෙවමින්, සෙසු වැඩ කටයුතු අතපසු කරමින්, එක තැනක රඳන රටක් ඇති කිරීම නොවේ. අපට නිදහස ලැබිය හැක්කේ අනෙකා හිර කර තැබීමෙන් නොවේ. එවිට අපට ද සිදු වන්නේ හිර වීමට ය. අනෙකා හිර කර අපට නිදහස විඳිය නොහැකි නිසා ය. ඔහු හිර කර රඳන බවට සහතික වීමට අපට ද දෑස් දල්වා බලා සිටීමට සිදු වන නිසා ය.

සහෝදරත්වයෙන් පිරුණු රටක එවැනි හිරකිරීම් නැත. බන්ධන නැත. ඔබ කැප විය යුතුව තිබුනේ එවන් රටක් සඳහා ය. බුදුන් වැඩි මග ඔස්සේ යා හැක්කේ, මහ රහතුන් වැඩි මග ඔස්සේ යා හැක්කේ, එසේ නිදහස් කරනු ලැබූ රටක මිනිසුන්ට පමණ ය. බුද්ධාගම රැක ගැනීම සඳහා ආයුධ දරන්නට සිදු වේ නම්, එවන් රටකට දහමෙන් ලද හැකි දෙයක් නැත.

මේ ගැන නැවත නැවතත් ආවර්ජනය කරන්නට ඔබට දැන් ඉඩ තිබේ. ආවේගයෙන් තොරව සන්සුන් මනසකින් මේ සියල්ල දෙස නැවත බලන්නට හිර ගෙදර තුළ අවකාශ තිබේ.

සමස්ථ ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වූ නෙල්සන් මැන්ඩෙලා ද වසර 26 ක් සිරබත් කෑවේ ය. ඒ කල්ලන්ගේ රට බලහාත්කාරයෙන් අල්ලා ගෙන සිටි සුදු පාලකයන්ට එරෙහිව සටන් කිරීම නිසා ය. එහෙත් හිරෙන් නිදහස් වී එලියට යන මොහොතේ ඔහු දැඩි අදිටනින් තීරණයකට එළඹියේ ය. ඒ තමන් සිර ගත කළ සුදු පාලකයන්ට එරෙහිව දළු ලමින් තිබුණු වෛරය සිර ගෙදර තාප්පයට මෙහායින් අත හැර යන බව ය. එසේ නොකළොත් තමන්ට දිගටම ඒ වෛරය තුළ සිර වී ජීවත් වීමට සිදු විය හැකි නිසා ය.

අප මේ බව අපගේ මුල් ලිපියේ ද සඳහන් කළා මතක ය. එහෙත් එය දෙවරක් නොව කීපවරක් වුව සඳහන් කිරීමෙන් ඔබට වාසියක් මිස පාඩුවක් නොවේ.

ඒ නිසා ම ඔබ වහන්සේගෙන් කිරීමට අපට ද ඉල්ලීමක් ඇත. ඒ ඔබ වහන්සේ එලියට එන විට බුදු දහම හොඳින් කියවා ජීවිතය දෙස අලුතින් බලන්නට ඉගෙන ගෙන පැමිණෙන ලෙස ය. ඔබ වහන්සේ ළඟ තිබූ පුපුරන අබ හිර ගෙදර තුළ විනාශ කර සියලු ජාතීන් වෙත ත්‍රිවිධ රත්නයේ සරණ ගෙන වඩින ලෙස ය. එසේ නොවෙතොත් ඔබට සිදු වන්නේ එලියට පැමිණිය ද නැවතත් හිර වීමට ය. ඒ හිර ගෙය ඔබ ඔය යන හිරගෙයට වඩා නරක ය. ඔබටත් රටටත් දෙකටම නරක ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *