සංවිධානාත්මක අපරාධ ගැන – එම් ඕ ඒ ද සොයිසා
සංවිධානාත්මක අපරාධ මේ දිනවල සමාජය තුළ කථාබහට ලක්වන ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇත. මාධ්‍ය තුළ සංවිධානාත්මක අපරාධයක් වාර්තා නොවන දිනයක් වේ නම් කලාතුරකින්ය. ඒ තරමටම රට තුළ සංවිධානාත්මක අපරාධ රැල්ල ඉහළ ගොස් තිබෙන ආකාරයක් දැකිය හැකිය. සංවිධානාත්මක අපරාධ ගැන කථා කරන විට නිතැතින්ම සිහියට එන්නේ රටේ නමගිය බරපතළ අපරාධකරුවන්ය. හේතුව බොහෝවිට එම අපරාධවලට ගෑවෙන්නේ එවැනි අපරාධකරුවන් වීම නිසාය. නමුත් සංවිධානාත්මක අපරාධවල අභ්‍යන්තරය බලන විට පෙනී යන්නේ එයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. සැබෑ තත්ත්වය වන්නේ සංවිධානාත්මක අපරාධවලට බොහෝවිට සම්බන්ධ වන්නේ රටේ නමගිය අපරාධකරුවන් හෝ මාෆියා කල්ලි සාමාජිකයින් නොව සමාජ ප්‍රභූන්යැයි සලකන සමාජයේ ඉහළ පෙලේ පුද්ගලයින් වීමය. එනම් ඉහල පෙලේ ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් සහ නීතීඥයින්, වෛද්‍යවරුන්, සිවිල් සේවකයින්, බදු නිලධාරීන්, රේගු නිලධාරීන්, අධිකරණ නිලධාරීන් සහ ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් වැනි සුදු කරපටි වෘත්තීකයින් වීමය. සමහරු සංවිධානාත්මක අපරාධ ගනයට අන්තර්ගත කරන්නේ ව්‍යාපාරිකයින් විසින් කරන අපරාධ පමණි.
සුදු කරපටි වෘත්තීකයින් කරන අපරාධ හඳුන්වන්නේ සුදු කරපටි අපරාධ ලෙසය. හරයාත්මක වශයෙන් බලන විට එම කණ්ඩායම් දෙක කරන අපරාධවල එතරම් වෙනසක් දැකිය නොහැක. සත්‍ය වශයෙන් සිදුවන්නේ දෙවර්ගයක අපරාධ කිරීම නොව එක් කණ්ඩායමක් විසින් පටන් ගන්නා අපරාධ සංවිධානාත්මකව කරගෙන යාමට අනෙක් කණ්ඩායම චේතනාන්විතවම සහාය දීමය. මේ අනුව සංවිධානාත්මක අපරාධ කිරීමේ පෙරමුණු බලඇණිය ලෙස ක්‍රියා කරන්නේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයින්ය. එම අපරාධ කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය දේශපාලන අනුග්‍රහය ලබා දෙන්නේ දේශපාලනඥයින්ය. වෙනත් නීතිමය සහ රාජකාරි මට්ටමේ නිල සහාය ලබා දෙන්නේ සුදු කරපටි වෘත්තීකයින්ය. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. එනම්, ඕනෑම රටක සංවිධානාත්මක අපරාධ සිදුවනවා නම් ඒ වූ කලි ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් සහ සුදු කරපටි වෘත්තීකයින් යන කණ්ඩායම් තුනේ ඒකාබද්ධ සහයෝගයෙන් කෙරෙන්නාවූ දෙයක් වන බවය. මෙයින් පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ ව්‍යාපාරිකයින් සංවිධානාත්මක අපරාධ කිරීමේ පෙර ගමන්කරුවන් වූවද දේශපාලනඥයින්ගේ සහ සුදු කරපටි වෘත්තීකයින්ගේ ආධාර උපකාර සහ සහයෝගය නොමැතිව ව්‍යාපාරිකයින්ට එම අපරාධ කළ නොහැකි බවය.
සංවිධානාත්මක අපරාධ වූ කලි අල්ලස, දුෂණය සහ කළු සල්ලි යන අපරාධ සමඟ එකට බැඳී තිබෙන ඒවායින් වෙන්කළ නොහැකි තවත් අපරාධ වර්ගයක් වේ. මෙයින් අදහස් වන්නේ අල්ලස, දුෂණය සහ කළු සල්ලි ක්‍රියාත්මක වන්නේ කොතනද එතන අනිවාර්යයෙන්ම සංවිධානාත්මක අපරාධ සිදුවන බවය. හේතුව අල්ලස, දුෂණය සහ කළු සල්ලි මගින් සංවිධානාත්මක අපරාධ කිරීම කෙරෙහි බලපෑම් කරන සහ උපකාර වන පරිසරය හා වටාපිටාව නිර්මාණය කර දීමය. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වන්නේ ඒවා සාමාන්‍ය අපරාධ ගනයට අයත් වන මිනීමැරුම්, ගිනිතැබීම්, මංකොල්ලකෑම්, සොරකම් සහ කල්ලි අතර ඇතිකර ගන්නා ගැටුම් යනාදියෙන් වෙනස් වීමය. මෙම සාමාන්‍ය අපරාධ බෙහෝවිට සිදුවන්නේ ක්‍ෂණිකව ඇතිවන හැඟීම් සහ ආවේග පදනම් කරගෙනය. නමුත් සංවිධානාත්මක අපරාධ එසේ ක්‍ෂණිකව ඇතිවන හැඟීම් හා ආවේග මත සිදුකරන ඒවා චේතනාන්විතව සැළසුම් කරන ලද අපරාධ වීමය. අනෙක් ලක්‍ෂණය වන්නේ සංවිධානාත්මක අපරාධ සැළසුම් කරන්නන් ක්‍රියාවට නංවන්නන් එකම පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් නොවීමය. වෙනත් ආකාරයකට කියනවා නම් එයින් අදහස් වන්නේ එම ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයින් කොටස් තුනකින් යුක්ත වීමය. එනම් අපරාධ සැළසුම් කරන්නන්, අපරාධ සහායකයින් සහ අපරාධ ක්‍රියාවට නංවන්නන් වශයෙනි.
සංවිධානාත්මක අපරාධ සැළසුම් කරන්නේ ව්‍යාපාරිකයින්ය. ඒවා කිරීමට අවශ්‍ය දේශපාලන සහ නෛතික ආවරණය සපයන්නේ දේශපාලනඥයින් සහ සුදු කරපටි වෘත්තීකයින්ය. ඔවුන් අපරාධ සහායකයින් වේ. සමහරවිට එම අපරාධ ක්‍රියාවට නංවන්නේ බරපතළ අපරාධකරුවන් සහ මාෆියා කල්ලි සාමාජිකයින් යොදවා ගනිමින්ය. ඔවුන් අපරාධකරුවන් වේ.
මීට ඉහතින්ද සඳහන් කළ පරිදි සංවිධානාත්මක අපරාධ බොහෝ විට සැළසුම් කරන්නේ සාපේක්‍ෂ වශයෙන් සමාජයේ වැදගත්යැයි පිළිගැනීමට ලක්ව ඇති ධනවත් පුද්ගලයින්ය. එනම් ව්‍යාපාරිකයින්ය. බාහිර වශයෙන් බලන විට සංවිධානාත්මක අපරාධ ක්‍රියාවට නංවන බරපතළ අපරාධකරුවන් හැරුණුවිට එයට සම්බන්ධ අනෙක් කණ්ඩායම් තුන වූ ව්‍යාපාරිකයින්, සුදු කරපටි වෘත්තීකයින් සහ දේශපාලනඥයින් සමාජයේ අනෙක් අයට පෙනෙන්නේ සුදු පුද්ගලයින් ලෙසය. එනම් ආගම දහම හොඳින් අදහන, දරු මල්ලන්ට සළකන, සමාජ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන, යහපත් පවුල් ජීවිතයක් ගතකරන වැදගත් නම්බුකාර පුද්ගලයින් ලෙසය.
එමෙන්ම සත්ගුණවත් සාර්ථක ව්‍යාපාරිකයින් හා සමාජ ශෝධකයින් ලෙසය. සමාජ අභිවෘද්ධිය උදෙසා ඇපකැප වී වැඩ කරන ඉතාම ඉහළ මට්ටමේ සමාජ සේවකයින් ලෙසය. නමුත් මෙම කාණ්ඩ තුනට අයත් වන සමහර පුද්ගලයින්ගේ අභ්‍යන්තර ජීවිතය දෙස බලන විට දැකිය හැක්කේ ඉහත තත්ත්වයට මුළුමණින්ම පටහැනි තත්ත්වයකි. එනම් ඔවුන්ගේ ජීවිත අතිශයින්ම භයානක කළු චරිත බවය. ඔවුන් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ භයානක අපරාධකරුවන් වන බවය. ව්‍යාපාර මගින් උපයා ගන්නා ධනය සහ දේශපාලනඥයින්ගෙන් ලැබෙන හයිය සහ නිලබල ක්‍රමය මගින් ලබා දෙන නීතිමය රැකවරණය එකට එක් කිරීම මගින් නිර්මාණය කර ගන්නා ආවරණය තුළ සැඟවී ඔවුන් තම අපරාධ වසන් කරගෙන සිටී.
සංවිධානාත්මක අපරාධ ගනයට අයත් වන්නේ සාමාන්‍ය වෙළඳපොළ ක්‍රියකාරිත්වයට පටහැනිව සිදු කරන නීති විරෝධී ව්‍යාපාරික කටයුතු හෝ නීතියට පටහැනිව කරන මුදල් ඉපයීමේ කටයුතුය. එනම් අයථා ලෙස ලාභ සහ මුදල් උපයා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපාරිකයින් විසින් කරනු ලබන නීතියෙන් තහනම් කරන ලද වාණිජ කටයුතුය. මෙම නීති විරෝධී වෙළඳ කටයුතු ප්‍රමාණාත්මක වශයෙන් මෙපමණයැයි දැක්විය නොහැක. සාමාන්‍ය වශයෙන් ප්‍රකාශ කරනවා නම් මුදල් ඉපයීම සඳහා නීතියෙන් තහනම් කරන ලද ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් සංවිධානාත්මක අපරාධ ගනයට අයත් වේ.
නිදසුන් ලෙස කූඨ වාණිජ ගනුදෙනු, සුදු ක්‍රීඩා, හොරබඩු කිරීම හා නිර්යාත කිරීම, ගණිකා නිවාස පවත්වා ගෙනයාම, කප්පම් ලබා ගැනීම සඳහා පැහැර ගැනීම, ස්ත්‍රී දුෂණ, කුලියට මනුෂ්‍ය ඝාතනය කිරීම්, මාෆියා කල්ලි යොදා ව්‍යාපාර විනාශ කිරීම හෝ අඩපණ කිරීම, හොර මත්පැන් වෙළඳාම, නීති විරෝධී ලෙස ශ්‍රමය සූරාකෑම, හොර කිරුම් මිනුම්, මත්ද්‍රව්‍ය පරිවහනය සහ වෙළඳාම, නීති විරෝධී ගබ්සා කිරීම්, අපරාධකරුවන්ට නීතියට පටහැනි ලෙස සහාය වීම හා ආධාර උපකාර කිරීම, සන්නම් නාම වෙනස් කරමින් කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම, සන්නාම බලපත්‍ර වෙනස් කිරීම, කතෘ අයිතිය වංචා කිරීම, බදු ගෙවීම පැහැර හැරීම හෝ වංචා කිරීම, කොටස් වෙළෙඳපොළේ කරන වංචනික ක්‍රියා, භාණ්ඩ සැඟවීම සහ වැඩි මිලට විකිණීම, විදේශ විනිමය වංචා කිරීම, රාජ්‍ය දේපොල මංකොල්ලකෑම, මිල ගණන් අඩුවෙන් හෝ වැඩියෙන් දැක්වීම, අල්ලස් දීම හා ගැනීම යනා දී වාණිජ කටයුතු සහ සමාජ විරෝධී ක්‍රියාවන් සංවිධානාත්මක අපරාධ හැටියට හැඳින්විය හැක.
ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ සංවිධානාත්මක අපරාධ කරනු ලබන්නේ අපරාධකරුවන් ලෙස හංවඩු ගසා සිටින සාමාන්‍ය අපරාධකරුවන් නොවන බවය. ඕනෑම සමාජයක සංවිධානාත්මක අපරාධ කරන්නේ ඉහළ සමාජ ස්ථර නියෝජනය කරන ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් සහ සුදුකරපටි වෘත්තීමය කොටස් විසිනි. මොවුන් නියත ලෙසම සාමාන්‍ය අපරාධකරුවන් ලෙස හංවඩු ගසා සිටින සොරුන්ගෙන්, මංකොල්ලකරුවන්ගෙන්, වංචනිකයින්ගෙන්, මිණීමරුවන්ගෙන්, ස්ත්‍රී දුෂකයින්ගෙන් වෙනස් වේ. සංවිධානාත්මක අපරාධකරුවන් එක් අතකින් දැනුවත් බුද්ධිමත් කණ්ඩායමක් වන අතර අනෙක් අතින් ක්‍ෂණිකව ඇතිවන ආවේග සහ හැඟීම් අනුව කටයුතු කරන්නන්ද නොවේ. ඔවුන් අපරාධ කරන්නේ සැලසුම් සහගතවය. එමෙන්ම ධනය හා බලය පසුපසින් තබා ගෙනය. සංවිධානාත්මක අපරාධ එක්වරම හඳුනා ගැනීමද පහසු කාර්යයක් නොවේ. හඳුනා ගත්තද එම අපරාධ මර්ධනය කිරීමද පහසු නැත.
හේතුව ධනය සහ බලය එම අපරාධ පසුපස තිබීමය. වෙනත් ආකාරයකට කියනවා නම් සමාජයේ මුදල් අතින් බලවත්යැයි සළකන සල්ලිකාර ව්‍යාපාරිකයින්, දේශපාලන වශයෙන් බලවත්යැයි සළකන දේශපාලනඥයින් සහ නිලබලය අතින් බලවත් නිලධාරීන් ඒ පිටුපස සිටීමය. සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම අතිශය අපහසු කාර්යයක් බවට පත්ව තිබෙන්නේ මෙම හේතුව නිසාය.සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම අඩපණ වීම කෙරෙහි බලපා ඇති තවත් හේතුවක් වන්නේ සාමාන්‍ය ජනතාව ඒ කෙරෙහි දැඩි උනන්දුවක් නොදැක්වීමය. හේතුව එවැනි අපරාධ මගින් සමහර විට සාමාන්‍ය ජනතාවටද ලාභ ප්‍රයෝජනයක් අත් වීමය.
සංවිධානාත්මක අපරාධ මර්ධනය කළ හැක්කේ සංවිධානාත්මක සාමූහික උත්සාහයක් මගින් පමණි. මේ සඳහා දේශපාලනඥයින්ගේ සහ නිලබල පැළන්තියේ දැඩි කැපවීම හා මැදිහත් වීම අත්‍යවශ්‍යම නමුත් සංවිධානාත්මක අපරාධවල කොටස් කරුවන් නම් සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම හුදු වචන හරඹයක් පමණක් වැළැක්විය හැකි නොවේ. අද අපේ රට මුහුණ දී තිබෙන්නේ මෙම අවාසනාවන්ත අත්දැකීමටය.
දිනමිණ