ශ්‍රීලනිප 16 කණ්ඩායමේ-ඒකාබද්ධයේ උද්ඝෝෂණවලට බැසිල් නෑ

විජේසිරි කරඳගොල්ල

රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම සමඟ එක්ව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවන බවත්, එම උද්ඝෝෂණ පවත්වන කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව සිටීමට සැලසුම් කොට ඇති බවත් ඒ මහතාට සම්බන්ධ ආරංචිමාර්ග කියයි. ඒ අනුව මෙම සෙනසුරාදා හෝ ආසන්න දිනයකදී විදේශගතවන ඒ මහතා යළි මෙරටට පැමිණෙන්නේ ඔක්තෝබර් මුල හෝ ඉන් පසුව බවද දැනගන්නට ඇත. ශ්‍රීලනිපයෙන් පැමිණි 16 කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීමට බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ විය.

කෙසේ වෙතත් ඔවුන් වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය. ඒ සමඟම ඔවුන් තීරණය කළේ මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ‍හෝ පොහොට්ටුව ලකුණින් ‍‍හෝ මැතිවරණ තරග නොකරන බව හා ඒ සඳහා අලුත් පෙරමුණක් ගොඩනඟන බවටයි. මෙම තීරණ දෙක බැසිල් රාජපක්ෂ මහාතගේ බලය බිඳ දැමීමට ගත් තීරණ බව සිතන රාජපක්ෂ මහතා ඒ පිළිබඳ හිත් අමාරුවෙන් සිටින බව කියති.

විපක්ෂයේ නව පෙරමුණ ජනතාවට හඳුන්වාදීම සඳහා සැප්තැම්බර් මාසයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම්කොට ඇත. එයට සහභාගී නොවන බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඇමෙරිකාව බලා යන බව කියා මාස දෙකක කාලයකට විදේශගතවීමට අධිකරණයේ අවසරයද පසුගියදා ලබාගත්තේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහයදීම සඳහා ඒකාබද්ධ විපක්ෂය පසුගිය අගෝස්තු 03 හදිසියේ කැඳවන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට ද බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වූයේ නැත. අසාර්ථක වූ එම උද්ඝෝෂණය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මත භේද උග්‍රවූ බවද වාර්තා වීය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිස් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ‘කරපිංචා න්‍යාය’ දැන් බැසිල් රාජපක්ෂ මහතා සඳහාද ක්‍රියාත්මක කොට ඇති බවකි.

විජේසිරි කරඳගොල්ල

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *