ගලගොඩඅත්තේ හිමි වසර හයක් හිරේට

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ අභියාචනාධිකරණය ඒ වෙනුවෙන් වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර 6කින් ගෙවී යන පරිදි ඊයේ (08) නියම කෙළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව ඇති චෝදනා 4ටම වැරැදිකරු බවට තීරණය කළ අභියාචනාධිකරණය ඒ ඒ චෝදනාවට වෙන් වෙන්ව සිර දඬුවම් නියම කෙළේය.

ඒ අනුව පළමුවන චෝදනාවට වසර හතරක, දෙවන චෝදනාවට වසර හතරක, තෙවන චෝදනාවට වසර හයක, සිව්වන චෝදනාවට වසර පහක යනාදී ලෙස බරපතල සිර දඬුවම් නියම කරන ලදී. එම සිර දඬුවම් එකවර ගෙවීයන ලෙසද නියම කෙරිණි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි කලහකාරි ලෙස හැසිරීමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර තිබේද යන්න පිළිබඳව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගයන් කෙළේය.

දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වහාම බන්ධනාගාර භාරයට ගන්නා ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙම නඩු තීන්දුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත යොමු කරන ලෙස අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදී.

තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණ ශාලාවේ සිටීදැයි සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටියේය.

විත්තිකාර හිමියන් වකුගඩු ආශ්‍රිත රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදී.

විත්තිකාර හිමියන් අධිකරණයෙහි පෙනී නොසිටීම නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට බාධාවක් නැති බව තීරණය කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට තීරණය කළේය.

ඒ අනුව පිටු 56 කින් යුතු නඩු තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් කියවන ලදී.

මෙම නඩුවෙහි සඳහන් චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කිරීම නිසා නඩු විභාගය පැවැත්විණි.

2016 ජනවාරි මස 25 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධ අපහාස නඩු විභාගයට පැමිණිල්ල පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සාක්කිකරුවන් 4 දෙනෙකු සහ විත්තිකාර පාර්ශ්වයෙන් විත්තිකාර හිමියන් සහ සාක්කිකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලදී

නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතුවලට බාධාවන අයුරින් අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන් යන යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම විත්තිකාර හිමියන්ට එරෙහි පළමුවන චෝදනාව වේ.

එම අවස්ථාවේදීම අධිකරණය විසින් දෙනු ලබන නියෝගය පිළිනොගන්නා බවට සහ රටේ පවතින නීතිය අනුගමනය නොකළ යුතු බව සහ නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම, අවමන් කිරීමෙන් වරදක් කිරීම දෙවැනි චෝදනාව වේ.

එහිදී බී 7417/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින් අණකර සිටීමෙන් අධිකරණ කටයුතුවලට බාධාකිරීමෙන් වරදක් කර තිබීම තෙවැනි චෝදනාව වේ.

එම අවස්ථාවේදීම බී 7417/10 නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පාරිභාවාත්මක වචනයෙන් ඇමැතීම මඟින් වරදක් කිරීම සිව්වන චෝදනාව වේ.

මෙම චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ සාක්කිවලින් සමත්වී ඇති අතර විත්තිකාර පාර්ශ්වයෙන් සාක්කි දුන් හිමිවරුන් දෙදෙනා විත්තිකරුට එරෙහි චෝදනා අසත්‍ය බව පෙන්වීමට කරුණු සඟවා සාක්කි දී ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ. එසේ වුවද එම කරුණු විත්තිකාර ඥානසාර හිමියන් හරස් ප්‍රශ්නවලදී පිළිගෙන ඇතැයි නඩු තීන්දුවෙහි දැක්වේ.

මෙම චෝදනා සියල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන බව නඩු තීන්දුවෙහි දැක්වේ.

හෝමාගම අධිකරණයෙහි විභාග වූ නඩුවක විත්තිකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය නැවත වෙනස් කිරීමට බලපෑම්වන අයුරින් හිතාමතාම කටයුතු කර ඇතැයි නඩු තීන්දුවෙහි දැක්වේ.

අධිකරණයේ නඩු විභාග වෙද්දී අධිකරණය ආමන්ත්‍රණය කළ හැක්කේ නීතිඥවරයකුට පමණක් බව දැන දැනම විත්තිකාර හිමියන් ශබ්ද නගා කතා කිරීමට කටයුතු කර ඇති බව විත්තිකාර හිමියන්ගේ සාක්කිවලින්ම ඔප්පු කර ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ.

පෙර නඩුවේ රජයේ පාර්ශ්වයෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයාට “නපුංසක නීතිඥවරයා ඉඳගනින්” ලෙස තර්ජනාත්මකව කතා කළ බවට වූ චෝදනාවද ඔප්පු කර ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ.

ඒ අනුව සියලු චෝදනාවලට විත්තිකාර හිමියන් වරදකරු බවට තීරණය කළ බව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කෙළේය.

ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *