|

දොස්තරලාට පිස්සුද? – සී.ජේ. අමරතුංග

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමත් එයට හේතු ලෙස එතුමා කළ හෙළිදරව්වත් තුළින් මෙරට වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ කලෙක සිට පවතින අර්බුදයේ තවත් පැතිකඩක් සංවාදය සඳහා විවර විය. එනම් මෙරට වෛද්‍ය සභාව යනු කුමක්ද යන්න හා එහි කාර්යභාරය ඉටුවන්නේද යන ප්‍රශ්නයයි.

කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධාන චෝදනාවක් නම් මේ රටේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් කරන වැරදි හා නොසැලකිල්ල නිසා සිදුවන හානි පිළිබඳ වෛද්‍ය සභාවට ලැබෙන පැමිණිලි අපක්ෂපාතීව විභාග කිරීමේ යාන්ත්‍රණයක් වෛද්‍ය සභාව තුළ නැති බවයි. එම පැමිණිලි විභාග කිරීමට ඉන්නේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් බහුතරය වූ වෛද්‍ය සභාවක් බවයි.

මහාචාර්යතුමා පෙන්වා දෙන්නේ ‍ වෛද්‍ය සභාවේ සාමාජිකයන් 25න් 16 ක් වෛද්‍ය සංගමයේ නියෝජිතයින් බවය. තවත් අටදෙනෙක් එන්නේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් වශයෙනි. ඔවුන්ටද ප්‍රබල වෘත්තීය සමිති බැඳීම් ඇති බව ගුණරත්න මහතා කියයි. කොල්වින් ගුණරත්න මහතාගේ චෝදනාව නම් මෙමඟින් රෝගීන්ට යුක්තිය ඉටු නොවන බවයි.

දැන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාට පහර එල්ල කරන්නට පටන්ගෙන ඇත්තේ එතුමා සෞඛ්‍ය ඇමැතිතුමාගේ අවශ්‍යතා ඉටුකරන බව කියමිනි. ඒ සඳහා නොයෙක් කතා ‍ වෛද්‍ය සංගමය කියනු ඇත. එසේ වුවද මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ කීර්තියට හානිකිරීමට එමඟින් හැකියාව ලැබෙයිද යන්න සැක සහිතය. අනෙක් අතට මහාචාර්යතුමා මතුකරන ප්‍රශ්නයට හා ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ ද නැත.

බඩුත්, නඩුත් දොස්තරලාගේය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලයේ මහා ලොකුවට කතා කළේ ‍ වෛද්‍ය සේවයේ ප්‍රමිතිය ගැනයි. සයිටම් ආයතනය වසා දමන තැනට කටයුතු කළේ වෛද්‍ය සභාවේ අහවල් අහවල් පිළිගැනීම් නැති බව කියමිනි. බොහෝ දෙනා හිතුවේ වෛද්‍ය සභාව මේ ප්‍රමිති සකස් කරන ස්වාධීන ආයතනික ව්‍යුහයක් බවයි. කොල්වින් ගුණරත්න මහතා හෙළිදරව් කොට ඇත්තේ එහි ඉන්නේද ‍ වෛද්‍ය සංගමය බවයි. වැඩේ කරගෙන ගිහින් ති‍ෙයන්නේ බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ ක්‍රමයටය. එමඟින් අධ්‍යාපන ආයතනයක් වසා දැමුවේ ප්‍රමිතිය හදාගන්නට හෝ කිසිදු ඉඩක් නොතබාය. ඒ තක්කඩි වැඩේ කළා මදිවාට දැන් ඒ ගැන වහසිබස් දොඩන්නට තරම් ‍ වෛද්‍ය නිලධාරී සංගමය ලජ්ජා නැති තත්ත්වයට පත්ව ඇත.

‍ වෛද්‍ය සංගමය කතා කරන්නේම ප්‍රමිතිය ගැනය. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මතුකරන්නේ ප්‍රමිතිය ගැන ප්‍රධාන ප්‍රශ්නයකි. එනම් මේ සිටින වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට ලැබෙන ප්‍රතිකාරවල ප්‍රමිතිය සහතික කිරීම ගැනය. රෝගීන්ට යුක්තිය ඉටුවන ස්වාධීන යාන්ත්‍රණයක් නොවීම ගැනය. යල් පැනගිය නීතියක් වූ වෛද්‍ය ආඥා පන‍තින් එය කළ නොහැකි බවය.

‍ වෛද්‍ය සංගමය ප්‍රමිතිය යන්න භාවිත කරන්නේ තවත් පිරිස් වෛද්‍ය සේවයට එක්වීම නවතා දැමීමට පමණකි. විදෙස් රටවලින් උපාධි ලබා එන අයට වෛද්‍ය සභාව හරහා නොයෙක් කෙනෙහිලිකම් කළෝය. ඔවුන් සඳහා වන “ඇක්ට් 16” විභාගය වෛද්‍ය සභාවෙන් කරන කාලයේ ඉන් සමත්වීම කන කැස්බෑ විය සිදුරින් පුන්සඳ දැකීමක් බඳු වී යැයි චෝදනා එල්ල විය. පසුව එම විභාගය පැවැත්වීම ගැන මැදිහත්වීමට ප්‍රතිපාදන කොමිසමට හා විභාග දෙපාර්තමේන්තුවට සිදුවිය.

ප්‍රමිතිය, ප්‍රමිතිය, ප්‍රමිතිය කියා කෑ ගසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන්ට ලැබෙන සේවයේ ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැත. වෙනත් රටක වෛද්‍යවරයකු ළඟට යන රෝගියකුට රෝග පරීක්ෂාවේ තොරතුරු, රෝග විනිශ්චය, එයට කරන ප්‍රතිකාර, දෙන ‍ඖෂධ, ඒ එක් එක් ඖෂධය ලබා දෙන්නේ ඇයි යන්න පමණක් නොව එම ඖෂධවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ද පැහැදිලි විස්තරයක් ලබාදීම සිදුවෙයි. ප්‍රමිතිය තියෙන්නේ එතනය. බොහෝ රටවල එම කරුණු නීතිගතකොට ඇත. එසේ වුවද රජයේ වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය යටතේ තිබෙන අපගේ වෛද්‍ය සභාවට මේවා ප්‍රමිති ලෙස පෙනී ගොස් නැත.

ප්‍රමිතිය මේවාට නැද්ද?

වෛද්‍ය සභාවේ හිටපු සභාපතිතුමා කියන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවල වැරදි සම්බන්ධයෙන් සෑම මසකම පැමිණිලි කිහිපයක් ලැබෙන බවයි. ඒවා ගැන විභාග නිසි ආකාරයෙන් නොකරන බවයි. එම කරුණ ගැන කළ පර්යේෂණ ගැන ද ඒ මහතා හෙළිදරව්කොට ඇත.

බොහෝ දෙනා මේ පැමිණිලි කරනවා ඇත්තේ තමන්ට හොඳින් වැටහෙන ප්‍රශ්න පිළිබඳව විය හැකිය. එසේ වුවද ඇතැම් ප්‍රශ්න ගැන ඔවුන් ද නොදන්නවා විය හැකිය. වෛද්‍යවරයකු නියම කරන ඖෂධයකින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ ප්‍රශ්නය එවැන්නකි. එවැනි අතුරු ආබාධ ඇති ඖෂධ නියම නොකළ යුතු යැයි කිව නොහැකිය. ඇතැම් රෝගයකදී භාවිත කළ යුතුම ඖෂධයක බරපතළ අතුරු ආබාධ තිබිය හැකිය. එසේ වුවද ප්‍රශ්නය වන්නේ එවැන්නක් නියම කරන විට එම අතුරු ආබාධ ගැන රෝගියා දැනුවත් කළ යුතු නැද්ද යන කාරණයයි. එබඳු ප්‍රශ්නයකින් මෙම ලියුම්කරු ද පීඩා විඳ ඇත. මෙම ලියුම්කරුට ඇතිවූ රෝගී තත්ත්වයකට හේතුව වෙනත් රෝගයකට දිගු කලක් ලබාගත් ඖෂධයක් බව ලියුම්කරු දැනගත්තේ කිසිදු වෛද්‍යවරයකුගෙන් නොවේ. ඖෂධ පිළිබඳ ග්‍රන්ථයකිනි. ඖෂධය නියම කළ වෛද්‍යවරුන් ඒ ගැන දැනුවත්ව සිටියාද යන්න පවා සැක සහිතය.

මෙරට කාන්තාවන්ට වැළඳෙන පියයුරු පිළිකා රෝගයට ලබාදෙන ඖෂධයක් නිසා ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව සඳහන්ය. වෛද්‍යවරුන් කරන්නේ ඖෂධය නියමකොට ගැබ්ගෙල පිළිකා ඇතිවුවහොත් එය ඉවත් කිරීමයි. එසේ වුවද එම අතුරු ආබාධය ඇතිවීමේ හැකියාව ගැන රෝගියා දැනුවත් කිරීමක් සිදුවන්නේ නැත. මෙය වෛද්‍ය සේවයේ ප්‍රමිතියට අදාළ ද නැද්ද යන්න ප්‍රශ්නයකි.

රටක වෛද්‍ය සේවයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රධාන කාරණයක් වන්නේ ඒ රටේ භාවිතා කරන පිළිගත් ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබීමයි. එය හඳුන්වන්නේ ඖෂධ සංග්‍රහයක් වශයෙනි. රටේ ඖෂධ ලෙස පිළිගන්නේ මොනවාද යන්න එහි ඇතුළත් විය යුතුය. වරින්වර එය යාවත්කාලීන කළ යුත්තේ අලුතින් සොයාගන්නා ඖෂධ ඇතුළු කිරීමටය. ශ්‍රී ලංකාවට එවැන්නක් නැත. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට පිළිගත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කළ ඖෂධ සංග්‍රහයයි. නිදහස ලබා වසර හැත්තෑවක් ගියත්, වෛද්‍ය සභාවට එවැන්නක අවශ්‍යතාව මතු වී නැත. ඖෂධ සමාගම් ගෙනත් දාන ඕනෑම දෙයක් ඖෂධයක් කර ගැනීමට මෙරට වෛද්‍යවරුන්ට අවසර ලැබී ඇත්තේ එහෙමය. අනෙක් අතට මේ වෛද්‍යවරුන් දෙන්නේ ඖෂධ කියා කියන්නට බැරිය. ඖෂධ මොනවාද එසේ නොවන්නේ මොනවාද කියා නිල පිළිගැනීමක් රටේ නැති නිසාය.

මෙලෙස සඳහන් කළේ මාධ්‍යවේදි‍ෙයක් ලෙස කළ හැදෑරීම්වලදී මෙම ලියුම්කරුට සොයාගත හැකි වූ කරුණු ස්වල්පයක් පමණි. කෙසේ වෙතත් එයින් පෙනී යන්නේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කප්පරක් ප්‍රශ්න තිබෙන බවය. ඒවා විසඳන්නට හෝ සොයා බලන්නට හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ට හෝ වෛද්‍ය සභාවට හෝ වුවමනාවක් තිබී නැති බවයි. ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන් කරගසා තිබෙන්නේ වෙනත් ප්‍රශ්නවලටය. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් රට බේරාගන්නටය.

රට ගොඩදමන්න හදනවිට

ආණ්ඩුව මාස දහඅටක් තිස්සේ සාකච්ඡා කරමින් පිටු දහසකට වැඩි ගිවිසුමක් සිංගප්පූරුව සමඟ අත්සන් කළේ මේ රට ආර්ථික වශයෙන් ගොඩදමන්න එක පියවරක් වශයෙනි. රජයේ වෛද්‍ය නිලධාරීන් පිට පොට ගහගෙන රෝගීන් බිල්ලට දෙන්න හදන්නේ ‍එම ගිවිසුමෙන් රට බේරා ගන්නවා කියාය. එහිදී මේ කට්ටිය කියන ඇතැම් කරුණු අහගෙන ඉන්නකොට සිතෙන්නේ මේවා සිහි බුද්ධියෙන් කරන කතා ද යනුවෙනි.

වෛද්‍ය සංගමයේ උදවිය කියන්නේ මේ රටේ රැකියා වෙළෙඳපොළ මේ ගිවිසුම මඟින් විවෘතකොට ඇති බවයි. ඒ සිංගප්පූරු ජාතිකයන්ට හා ඒ රටේ නිත්‍ය පුරවැසිභාවය හෙවත් පී. ආර්. තත්ත්වය ලබාගත් අයටයි. දැන් කියන්නේ සිංගප්පූරුවේ පී. ආර්. අරන් ඉන්දියානුවන්ටත් මෙරටට පැමිණිය හැකි බවයි. ඉන්දියානුවකුට සිංගප්පූරුවේ පී. ආර්. ලබාගත හැකි නම් එරටෙහි රස්සාව කරනවා විනා මෙහේ එන්නේ අහවල් දෙයකට ද යන්න මේ කියන උදවියට තේරෙන්නේ නැත.

අයිති නැති වැඩ

මෙය කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්සන්කොට ඇති බව තවත් කතාවකි. ඒ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඒ කිසිවකු කැබිනට් මණ්ඩලයේ නැත. කැබිනට් මණ්ඩලයේ කිසිවකු එය තම අනුමැතියකින් තොරව අත්සන් කළ බවක් කියන්නේ නැත. කැබිනට් මණ්ඩලය වෙනුවෙන් කතා කරන්නට මේ අයට ඇති අයිතිය මොකක්ද?

ජනාධිපතිතුමා ඉදිරියේ ගිවිසුම අත්සන් ක‍ළත් එතුමා ගිවිසුම ගැන දන්නේ නැති බව කීම තවත් කතාවකි. මෙයින් ඔවුන් කරන්නේ පරිණත දේශපාලනඥයකු වන රටේ ජනාධිපතිට අවමන් කිරීමකි. එතුමාට ආර්ථික විද්‍යාව ගැන විශාල දැනුමක් නැතිවිය හැකිය. එසේ වුවද මෙබඳු කරුණක් ගැන අවශ්‍ය උපදෙස් ගැනීමට තමන්ට හිතවත් ආර්ථික විශේෂඥයෝ එතුමා ළඟ සිටිති. ජාතික ආර්ථික සභාවේ ප්‍රධානියා ලෙස පත්කොට සිටින මහාචාර්ය ලලිත් සමරකෝන් ඉන් එක් අයෙකි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තවත් එවැනි විද්වතෙකි. ජනාධිපතිතුමා කිසිවක් නොවිමසා අන්ධ ලෙස මෙයට අනුමැතිය දුන්නා යැයි වෛද්‍ය සභාව කියන්නේ නම් එය අපහාසයක් වන්නේ එහෙයිනි.

මේ ආණ්ඩුව බලයට ආවේ රැකියා දසලක්ෂයක් බිහිකරන පොරොන්දුව දෙමිනි. ඒ බිහිකරන්නේ මෙරට ජනතාවටය. එය කිරීම සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, චීනය හා වෙනත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන බව ද එජාපය 2015 සිය මැතිවරණ ප්‍රකාශනයේම සඳහන් කළේය. ඒ වැඩේ එලෙස නොකළොත් එය ආණ්ඩුවේ දේශපාලන අනාගත‍ය පිළිබඳ ප්‍රශ්නයකි. වෛද්‍ය සංගමය විශ්වාස කරන්නේ ආණ්ඩුව ඒ වැඩේ නොකර මේ රටේ තිබෙන රැකියා ටිකත් සිංගප්පූරුකාරයන්ට දෙන්න යනවා කියාය. ඒ අනුව වෛද්‍ය සංගමය හිතන්නේ ආණ්ඩුවේ ඉන්නේ පට්ට මෝඩ රැලක් කියා විය යුතුය. යම් හෙයකින් ඔවුන් එසේ සිතන්නේ නම් සත්‍යය එහි ප්‍රත්‍යක්ෂය විය යුතුය.

වෛද්‍ය සේවය විශේෂඥතාවය මත ක්‍රියාත්මක වන්නකි. රෝහලකට ගිය විට අපට එක් එක් අංශය බලන්න එකිනෙකට වෙනස් විශේෂඥවරු සිටිති. පපුවට එක්කෙනෙකි. හදවතට තව‍ කෙනෙකි. හදවත් සැත්කමට තවත් විශේෂඥයෙකි. ස්නායුවලට, නිර්වින්දනයට ආදී වශයෙන් විශේෂඥයෝ සිටිති. ඔවුන් සමහර විට අනෙක් අංශයක් ගැනත් යමක් දන්නවා විය හැකි වුවත් අනෙකාගේ ක්ෂේත්‍රයට අත දමන්නට යන්නේ නැත. එතැනදී විශේෂඥතාවයට ගරු කරන්නේ එහෙමය.

විශේෂඥයන්ට ගරු නොකිරීම

එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙරටේ අනෙක් අංශවල විශේෂඥයන්ට ගරු කරන්නේ නැත. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවේ විශේෂඥයන්ට කන්දීමක් ඇත්තේම නැත. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සාකච්ඡා කළේත් සකස් කළේත් එබඳු විශේෂඥ කණ්ඩායමකි. එය ද සැත්කමක් තරම් සංකීර්ණ කටයුත්තකි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේ මෙම සාකච්ඡා කරන පිරිසට ඒ සඳහා අවශ්‍ය විශේෂඥතාව හා දැනුම තිබෙන බවයි. ආණ්ඩුවත්, මැති ඇමැතිවරුනුත් කළේ ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම පමණකි. වෛද්‍ය සංගමය හිතා ඉන්නේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා‍ නැතහොත් වෙනත් ඇමැතිවරයකු හෝ පිරිසක් සිංගප්පූරුව කියන දේකට අත්සන් කළ බව ඔවුන් කියන කතාවලින් පෙනී යයි. හැමදේම ගැන පණ්ඩිතයන් ලෙස පෙනී සිටින මෙම පිරිස අනෙක් විශේෂඥයන්ගේ දැනුමට ගරු කරන්නට දන්නේ නැත. නැතහොත් වෙනත් යටි අරමුණු නිසා එසේ කරන්නේ නැත.

වෛද්‍ය සංගමයේ නායකත්වයේ සිටින පිරිස මේ කරන කියන දේ අතිශයින් අතාර්කිකය. ඒවා මහ පොළොවේ යථාර්ථය සමඟ අහලින් යන්නේවත් නැත. එසේ කරන්නේ බොහෝවිට දේශපාලන යටි අරමුණක් නිසාය.

එසේ නැත්නම් අසන්නට වන්නේ මේ දොස්තරලාට පිස්සු ද යනුවෙනි.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *