නැගිටලා යාම

‘අපේ මංගල මහත්තයා හරිම වීරයා’ පත්තරයක් බලමින් සිටි කඩේ ළමයා උඩ පනින්නට පටන් ගත්තේය.

මුදලාලි කර හරවා බැලූ නමුත් කිසිවක් නොකීවේ කොල්ලට ඉඳහිට තද වෙන පිස්සුවක් ඇතැයි සිය බිරිඳ කියන කතාව මතක් වූ නිසාය.

මොකෝ කඩේ ළමයා ඔච්චර උඩ පනින්නේ? ආයෙත් කුරුඳු පොලු කේස් එකක්ද? කියා ඉස්කොල මහත්තයා ඇසුවේ කුරුඳු පොලු නඩුවක් පිළිබඳ ප්‍රවෘත්තියක් ඊට පෙර දිනයක පුවත්පතක පළ වී තිබෙනු දුටු බව මතක තිබූ නිසාය.

මේක එහෙම එකක් නෙමෙයි. නැඟීසිටීමක් ගැන කතාවක්. කඩේ ළමයා කීවේ ගෞරවාන්විත බවක් ද මවා පාමිනි.

මංගල මහත්තයා කොහොමත් නැඟී සිටීමට ප්‍රසිද්ධ කෙනා තමා කාලයක් මවුවරුන්ගෙ පෙරමුණෙන් නැගිට්ටා. සාටක රජාටත් විරුද්ධව නැඟිට්ටා. මේ ඊයේ පෙරේදා මාතර පත්තේ පාතාලයෙක් තුවක්කු පෙන්නන්න එක්ක ගියාට විරුද්ධවත් නැඟිට්ටා වගේ මතකයි. මුදලාලිද කතාවට හවුල් වෙමින් කීවේය.

මේක ඒ සියල්ලටම වඩා වෙනස් නැඟිටීමක් කඩේ ළමයා නැවතත් කීවේය.

මොකක්ද කියන්නකෝ ඔය අමුතු නැඟිටීම? මුදලාලි කීවේ, කොල්ලාගේ අලප් දැමිල්ල තරමට වඩා වැඩි යැයි සිතුණු නිසාය.

මේක ඇවිල්ලා වැටුප් පිළිබඳ නැගීසිටීමක්. කොල්ලා ද ආලප් වැඩි කළා මිස අදාළ කාරණාවට ප්‍රවිශ්ඨ වූයේ නැත.

කෝලම නවත්තලා කාරණය මොකක්ද කියල කීවනම් තමයි හොඳ, ඉස්කෝල මහත්තයා ද කීවේ, කඩේ ළමයාගේ පූචානම් කිරීම වැඩි වීම නිසා ඉවසීම අඩු වූ බැවිනි.

දුම්රිය රියදුරෝ ද ගාඩ්වරු ද දුම්රිය ස්ථානාධිපතිවරු ද වැටුප් වැඩිවීමක් ඉල්ලා එක්තරා මධ්‍යම රාත්‍රියක සිට වැඩ වැරුමක නිරත වන්නට තීරණය කළ කල්හි; දුම්රිය මගීන්ද රටේ ආර්ථිකයද එයින් විනාශ වී නරත වී අඩපණ වී යනු ඇතැයි සිතූ නිසාදෝ, ඇමති දෙපොළක් ඇතුළත් අනු කමිටුවක් විසින් කළ යෝජනාවක් අනුව ප්‍රවාහනය බාර ඇමති තැනැත්තා අදාළ කාර්ය ම්ඩුලු වල වැටුප් වැඩිසිය යුතුයයි ඇමති මඩුල්ල හමුවේ කියා සිටියේය. එකල්හි එම යෝජනාවෙන් කිපීගත් මූල්‍ය කටයුතු කරන්නාවූ අමාත්‍ය තෙමේ මේ කැබිනට් මඩුල්ලට ද මේ ආණ්ඩුවට ද කොන්දක් නැතැයි චෝදනා මුඛයෙන් පවසා නැඟී ගිය වගක් මේ පුවත් පතෙහි සඳහන් කර තිබෙන වගයි, කඩේ ළමයා කීවේය.

ඒ ක්ෂණයකින් පුවත්පත කඩේ ළමයාගෙන් උදුරා ගත් මුදලාලි ප්‍රවෘත්තියට නෙත් යොමු කළේය. මුදල් ඇමතිතුමා කියන කතාවෙත් ඇත්තක් තියනවා. දැන් හැම දේටම වර්ජන වර්ජන, වර්ජන කරන තරමට පඩි දෙන්න ගියොත් මහා භාණ්ඩාගාරෙ වහන්න වෙයි. මුදලාලි කීවේය.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි වීම කොන්ද පණ නැති කමක් කියල තමයි හුඟ දෙනෙක් හිතාන ඉන්නේ. ඉස්කෝල මහත්තයා කතාවට ඌණ පූර්ණයක් එකතු කළේය.

‘අනික ඉස්කොලෙ මහත්තයෝ…., මේ වැඩි පඩි ඉල්ලන වෘත්තිය සමිති ආයතන බේර ගන්න ඒ තරම් උනන්දු වෙන්නෙ නැහැනෙ. දුම්රිය ගත්තත් හැමදාම පාඩු පිට පාඩු. කෝච්චි දිහා බැලුවොත් උතුරන්න සෙනඟ. ඒත් දුම්රිය සේවයෙන් ලාබ ලබන්න තියා වියදම පියවා ගන්නත් අමාරුයි.’ මුදලාලි කීවේය.

ඒකට හේතු ගොඩක් තියනවා. ඉස්කෝල මහත්තයා කීවේය. දැං මේ මුදලාලිගේ කඩේ උදාහරණයකට ගමු. කඩේට බඩු ගනිද්දි එකට දෙකක් වියදම් කරනව නම්, මේ ළමයගෙන් කරගන්න පුළුවන් වැඩේට තව දෙතුන් දෙනෙක් වැඩට ගත්තොත්, මුදලාලිත් කඩේ ගැන උනන්දුවක් නැත්නම්, මේ ළමයත් හරියට වැඩ කරන්නෙ නැත්නම්, කඩේ දියුණුවක් ලාබයක් ලයන්න පුළුවන්ද? ඉස්කෝල මහත්තයා උදාහරණයකින්ම තත්ත්වය පැහැදිලි කළේය.

ඇයි ඉස්කෝල මහත්තයෝ මම හරියට වැඩක් කරන්නෙත් නැතුව වැඩියෙනුත් පඩි ඉල්ලන්න ගත්තොත්? කඩේ ළමයා ද කීවේ තම දැනුම ප්‍රදර්ශනය කරන්නටය.

උඹද? වැඩ නොකර පඩි ඉල්ලන්න ආවොත්, මම උඹේ කන පලල බණ්ඩක්කා හිටවනවා. මුදලාලි කීවේ කෝපයෙන්‍ නොවේ.

ඔන්න එහෙනම් කතාවක් කියන්නම්, වෙලක ගමක ඇමති කෙනෙක් ප්‍රවාහනයක් බාරව ඉද්දි ඉලන්දාරියෙක් එනවා රස්සාවක් ඉල්ලන්න. කොල්ලා වේලේ ගමට ඡන්ද කාලේ ගස් නැඟලා කොඩි බැන්දා පොස්ටර් ගැහුවා බැනර් දැම්මා පෙළපාලි ගියා එත් ඉස්කෝලෙ ගිහින් නැහැ. ඒත් රස්සාවක් ඉල්ලලා බේරෙන්නත් නැහැ. අන්තිමට දුන්නා රස්සාවක්. මොකක්ද රස්සාව, රේල් ‍පාරේ කෝච්චි පීලි මාරු කරන පොයින්ට් වලට කළු තෙල් දාන්න. ඒ වැඩේට උගත්කමක් ඕනම නැහැනෙ. කොල්ලා මුල්ම දවසෙ පොත අත්සන කරල කළුතෙල බූලියකුත් අරගෙන එළියට බැස්සා දවස් හතරක් තිස්සෙ ආගිය අතක් නැහැ. කොල්ලගෙ ගෙදර අය වෙලේ ගම ඇමතිගෙ ගෙදර පිකටින්, රස්සාවට ගිය කොල්ලා හොයල දෙන්න කියල. ගෙදර අය හිතුවෙ රස්සාව ඉල්ලල කරදර කළ නිසා සුදු වෑන් එකකින් අරන් යන්න ඇති කියල. ඔහොම යද්දි සතියකින් කොල්ලගෙන් වෙලේ ගමේ ඇමතිට කෝල් එකක් එනවා; “සර්… සර්… ඉක්මනට කළු තෙල් බූලි දෙකතුනක් එවන්න” කියලා.

වෙලේ ගමේ ඇමතිට මල පැනලා. “උඹේ ගෙදර එවුන් මාව කන්න හදනවා, ඉක්මනට ගෙදර වරෙන්. දැන් කොහෙද ඉන්නේ” කියල ඇහුවා.

“සර් මම දැන් ගම්පොළ කිට්ටුව ඔක්කොම පොයින්ට් වලට කළු තෙල් දැම්මා. බදුල්ලට යන්න කලින් තෙල් ඉවර වුණා.” කොල්ලා කීවා.

බලන් ගියාම වෙලා තියෙන්නෙ කොල්ලා මෝඩයා නිසා කොළඹ පොයින්ට් වලට තෙල් දාන්න බාර කළාම ඌ බදුල්ලට යන තුරු තෙල් දමන්න ඕන කියල හිතාගෙන ගම්පොළට යනකම් ගිහින්.”  මුදලාලි කතාව හමාර කළේය.

මළා ජෝන්, මම කලින් බලලා තියෙන්නෙ ඊයෙ පත්තරේනෙ, අද පත්තරේ ඊටත් වඩා මරු කතාවක් තියනවා. මුදලාලිගේ කතාවට ඉස්කෝල මහත්තයා හිනාවෙන අතර විහිළුව අවබෝධ නොවූ කඩේ ළමයා කීවේය.

මොකක්ද ළමයො ඒ මරු කතාව? මුදලාලි ඇසුවේය.

“මැති ඇමති වැටුප් සියයට දෙසිය පහළොවකින් වැඩි වෙනව කියන්නේ” කඩේ ළමයා කීවේය.

“ඒකත් එහෙමද එහෙම නම් බලමු” ඉස්කෝල මහත්තයා කීවේය.

‘එහෙනම් බලමු’ කීවේ ප්‍රවෘත්තිය ඇත්තද නැත්තද කියල ද මුදලාලි ඇසුවේය.

“නැහැ!” ඉස්කෝල මහත්තයා කීවේය.

වැටුප් වැඩි කිරීමට විරුද්ද්‍ධව කීදෙනෙක් කැබිනට් මණ්ඩලෙන් නැඟිටල යයිද කියල ඉස්කෝල මහත්තයා කීවේය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *