රට යන ඇත්තෝ – නිශාන්ත කමලදාස

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට හේතු වාසනා වේවා“

 

මේ ගීතය අසා නැති කෙනෙක් මේ ශ්‍රී ලංකාවේ සිංහල ගීත අසන අය අතර නැත. එය ඒ තරමට ජනප්‍රිය ය. එහෙත් යළි උපදින්නට බලාපොරොත්තු එහෙම ම තියාගෙන ම ඒ ගීය ඇසූ සහ එය උජාරුවෙන් ගැයූ බොහෝ දෙනකු මේ වන විට රට හැර ගොස් ය.

එක්තරා විශ්වවිද්‍යාලයකින් පවත්වන ලද සමීක්ෂණයක දී පෙනී ගොස් තිබුණේ වයස 18ත් 25ත් අතර තරුණයන්ගෙන් 60% ක් ම හොඳින් හෝ නරකින් රට යෑමේ අපේක්ෂාවෙන් පෙළෙන බව ය. අප අමතක නොකළ යුත්තේ මේ වයස් කාණ්ඩයේ අය වරින් වර ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ බව ය.

දුෂ්කර අභියෝගයන් ඉදිරියේ ගත හැකි උපාය මාර්ග දෙකක් තිබේ. එකක් සටන් කිරීම ය. අනික පලා යෑම ය. fight හෝ flight ය. තව විකල්ප ඇතත් සරල ප්‍රතික්‍රියා දක්වන මිනිසුන්ගේ තෝරා ගැනීම ඒ දෙකින් එකකි. ඒ අනුව අද පලා යන්නට හදන්නේ එදා සටන් කළ අයම වීම එක් අතකට පුදුමයක් ද නොවේ.

දැනටමත් වයස 25ත් 60ත් අතර (වැඩකරන වයසේ) ජනගහණයෙන් 22% ඉක්මවන ප්‍රමාණයක් රැකියා කරන්නේ ද පිටරට ය. මේ නිසා ම ශ්‍රී ලංකාවේ අංක එකේ විදේශ විනිමය උපයන්නා බවට පත්ව ඇත්තේ විදෙස් ශ්‍රමිකයන් ගෙනෙන ආදායම ය.

නගරයේ වෙසෙන බොහෝ පවුල්වල දරුවන් එක් කෙනකු හෝ රට ගොස් ඇති අය දැන් බහුල ය. දෙමළ ඩයස්පෝරාවට හරි හරියට සිංහල ඩයස්පෝරාවක් ද බිහිකරමින් සංක්‍රමණය සිදු වෙමින් තිබෙන්නේ ය. එසේ ගිය අය ඒ රටවල ඉහළ තනතුරු දැරීමෙන් නොනැවතී දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත් වීම දක්වා ම ගොස් තිබේ. හේතුව ඒ තරමට ලාංකීය ජන පදනමක් ඇතැම් රටවල ඇති නිසා ය. දෙමළ ජනතාවගේ ජන්ද ලබා ගැනීම සඳහා ඇතැම් රටවල දේශපාලන නායකයින් උතුරේ ප්‍රශ්න ගැන සංවේදී වීම දක්වා මේ සංක්‍රමණය තව පැත්තකින් සිදු ව ඇත්තේ ය.

මේ කටයුතු මෙසේ සිදු වෙද්දී රට යන ඇත්තන් උපහාසයට ලක් කරන ප්‍රවණතාවයක් ද රට තුළ පැවතියේ ය. එයට ජන මාධ්‍යවලින් ද කලා කෘතිවලින් ද නොමඳ සහයක් ලැබුණේ ය. රට ගිය ඇත්තෝ ටෙලි වෘත්තාන්තය ඊට එක් නිදසුනකි. ඒ උපහාසය කළ වුන් ද එයින් නොමඳ ආස්වාදයක් ලබා ගත් උන් ද අවස්ථාව ඇතොත් ඒ සියල්ල අමතක කර රටින් පැනීමට සූදානම් ව සිටිය හ. ඒ අතර බටහිර රටවල්වල ජීවන ශෛලිය විවේචනය කළ අය ද බටහිරට විරුද්ධව ඝෝෂා කළ වුන් ද වූහ. වෙන එකක් තබා දේශප්‍රේමය ගැන වඩාත් උනන්දුවෙන් කතා කරන බොහෝ අයගේ දරුවන් හිටියේ ද අදටත් ඉන්නේ ද විදේශ ගත ව ය. මේ අයගේ වැඩි කැමැත්ත අප ගිල ගන්නට වෙර දරනවා යැයි ඔවුන්ම කියූ බටහිර රටවලට ය. මෙයින් පෙන්නුම් කළේ එක් පැත්තකින් විවේචනය කරන ගෝලීයකරණයේ අවස්ථා තව පැත්තකින් තුරුළු කර ගැනීමට සිදු ව තිබීමේ ඛේදවාචකය ය. සසර වසන තුරු නිවන් දකින තුරු උපදින්නට පැතූ ඒ භූමිය පැත්තකින් තබා යථාර්ථයට මුහුණ දීමට සිදුව තිබිමේ අවාසනාව ය. කටින් කුමක් කීවත් සංක්‍රමණයට හිත යටින් ඇති කැමැත්ත ය. ඒ වෙනුවෙන් හිත හදා ගැනීමට ඇති සූදානම ය.

නගරයේ සිට විදේශ රටවලට මෙන්ම ගමේ සිට නගරයට ද සංක්‍රමණය සිදු වන්නේ ය. දැනටමත් බොහෝ ග්‍රාමීය පාසල් ද ආරෝග්‍යශාලා ද වැසී යන බවට තිබෙන මැසිවිලිවලින් ප්‍රකට වන්නේ ද මේ සංක්‍රමණයේම අතුරු කතාන්දරයකි.

වර්ණනා කරමින්

අතහරින ගම

මේ පිරිස අතර වැඩි දෙනා ගම ගැන වර්ණනා කරමින් ම ගම අත් හැරීමට තීන්දු කළ අය ය. නගරයේ ජීවත් වුව ද ගමට ඇති ලැදියාව ගැන ලස්සන කතන්දර කියන, එසේ වුව ද ගමට හදිසියේ ගියත් නැවත නගරයට එන්නට ගිය වෙලේ සිට සිතන, අය ය.

මේ සංක්‍රමණයට හේතු දෙකකි. එකක් ආකර්ෂණය ය. ගෝලීය ආර්ථිකය විසින් විවෘත කර ඇති අනේකවිද අවස්ථා සම්බන්ධයෙන් ආකර්ෂණය ය. අනෙක විකර්ෂණය ය. ඒ එක තැන පල්වෙන ග්‍රාමිය හා දේශීය ආර්ථිකයේ සිමාවන් විසින්, ඒ නිසා ම ගම තුළ, මේ රට තුළ, කෙනකුට යා හැකි දුරේ බිහිව ඇති සීමාවන් විසින් ඇති කරන විකර්ෂණය ය.

ගමින් නගරයට යෑම ද නගරයෙන් විදේශ කරා යෑම ද මේ කේන්ද්‍රයට ඇති ආකර්ෂණය හා පරිධියෙන් වන විකර්ෂණය යන බලවේග දෙකේ සංයුක්ත ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි. ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රයට ඇද ගන්නා තරමට ම, ගැමි පසුගාමී ආර්ථිකයෙන් තල්ලු කරනු ලැබිම ද, එක සේ මේ කෙරේ බලපාන්නේ ය.

මේ නිසා ඇතිව තිබෙන සමාජ ප්‍රශ්න අපමණ ය. පවුල් බිඳ වැටීම් එමට ය. වැඩිහිටියන් අනාථ වීම ද දරුවන් අනාථ වීම ද බහුල ය. ඒ නිසා ම මේ සංක්‍රමණය අනුමත නොකරන, එයට අවමන් කරන, එය නතර කිරීමට විවිධ මැදිහත් වීම් කරන අය ද එමට ය. ඒ අභිමතාර්ථය ඇති ව ලියවුණු නිර්මාණය කෙරුණු කලා කෘතීන් ද එමට ය. එහෙත් ඒවාට මේ සංක්‍රමණයට එරෙහිව කිසිවක් කරන්නට නොහැකි ව තිබේ.

යම් හේතුවකින් මෙය නතර වුවහොත් ඇති විය හැකි ව්‍යාසනය ඊට එහා ය. එයින් මතු විය හැකි එක් ප්‍රධාන අභාග්‍යයක් නම් තවත් කැරැල්ලකි. තරුණ ජීවිත විනාශ කරන, රට නැවතත් අමනුස්ස කරන, දේපළ සම්පත් නැති භංගස්ථාන කරන, තව කැරැල්ලකි. මේ අනතුර ගැන, මේ අවදානම ගැන, ලියවෙන ලිපි අඩු ය. කෙරෙන නිර්මාණයන් අල්ප ය. ඒ නිසා ම මේ සංක්‍රමණය විධිමත් කර පවත්වා ගෙන යා යුතු යැයි සිතා මැදිහත් වන අය අඩු ය. සිදු ව තිබෙන්නේ එය ඉබේ වීම ය. ඒ නිසා කැරැල්ලක අනතුරකින් වාසනාවට අප තවමත් රැකී තිබීම ය.

මේ සංක්‍රමණය නිසා සිදු වන අතුරු වාසි රැසක් ද තිබේ. එකක් තවදුරටත් කැලෑ කැපීම නතර වීම ය. ගමේ රැඳෙන මිනිසුන්ට ඉතිරි ව තිබුණේ, තමන්ට ජීවත් වීමට අවශ්‍ය අවම ආහාර ටික සරි කර ගැනීම සඳහා, හේනක් කොටා ගනු පිණිස කැලෑවකට ඇතුළු වීමට ය. මේ කැලෑ කැපීම නිසා සතුන්ට වාස භූමි අහිමි වූ අතර, උන් මිනිස් ජනපද වරින් වර ආක්‍රමණය කිරීම, මේ වනවිටත් අර්බුදයක් තරමට වැඩී ඇත්තේ ය. වඳුරෝ භෝග විනාශ කළ අතර, වල් අලි ගම් දොරවල් විනාශ කළ හ. ගමෙන් නගරයට සිදුවන සංක්‍රමණය මෙම තත්වය තවදුරටත් තීව්‍ර වීම අඩාල කරනු ඇත. සතුන්ට ද මිනිසුන්ට ද ඒ හේතුවෙන් එක් අයුරක සාමයක් උදාවනු ඇත.

නැවත කැලෑ ඇති කිරිම දක්වා මේ තත්වය වර්ධනය වුව හොත් වන ජීවින්ට පමණක් නොව මිනිසාට ද වඩා යහපත් පරිසරයක් උදාවනු ඇත. ඒ කැළෑ කැපීම නිසා, වැසි වතුර ඉක්මණින් ගඟට ගලා ගොස් පිටාර ගැලීමත්, එය ඉක්මණින් මුහුදට ගලා ගොස් අතුරුදහන් වීමත්, නිසා වතුර ප්‍රශ්නයක් වීම, එමගින් නතර වනු ඇති නිසාත් ය. ගංවතුරෙන් හා නියඟයෙන් වන පීඩා ඒ අනුව අවම වනු ඇත.

නාගරිකකරණයේ

වාසි

ඈත ගම් දියුණු කිරීම සඳහා, ඒවාට මහාමාර්ග, පාලම්, විදුලිය වැනි සේවා සැපයීම උදෙසා, රජයට දැරීමට සිදු වන අධික වියදම අහෝසි වී යෑම නිසා ජනතාවට දරන්නට සිදු වන බදු බර ද අඩු වනු ඇත. ඈත විසුරුණු ගම්වලට සේවා සැපයීමට වඩා, ඉතා අඩු මිලකට, ජනතාව සංකේන්ද්‍රණය වුණු නගරවලට සේවා සැපයීමට පුළුවන් විම එයට හේතුව ය.

දැනට යම්තම් දිවි ගැට ගහ ගන්නා, විවිධ පීඩනයන්වලට යටත් ව ජීවත් වන, ගම්මානවල සිටින, ජනයාට, නගරය හා ලෝකය විවෘත වීම නිසා, විද්‍යාව විසින් ද මිනිස් ශිෂ්ටාරය විසින් ද නිමවා ඇති බොහෝ දේ විඳ ගැනීමේ ඉඩකඩ ද ඒ හරහා ඇති වනු ඇත.

මේ සියලු කරුණු සලකා බැලූ විට පෙනෙන්නේ සංක්‍රමණය ඇති කර ඇති අයහපතට වඩා යහපත විශාල බව ය. එසේ නොවන්නට අප වඩාත් අගාධයක සිර වන්නට ඉඩකඩ තිබූ බව ය.

එසේ වුව ද අපට සංක්‍රමණය නිසා ඇති කර තිබෙන ප්‍රශ්න මුළුමණින් අමතක කර දැමිය නොහැකි ය. මානව සබඳතා විශේෂයෙන් පවුල් සබඳතා විෂයෙහි එය විසින් ඇති කර තිබෙන අවුල් දෙස ඇස් කන් පියා සිටිය නොහැකි ය. මේ සම්බන්ධයෙන් වැඩි මනත් ගැටලු ඇත්තේ නුපුහුණු කම්කරුවන් ලෙසින් විදේශගත වන ගෘහ සේවිකාවන් හා රියැදුරන් වැනි වෘත්තීන් හි නියැළීම සඳහා විදෙස් ගත වන පිරිසට ය. ඒ ඔවුන්ට සංක්‍රමණය වීමේ දී පවුල් ගෙන යෑමට අවසර නැති නිසා ය.

සමාජයීය ප්‍රශ්න

ඒ සඳහා කළ හැකි එක් දෙයක් නම් ගෘහ සේවිකාවන් වෙනුවට හෙදියන් ලෙස පුහුණු කර විදේශ ගත වන්නට ඔවුන්ට අවස්ථාව සැලසිය හැකි ද යන්න සෙවීම ය. රියැදුරන් වෙනුවට මැෂින් ඔපරේටර්වරුන් හැටියට ඔවුන්ට විදේශ ගත වන්නට අවස්ථාව සැලසිය හැකි ද යන්න විමසිම ය. ඒ සඳහා වැඩ පිළිවෙළක් සංවිධානය කිරීම ය.

ඒ සඳහා කළ හැකි අනිත් දෙය නම් එවැනි වෘත්තීන්වල යෙදිය හැකි අවස්ථා අපේ රට තුළ ජනනය කිරිම ය. ඒ සඳහා විදේශ ආයෝජකයන් සමග අත්වැල් බැඳ ගැනීම ය. විදෙස් රටවල කරන රැකියා රට තුළ ජනනය කර ගැනීමට මග පාදා ගැනීම ය. ඒ කටයුතු පහසු කරනු වස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම ය.

අපේ අවාසනාවට මෙවැනි පියවර ගැනීම උදෙසා ඉදිරිපත් විය යුතු වෘත්තිකයන් සිටින්නේ ඒවාට හරහට ය. මෑතක් වන තුරු ම හෙදියන් පුහුණු කිරීමට ගත් උත්සහයන් ව්‍යාර්ථ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ය. අදටත් වෙළඳ ගිවිසුම් වලට එරෙහි ව අවි මෝරා ගෙන සිටින්නේ ද ඔවුන් ඇතුළු වෘත්තිකයන් ය.

මේ පිරිසට මතවාදී ගැම්ම සපයන්නේ සංක්‍රමණයේ ඍජු ප්‍රතිඵල භුක්ති විඳි අය වීම එක් අතකට පුදුම සහගත ය. ඒ අය එක්කෝ දැනටමත් ඉන්නේ පිටරට ය. නැත්නම් යන්න බලා ගෙන ය. රට බටහිර අධිරාජ්‍යවාදයෙන් වඩාත් දැඩිව රැක ගන්නට හදන්නේ බටහිර රටවලට තම ශ්‍රමය පුද කරන ලාංකිකයන් ය. ගම නගරයේ තරගයෙන් හා වාණීජත්වයෙන් රැක ගන්නට හදන්නේ ද ගම දමා නගරයට ආ මිනිසුන් ය. මේ අයගේ සහාය ද ලැබ වෘත්තිකයන් කරන්නේ රටත් ගමත් එක තැන පල් කිරීම ය. ඒ තුළ කාලය ගල් කර තැබීමට ය.

තමන්ගේම

වළ කපා ගැනීම

අවසානයේ මේ හැම දෙයකින් ම බැට කන්නේ ඒ අවස්ථා අහිමි මිනිසුන් ය. ඒ සඳහා සූදානම් වීමට ඉඩ නැති මිනිසුන් ය. එහෙත් මේ දේශප්‍රේමී කතාවලින් මත්ව වැඩිමනත් අත්පුඩි ගසන්නේ ද ඔවුන් ම ය. ඒ සඳහා දර දිය අදින්නේ ද ඔවුන් ම ය. ඔවුන් කරන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීම ය. ඒ ඒ බව නොදැන ය. තමන්ට ප්‍රයෝජන ලැබිය හැකි මැණික් පතළක් කපනවා යැයි සිතාගෙන ය.

අන්තිමේ දි තමන් අතරමං වී ඇති බව දකින විට කැරලි ගැසීම හැර ඔවුන්ට අන් විකල්පයක් නැත. 1971 සිදු වූයේ ද 1989 සිදු වූයේ ද එක්තරා දුරකට උතුරේ සිදු වූයේ ද මේ සන්තෑසිය ය.

එක්තරා දුරකට යැයි කීවේ උතුරේ කතාව තරමක් වෙනස් නිසා ය. උතුරේ ජනයා කල්පනා කළේ (ඒ කල්පනාව එක්තරා දුරකට නිවැරදි ය) තමන්ගේ ප්‍රශ්නවලට හේතුව දකුණේ පාලනය බව ය. එහෙත් එහි කුමන කොටස ද යන්න ගැන ඔවුන්ට නිවැරදි තක්සේරුවක් නොවී ය. දකුණේ පාලනයේ වඩාත් අඩුව තිබුණේ දේශප්‍රේමය තුළ හිර වී ගෝලිය ආර්ථිකයට බද්ධ වීම මග හැරීම තුළ ය. නගරය දියුණු කරනු වෙනුවට ගම ප්‍රසාරණය කරවීම තුළ ය. ඒ නිසා දකුණේ පමණක් නොව උතුරේ ද ව්‍යාපාරික අවස්ථා රැකියා අවස්ථා උගැන්මට අවස්ථා සීමා වීම තුළ ය. වගාවට සුදුසු ඉඩම් නොමැතිකම තුළ ය. ඒවා සොයමින් යන ගමනේ කැලෑ අහිමිවීම තුළ ය. කැළැවෙන් පිටමං කළ සත්තුන්ගෙන් බැට කෑමට සිදු වීම තුළ ය. නියඟය ගංවතුරට ආරාධනා කිරීම තුළ ය. ආයෝජන අපතේ යෑම තුළ ය. දකුණේ පාලකයන් වෙනුවට උතුරේ වෙනම පාලනයක් ඇති කරනු ලැබූව ද ඒ මාවතින් වෙනස් නොවුණේ නම් සැබෑ ප්‍රශ්නය ඔවුන්ට දැනෙන්නට ඉඩ තිබුණේ ය. දැන් ඒ සියල්ල, දකුණ විසින් පාලනය කරනු ලබන නිසා යැයි සැලකීම තුළ, ඔවුන් හඳුනාගෙන තිබුණේ ගැටලුවෙන් භාගයක් පමණ ය. උතුරේ ම අය විසින් පාලනය කළේ වුව ද කරන්නට යන්නේ දකුණ විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නම් එයින් උතුරට වුව වැඩක් වන්නේ නැත (එය පසු කලෙක උගැන්මට නියමිතව තිබූ පාඩමකි).

එය හරියට කැරලි ගහන දකුණේ තරුණ තරුණියන් නොමග ගිය විදිහම ය. දකුණේ තරුණ තරුණියන් සිතුවේ ප්‍රශ්නය තියෙන්නේ පාලකයන් දේශද්‍රෝහී වීමේ බව ය. ගැටලුව විදේශ ආයෝජකයන් ගෙන්වීමේ බව ය. ඔවුන් දේශප්‍රේමී සටන් පාඨ ගෙන සටනට බැස්සේ ද ඒ නිසා ය. එහෙත් සැබෑ ව තිබුණේ ඕනෑවට වඩා දේශප්‍රේමි විම තුළ ය. අඩුවශයෙන් එසේ පෙන්නීමට යෑම හේතු කොටගෙන අවශ්‍ය ප්‍රතිස්සංකරණ නිසි පරිදි නො කිරිම තුළ ය. විදේශ ආයෝජකයන්ට ඒ නිසාවෙන් වැට බැඳීම තුළ ය.

කැරැල්ල නිසා උතුරේ ජනතාවට බොහෝ දේ අහිමි වුණු නමුත් එක් වැදගත් අවස්ථාවක් ලැබුණේ ය. ඒ දේශපාලන රැකවරණ පතා බටහිරට සංක්‍රමණය වීමට ය. ඒ තුළ සිදු වුණේ එතෙක් අහිමිව තිබූ රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත වීම ය.

අමතර වශයෙන් මේ කැරලි හැම එකක් තුළ ම දෙදිසාවේ ම තරුණයන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය වුණේ ය. ව්‍යාපාරික අවස්ථා ද ලැබුණේ ය. ඒ අවදානම් සහිත යුද්ධය ඇසුරේ ය. මරණය තුරුළේ ය. යුද භටයන් හා කැරලිකරුවන් හැටියට ය. ආයුධ හා මිනී පෙට්ටි වෙළඳාම ඇසුරේ ය.

දේශප්‍රේමය මාකට් කිරීම

දැන් යුද්ධය අවසන් ය. කැරලිවලට ද නැවතත් තාවකාලික විරාමයක් ලැබී ඇත. එහෙත් මේ ඇති වූ ඉස්පාසුවෙන් වැඩක් නොගන්නේ නම් තවත් කැරලිවලට යුද්ධවලට සූදානම් විය යුතු ය. මේ ඉස්පාසුවෙන් වැඩක් ගන්නේ කෙසේ ද? ගෝලිය ආර්ථිකය හා බැඳුණු වඩා දියුණු ආර්ථිකයට මග පාදා ගැනීමෙනි. සංක්‍රමණය වඩා ඉහළ මට්ටමකට පත් කිරිමෙනි. ඒ සඳහා වැඩ පිළිවෙළක් දියත් කිරිමෙනි. අවශ්‍ය පුහුණු කිරිම්වල යෙදිමෙනි. රට තුළ ආයෝජන පුළුල් කිරිමට පමණක් නොව ලෝක වෙළඳ පොළ හා සම්බන්ධ විය හැකි ලෙස ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙනි.

එහෙත් අදටත් වැඩි දෙනකුගේ සිත ඇඳ බැඳ ගන්නේ සහ ලංකාව තුළ මාකට් වන්නේ අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමීත්වය යි. කිසිදු වටිනාකමක් නැති, ඒ වෙනුවෙන් එලිපිට පෙනි සිටින අය පවා සැබෑ යැයි විශ්වාස නොකරන, එහෙත් මාකට් කළ හැකි නිසා ම කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් විසින් භාවිතයට ගනු ලබන්නේ, අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමය යි.

අවාසානාවට එය රැකියා අවස්ථා උත්පාදනය කරන්නේ නැත. ව්‍යාපාරික අවස්ථා උත්පාදනය කරන්නේ ද නැත. ඉගෙනුම් අවස්ථා උත්පාදනය කරන්නේ ද නැත. ඒ වෙනුවට එය කරන්නේ ඒවාට වැට බැඳිම ය. ඒ නිසා ම මේ යන විදිහට නම් රට තව කැරලි කිපයකට මුහුණ දෙන්නට නියමිත ය. ඒවායින් ද ඉගෙන ගනිතැයි සිතන්නට අමාරු ය. ඒ මක්නිසා ද යත් ඉගෙන ගන්නවා නම් උගැන්මට අවශ්‍ය ප්‍රමාණයේ අත් දැකීම් අප සතු ව මේවන විටත් තිබෙන නිසා ය. සිදු විය හැක්කේ අප දේශප්‍රේමය කබල් ගාමින් ඉන්නා අතරේ වෙනත් රටවල් අප පසුකර ඉදිරියට යෑම ය. ඊට පසු අපට සිදුවන්නේ උන් පිටුපස ගොස් උන්ගේ රටවලට ඇතුළු වීම සඳහා පන එපා කියා බෝට්ටු පැදීමට මහ මුහුදට පිවිසීමට ය. ඒ ඉතින්, ශ්‍රී ලංකාව හැම අතින් ම කොදෙව්වක් නිසා ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *