වෛද්‍ය සංගමය ගැන අහන්න එපා – මහාචාර්ය කොල්වින් ගුණරත්න – වෛද්‍ය සභාවේ හිටපු සභාපති

කොල්වින් ගුණරත්න මහාචාර්යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුවතකි.සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් හෙතෙම එහා ඉවුරට එක්වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සිටි ඔබ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ අදහස්, මත පළ වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම චෝදනා කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වුවමනාවට ඔබ ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කළා කියලයි?

වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගැන මගෙන් අහන්න එපා. මම කතා කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වීම ගැන විතරයි කතා කරන්නේ. වෛද්‍ය සංගමය නඟන චෝදනාවලට උත්තර දෙන්න ගියොත් තවත් කල්ප දෙකක් විතරයි යයි. මම වෛද්‍ය සභාවේ සභාපති විදිහට 2017 අවුරුද්දේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් පත් කළා. මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා මහත්මයා විශ්‍රාම ගියාට පස්සෙ තමයි මේ තනතුර මට බාර ගන්න කිව්වේ.

ඒ වෙලාවෙත් මම කිව්වා මේ තනතුර බාර ගන්න මට බෑ කියලා. මම තනතුර බාර ගත්තෙ ඒ හැමෝගෙම ඉල්ලීමටයි. ඒ වෙනකොටත් මම වෛද්‍ය සභාවේ අවුරුදු පහක් සාමාජිකයෙක් විදිහට හිටියා. මේ සභාව ගැන වසර 6ක පමණ අත්දැකිම් මට තියෙනවා. කොහොම නමුත් වෛද්‍ය සභාවට අදාළ නීති රීති තියෙන පනත අද වෙනකොට අවුරුදු 75කටත් වඩා පරණයි. දියුණු රටවල්වල වෛද්‍ය සභා එක්ක සංසන්දනාත්මකව බලනකොට මේ පනත තේරුමක් නැති පනතක් කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධයෙන් මගේ අදහස් අමාත්‍යවරයාට දන්වලා තියෙනවා.

ඔබතුමා ඉල්ලා අස්වෙන්නේ, අමාත්‍යවරයාට රහස් තොරතුරු ඉදිරිපත් කරලා කියලයි චෝදනා නැඟෙන්නේ. ඒ ගැන මොනව ද කියන්නේ?

ඒ අයට කියන්න මම මොනවද ඉදිරිපත් කරලා තියෙන්නෙ කියලා අමාත්‍යවරයාගෙන් ගිහින් අහන්න කියලා. මම කියන්නෙ, අපි උදාහරණයක් ගත්තොත් වෛද්‍ය සභාවේ සාමාජිකයන් විසි පස් දෙනෙක් ඉන්නවා. ඒ විසි පස් දෙනාගෙන් 16 දෙනෙක් ම වෘත්තීය සමිතිවල නායකත්වය දරන පිරිසක්. ඒක ප්‍රතිශතයක් විදිහට 65%ක්. වෘත්තීය සමිතියක් කියන්නේ, එහි ඉන්න සාමාජිකයන් ආරක්ෂා කරන්න තියෙන සාමූහික සංගමයක්. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොකක් ද කරන්නේ කරන්නේ. රටේ නීති හදන්න යනවා, ඒකට පාර්ලිමේන්තුව තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා.

වෘත්තිය සමිතියක ප්‍රධාන වගකීම තමයි ඒ සංගමයේ ඉන්න සාමාජිකයන් ආරක්ෂා කිරීම. මේ සංගම්වල ඉන්න සාමාජිකයන්ගෙන් සාමාජික ගාස්තුවක් අය කරනවා. අවුරුද්දකට කෝටි ගාණක් සාමාජික මුදල් එකතු වෙනවා. මම කියන්නෙ වෛද්‍ය සභාවේ ඉන්න විසි පස් දෙනාම වෛද්‍යවරු. ඒකෙන් 16 දෙනෙක් ම වෘත්තීය සමිති දෙකක නියෝජිතයෝ. මේ වෛද්‍ය සභාවේ පනත අනුව තමයි ඒ අය ඒ තැනට එන්නේ. නමුත්, සාමාජිකයන් නොවන වෛද්‍යවරුන්ට පුළුවන් ද මේකට තරග කරන්න. බෑ, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 8දෙනා එන්නේ ඡන්දෙන්. මේ රටේ හැම පළාතකම වෛද්‍යවරුවරු බස්වලින් ගෙනත් ඡන්දෙ ගන්නවා.

එතකොට ඡන්දෙන් ඒ අය විතරයි වෛද්‍ය සභාවට එන්නේ. අනෙත් වෛද්‍යවරුන්ට එන්න විදිහක් නෑ. ඒ අට දෙනාට අමතරව ඊළඟ අට දෙනා මේ රටේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු. ඒ අයගෙත් තියෙනවා වෘත්තීය සංගම්. මම අහන්නේ මේ වෘත්තීය සමිතිවලට තම සාමාජිකයන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කරන එකට සමගාමීව රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන් ද?

අද වෙනකොට මතුවෙලා තියෙන ප්‍රශ්නය තමයි, රෝගීන් ඇපයට තබා වෘත්තීය ඉල්ලිම් දිනා ගැනීමට තැත් කිරීම. ඔබ කියන රෝගීන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට වෛද්‍ය සභාවේ පනත තුළ ඉඩක් නැද්ද?

මම කතා කරන්නේ රෝගීන් බිල්ලට තියල ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කිරීම ගැනම නෙවෙයි, රෝගියකුට යම් වෛද්‍යවරයකුගෙන් අකටයුත්තක් වෙලා තියෙනවා නම්, අසාධාරණයක් වෙලා තියෙනවා නම් පැමිණිලි කරන්න තියෙන එකම ආයතන තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ උසාවිය. ඒ වගේ ගැටලු සොයා බලන්න වෛද්‍ය සභාවේ කමිටු දෙකක් තියෙනවා.

ඒ අයට බලය තියෙනවා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරලා උසාවියට යන්න. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තුන්වෙනි තට්ටුවේ උසාවියක් තියෙනවා. සාමාන්‍ය උසාවිය වගේම නඩු අහන්න එතනට පුළුවන්. මම අහන්නේ, කුමන හෝ රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී අකටයුත්තක් වෙලා තියෙනවා නම්, ඔවුන් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වලා වෛද්‍ය සභාවට අභියාචනයක් එව්වාම ඒ නඩුව අහන්නෙ කවුද? තවත් වෛද්‍යවරු විසි පස් දෙනෙක්. මෙන්න මේ කාරණය තමයි අද වෛද්‍ය සභාවේ තියෙන විශාලතම ගැටලුව.

ඒ වෛද්‍යවරු විසි පස් දෙනාගෙනුත් 65%ක් වෘත්තීය සමිතිවල සාමාජිකයන්ගේ ආරක්ෂාවට කැපවෙලා ඉන්න නිලධාරීන්. එතකොට රෝගීන්ට යුක්තිය ඉටු වෙයි ද? අවන්ති පෙරේරා කියලා නීතීඥවරියක් ඉන්නවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට රෝගීන් ඉදිරිපත් කරපු පැමිණිලි ගැන පර්යේෂණයක් කරලා ඇය පොතක් ලිව්වා. ලංකාවේ වටේ ගිහින් අවුරුදු ගාණක් තොරතුරු හොයලා තමයි ඒ ආචාර්යතුමිය පොත ලිව්වේ. ඒකෙ තියෙනවා කරපු පැමිණිලිවලට යුක්තිය ඉටු නොවුණේ කොහොම ද කියන කාරණය. ඒ ජනතාව වෛරයෙන් කතා කරලා නෑ.

වෛද්‍යවරු ගැන දුකෙන් කතා කරලා තිබුණා. ඒ පොතට අදහස් දක්වපු එක්කෙනෙක් කියලා තියෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ, හොරාගෙ අම්මගෙන් පේන අහන තැනක් කියලා. ඒ කියන්නේ මම කිව්ව සභාව නියෝජනය කරන වැඩි බලය. 65%ක් වෛද්‍යවරු ඉන්න තැනින් ඔවුන්ට විරුද්ධව නැඟෙන චෝදනාවලට විසඳුම් ලැබෙන්නෙ නෑ.

ඔබ පැහැදිලි කරන ආකාරයට මේ රටේ රෝගී ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න වෛද්‍ය සභා පනතේ ප්‍රතිපාදන තිබුණත්, සාමාජිකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය නිසා බෑ නේද?

තවත් උදාහරණයක් කියන්නම්, එක්තරා සොල්දාදුවෙක් තමන්ගේ දරුවට බෙහෙත් ගන්න ගියපු වෙලාවේ වෛද්‍යවරියක් සැර පරුෂ විදිහට කතා කරලා තිබුණා. ඊට පස්සෙත් ඒ දරුවගේ රෝගය උත්සන්න වෙලා වෛද්‍යවරිය ගෙදරට ගිහින් බෙහෙත් ගන්න උත්සාහ කරපු වෙලාවේ, වෛද්‍යවරිය කලින් විදිහටම සැර වැර වෙලා තියෙනවා. සොල්දාදුවා වෛද්‍යවරියට වෙඩි තියලා ඝාතනය කළා. මම කියන්නෙ සොල්දාදුවා කරපු වැඩේ හරි කියලා නෙවෙයි.

තමන්ගේ දරුවාගේ රෝගය ගැන තියෙන වේදනාවට තාත්තා කෙනෙක් දක්වපු ප්‍රතිචාරය. ඒ වගේ රෝගීන් කොයිතරම් මේ රටේ ඉන්නව ද? ඒ වගේ රෝගීන්ගේ අයුක්තියට යුක්තිය ඉටු කරන්න වෛද්‍ය සභාවට බැරි නම් සභාවෙ ඉන්න අය කොස් කොටන්න ද ඉන්නෙ. අවුරුදු පහක හයක අත්දැකීම් නිසයි මම කතා කරන්නේ. මේ කරුණු සම්පූර්ණයෙන් විග්‍රහ කරලා මම ඇමැතිවරයාට බාර දුන්නා. මම ඔයාට ඒ කරුණු කියන්නෙ නෑ.

ඔබ චෝදනා කරන්නේ වෛද්‍ය සභා පනතට. එහෙමනම් ඒ පනතට සංශෝධන ගෙන ඒමට හෝ නව පනතක් ස්ථාපිත කිරීමට බලපෑම් කරන එක නේද ඔබට කරන්න තිබුණේ?

මේකට සංශෝධන එකතු කරලා වැඩක් නෑ. මම කියන්නෙ අලුත් පනතක් ඕන කියන එක තමයි. ඒකට මම තමයි බලපෑම් කළේ. අලුත් පනතක් ගෙනත්, සාමාජිකයන් තෝරා ගැනීමේ සංයුතියේ වෙනසක් සිදු වෙන්න ඕන.

දියුණු රටක වෛද්‍ය සභාවක් ගත්තොත්, ඒ සභාවල 50%ක් වෛද්‍ය වෘත්තිකයන්, අනෙක් 50% සාමාජිකයන් වෛද්‍ය වෘත්තිකයන් නොවන අය. වෙනත් වෘත්තීන්වල ඉන්න පිරිස් 50% සභාවට පත් වුණාම අද මතුවෙලා තියෙන ගැටලු සම්පූර්ණයෙන් විසඳෙනවා. ඒක නිසා තමයි අලුත් පනතක් ඉල්ලන්නෙ. දැනට තියෙන සභා පනත අනුව ඒක කරන්න බෑ. සාමාන්‍යයෙන් වෙනත් රටවල වෛද්‍ය සභා පනතෙ උඩින්ම තියෙන්නෙ තමන්ගෙ රටේ පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා කියලයි. එහෙම ජනතාවගෙ ආරක්ෂාවට ඉන්න පනතෙ සංයුතිය ගැනයි මම කතා කරන්නෙ. එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ.

එක පැත්තකින් රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනවලට ගිහින් ආණ්ඩුවට බලපෑම් කරනවා. අනෙක් පැත්තෙන් ඔබට චෝදනා කරනවා එන්ජීඕ එකකට අවශ්‍ය පනතක් නිර්මාණය කරන්න බලපෑම් කරනවා කියලා?

ඒ අය මොනවා කිව්වත් මට කමක් නෑ. මම හෘද සාක්ෂියට එකඟව කතා කරනවා. වෛද්‍යවරයෙක් විදිහට මේ රටට මම වසර 45කට වඩා වැඩි කාලයක් සේවය කරලා තියෙනවා. එදා 1962 වර්ෂයේ මම වෛද්‍යවරයෙක් වුණ කාලේ, කොළඹට පත්වීම ලැබෙන්න තිබියදීත් ඕනැම තැනකට දාන්න කියලා කිව්වා. දැම්මෙ බදුල්ලට. ගෙදරින් කිව්වේ මැලේරියාව තියෙන පැත්තකට යන්න එපා කියලා. ඒත් දොස්තරලා යන්න ඕන මැලේරියා රෝගීන් බෙහෙත් කරන්න කියලයි මම ගෙදර කිව්වේ.

කෝච්චියේ නැඟලා සූට් කේස් එකක් අරන් බදුල්ලට ගිය මම මහාචාර්ය කෙනෙක් වුණා, පීඨාධිපතිවරයෙක් වුණා, වෛද්‍ය සභාවේ සභාපති වුණා, ඖෂධ සංස්ථාවේ සභාපති වුණා. මේ හැම එකකටම මම පත්වුණත් කිසිම දවසක දේශපාලනඥයෙක් ළඟ ගිහින් වැඳ වැටිලා නෑ. කොතනකවත් දේශපාලනඥයන් එක්ක පින්තූර ගහලා නෑ. එහෙම මට චෝදනා නඟන අය කවුද? මම ගැන දන්න අය මේ රටේ ඉන්නවා. අදත් මම මේ රටේ මිනිස්සුන්ට ආදරෙයි. ඒ නිසා තමයි ජනතාවගෙ පැත්තෙ ඉදන් ටයි කෝට්වත් නොදා මේ විදිහට ඉන්නෙ.

ඔබතුමාගේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා බාරගෙන තියෙනවා ද? වෛද්‍ය ක්ෂේත්‍රයේ අනාගතය ඔබ දකින්නේ කොහොම ද?

මම නීත්‍යානුකූලව එතුමාට අස්වෙන බව මාසයකට කලින් දැන්නුවා. ඊට පස්සේ අස්වීමේ ලිපිය බාර දුන්නා. අස්වීමේ ලිපිය බාරගත් බවට මට තවමත් ලිඛිතව ලැබිලා නෑ. ඇමැතිවරයා පිළිගත්තත් නැතත් මම ගෙදර යනවා. සභාවේ සභාපතිකමෙන් මම අස්වුණා කියලා මාව හිරේ දාන්න බෑ. මම මේ තනතුරට ආවේ යම් අරමුණක් ඇතිව. ඒ තනතුරේ ඉදලා කරන්න ඕන දේ කරන්න බැරි නම් ගෙදර යන එක හොඳයි. වෛද්‍යවරුන්ට අතීත ජනයාගෙන් ලැබුණ ගෞරවය අද ලැබෙන්නෙ නෑ. ඒක වෛද්‍යවරු විසින්ම නැති කරගෙන. අද වෛද්‍ය වෘත්තියට අත්වෙලා තියෙන තත්ත්වය ගැන මම ඉතාමත් කණගාටු වෙනවා.

ඡායාරූප – චමින්ද නිරෝෂණ
සාකච්ඡාව – දුමින්ද අලුත්ගෙදර

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *