|

විදුලි නිෂ්පාදනයේ ඒකාධිකාරය සදහා අංචි අදින විදුලි මාෆියාව – විශේෂ ලියුම්කරුවකු විසිනි

විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ.

අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක් තුළ බලධාරීන් ඔවුන් සතු සැලසුම් අතරින් වඩාත්ම තමන්ට වාසිදායක විසඳුම් වෙත යොමු වීම වලක්වාලිය නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇත.

විදුලි ක්ෂේත්‍රය නියාමනය සඳහා වන මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත වර්ෂ 2002 (2002 අංක 35 පනත) දී සම්මත කරන ලදී. ඒ යටතේ පිහිටුවනු ලැබූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාර්ය වනුයේ විදුලි බල පනත (2009 අංක 20) ට අනුව විදුලි බල ක්ෂේත්‍රය  නියාමනය කිරීමයි. ඒ යටතට ගැනෙන ආයතන වනුයේ ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින බලපත්‍ර ලාභීන් වන ජනන අංශය, සම්ප්‍රෙෂණ අංශය, බේදාහැරීමේ කලාප 4 ක්, ලංකා විදුලිය පුද්ගලික සමාගම සහ පුද්ගලික ජනන සමාගම් ආදියයි.

වර්ෂ 2002 ට ප්‍රථම විදුලි බල අමාත්‍යාංශය යටතේ නියාමනය කෙරුණු ලංවිම සහ අනිකුත් ඒ සම්බන්ධ ආයතන ම.උ.කො. ස්ථාපිත කිරීමෙන් පසුව ඒ යට‍තේ නියාමනය කිරීම ආරම්භ කරනු ලැබීය. මේසේ ම.උ.කො. යටතේ නියාමනය කිරීමේ ක්‍රියාවලියට ලංවිම පාර්ෂවයෙන් නොයෙකුත් විවේචන පැවතිය ද පසුගිය ආණ්ඩු සමයේ එය එළිපිටම ප්‍රකාශ කිරී‍මට තරම් ශක්තියක් ලංවිමට හෝ එහි ඉංජිනේරු සංගමයට හිමිව තිබුණේ නැත. එහෙත් මේ වන විට ලංවිම එහි ඉංජිනේරු සංගමය සහ විදුලි බල ආමාත්‍යාංශය ඔවුන්ගේ ඒකාධිකාරි බලය ම.උ.කො. වෙත මුදා හරිමින් සිටිති. යහ පාලනය යටතේ මෙම ආයතන දේශපාලන කඳවුරු දෙකකට අයත් වීම මෙම තත්ත්වය තීවෘ වීමට හේතු වූ බවට විශ්වාස කළහැකි තත්ත්වයක් මේ වන විට පෙනෙන්නට ඇත.

දීර්ඝ කාලීන අඩු වියදම් ජනන සැලැස්ම අනුමත කිරීම පිළිබඳ ලංවිම සහ ම.උ.කො. අතර ඇති අර්බුදය ලංවිම ඉංජිනේරු සංගමය මගින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් හා වර්ජන තර්ජන හරහා බලහත්කාරයෙන්  යටපත් කළ අතර ඊට අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත දමා කටයුතු කරන තත්ත්වයකට මේ වන විට ලංවිමය පෙළඹී සිටී. පවතින දේශපාලන වාතාවරණය තුළ ලංවිම සහ අමාත්‍යාංශය ඔවුන්ගේ ඒකාධිකාරී බලය උපරිම වශයෙන් යොදවන අතර විදුලිය මිල දී ගැනීමේ ක්‍රියාවලිය නියාමනයකින් තොරව සිදුකිරීමට මාර්ග විවෘත කරගෙන ඇත. එබැවින් මෙම මිලදී ගැනී‍ම් ක්‍රියාවලිය පනතට පටහැනි නීති විරෝධි ක්‍රියාවකි. ආයතන දෙක අතර මෙම අරගලය එකී කණ්ඩායමට තම තමන්ගේ අභිමානය පිළිබඳ ගැටලුවක් වන අතර තවත් කණ්ඩායමක් තමන්ගේ පුද්ගලික මූල්‍ය සහ වෙනත් අරමුණු ඉටු කර ගැනීමට හොඳ අවස්ථාවක් සපයා ඇත.

මෙම අර්බුදය පුපුරා ගිය එක් අවස්ථාවක් වූයේ මෙ.වො. 100ක් සඳහා වූ හදිසි මිල දී ගැනීමට අදාළව මුල් මාසයේ දී කළ යුතු ගෙවීම් නීත්‍යානුකූල නොවන බැවින් පුත්ක්ෂේප කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා‍ගේ වැඩ තහනමට ලක් වීමයි.

මෙම තත්ත්වයට මූල බීජය සපයන්නේ ලංවිම තුළ කලක සිට ක්‍රියාත්මක වූ යටි බිම් ගත මාෆියා ව්‍යාපාරයකි. දූෂිත දේශපාලන අධිකාරියත් සමග අත්වැල් බැඳගත් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුන් විසින් මෙය මෙහෙයවන අතර වරින් වර එක් එක් වේශයෙන් පෙනී සිටියි.

පැහැදිලි කරුණක් වන්නේ පසුගිය රජය යටතේ සිටි ලංවිම සභාපති මෙම රජය යටතේ නැවත පත්කර ගැනීමයි. උග්‍ර රාජපක්ෂාවාදියෙක් වන සභාපති මේ රජය යටතේ මේ වන විට ලංවිම අර්බුදයකට තල්ලු කර රජය අපහසුතාවයට පත් කිරීමේ ව්‍යාපාරයක නිරත වන බව පැහැදිලිය.

ඔහුගේ මෙම ව්‍යාපා‍රයේ ආරම්භය වනුයේ ලංවිම සම්ප්‍රේක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස තවත් උග්‍ර රාජපක්ෂවාදියකු පත්කර ගැනීමෙනි . මොහුගේ පැමිණීමත් සමගම එතෙක් ක්‍රියාත්මක වූ පුණර්ජනනීය බලශක්ති සඳහා ගිවිසුම් අත්සන් කිරීම (රු.13ක් පමණ වන සාමාන්‍ය මිලක් යටතේ) මුලු මනින්ම අත් හිටවූයේ විදුලි ‍බල පනතේ දෝෂයක් ඇතැයි පවසමිනි.

2015 දී අත්හිටවූ මෙම මිල දී ගැනීම් නිසා පරිසර හිතකාමි (කාබන් දහනයෙන් තොර) පුනර්ජනනීය බලශක් ති කුඩා විදුලි බලා‍ගාර මෙ.වො.200ක පමණ වැඩ කටයුතු අතර මග නතර වී ඇත. (මෙම විදුලිය ලංවිම මිල දී ගන්නේ එක් ඒකකයක් සඳහා රු.13කි.) ඉන්පසුව ඔහුගේ මග පෙන්වීම යටතේ පිළියෙළ කළ ජනන සැලැස්මේ ඇති ජාතික බලශක්ති ‍ප්‍රතිපත්තියට පටහැනි යෝජනා ප්‍රතික්ෂේප කරීම හරහා ම. උ. කො. සමඟ අර්බූදයක් නිර්මාණය කර ගත්තේය. පසුව ලංවිම ඉංජිනේරුවරුන්ගේ අභීමානය පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඒ හරහා ලංවිම ඉංජිනේරු සංගමය මේ කර්තව්‍ය සඳහා එක් කරගෙන ඇත. මෙම අර්බුදය නිර්මාණය කිරීම හරහා මොවුන් ලබාගත් ජයග්‍රහණය නම් විදුලිය මිලදී ගැනීම් සඳහා නියාමන කොමිසම් අනුමැතිය මගහැරීම,  මෙ.වො.900ක ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතිවල තාක්ෂණික අගැයීම් කමිටු වලින් බැහැරව සිටීම හරහා ඒවා අවුරුදු 2කින් පමණ ප්‍රමාද කිරීම ආදියයි. මේ ප්‍රමාදය හේතු කොට ගෙන මේ වන විට හදිසි විදුලිය මිල දී ගැනීම රු.28ක පමණ මිලකට මිල දී ගැනීම අනිවාර්යය බවද පැවසේ. මේ අතර සභාපති සහ මෙම නිලධාරියාගේ සහභාගිත්වයෙන් පුද්ගලික ජනන ඒකාධිකාරයක් බිහිකර ගැනීම සඳහා ලංවිමට අනුබද්ධිත ව්‍යාපාරික සමාගමක් උත්සාහ කරන බව පැහැදිලිව ඇත.

මෙ.වො. 300ක ස්වාභාවික විදුලි බලාගාරයක් සඳහා පසුගිය දිනවල පැවති ටෙන්ඩර් ප්‍රදානය සහ අදාළ  සමාගමේ ඉතිහාසය මේ සඳහා සාක්ෂි සපයයි. එල්.ටී.එල්. නොහොත් ලංකා ට්‍රාන්ස්පෝමර් සමාගම ලංවිමට අයත් උප සමාගමක් වශයෙන් පිහිටුවා තිබුණ ද එහි ලාභාංශ ලංවිම වෙත ලැබී නොමැත. ඉහත මෙ.වො.300 ටෙන්ඩරය අඩු ලංසු තැබූ සමාගමට හිමි වූ අතර එහි තාක්ෂණික ඇගැයීම් සිදු කළේ ලංවිම ඉංජි‍නේරුවන් විසිනි. පසුව හෙළි වූ පරිදි ඔවුන් බදු ගණන් නොගෙන මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර ඒ හේතුවෙන් අභියාචනා ඩෙන්ඩර් මණ්ඩලය මගින් ඊළඟ අඩු ලංසුව තැබූ චීන සමාගම වෙත ප්‍රදානය කර ඇත. නමුත් මෙම ප්‍රදානය නිසා අර්බුදකාරි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති හෙයින් මෙම බලාගාරයේ ස්ථාපනය තව දුරටත් ප්‍රමාද විය හැකි බව පැවසේ.

ඉහත සමාගම මෙවැනිම ක්‍රියාවක් 2012 දී විවෘත කරන ලද කෙරවලපිටිය සංයුතික චක්‍ර බලාගාරය සම්බන්ධයෙන් ද සිදු කර ඇති බව ලංවිම අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇත. ගිවිසුම ප්‍රකාරව විදුලි ඒකකයක් සඳහා මිල සූත්‍රයක් යටතේ ගණනය කිරීමට එකඟව ඇත. මේ සඳහා ගෙවීම් මාසිකව කළ යුතු අතර ඒකකයක මිල තීරණය කරනු ලබන්නේ මාසික ප්‍රාග්ධන වියදම, නඩත්තු වියදම සහ ඉන්දන වියදම එකතු කිරීමෙනි. ප්‍රාග්ධන වියදම විදුලිය ජනනය කළ ද නොකළ ද ගෙවිය යුතුය. මෙය සාමාන්‍ය තත්ත්වයක් වුවත් ලාභාංශ සොරකම් කර ඇති බව විගණන වාර්තා පෙන්වයි. ලීටරයකින් හෝ කි.ග්‍රෑ. 1 කින් නිෂ්පාදනය කළ හැකි විදුලිය ඒකක ගණන පිළිබද අවුරුදු පතා විමර්ෂණය කොට එම අනුපාතය අනුව ගෙවිය යුතුය. නමුත් මෙම විර්ෂණය මේ දක්වා අවු. 5ක් පමණ සිදුකර නොමැති අතර එය මගහැරීමට ඉඩ සැලසීමටම ලංවිම සම්ප්‍රේක්ෂණ  අංශයේ නිලධාරින් නිර්ලෝභී වී ඇත. මෙය මෙසේ පැවතීමට හේතුව වී ඇත්තේ ලංවිම සපයන බල ශක්තිය වැඩි ඉන්ධන භාවිතයේ දී 10%ක පමණ ඉන්ධන ඉතිරියක් අදාල සමාගමට හිමිවීමය. එහෙත් ඔවුන් ඒ පිළිබඳ විමර්ශනයක් සිදු නොකොට මුලින් ඉදිරිපත් කළ ඩීසල් සඳහා වන අනුපාතය උපයෝගි කොටගෙන ලංවිම වෙත බිල් ඉදිරිපත් කර මුදල් ලබා ගනි. අවුරුදු පතා වර්ෂයකින් පසුව ගෙවීම් සමාලෝචනයට  ලංවිම ගිවිසුම් ගත නමුත් එය මෙතෙක් සිදු වී නැත. අවසානයේ කෙරවලපිටිය බලාගාරයේ රු.32/-ක මුදලකට ලංවිම විදුලිය ලබාගනී.

මෙම ඉහත සඳහන් සිදුවීම අනුව පෙනී යන එක් කාරණයක් වන්නේ මෙම සමාගම ලංවිමට සේවා සැපයීමේ දී ලැබැඳියාවන් අතර ගැටුමක් පවතින බවයි. මේ සඳහා සාක්ෂි එම සමාගම, විදුලි බල අමාත්‍යාංශය සහ ලංවිම නිලධාරින් අතර ඇති සබැඳියාව හරහා ලබාගත හැකිය.

පවතින ඒකාධිකාරි තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් 1999 -2014 දක්වා සිදු කෙරුණු කළමානාකරණ ප්‍රතිංස්කරණ ආණ්ඩුව වෙනස් වීමත් සමග නරත විය. ඒ කළමානාකරණ ප්‍රතිංස්කරණ යටතේ මහජන උපයෝගිතා කොමිෂන් පනත සම්මත වූ අතර ලංවිම කොටස් කීපයකට වෙන්කෙරුණි. ජනන, සම්ප්‍රෙක්ෂණ සහ බෙදාහැරීම් කලාප 4ක් වශයෙනි. වෙන්කෙරුණු කොටස් තනි සමාගම් ලෙස කළමනාකරණය කිරීමට යෝජනා වී තිබුණි. ඒ යටතේ ජනනය හා බෙදාහැරීම තරඟකාරී මට්ටමකින් පවත්වා ගැනීමට කටයුතු කළ අතර ජනනය සඳහා පුද්ගලික අංශය දිරිගැන්වීම මගින් ඒකාධිකාරය බිඳලීමට සැලසුම් කෙරිණ. ‍එහෙත් එම සැලසුම් ආණ්ඩු පෙරළියත් සමග යටපත් වූ අතර නැවතත් ලංවිම ඒකාධිකාරි බලය ස්ථාපිත වීම හරහා දූෂණය හිස එසවීමට මග පෑදුනි. එම අධිකාරි මානසිකත්වයෙන් පෙළෙන දේශපාලනීකරණය වූ නිලධාරින් ලංවිම කළමණාකරනයට  පැමිණීමත් සමග දූෂණයෙන් පිරුණු අකාර්යක්ෂම විදුලි බල ආයතන සහ අමාත්‍යාංශයන්ට හිමිකම් කීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *