විමල් මත්තල එල්ලෙයි – සම්පත් අමරසිංහ

ගංවතුරට වැටී ගසාගෙන යන මිනිසා දිවි රැක ගැනීමට තණකොළවල පවා එල්ලෙනා සේ විටින්විට එල්ලෙන්නට දේශපාලන වැල් සොයමින් සිටින ඒකාබද්ධ විපක්ෂයට හසු වී ඇති අලුත්ම දේශපාලන වැල මත්තල ගුවන්තොටුපලය. ඒ සම්බන්ධව විමල් වීරවංශ ලියූ වාගාලාපයක් පසුගිය සතියේ, ඒකාබද්ධ විපක්ෂ හිතවාදී පුවත්පත් රැසක පළකොට තිබුණි.

එකී ලිපියේදී විමල් වීරවංශ වපුරන්නට උත්සාහ කර තිබුණේ, ව්‍යවස්ථා සංශෝධනය ආදී සෑම තැනකදීම වපුරන්නට මාන බලන භීතිකාවක් බඳු ගීතිකාවකි. එනම් මත්තල ගුවන්තොටුනළ ඉන්දියාවට දීමෙන් යුද ගැටුමකට අත වැනීමක් සිදුවන බවයි.

බදුල්ලේ බස් රථයක කලකට පෙර සිදු වූ බෝම්බ පිපිරීමක් දඩමීමා කරගෙන එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස ඔසවන බවට භීතියක් දකුණේ සමාජය තුළ ඇති කරන්නට ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසගත් උත්සාහය මෙහි දී අමතක කළ යුතු නැත. සරත් වීරසේකර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ආදි ඒකාබද්ධයේ ඊනියා යුද විශේෂඥයන් එහිදි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට පවා අභියෝග කරමින් බස් බෝම්බයට එල්.ටී.ටී.ඊ. සම්බන්ධයක් මවා පෙන්වන්නට උත්සාහ කළහ. නමුත් අවසානයේ ඔප්පු වූයේ බදුල්ල බස්රිය තුළ පුපුරා ගියේ එහි ගමන් කළ හමුදා සෙබළකු රැගෙන ගිය අත් බෝම්බයක් බවයි. එම හමුදා සෙබළා බෝම්බය රැගෙනවිත් තිබුණේ කඳවුර තුළදී පුපුරවා ගන්නටය. එසේ පුපුරවා ගැනීමෙන් තමාට වන්දියක් ලබා ගන්න හැකිවනු ඇති බවට කළ අනුමානයක් මත ය. හේතුව එකී සොල්දාදුවා අධික ණය බරකින් පීඩා විඳිමින් සිටීමය. තමා ගේ මරණයෙන් පසුව ලැබෙන මුදලින් වන්දි මුදලින් සහ විශ්‍රාම වැටුපෙන් බිරිය දරුවන් යහතින් ජීවත්වනු ඇතිය යන්න ඔහුගේ බලාපොරොත්තුව විය. එහෙත් අතපසු වීමකින් බස්රිය තුළ බොම්බය පුපුරා යාම හේතුවෙන් සහ සෙබළා ගේ ජීවිතය නොමැරී බේරීමෙන් සියල්ල  කරළියට පැමිණියේය. යම් හෙයකින් බෝම්බය රැගෙන ආ සෙබළා බස්රිය තුළ මියගියේ නම් ඒකාබද්ධයට හිතේ හැටියට කොටි භීතිකාවක් රට තුළ වපුරා තමන්ගේ පටු අරමුණු ඉටුකරගන්නට අවස්ථාව ලැබෙන්නට තිබුණි.

බදුල්ල බස් බෝම්බයේ සත්‍යය රටට හෙළිදරව් වූ පසුව ඒකාබද්ධයේ කතා බස් බෝම්බ කාර‍යන්ගෙන් බත් මුඛයත් අනෙක් මුඛයත් දෙකම වැසී ගිය නමුත් සාවද්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලන්නට තරම් වත් සදාචාරයක් ඔවුනට තිබුණේ නැත.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව හමුවේ තබා ඇති විසිවන සංසෝධණය සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂය අනුගමනය කරමින් සිටින්නේ බිල්ලන් මැවීමේ පිළිවෙත හෙවත් බොරු බීතිකාවක් මවාපෑම ය.

දැන් මත්තල සම්බන්ධයෙන් ද ඔවුන් එම කූට පිළිවෙතම අනුගමනය කරමින් සිටී. එහි දී ඔවුන් මතුකරන්නට උත්සාහ කරන ප්‍රධානම ව්‍යාජය වන්නේ මත්තල ඉන්දියාවට දීමෙන් ඉන්දියාවත් චීනයත් අතර ආනාගතයේ ඇතිවන යුද ගැටුමකට ලංකාවට ද මැදිවන්නට සිදු වනු ඇති බවයි.

ඉන්දියාව හා චීනය යනු එක දේශසීමාවකින් වෙන්වන රටවල් දෙකකි. ලෝක ආර්ථික ශක්තිය සහ යුද ශක්තිය සම්බන්ධව දෙරට අතර තරඟයක් පවතින බව වටහා ගැනීම අපහසු නොවන නමුත් මයිම් වැටකට අසල් වැසියන් දෙදනකු අතර සිදුවන ගැටුමක් වැනි ඉන්දු – චීන ගැටුමක දී ඔවුනට ශ්‍රී ලංකාවේ වරායන් හෝ ගුවන්තොටුපළවල් අවශ්‍ය වන්නේ නැත. දෙරට අතර යුද්ධයක දී භාවිත කරන්නට ගුවන්තොටවල් ‍හා වරායන් ඔවුනට ඔවුන්ගේ රටවල් තුළම අවශ්‍ය තරම් ඇති බැවිනි.

ඉන්දියානු රජයට මත්තල තුවන්තොටුපල යුදමය වශයෙන් කොතෙක් වැදගත් වනවාද යන්න පිළිබද ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් මහතා ඉතා තර්කානු කූලව අදහස් ප්‍රකාශකර ඇතැයි කියන විමල් වීරවංශ ශිවෂංකර් මෙනන් කියා ඇත්තේ කුමක්දැයි නොකියා ඉන්නට පරිසම් වෙයි. සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය අනුව නම් මත්තල ගුවන්තොටුපළේ යුදමය වැදගත්කම පිළිබඳ ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක ශීවෂංකර් මෙනන් මෙසේ කියා ඇතැයි ඔහුගේ ප්‍රකාශය උපුටා දැක්විය යුතුය. එහෙත් එවැන්නකට විමල් වීරවංශ ඉදිරිපත් නොවේ. ඒ අනුව තහවුරු වන්නේ ශිවෂංකර් මෙනන් නොකී කතාවක් කීවායැයි කියා ශ්‍රී ලාංකිකයන් තුළ භීතිය ඇති කරන්නට විමල් වීරවංශ කූඨ උපක්‍රමයක නියැලෙන බවයි.

ඉන්දියාව සහ චීනය අතර ‍දේශසීමා ප්‍රශ්න ඇති බව සත්‍යයකි. දේශ සීමා ගැටළුව සම්බන්ධව දෙරට අතර ගැටුම් ඇති වූ බව ද සත්‍යයකි. නමුත් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාව භාවිත කරනු ඇත්තේ යුද කටයුතු සඳහා නොව ව්‍යාපාරික කටයුතු සඳහා බව සත්‍යයකි. ඒ අනුව මත්තල ගනුදෙනුව බලපාන්නේ නම් පලපානු ඇත්තේ ඉන්දියාවත් චීනයත් අතර ඇති ආර්ථික තරගය කෙරෙහිය.

හම්බන්තොට වරාය සම්බන්ධව චීනය සමඟ කටයුතු කිරීමද මෙහි යුද ගැටුමකට හේතුවක් බව හුවා දක්වන්නට උත්සාහ කරන විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ යුගයේ කොළඹ වරාය නගරය සින්නක්කරව චීනයට ලියා දෙන්නට කළ සැලසුමේ දී ඉන්දු චීන ගැටුමකට ශ්‍රී ලංකාව මැදිවීමේ ගැටලුවක් නොතිබුණේ කෙසේද යන්න පැහැදිලි නැත.

විමල්ගේ ඊළඟ තර්කය වන්නේ විදේශ ආයෝජකයකු සම්බන්ධ කර ගැනීමකින් තොරව මත්තල පවත්වාගෙන යා හැකිය යන්නයි. විදේශ ආයෝජකයකු ආව ද නැති ද මත්තල පවතිනු ඇත. එහෙත් ආණ්ඩුවක වගකීම වන්නේ ණය සහ ‍පොලී ගෙවමින් සුදු අලියකු නඩත්තු කිරීම නොව වර්තමානයටත් අනාගතයටත් වැඩදායී ලෙස ඒවා උපයෝගී කර ගැනීමයි.

අවංක දේශප්‍රේමියකු නම් විමල්ට තිබුණේ එකල ඔහු රාජපක්ෂවරුන්ගේ සපත්තු ලෙවකමින් ඇමතිකම් කළ සමයේ ඉදිකළ මත්තල සහ මාගම්පුරට විරෝධය පළ කිරීමය.  එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ආදායම් නැති ව්‍යාපෘතිවලට ණය වාරික සහ පොලී ගෙවන තත්ත්වයකට රට පත්වූයේ එහෙයිනි. එහෙත් ඒ බව රාජපක්ෂ රෙජිමය හෝ ඔවුන්ගේ අන්තේවාසිකයන් මෙතෙක් පිළිගෙන නැත. ඔවුන් තවමත් උත්සාහ දරමින් සිටින්නේ කවර උප්පරවැට්ටියකින් හෝ නැවත බලය ලබා ගැනීමටය. මත්තල මාගම්පුර සාර්ථක වන දිනෙක ඔවුන්ගේ එම සිහින බිඳී යනු ඇත. ඔවුන් බියපත් වී ඇත්තේ ඒ බව දන්නා නිසාය. ජනතාව ඒ තත්ත්වය වටහා ගතයුතුය. නැතහොත් එය ජනතාවට වටහා දෙන්නට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

සම්පත් අමරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *