|

එදත් අදත් වෙනස ජනපති කියද්දී පොහොට්ටුවේ තවත් ගැටුම් එළියට

පසුගිය බදාදා සිට අද දක්වා වන දින තුනක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාමත් වැදගත් වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵල ජනතාව අතට පත්කිරීම මේ දිනවල සිදුවන නිසායි. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පත්කිරීම මේ දින තුනේ දී සිදුවුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වෙනත් මැති ඇමැතිවරුන් ද මෙම වැඩසටහනට වරින්වර එක්ව සිටියා.

ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පැවරීම ආරම්භ කරන ලද්දේ දිවුලන්කඩවල මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමෙන්. අගෝස්තු පළමුවැනිදා බදාදා උදේ එය සිදුකරනු ලැබුවා. ඉන්පසුව පාසල්වල, රෝහල්වල හා රාජ්‍ය ආයතනවල ඉදිකළ ගොඩනැගිලි හා වෙනත් ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීම දින තුන පුරා සිදුවනවා.

දිවුලන්කඩවල විදුහලේ දී ජනාධිපති කීවේ ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. පී. ද සිල්වා වැනි නායකයන් පොළොන්නරුව සංවර්ධනයට විවිධ වැඩකටයුතු කළද සමස්තයක් ලෙස ගත් විට මෙය අඩු සැලකිලි ලැබුණු දිස්ත්‍රික්කයක් බවයි. එමෙන්ම සංවර්ධනය එක ප්‍රදේශයකට සීමා නොකොට මුළු රටේම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා කී‍වා.

තම අතීත මතකය අවදි කරමින් ජනාධිපතිතුමා මතක් කළේ කලෙක මෙම ප්‍රදේශයේ ගොවි ජනයා ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සියදිවි නසාගත් ආකාරයයි. ගොවීන් සියදිවි නසාගැනීම ගැන රජයට විරෝධය ප්‍රකාශ කිරීමට මිනීපෙට්ටියක් කරේ තියාගෙන පෙළපාලි ගිය ආකාරය ද ජනාධිපතිතුමා එහි දී මතක් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුරකින් පිදුම් ලැබූ රාජිත සේනාරත්න ඇමැතිවරයාට උපහාර පිදීමේ උත්සවයක් අඟහරුවාදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙරට සෞඛ්‍ය සේවය ඉහළ නැංවීමට රාජිත සේනාරත්න ඇමැතිවරයා කරන මෙහෙවර අගය කිරීම මෙම උත්සවයේ පරමාර්ථය වී තිබුණා.

එහි දී කතා කරමින් ජනාධිපතිතුමා තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ අවදියේ තිබූ තත්ත්වය විස්තර කළා. එකළ තමා සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කිරීමට යන විට “සිගරට් බොන්න දෙන්නේ නැත්නම් සුද්දෝ රටට එන එකක් නෑ’ කියා ‍රටේ නායකයන් තමන්ට විරුද්ධ වූ බව ජනාධිපතිතුමා කීවා. අද රාජිත ඇමැතිතුමාට සියල්ල කිරීමට හැකි වී තිබෙන්නේ තමා ඉහළ නායකත්වයේ සිටින නිසා බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ගල්කිස්ස හෝටලයේ සූපවේ දී ආචාර්ය පබිලිස් සිල්වා නාමය මේ වන විට ලොව සුපතල වී තිබෙන්නේ මෙරට සූප ශාස්ත්‍රය පිළිබඳ ඉහළම විද්වතකු වශයෙන්. ඒ මහතා විසින් ලියන ලද මහා සූපවංශය ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනයකොට එළිදැක්වීමේ උළෙල පසුගියදා පැවැත්වුණේ ගල්කිස්ස මහා හෝටලයේදීයි. ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිතුමා සහභාගි වුණා.

මහා සූප වංශය කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීම නිසා මෙම සූප ශාස්ත්‍රය තිබෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ අවධානයට ලක්වන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මේ මහා සූප ශාස්ත්‍රය ‍තිබෙන රට කුමක්ද? එහි සංස්කෘතිය කුමක්ද? කියා විමසන්නට ලෝකය පෙළඹෙනු ඇති බව ද ජනාධිපතිතුමා කීවා.

පසුගිය සති අන්තයේ නැගෙනහිර පළාතට ගිය අගමැතිවරයා මද විවේකයක් ලබන අතරතුර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සමඟ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහි දී යුද්ධයෙන් බැට කෑ එම ජනතාවගේ ඉඩම් ඇතුළු බහුවිධ ප්‍රශ්න ගැන බෝගොල්ලාගම අගමැතිවරයා දැනුවත් කළා.

පසුගිය ඉරිදා මඩළකපුවේ දෙමළ ජනතාව වෙසෙන ආරියම්පති වෙත පැමිණි අගමැතිවරයා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළා .අනතුරුව බෝගොල්ලාගම සංවිධානය කොට තිබු සිවිල් සංවිධාන හමුවීමකටද එක් වුණා. සහජීවනනය ගොඩනගන අයුරු එහි දී සාකච්ඡා වුණා. ආණ්ඩුකාර නිල නිවසේ දී තේ පානය කළ අගමැතිවරයා මුස්ලිම්වරු වෙසෙන එරාවුර් වෙත ගොස් එහි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළා. අති විශාල ජනකායක් එක්වු ජන හමුවක්ද ඇමතු අගමැතිවරයා එහි දී විශේෂ ප්‍රකාශයක් කළා.

“නැගෙනහිර සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු කිරීමට සෘජු ගුවන් සේවයක් කඩිනමින් අරඹනවා. එවිට සංචාරකයන්ගේ හා ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු කඩිනම් වේවි ” අගමැතිවරයා කීවේ දැවැන්ත අත්පොලසන් මැදයි. ආණ්ඩුකාර බෝගොල්ලාගම රවුෆ් හකීම්, වජිර අබේවර්ධන හා ටී.එන්.ඒ මන්ත්‍රීවරුද මෙම උත්සවවලට එක් වූ අතර ඔවුන් එදින දිවා අහාරය ගත්තේ නැගෙනහිර හිටපු මහ ඇමතිගේ එරාවූර් නිවසේදීයි. ඉරිදා සවස අගමැතිවරයා යළි කොළඹ බලා පිටත්වුණා.

අඟහරුවාදා, අගමැතිවරයා ගාල්ලට ගියේ තරු පහේ නවීනතම හෝටලයක් විවෘත කිරීමටයි. හෙලිකොප්ටරයෙන් බහින විට මද වැසි ඇද හැලුණා.

“ කෝට් එක අදිනවට වඩා ෂර්ට් එකට උඩින් ජැකට් එක අඳිමු. ස්මාර්ට් කැෂුවල්නේ එන්න කියල තියෙන්නෙත්” කී අගමැතිවරයා තැඹිලි පැහැයට හුරු ඉන්දියානු ක්‍රමයේ ජැකට් එකක් ඇඳ උත්සවයට එක් වුණා.

“ අපි හිතුවා ජනපති මෛත්‍රීපාල ඡන්දය ඉල්ලන්න එනවා කියලා” වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක කී විට අගමැතිවරයා ද සිනාසුණා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ චීන කොමිනියුස්ට් පක්ෂ ඉහළ දූත පිරිසක් හමුවීමටය. අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරු සමගද අගමැතිවරයා කාලීන දේශපාලනය ගැන අදහස් හුවමාරු කර ගත්තා.

“ අද නේද ඒකාබද්ධයේ ආණ්ඩුව පෙරළන මහින්ද අගමැති කරන ලිප්ටන් උද්ඝෝෂණය. පළාත් පාලන ඡන්දයේදීත් කිව්වෙ මහින්ද අගමැති කරනවා කියලනේ. ” ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේ උස් හඩින් සිනාසෙමින්.

“ ඒකාබද්ධයේ දැන් ඇතුළෙත් උද්ඝෝෂණ එලියෙත් උද්ඝෝෂණ. ආණ්ඩුව ඕනෑම උද්ඝෝෂණයකට ආරක්ෂාව දෙනවා. එයාල වගේ අපි වෙඩි තියල මිනිස්සු මරන්නෙ අතපය කඩන්නේ නෑ. ” අගමැතිවරයා කීවේද සිනා මැදයි.

“ අගමැතිකම ගන්න බව කියන මහින්ද මහත්තය උදේ හවස විපක්ෂ නායක කමයි ඉල්ලන්නේ. ” චමින්ද විජේසිරි කිවේද සිනාමැදයි.

“ පාර්ලිමේන්තු සම්ප්‍රදායට කාටවත් අභියෝග කරගන්න බෑ. අගමැති පත්වෙන්න වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂයෙන් . විපක්ෂ නායක පත්වෙන්නේ ඊළගට වැඩිම පක්ෂයෙන්.මේ පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂය ආණ්ඩුවේ ඉන්න නිසා ත්‍රන්වැනිව වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂයටයි විපක්ෂ නායකකම යන්නේ. මේක නොතේරෙන බබාලයි අද ඒකාබද්ධයේ ඉන්නේ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය අගමැතිවරයාද අනුමත කළා.” මෙයාල ඒක තේරුම් ගන්න බැරිව බොරුවට කථානායකතුමාට බනිනවා. ” අගමැතිවරයා කීවා.

“ ඇඹිලිපිටියෙ පන්සලකට මහින්ද මහත්තයා ආවේ නෑ කියල චමල් ආවම මිනිස්සු හූ තියලා. මහින්ද ටෙලිෆෝන් එකෙන් සංවිධායකට බැනලා අපි කියන විදියට උඹල වැඩ කරපල්ලා කියල තර්ජන කරපු හැටි ටී.වී.වල ගියා. මේ සිද්ධිය ඒකාබද්දේ වෙනම ටීම් එකක් සැලසුම් කරල කරපු බවයි ආරංචි ” නවීන් දිසානායක කිවා.

“නවක වදයට එරෙහිව වසර 10 ක් හිරේ යන ඇපත් නැති නීති ගේන එක අනාගත සිසු පරපුරට කරන විශාල සේවයක්. මේ ආණ්ඩුවටයි විජයදාස ඇමතිතුමාටයි රටම ස්තුති කරනවා.” චමින්ද විජේසිරි කීවා.

“ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීකමින් දිනන්න බැරි පෙරටුගාමින් පටු අරමුණු මත අධ්‍යාපනය විනාශ කරන්න සිසුන් යොදා ගන්නවා. කැම්පස් එන්න කලින්ම ඒ ගෙවල්වලට බැහැල සිසුන්ට සමාජ වෛරය ඇති කරනවා. ඊළඟට නවක වදය හරහා සිසුන් බිලි ගන්නවා. මහපොළෙන් ජීවත් වෙන සිසුන්ගේ උද්ගෝෂණවලට දස ලක්ෂ ගණන් මුදල් යොදවන්නේ කවුද කියල අපි දන්නවා. ඒ ශිෂ්‍ය නායකයෝ ලක්ෂ 300 වාහනවලින් ඇවිත් සිසුන් අව්වේ පයින් යවලා කඳුලු ගෑස්, ජල ප්‍රහාරවලට ලක් කරලා නායකයෝ ටික සල්ලි මලු අරන් තරු හෝටලෙකින් අඩියකුත් ගහලා පයින් ආපු අර සිසුන්ට හිනා වෙවී ගෙදර යනවා. අද ඇත්ත තත්ත්වය එයයි. මේකට දැඩි පියවර අරන් සිසුන් බේරා ගන්න ඕනෑ.” විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය අගමැතිවරයා ඇතුළු පිරිස අසා සිටියේ නළල රැලි ගන්වමින්.

“ එක පාරටම කුඩා කාර් බදු ඉහළ යාම ගැන මිනිස්සු අවුල් වෙලා ඉන්නේ ” දයා ගමගේ කීවා.

“ දැනටත් පාරවල් හිරවෙලා. මිනිස්සු ඒකට බනිනවා. වාහන එන එක අඩු කරන්න පියවර ගත්තම ඒකටත් බනිනවා. රාජ්‍ය ණය නිසා අලුත් පාරවල් හදන්න රටට සල්ලි නෑ. ඉක්මනින් කණු උඩ යන කෝච්චි ආවාම පාරවල්වල තදබද අඩුවුණාම බදුවල වෙනසක් කළ හැකියි. ” අගමැතිවරයා කීවා.

“ හම්බන්තොට පැත්තෙ අනවශ්‍ය ඉදිකිරීම් හා පාරවල්වලට යට කළ සල්ලි තිබුණ නම් නුවර හා රත්නපුර අධිවේගවලට ඒ මුදල් දාල ඒවා තවත් ඉක්මන් කරන්න තිබුණා, ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ නුවර ටවුන් එක මැද ඉදිකරන්න ගිය ටනල් එක කෝ. අධිවේගයේත් නුවර පැත්තෙ ඉදි කිරීම් මදියි. ඒ මිනිස්සු දොස් කියනව කියල මට මයන්ත මල්ලි කිව්වා. ” නවීන් දිසානායක කීවේ අගමැතිටයි.

“ ටනල් එක නුවර වැවේ මට්ටමටත් පහළට ගෙනියන්න වෙනවා. එතකොට අධික මුදලක් වැය වෙනවා. ණය සීමාවත් පනීවි. එත් නුවර අධිවේගය ඊළඟ ඡන්දවලට කලින් සම්පූර්ණ කරන්න වැඩ කළ යුතුයි. ” අගමැතිවරයා කීවේ එහෙමයි.

“රාජිත ඇමතිතුමා ඖෂධ 48 ක මිල කලින් අඩු කළා. ළගදි තව 25 ක මිල අඩු කරනවා. මේවා ජනතාවට දැනෙන්නෙ නැත්තෙ ඇයි. ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රයේ අඩුපාඩු තාම තියෙනවා. ”නවීන් දිසානායක කීවා.

“ නවීන් එජාප ජාතික සංවිධායක ලෙස රටපුරා පක්ෂය ශීඝ්‍රයෙන් සංවිධානය කරගෙන යනවා. ඒක පක්ෂයට ලොකු හයියක්. සජිත් රටපුරා ගෙවල් හැදීම තවත් හයියක්. ” දයා ගමගේ කතා කළේ ප්‍රශංසා මුඛයෙන්.

“ පොහොට්ටුවට අනුබද්ධ බව දැන් රටටම පේන දොස්තර සංගමය ආපහු වර්ජන කරල රෝගීන් මරල හරි පරණ කට්ටිය බලයට ගේන්න දඟලනවා. සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ දොස්තරල කී දෙනෙක් ඒ රටින් බෙහෙත් ගන්නවද. වෙන ලෙඩ්ඩු එක්ක එහේ ගිහින් දස ලක්ෂ කීයක් හම්බ කරනවද කියල ඒ සංගමය රටට පැහැදිලි කරන්න ඕනැ. ” පී හැරිසන් කී විට සියලු දෙනා එය අනුමත කළා.

ඉකුත් සතිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට ඉතා වැදගත් වූයේ ඔහු දියත් කළ වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළේ 100 වැනි ගම්මානය ජනතා අයිතියට පත්කළ හැකි වීම නිසායි. 99 වැනි උදා ගම්මානය වූ ‘තට්වනාපුරම්’ සහ 100 වැනි උදා ගම්මානය වූ “කෛලායපුරම්’ පිහිටා තිබුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාංගායුත්තු ග්‍රාමයේයි. මෙම උත්සවයට පැමිණි විශේෂ ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි. විපක්ෂ නායකවරයා ඉතා සාදරයෙන් පිළිගත් සජිත් ඔහු උත්සව පරිශ්‍රය වෙත කැඳවා ගෙන ගියේ ඔහුගේ දකුණතින් අල්ලාගෙනයි.

1977 වසරේ මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසි සම්බන්ධන් මහතා දැන් 85 හැවිරිදි වියේ පසුවෙනවා. ඔහු හදිසියේම ඇසුවේ “සජිත් මොකක්ද ඔයාගේ වර්තමාන වැඩපිළිවෙළ” කියායි. ඔබතුමා අපේ 100 වැනි ගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම අපට විශාල සතුටක් වගේම ධෛර්යයක්. අපි 2019 දෙසැම්බර් 31 වැනිදාට කලින් උදා ගම්මාන 2, 500 ඉලක්කය සපුරනවා. 2020 ජනවාරියේ උදා ගම්මාන 5000 වැඩසටහන ආරම්භ කරනවා. ඊළඟ ඉලක්කය ගම්මාන 10, 000ක් ඉදිකිරීම තමයි” සජිත් කියද් දී සම්බන්ධන් කීවේ “නියමයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ පළාතේ නිවාස ගැටලුව සම්පූර්ණයෙන්ම විස‍ඳෙනවා කියන එකනේ” කියායි. “හරියටම හරි. දැනටමත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදා ගම්මාන 60ක් ඉදිවෙනවා. ඊට පස්සේ තවත් ගම්මාන 150ක් හැදෙනවා. එතකොට සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජන වර්ගයක්ම ආවරණය වන විදියට වෙනසක් නැතිව හැමෝටම හොඳ නිවසක උරුමය හිමි වෙනවා” සජිත් කීවා. සම්බන්ධන් එවර හැඟුම්බරව කීවේ “සජිත් මම ඔයාගේ තාත්තා එක්කත් ඉතාම සහයෝගයෙන් වැඩ කළා. එතුමා අපිට හුඟාක් උදව් කළ කෙනෙක්. මම දැන් ඔයත් එක්ක වැඩ කරනවා. හරිම සතුටුයි” කියායි.

ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන දෙදෙනා සිටියේ මඩකළපුවේයි. ඒ මන්මුණෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල් හා එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගී වෙමින්.

මඩකළපුවේ සිට ඇමැති වජිර සඳුදා ගාල්ලට ගියේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ සමෘද්ධි නිලධාරීන්ගේ හමුවකට සහභාගී වීමටයි. ගාල්ල ක්‍රීඩාංගණය ගැන ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මාධ්‍යවල ප්‍රචාරය වෙද් දී වජිර ඇමතිවරයා විදේශගතව සිටි බැවින් කිසිම මාධ්‍යවේදියකුට ඔහුගෙන් ඒ ගැන විමසීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ.

සමෘද්ධි නිලධාරීන්ගේ හමුව ආරම්භ වීමටත් පෙර ඇමතිවරයා ට මාධ්‍යවේදීන් කීවේ ක්‍රීඩාංගණය ගැන ප්‍රකාශයක් අවශ්‍ය බවයි. ඔවුන්ගේ ඉල්ලීම ඉටුකරමින් ඇමතිවරයා මෙසේ කීවා.

”ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව වගකීමෙන් වැඩ කරනවානම් හොඳයි. මම ලංකාවේවත් නැති වෙලාවක, මම ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා කියපු ප්‍රකාශයක් අරගෙන ගාල්ලේ පිට්ටනියේ මැච් එකක් දිනපු වෙලාවක ඒක ප්‍රචාරය කරලා ප්‍රශ්නයක් ඇති කළා. ඒ කතාවත් තැන් තැන්වලින් කපලා සංස්කරණය කරලා වැරදි අර්ථයක් ලැබෙන්න තමයි හදලා තිබුණේ. ක්‍රීඩාංගණය විකුණනන්න හදනවා කිව්වා. මේකේ හෝටල් ගහනවා කිව්වා. නමුත් අපි කතා කළේ ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ගැන විතරයි. කාටවත් ක්‍රීඩාංගණය ඉවත් කරන්න බැහැ. ඒක විකුණනන් බැහැ. හෝටල් ගහන්නත් බැහැ. අපේ රටේ ලෝක උරුම තියෙන්නේ අටයි. අපි ගාල්ල ලෝක උරුම නගරයක් විදියට ආරක්ෂා කරන්න ඕනෑ. මේ නගරයේ ළමයින් 80, 000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ අතර ඔබේ දරුවනුත් ඇති. අපි මේ දරුවන් ගැන හිතන්න ඕනෑ. මේ ක්‍රීඩාංගණය අවුරුද්දේ 365 දවසෙන් දවස් 350ක් විතර වහලා දාලා තියෙන්නේ. අපිට මේ ගැන ගැටලුවක් තියෙනවා. ගාල්ල කොටුවේ මධ්‍යම පන්තියේ පවුල් 30ට පමණ ආණ්ඩුවෙන් නඩු දාලා තියෙනවා අනවසර ඉදිකිරීම් කළා කියලා. නමුත් රජය ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් කරලා දැන් ඒක භාවිත කරනවා. මේ නීතිය වැරදියි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ. අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් මෙහි ගේට්ටු නගරයේ දරුවන් 80, 000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.”

එතැනින් පිටත්වූ ඇමැති වජිර අහංගම දික්කුඹුරේ සමෘද්ධි බැංකුව විවෘත කිරීමට සහභාගී වුණේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී.හැරිසන් මහතා ද සමගින්. ඉන් අනතුරුව ඔහු කෙලින්ම ගිංතොට සහිරා විද්‍යාලයට ගියා. ”ළඟම පාසල හොඳම පාසල” බවට පත්කිරීමේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය යටතේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මෙහෙවර වැඩසටහනට සමගාමීව ගිංතොට සහිරා විද්‍යාලයට රුපියල් ලක්ෂ 820ක ව්‍යාපෘති ලබා දී තිබුණා. ඒ ව්‍යාපෘති තුනක වැඩ අවසන් කර අගමැතිවරයාගේ සුරතින් විවෘත කිරීමට කටයුතු යොදා තිබුණේ සඳුදා දිනයේ දී. විදුහල්පති නිල නිවස, ගුරු නිවාස සංකීර්ණය සහ තාක්ෂණ ඒකකය විවෘත කළ අතර විශේෂ අධ්‍යාපන ඒකකයට අගමැතිවරයා මුල්ගල් තැබුවා.

උත්සවය ආරම්භ කරන විට දැඩි වර්ෂාපතනයක් පතිත වූ අතර අගමැතිවරයාට ඉක්මණින් කොළඹ බලා යාමට අවශ්‍ය වූ බැවින් උත්සව සභාවේ කටයුතු කෙටි කිරීමට ද අවශ්‍යව තිබුණා. විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා සාමාන්‍යයෙන් දීර්ඝ කතාවක් පවත්වන පුද්ගලයකු හැටියට ප්‍රසිද්ධයි. විජේපාල මන්ත්‍රීවරයා කතා කිරීමට පෙර වජිර ඔහුට මෙසේ කීවා.

”විජේපාල, ඔයාගේ කතාව විනාඩි තුනකට කෙටි කරන්න. වැස්ස නිනා අහස තවත් නරක තත්ත්වයට ආවොත් හෙලිකොප්ටරය යන්න බැරි වෙනවා. ඒ නිසා අපි අගමැතිතුමාව ඉක්මණට යවන්න ඕනේ. මමත් විනාඩි තුනකට වඩා කතා කරන්නේ නැහැ.” වජිර මෙසේ කියද් දී අගමැතිතුමාත් සිනා සුණා.

කතාව ආරම්භ කළ විජේපාල හෙට්ටිආරච්චි විනාඩි තුනක් වෙනුවට විනාඩි අටක් පමණ කතා කර වජිර අබේවර්ධනට කීවේ ඔන්න ඔබතුමා කියූ නිසා මම කතාව පුළුවන් තරම් කෙටි කළා.

”මෙයා හොඳ කථිකයෙක්. වෙලාව ගත කරන්න ඕන තැන්වලට නියම මනුස්සයා.” වජිර එසේ කියන විට නිවේදකයා ඇමැති වජිරටත් ආරාධනා කර අවසන්. ඇමැති වජිර සිය කතාව විනාඩි කිහිපයකට සීමා කර ඉක්මණින් වේදිකාවෙන් බැස ගියේ නිවේදකයාට ”ඉක්මනට අගමැතිතුමාට ආරාධනා කරන්න.” යැයි කියමින්.

කතාව ආරම්භ කළ අගැමතිවරයා ”අපේ පාසල්වල පුහුණු ගුරුවරු උපාධිධාරී ගුරුවරු ඉන්නවා. එහෙම නැති ගුරුවරු ඉන්නවානම් දරුවන්ට, මාපියන්ට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. සුදුසුකම් නැති අයට බැහැ දරුවන්ට උගන්වන්න යැයි කීවා.”

ඉතා කෙටියෙන් සිය කතාව අවසන් කළ අගමැතිවරයා ගිංතොට ඇතිවූ සිංහල හා මුස්ලිම් ගැටුමෙන් පීඩාවට පත් පවුල් 126ක් සඳහා රුපියල් ලක්ෂ 38 චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදුකළා. අගමැති රනිල් වික්‍රමසිංහ වේදිකාවෙන් ඉක්මණින් බැස යද් දී ඔහු වෙනුවෙන් විද්‍යාලයෙන් සූදානම් කර තිබූ සමරු තිළිණය ලබා දීමට නිවේදකයා උත්සාහ ගත්ත ද වැස්ස යළි ආරම්භ වීමට පෙර පිටත්ව යාමේ අරමුණ ඇතිව ගිය අගමැතිවරයා යළි වේදිකාවට නැගුණේ නැහැ. විදුහල්පති අගමැතිවරයා පසු පස දිව ගොස් ඒ සමරු තිළිණය ලබා දුන්නේ තම විදුහලට ලබාදුන් යෝධ ව්‍යාපෘතීන් වෙනුවෙන් කෙසේ හෝ කළගුණ සැලකීමේ අරමුණෙන්.

ජාතික විද්වත් සංවිධානය විසින් ක්‍ෂෙත්‍ර 10ක් පනදම් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විද්වත් කමිටු දහයක් පසුගිය ජූලි මාසයේ දී මහරගම පැවැති උත්සවයක දී රටට හඳුන්වා දුන්නා. කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, ආර්ථික, අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩා, ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, කලා හා සංස්කෘතික, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, පරිසරය එම ක්‍ෂෙත්‍ර දහය යි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, කලාකරුවන්, බහුජන සංවිධාන නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයන් සහ ක්‍ෂෙත්‍රයන්හි ප්‍රවීණයන් මෙම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සිය දායකත්වය සපයනවා. මේ දිනවල එම විද්වත් කමිටු රැස්වීම් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේ දී සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්ති සඳහා යෝජනා අදහස් රැස්කිරීම ආරම්භ කිරීමට නියමිතයි. අධ්‍යාපන, ආර්ථික, කලා සංස්කෘතික, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම යන ක්‍ෂෙත්‍රයන්හි කමිටු රැස්වී මේ වන විටත් ඉදිරි මාස හය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරගෙන තිබෙනවා. ක්‍ෂෙත්‍ර දහයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයන් ගොවි, ධීවර සමිති නායකයන්ද ඇතුළත් වනවා.

ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සපිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කිරීමට ඌව වෙල්ලස්ස ජනඅයිතීන් සුරැකීමේ සංවිධානයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික භික්‍ෂු පෙරමුණත් මේ වනවිට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. මෙම උත්සවය සඳහාත් නව අරගලයක් සඳහාත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ජාතික භික්‍ෂු පෙරමුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වතුන් විශාල ප්‍රමාණයකගේ මැදිහත්වීමෙන් මේ වන විට එම ප්‍රදේශවල දී ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළත ගැටුම් දැන් දැන් ප්‍රසිද්ධ චෝදනා කිරීම් හා බලය වර්ධනය කරගැනීමේ මෙහෙයුම් ලෙස කරළියට පැමිණෙමින් තිබෙනවා. එහි එක් අවස්ථාවක් වූයේ ජනාධිපති අපේක්ෂත්වයට තමන් සුදුසු බව කුමාර වෙල්ගම මහතා කළ ප්‍රකාශයයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයද ලබාගැනීමට වෙල්ගම මහතා ඉදිරිපත්ව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස පෙනී සිටින දිනේෂ් ගුණවර්ධන මහතාට අභියෝග කරමිනි.

දිනේෂ් ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස තෝරාගෙන සිටියද ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලනිපය හෝ පොහොට්ටු පක්ෂය නොවීම ඔහුට එරෙහිව විරෝධයක් මතුවීමට හේතු වී ඇති බව දැනගන්නට තියෙනවා. දිනේෂ් මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයාය. ඔහුට පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැති අතර ඔහු නායකත්වය දෙන්නේ ශ්‍රීලනිප මහින්ද පිලේ කණ්ඩායමට හා කුඩා පක්ෂවල පිරිසකට ය. මේ වන විට එම කුඩා පක්ෂ හා බැසිල් රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂය අතර විරසකයක් වර්ධනය වී තිබෙනවා.

පොහොට්ටුවේ තවත් ගැටුමක් වාර්තා වූයේ සබරගමුවෙන්. රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන රංජිත් සොයිසා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා චෝදනා කළේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇගේ සැමියා එජාපය හා එක්ව පො‍හොට්ටුවට එරෙහි කුමන්ත්‍රණයක යෙදී සිටින බවටයි.

මේ අතර මහින්ද පිල තම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාව ආරම්භ කිරීම සැප්තැම්බර් පස්වනදා දක්වා කල්දමා ඇතැයි චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂයේ කුඩා පක්ෂ ආණ්ඩු විරෝධී පාගමනක් හා රැලියක් ඊයේ කැඳවා තිබුණා. දිනේෂ්, වාසු, ගම්මන්පිල, විමල් වීරවංශ ආදීන් විසින් කැඳවා තිබූ මෙම ආණ්ඩු විරෝධී රැලියට පොහොට්ටු පක්ෂයේ හෝ බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තිබුණේ නෑ.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *