|

ගාලු කොටුවෙන් රට කොටුකළ හැටි – සී.ජේ. අමරතුංග

ගාල්ලේ කොටුව අසල ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම ගැන නැතහොත් එසේ කිරීමේ උත්සාහය ගැන පසුගිය දිනවල විශාල ආන්දෝළනයක් ඇතිවීය. එම ක්‍රීඩාංගණයේ අනවසරයෙන් සිදුකොට ඇති ඉදිකිරීම් කිහිපයක් නිසා ගාලු කොටුවට ලැබී ඇති ලෝක උරුමයක් ලෙස පිළිගැනීම අහිමිවීයාමේ අනතුරක් ගැන වාර්තාවිය. යුනෙස්කෝ ආයතනය කියාඇත්තේ එම අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් ලෝක උරුම ලැයිස්තුවෙන් ගාලු කොටුව ඉවත් කරන බවකි. ඒ අතර තවත් වාර්තාවකින් කියැවුණේ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කරන බවකි. එයද ඇතැම් ජනමාධ්‍යවලට හොඳ මාතෘකාවක් වූ බව පෙනෙන්නට තිබිණි.

ජනමාධ්‍ය වාර්තාවලින් හෙළිවන්නේ සුනාමි ව්‍යසනයෙන් පසුව ගාලු ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ මුවාවෙන් සිදුවූ අනවසර ඉදිකිරීම් නිසා මෙම තත්ත්වය මතුවී ඇති බවයි. ගාලු කොටුවේ දර්ශනය අවහිරවන පරිදි ඉදිකොට ඇති ක්‍රීඩාගාරය එයට ප්‍රධාන හේතුවක් වී ඇත. එය ඉදිකොට ඇත්තේ අවසර ගතයුතු කිසිදු අධිකාරියකින් නිසි අවසරයක් නොගෙනය. ඒ බව එම අවස්ථාවේදීම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුකොට ඇත්තේ ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක මහතා විසිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔහු යවනු ලැබූ ලිපිය 2007.12.11 දින පාර්ලි‍මේන්තුවේ සභාගත කොට ඇත්තේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසිනි.

රහසක් නෑ

මෙම ප්‍රශ්නය එම අවස්ථාවේම පාර්ලිමේන්තුවේද සාකච්ඡාවී ඇත. එවකට විපක්ෂ මන්ත්‍රීවරුන්ව සිටි වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරුන් විසින් මෙන්ම නාගරික සංවර්ධන හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයාව සිටි දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ද මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත්කොට ඇත. එම මැති ඇමැතිවරුන්ගේ හා තවත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශද 2007.12.03 හා 2007.12.11 හැන්සාඩ් වාර්තාවල ඇතුළත්ය. ඒ කියන්නේ මෙහි වැරදි වැඩක් වන බව කිසිදු වගකිවයුත්තකුට රහසක් වී තිබිය ‍නොහැකිය.

මෙම අනවසර ක්‍රීඩාගාරය කඩා ඉවත්කිරීම ඊළඟට තිබූ යෝජනාවයි. ව‍ැඩේ එහෙම වෙන්න යනවිට සිදුවුණේ එය මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ලෙස නම්කොට නාමපුවරුවක් ප්‍රදර්ශනය කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතා රජෙකුට ඇඳ සිටි එම යුගයේ ඕනෑම නීතිවි‍රෝධී ක්‍රියාවක් සඳහා රැකවරණයක් බවට එම නාමය පත්ව තිබූ ආකාරය මෙයින් හොඳටම පැහැදිලිය. එම කාලයේ වැඩ කටයුතු සිදුවූ ආකාරය හා නීතිරීති කැඩීමටත් රටට විනාශකාරී පියවර ගැනීමටත් රාජ්‍ය බලය යෙදවුණේ ඒ ආකාරයෙනි.

යුනෙස්කෝව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මෙන්ම එය භාරව සිටි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ද මෙම තත්ත්වය යටතේ අසරණ වූ බව පෙනෙන්නට තිබුණි. මෙම අනවසර ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමැතිවරයා එදා පාර්ලිමේන්තුවට පොරොන්දු වුවද කිසිවක් කිරීමට එතුමාට හැකියාවක් ලැබුණේ නැත.

ඊයේ පෙරේදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ යුනෙස්කෝව අවසර දී තිබුණේ තාවකාලික ක්‍රීඩාගාරයකට පමණක් බවයි. ක්‍රීඩා තරග පවත්වන අවස්ථාවේදී තාවකාලික ක්‍රීඩාගාරයක් ඉදිකොට පසුව ඉවත් කිරීමට බවයි. ස්ථිර ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට අවසරයක් නොදුන් බවයි. අනෙක් අතට ලෝක උරුම සම්බන්ධයෙන් යුනෙස්කෝව පිළිගත් ප්‍රමිති අනුව මෙම ස්ථානයේ කිසිදු ඉදිකිරීමකට අවසර දීමද කළ නොහැකිය. ඒ අනුව ගාලු කොටුවේ සිට මීටර් 400ක ස්වාරක්ෂක කලාපයක් ප්‍රකාශිතය. එම කලාපය තුළ ඉදිකිරීම් නොකළ යුතුය. එය පිළිගත් ප්‍රතිපත්තියකි. ඒ අනුව මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයක් ඉදිකිරීම නොකළ යුත්තකි.

ඊළඟට ප්‍රශ්නය මතුවුණේ ක්‍රීඩාගාරය ඉවත්කිරීම සම්බන්ධයෙනි. එවිට රාජපක්ෂ රජය කළේ සුපුරුදු පරිදි එදා වේලට බොරුකීමයි. යුනෙස්කෝවට රාජපක්ෂ රජය කීවේ ක්‍රීඩාගාරය නොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයම මෙතැනින් ඉවත් කරන බවයි. ලෝක උරුම කළමනාකරණය පිළිබඳ විද්වතකු වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා පසුගියදා හෙළිදරව් කළේ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කරන බවට මහින්ද රාජපක්ෂ රජය යුනෙස්කෝවට පොරොන්දු වූයේ 2008 වසරේදී බවයි.

යුනෙස්කෝවට දුන් පොරොන්දුව

ඒ අනුව පෙනීයන්නේ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කිරීම යුනෙස්කෝවේ ඉල්ලීමක් නොවන බවයි. එය ශ්‍රී ලංකා රජය පැනලා දුන් පොරොන්දුවකි. ඒ එදා වේල සඳහා ය. ඒ මොහොතේ ක්‍රීඩාගාරය කඩා ඉවත්කිරීමේ යෝජනාව ඉවත් කිරීම සඳහාය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය ගැන විශ්වාසය තබන යුනෙස්කෝව කියන්නේ ක්‍රීඩාංගණයම වෙන තැනකට ගෙනියන්නේ නම් අනවසර ක්‍රීඩාගාරය හදිසියේ කඩා ඉවත්කිරීම අවශ්‍ය නොවන බව හා අලුතින් ඉදිකිරීම් කිරීම නොකරන ලෙසයි. ක්‍රීඩාගාරය කඩා ඉවත් නොකළ යුතු බව යුනෙස්කෝව පිළිගන්නේ යැයි දැන් සමහරු විකෘතිකොට ඉදිරිපත් කරන්නේ මෙම තත්ත්වයයි.

මුලින් ශ්‍රී ලංකා රජය කියා ඇත්තේ සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකළ විට ගාල්ලේ ක්‍රිකට් ගැසීම නතරවන බවයි. එසේ වුවද සූරියවැව දැන් ඇත්තේ ක්‍රිකට් නොගසන ක්‍රීඩාංගණයකි. කෙසේ වෙතත් ආණ්ඩුව යුනෙස්කෝවට දී ඇති පොරොන්දුව නම් ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනත් තැනකට ගෙනයන බවයි. දැන් යුනෙස්කෝව බලාසිටින්නේ එය එසේ සිදුවන තුරුය. එය නො‍ෙකරෙන්නේ නම් යුනෙස්කෝව ඊළඟ පියවරක් ගැන කල්පනා කරනු ඇත.

මෙහිදී අප තේරුම් ගතයුතු වන්නේ ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස පවත්වාගැනීම හෝ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කිරීම හෝ යුනෙස්කෝවේ අවශ්‍යතා නොවන බවයි. සමහරු කියන්නේ සුද්දන්ගේ නීති කොන්දේසි අපට අනවශ්‍ය බවයි. එසේ වුවද ගාලු කොටුව සුද්දන්ගෙන් ලැබුණු උරුමයකි. දැන් එය අපේ සංස්කෘතික උරුමයකි. ක්‍රිකට් ක්‍රීඩාවද සුද්දන්ගෙන් ලැබුණු උරුමයකි. එයද අද අපේ සංස්කෘතියේ තදින් කාවැදුණු අංගයකි. ඒවා රැකගැනීමද දැන් අපේ අවශ්‍යතාවයක් මිස සුද්දාගේ අවශ්‍යතාවයක් නොවේ.

ගාලු කොටුව ලෝක උරුමයක් කියා නම්කරවා ගැනීම අපේ වුවමනාවකි. එය පවත්වාගෙන යාමද අපගේ වුවමනාවකි. ගාල්ල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කළ හැක්කේ එවිටය. කොටුව බලන්නට වැඩි වැඩියෙන් සුද්දන් ගෙන්වා ගත්තොත් ජීවනෝපාය සැලසෙන්නේ ගාල්ලේත් රටේත් ජනතාවටය. රැකියා ලැබෙන්නේ අපේ තරුණ තරුණියන්ටය. විදේශ විනිමය ලැබෙන්නේ රටටය. යුනෙස්කෝවට බොරුකියා පොරොන්දු දී, පොරොන්දු කඩා වැඩේ කෙලවාගත්තොත් අමාරුවේ වැටෙන්නේ අපේ රට මිස යුනෙස්කෝව හෝ සුද්දන් හෝ නොවේ තේරුම් ගතයුතු කාරණය එයයි.

අපේ ජනයාගේ බඩට ගැසීම

මහින්ද රාජපක්ෂ යනු ඕනෑම කෙනෙකුට ඕනෑම පොරොන්දුවක් දීමට මැලි නොවන්නකු මෙන්ම ඒවා කඩන්නටද හිරිකිතයක් නැති දේශපාලන නායකයෙකි. ඔහු දෙවරක්ම බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා පොරොන්දුවෙමිනි. කළේ විධායක ජනාධිපති ක්‍රමය තවත් බලවත් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කළේය. ඒ සියල්ල පාගා දැමීය. දූෂණය නවතන බව කියා බලයට පැමිණ තම ගෝල බාලයන් සියලුදෙනාට මහජන ධනය කොල්ලකන්නට ඉඩ ලබාදුන්නේ ය. දැන් කතා කරන්නේ මේ කිසිවක් සිදු නොවූ ගානටය.

ජාත්‍යන්තර දේශපාලනයේදී ද රාජපක්ෂ පාලනයේ බොරු පොරොන්දු දීමේ හා රැවටීමේ ක්‍රියාවලිය කැපීපෙනෙන තත්ත්වයේ තිබිණි. දෙමළ ජනයාට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලයක් දෙන්නට ඔහු ලිඛිත පොරොන්දු දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්ට මෙන්ම ඉන්දීය අගමැතිවරයාට ද දුන් එම පොරොන්දු කිසිවක් ඉටුකළේ නැත. කළේ පළාත් සභාවලට දුන් බලතලද නොදී හැරීමය.

මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරයට දුන් පො‍රොන්දු කැඩීමෙන් මහින්ද රාජපක්ෂ පාලනය ජී. එස්. පී. ප්ලස් සහනය අහෝසිකරගත්තේය. මුහුදු නීතිවලට ගරු නොකිරීම නිසා මෙරට මත්ස්‍ය අපනයනයට සුද්දන්ගෙන් තහනමක් දමා ගත්තේය.

මේවා කරමින් මහින්ද පෙනීසිටියේ බටහිර රටවල් කියන‍ දේ නොකරන ඔවුන් රවට්ටන, නොතකාහරින වීරයෙක් වශයෙනි. හැබැයි ඒ කිසිවකින් සුද්දන්ට නැතිවන දෙයක් නැත. ජී. එස්. පී. නැතිවී කම්හල් වැසීගියේ අපේ ව්‍යාපාරිකයන්ගේය. රැකියා නැතිවුණේ අපේ තරුණ තරුණියන්ටය. විදේශ විනිමය නැතිවුණේ රටටය. මත්ස්‍ය අපනයනය නැතිවීමෙන් ජීවනෝපාය බිඳ වැටුණේ මෙරට ධීවරයාගේය. අපේ රටේ මාළු නැතිව සුද්දා බඩගින්නේ හිටියේ නැත.

සුද්දන්ට කෙළිනවා කියා මහින්ද රාජපක්ෂ මහතා අපේ ජනතාවගේ බඩට කෙළියේ එහෙමය. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 27ක්ව තිබූ අපනයන ප්‍රමාණය සියයට 13ට බස්සවා ගැනීම එම කෙළියේ ජයග්‍රහණයයි.

කරුමයක හැටි

සුද්දන්ගේ පුරාවිද්‍යාවෙන් අපට වැඩක් නැතැයි කියන උදවිය ද තවමත් සිටිති. එසේ වුවද අපට කියන්නට තිබෙන්නේ අපගේ අතීතයේ හා සංස්කෘතියේ උරුම ගැන අපට කියාදුන්නේ සුද්දන් බවයි. අපගේ අතීත ශිෂ්ටාචාරයේ නටඹුන්වල අප නොදැන සිටි වටිනාකම් අපට කියා දුන්නේ සුද්දන් විසිනි. අනුරාධපුරය, පොළොන්නරුවේ පැරණි නටඹුන් නැවත මතුකරගත්තේ ඔවුන් විසිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කෞතුකාගාර ඇතිකොට මේවා රැකගන්න අපට කියාදුන්නේ ද සුද්දන්ය. ඒ ඔවුනට එබඳු ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් නොමැති නිසාය. කරුමය තියෙන්නේ සුද්දන්ට තේරුණු අපගේ වටිනාකම් රැකගන්න අපට වුවමනාවක් නැති කමයි.

අපේ උදවිය කළේ පැරණි දේ එසේ සංරක්ෂණය කරනවා වෙනුවට අලුතින් හදන්න යාමයි. පැරණි රුවන්වැලිසෑය දැන් අපට නැත. තියෙන්නේ නවසිය තිස් ගණන්වල හැදූ අලුත් සෑයකි. ථූපාරාමය, මිරිසවැටිය ගැන ද කතාව ඒකය. අභයගිරියට ද ඒ වැඩේම කරන්න අපේ උදවියට අවශ්‍ය විය. අපේ කට්ටියට අවශ්‍ය වූයේ එයට සුදු පිරියම් කරන්නටය. සුද්දන්ගේ පුරාවිද්‍යාව දැන සිටි අපේ පුරාවිද්‍යාඥයෝ දැඩි සටනක්කොට අභයගිරිය බේරාගත්තෝය. එයට දොස් කියන උදවිය තවමත් සිටිති.

දැන්වත් ඉතින් මේ සෙල්ලම නතර කළයුතුය. සුද්දන්ට ලණු දෙන්නට, සුද්දන් කඩේ යවන්නට ගොස් අපගේ උරුමයට කෙළවාගැනීමේ වැඩ දැන්වත් නවතා දැමිය යුතුය. අපේ උරුම රැකගතයුත්තේ ඒවා අපිට වටිනා නිසාය. එමෙන්ම ඒවා සංරක්ෂණය කොට වැඩිදියුණු කිරීමෙන් වටිනා ධනෝපායන මාර්ග කරගැනීමේ හැකියාව ද ඇති නිසාය.

ගාල්ල ගැනද අප කළ යුත්තේ ඒකය. ගාලු කොටුව අවට සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකය. ගාලු වරායද පුරාවිද්‍යා වටිනාකම් රැකෙන ලෙස සංචාරක වරායක් ලෙස දියුණු කිරීමට සැලසුම් හදා ඇති බව වාර්තා වෙයි. දැන් කළයුතුව ඇත්තේ එම සැලසුම් ක්‍රියාවට නැගීමයි. රටක් ජනතාවක් ගොඩදැමිය හැක්කේ එවිටය.

බොරු දේශප්‍රේමයක් කරතබාගෙන බටහිරට බැන බැන අපගේම මිනී වළවල් කපාගැනීමේ මෝඩකමින් දැන්වත් මිදිය යුතුය.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *