අනේ ජනපතිතුමනි දොස්තරලාට හොදින් සලකන්න !!! – අනුර සූරියබණ්ඩාර

ඉල්ලීම් 10 කට විසඳුම් නැත්නම් අගෝස්තු 03 දා දීප ව්‍යාප්ත වඩ වර්ජනයක නිරතවන බව ජනපතිට ලිපියක් යවමින් වෛද්‍යනිලධාරින්ගේ සංගමය දන්වා ඇති බව 2018 ජුලි 30 පුවත්පත් වාර්තා කර තිබුණි. එම ඉල්ලීම් දහයට ඇතුළත් වන්නේ; දේශීය ආදායම් පනත මගින් වෛද්‍යවරුන්ටත් පොදුවේ වෘත්තීය ‍වේදීන්ටත් එල්ල වී ඇති අහිතකර බලපෑම; වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාලව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ ලියැවිල්ල පාදක කරගත් ගැසට් නිවේදනය,  වෛද්‍යවරුන්ගේ රැඳීසිටීමේ සහ පැමිණීමේ දීමනා යාවත්කාලීන කිරීම, ‍වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම සඳහා කළ ඉල්ලීම ඉටු නොවීම ආදිය බවද පැවසේ.

මෙහිදී සලකා බැලිය යුත්තේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන ඉහත කරුණු කොතෙක්දුරට සාධාරණද යන්නය. සිගප්පූරු ‍වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව නොයෙක්වර කරුණු කියා ඇතත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම ගිවිසුම බිල්ලෙක් ලෙස හුවා දක්වන්නට උත්සාහ දරමින් සිටී. එහිදී ඔවුන්ගේ සහයට කොන්දේසි විරහිතව ඉදිරිපත් වී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයයි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම්, සිංගපූරු ගිවිසුම සම්බන්ධ විරෝධයේ අත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වුවද හඬ ඒකාබද්ධ විපක්ෂයේ බව පැහැදිලි කරුණකි.

කුමන කරුණක් හෝ අල්ලාගෙන ආණ්ඩුවිරෝධය ඉස්මතු කිරීමත් ඒ ඔස්සේ තම මඩිය තරකර ගන්නට උත්සාහ කිරීමත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ න්‍යාය බව පෙනෙන්නට තිබේ. එහෙත් එම විරෝධය අමූලික බොරුවකි.

හොඳම උදාහරණය 1990 සුවසැරිය ගිලන් රථ සේවයට වෛද්‍ය සංගමය කළ තර්ජනයයි. එම ගිලන් රථ සේවය විශාල විනාශයක් බව කියන්නට ඔවුන් නොගත් උත්සාහයක් නැත. එය ඉදියානු අක්‍රමණයක් බව පවා කීවේය. එහෙත් මේ වනවිට එම ගිලන් රථ සේවය අවුරුදු දෙකක් පුරා රෝගී ජනතාව වෙනුවෙන් සේවය කර තිබේ.

සුවසැරිය ගිලන් රථ සේවය ක්‍රියාත්මක වන තුරු මෙරට දිළිඳු ජනතාවට හදිස්සියකට රෝහල් ගතවන්නට ගිලන් රථ සේවයක් තිබුණේ නැත. රෝහල්වල ගිලන් රථ තිබුණා වුව ද එවායින් කෙරුණේ රෝහලකින් රෝහලකට ගිලනුන් රැගෙන යාම පමණි. හදිසියේ ‍රෝගාතුර වන අයකු රෝහලට රැගෙන යැවුණේ ත්‍රිරෝද රථ ආදියෙනි. මහ මග රිය අනතුරක් සිදු වූ විටද එසේමය. නුසුදුසු ප්‍රවාහන සේවා මගින් හා පුහුණු සෞඛ්‍ය සේවකයන්ගේ සේවය ලැබීමකින් තොරව රෝගින් රෝහල් ගත කරන්නට යාමෙන් සදාකාලික ආබාධිතබවට පත් වූ, අතරමග මියගිය, වෙනත් අපදා තත්ත්වයන්ට පත් වූ රෝගීන් එකල සිටියහ.

සුවසැරිය ක්‍රියාත්මක වීමත් සමඟ එම තත්ත්වය මුළුමනින්ම මඟහැරී ගියේය. ගෙවුණු වසර දෙක තුළ රෝගීන් 94,351ක් රෝහල් ගත කරන්නට එම ගිලන් රථ දායක වී තිබේ. ගිලන්රථ තුළ දරු උපත් 30ක් සිදු වී ඇත. සුවසැරිය නොවන්නට එම දරුවන් සහ මවුවරුන් 30 අතරින් කිහිප දෙනෙකු හෝ ජීවිත අවධානමට හානියට ලක්වන්නට ඉඩ තිබුණි. අනෙකක් තබා සුව සැරියට විරුද්ධව දිවි නොතකා සටන් කළ ඒකාබද්ධ විපක්ෂයේ ගාලු මුවදොර මැයි රැලියේ දී හදිසියේ අසනීප වූ පාක්ෂිකයාගේ ගැලවුමට තිබුණේ ද සුව සැරිය ගිලන් රථ සේවයයි.

වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂාව ගැන හිතන්නේ නම් සුව සැරිය වැනි ගිලන් රථ සේවාවක අගය ඔවුනට ඊට පෙර අවබෝධ විය යුතුය. ඔවුන් එවැන්නක් සඳහා සටන් කළ යුතුය. එහෙත් එසේ කළේ නැත. සුවසැරියේ වටිනාකම වසර දෙකක් පුරා තහවුරු වී තිබියදීත් ඔවුන් මේ වන තෙක් ඒ ගැන අගය කිරීමක් හෝ තම වරද පිළිගැනීමක් ද කර නැත. ඉහත කරුණු අනුව අනුමාන කළ හැක්කේ සිංගප්පූරු ගිවිසුම් විරෝධයද දෙවැනි සුවසැරිය විරෝධයක් බවය. විහිළුව වන්නේ කැබිනට් මණ්ඩලය ද මුලා කරමින් ගිවිසුම අත්සන් කර ඇතැයි වෛද්‍ය නිලධාරින් කීමය. එසේ නම් කැබිනට් මණ්ඩලය යනු අත දරුවන්දැයි විමසන්නට කෙනෙක් නැත. දැන් කළ යුතු වන්නේ කැබිනට් මණ්ඩලයේ කටයුතුත් පාදෙනිය ඇතුළු පිරිසට පැවරීමද?

වෛද්‍ය සංගමය කියන, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ වෛද්‍ය සභාව සකස් කළ ලියැවිල්ල කුමක් ද? එම ලියැවිල්ලෙන් වෛද්‍ය සභාව යෝජනා කරන, වෛද්‍ය පීඨ අධ්‍යයන මණ්ඩලවලට විශේෂඥ යොදා ගත හැකිය යන කොන්දේසිය ගැන වෛද්‍ය සභාව සෑහීමකට පත් වන්නේද? එමගින් වෛද්‍ය අධ්‍යාප‍නයේ ප්‍රමිතිය ආරක්ෂ කළ හැකිද? රජරට, කරාපිටිය, නැගෙනහිර වෛද්‍ය පීඨවලට අධ්‍යයන කටයුතුවලට අවශ්‍ය ගුරුවරුන් නැත. එහෙත් ඒවායි බිහිවෙන ගුරුවරුන් පිළිබඳ ගැටලුවක් වෛද්‍ය සංගමයට නැත. එම වෛද්‍ය පීඨවල සුදුසුකම් ගොඩ නඟන්නට සයිටම් අහෝසි කරන්නට ඇති තරමට උනන්දුවක් වෛද්‍ය සංගමයට නැත. එහි අදහස පසුකම් නැති රජයේ වෛද්‍ය පීඨවලින් බිහිවන වෛද්‍යවරුන්ගෙන් සයිටම් වෛද්‍යවරුන්ගෙන් මෙන් රෝගීන්ට ජීවිත තර්ජනයන් නොමැති බවය.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැසිකිලි නැති නිවෙස් 25000ක් තිබෙන බව පසුගිය දිනක වාර්තා වී තිබුණි. ගම්පෙරළිය වැඩසටහනේ දී ඒ බව හෙළි වන තෙක් දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් ඒ පිළිබඳ කතාකර හෝ එම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා හෝ තිබුණේ නැත. මහජන සෞඛ්‍ය බාරව ජනතාවගේ බදු මුදලින් වැඩුප් ලබන දොස්සතරවරුන්ගේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට එම ප්‍රවෘත්තිය පමණක් වුව ද ප්‍රමාණවත්ය. ‍මොණරාගල ජනතාවට වැසිකිලියක් දෙන්නට උනන්දු නොවූ එකී වෛද්‍යවරු සයිටම් නවත්වන්නට වැඩ වර්ජනය කරන්නට නම් අමතක කළේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට 2004 වසරේ 4.8%ක් වූ උතුරු මැද පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය 2007 දී 11.8% වී ඇත. වයඹ පළාතේ ඩෙංගු 2004 10.2% සිට 15.9% දක්වා වර්ධනය වී තිබේ. සබරගමුවේ 06% සිට 12.3% දක්වා ඩෙංගු වර්ධනය වී තිබේ. මේ තත්ත්වය ඇති වන්නේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරයුතු කරන්නට ආණ්ඩුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් පඩි ගෙවා පත්කර සිටිය දී ය. මෙසේ ඩෙංගු වර්ධනය ‍වන්නේ එකී වෛද්‍යවරුන්ගේ අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිතබව නිසාය. එහෙත් තම ප්‍රදේශයේ ඩෙංගු නවත්වත්වන්නට උත්සාහ නොගන්නා ඔවුන්ම සිංගප්පුරු ගිවිසුම අහෝසි කරන්නට නම් මහත්සේ උනන්දු වෙති.

වෛද්‍යවරුන් යනු මේ මොහොතේ මෙරට ඉහළම ආදායම් උපයන පිරිසකි. රජයේ වැටුපට අමතරව පෞද්ගලික සේවයේ යෙදීමෙනි. ඊට අමතරව තීරු බදු රහිත වාහන ආදී පහසුකම්ද ඔවුනට හිමිවේ. එසේ තිබියදීත් ජනතා බදු මුදලින් නො‍මිලයේ අධ්‍යාපනය ලබා ජනතා බදු මුදලින් වැටුප් ලබමින් ජනතාවගෙන් මුදල් ලබාගනිමින් පෞද්ගලික සේවයේ යෙදෙමින් බදු නොගෙවා ඉන්නට උත්සාහ කරන වෛද්‍යවරු ජනතාවට සැබෑ ආදරයක් ඇත්නම් කිවයුතු වන්නේ “අපි බදු ගෙවමු! ජනතාව මත ඇති බදු අඩුකරනු!” යනුවෙනි. එවැනි ජනතාවාදී ජීවකවරු දැන් නැත. ඉන්නේ මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලාය. එහෙයින් ආණ්ඩුව ඔවුනට වැටුප් ගෙවිය යුතුය. පෞද්ගලික වෙළඳාමට අවසර දිය යුතුය. රැඳී ඉන්නවාටත් පැමිණෙනවාටත් ගෙවිය යුතුය. බදු අය නොකළ යුතුය. දරුවන්නට පාසල් ද ලබා දිය යුතුය. ආණ්ඩුව එසේ නොකරන්නේ නම් ඔවුන් වෙද නළාවෙන් ගෙල හිරකර රෝගීන් මරා දමන්නට ඉඩ ඇති බැවිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *